Sunday, November 21, 2010

"ශ්‍රී සමෘද්ධිමත් ලෙස බත් කෑමක්" -සමර විජේසිංහගේ සද්ධර්ම කතා ගැන

සමර විජේසිංහගේ නවතම කෙටි කතා සංග්‍රහය වන සද්ධර්ම කතා ගැන සටහනකි මේ.


ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියේ සමහර කතන්දර අප විසින් සාහිත්‍ය රසාස්වාදනය පිණිස යොමු වූයේ අසූ ගණන්වල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විශය නිර්දේශයේ නිර්දිශ්ට ග්‍රන්ථ අතරට ඒවා ද අන්තර්ගතව තිබූ බැවිනි. එලෙස නොවූවා නම් අපි දු දන්නා සද්ධර්මරත්නාවලියක් නොවෙයි. එදා එම කතන්දර කියවා වටහා ගැනුම අතිශය දුෂ්කර වුවද, කෘතහස්ත සාහිත්‍ය ගුරුවරුන් එකල සිටියෙන් එම කටයුත්ත පහසු විය. එබඳු ගුරුපියෙක් මේ අවස්ථාවේ මගේ මනැසට එයි. ඒ මාතර රාහුල විද්‍යාලයේ අපගේ සාමාන්‍ය පෙළ පංතියේ සිංහල ගුරුතුමා වූ කවිරත්න ගුරුපියා ය. එතුමන්ගේ බහුස්‍රැත සාහිත්‍ය පරිචයෙන් බිඳක් අපද ලබන්නට වාසනා වූ බැවින්, අද ද අපි වැන්නෝ සිංහල සාහිත්‍යයේ අබැටක පමණ රසයක් විඳිමු. ඔහුට පිං වේවා!

සමර විජේසිංහ අලුත් ආකාරයේ වැඩකට පරණ සද්ධර්මරත්නාවලිය තෝරා ගෙන ඇත.

සමර විජේසිංහ ගේ වෑයම අතිශය සාර්ථක යැයි පවසන්නේ එකල අප සද්ධර්මරත්නාවලියේ ගැටපද ලිහාගෙන එහි වූ අනේක රසාලිප්ත වැකි නැවත ගැටගසා ගන්නට දැරූ තැත මත්තෙහි, අප මනසින් ගිලිහී ගිය නොයෙකුත් භාවපූර්ණ චින්තාවන් ගැන මෙනෙහි වීමෙනි.

දඹදෙණි යුගයේ සිංහල භාෂාව පාරප්‍රාප්තියෙකු වුවද, ධර්මසේන හිමියන්ගේ සාහිත බස සරලවත් සුගමවත් තිබුයේ වුවද, අපගේ එකල සහ මෙකල වත්මන් සිංහල වාක්‍ය ඛණ්ඩ ර‍ටා අනුව සැකසුණු මනසින් එම සද්ධර්මරත්නාවලිය පරිශීලනය දුෂ්කර අභ්‍යාසයක් වූ හෙයින්ම, එය සාහිත්‍ය අධ්‍යාපන නිර්දිශ්ට ග්‍රන්ථයක් බවට ද පත් වී තිබූ සැටි පැහැදිලිය.

සමර විජේසිංහ ගේ සද්ධර්ම කතා තුළින් වත්මන් සිංහල බස් වහරට කැඳවන ඒ පුරාණ සද්ධර්මරත්නාවලියේ සමහර කතන්දර විසින් අපව ඇණවුම් කරන්නේ වඩාත් නව්‍ය සාහිත්‍ය- වචන පරිසමාප්ත අර්ථ ලෙසම හිත සන්සුන් කරවන- මෙකල භාවිත සිංහලෙන් පමණක් නොව, එබඳු වාක්‍ය ඛණ්ඩ රටා ඔස්සේ ද මෙකල සංස්කෘතික සමාජ ව්‍යුහය තුළ ස්ථාපිත හැඟවුම්කරණයන් ඔස්සේ ද ප්‍රතිකථිත, එම කතා ස්වරූපයන් ම වීම මාහැඟි නිර්මාණාත්මක කාරියක් ලෙස ප්‍රශංසාභිමුඛව පිළිගත යුතුය.

මේ කරුණ උදාහරණයකින් පෑමට උත්සහ කරමි.

මේ උපුටා දක්වන්නේ සද්ධර්මරත්නාවලියේ එන සුඛ සාමණේර වස්තුවේ කොටසකි. එය මා උපුටා ගන්නේ පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමිපාදයන්වහන්සේ විසින් සංස්කරණය කොට පළ කළා වූ සද්ධර්මරත්නාවලී ග්‍රන්ථයෙනි.


130. සුඛ සාමණේර වස්තුව


තව ද කුසලයෙහි ම අනුසස් දක්වනු සඳහා සුඛ සාමණේර වස්තුව කියමු.


කෙසේ ද යත්-


යට ගිය දවස බරණැස සිටාණන් ගේ ගන්ධක කුමාරයො ය' යි පුතණු කෙණෙක් ඇත. රජ්ජුරුවෝ උන්ගේ පියාණන් මළ කල උන් ගෙන්වා ලා ශොක තුනී වන ලෙසට අස්වසා ලා ඒ කුමාරයන්ට මහ පෙරහරින් සිටු තනතුරු දුන්හ. ඌ එ වක් පටන් ගන්ධක සිටාණෝ ය'යි ප්‍රසිද්ධ වූ හ.


ඉක් බිත්තෙන් උන්ගේ භාණ්ඩාර ගෙය බලන තැනැත්තෝ වස්තු තිබෙන ගබඩාවල දොරවල් හැර ලේකම් කියවා


'ස්වාමීනි, මෙතෙක් වස්තු මුඹගේ දෙමව්පියන් සන්තක දෙය ය. මේ මේ මුතුන් මී මුතුන් ආදීන් සන්තක ය' යි වෙන වෙන ම පෑවූ ය. උයි ත් ඒ වස්තු රාශිය දැක 'කුමක් ද? ඒ අපගේ දෙමවු පිය ආදීහු නො ගෙණ ගියෝ දැ'යි විචාළෝය. 'ස්වාමීනි, මිය පරලොව යන කල තමන් කළ කුසල් ගෙණ යත් මුත් යටත් පිරිසෙයින් කොකු මස්සක් විතරත් ගෙන යන්‍ නෝ නැතැ'යි කිවුය. ගන්ධක සිටාණෝ සිතන්නෝ 'ඌ හැම දෙන තමන් නුවණ නැති හෙයින් උපයා රැස් ‍කොට තබා ලා ගියහ. මම වැළිත් මිය පර ලොව යතත් හැර ගෙණම යෙමී 'සිතූ ය. සිතන ගමන ත දන් පින් විෂයක් නො සිතා 'මේ සියල්ල ම අනුභව කොට නිමවා පියමි. එ සේ කලට භාවිත කළ දෙයක් මෙන් කැටි ව ගෙණ ගියා හා සර ය' යි සිතූ හ.


එසේ සිතා ලා ඌ තුමූ 'නුවණින් ‍කෙරෙමි 'යි සිතු පමණක් මුත් නුනුවණින් ම මසු ලක්ෂයක් දීලා පිළීවහණ මුවා නහන කොටුවක් කැරවූහ. එ සේම මසු ලක්ෂයක් දීලා නාන්ට දෑවාණමය පෝරුවක කැරවූහ. එසේ ම මසු ලක්ෂයක් දීලා බත් කන්ට හිඳිනා පලඟක් කැරවූහ. ලක්ෂයක්ම දීලා බත් කන්ට රන් තළියක් කැරවූය. තවත ලක්ෂයක් ම දීලා හිඳ බත් කන තැන මණ්ඩපයක් කැරවූය. ලක්ෂයක්ම දීලා බත් කන කල තළිය තබන්ට මොරවයක් කැරවූය. ලක්ෂයක්ම දීලා බත් කන නියා හැම දෙනාට පෙනෙන්ට සී මැඳුරු කවුළු දොරක් කැරවූය.


මෙසේ ඒ හැමයට සත් ලක්ෂයක් වියදම් වීය. තමන්ට දාවල් බතට අංගාණි ආදි ය නිසා මසු දහසක් දෙති. රෑට බතටත් අංගාණියට හා සෙසු ත් වුව මනා දෙයට මසු දහසක් දෙති. පුර පසළොස්වකත් අව පසළොස්වකත් බත් කෑමට වියදමට මසු ලක්ෂය ලක්ෂය දෙවති. ඒ පොහෝ දවස් දෙකෙයි දී ලක්ෂයක් දී ලා නුවර සරහවා ලා 'ගන්ධක සිටාණන් බත් කන ලෙස බලන්ට හැම දෙන රැස් වුව මැනව'යි නුවර බෙර ලවති. බොහෝ දෙනත් රැස්ව බත කන ලීලා බලන්ට මැසි මත්තේ මැසි බඳිති. ගන්ධක සිටාණෝ ද නහන කොටුවේ නහන පෝරු වේ හිඳ ගෙන සුවඳ පැන් සොළොස් කළයකින් නා පියා සී මැදුරු කවුළුව හැර ලා පළඟ පිට හිඳිති. උන් ඉදිරියේ මොරවය තබා ලා ඊ මත්තේ රන් තළිය තබා ලා අගය කළ කලට ලක්ෂයක් වටනා බත බා ලති . උයි ත් නළුවන් පිරිවරා ශ්‍රී සමෘර්ධීන් යුක්තව බත් කති.


පසුව කලක දී එක් පිටිසර වැසි එකෙක් තමාට වුව මනා දෙයක් හැර ගන්නා නිසා දර පළා ආදිය ගැලෙක ලා ගෙන නුවරට අවුත් යාළුවාණ කෙණකුන්ගේ ගෙයි නවාතැන් ගත් හ. ඒ දවස් වැළිත් පසළොස්වක් දවස ය. 'ගන්ධක සිටාණන් බත් කන ලෙස් බැලුව මැනවැ'යි නුවර බෙර ලැවූය. අමුතු ව අවුත් නවාතැන හුන් පිටිසර වැසි තැනැත්තවුන්ට 'මිත්‍රයාණෙනි, ගන්ධක සිටාණන් බත් කන සැටි දුටු විරූ ඇද්දැ'යි විචාරා 'නුදුටු විරීමි'යි කී කල්හි 'තෙල බෙර ලවන්නේ ඒ බලන්ට යන්ටය. වරෝ යම්හ 'යි නුවර හිඳිනා තැනැත්‍තෝ පිටිසර වැසි තැනැත්තන් කැඳවා ගෙන ගියහ.


මේ කතාව මෙතැනින් නවත්වා එම කතාව ම "සමරීකරණය" වූ පසුව කියැවෙන අයුරු සසඳා බලන්නට සමරගේ සද්ධර්ම කතා පොතෙන් ඒ කොටස උපුටා මෙහි ලියා තබමි.


කෑම ප්‍රදර්ශනය


මේ කතාවත් බරණැස් නුවරමයි. පිය සිටුතුමා මිය ගියාම බරණැස් රජතුමා සිටු පුත්‍රයා කැඳවලා පුත්‍ර කුමාරයාට සිටු තනතුර බාර දුන්නා. පියා මිය ගිය එකට ශෝක වෙන්ඩ එපා කියලත් කිව්වා. කුමාරයා ටිකක් ශෝක වෙලා ඉවරවෙලා තනතුරේ වැඩ බාරගත්තා. නම් ප්‍රසිද්ධ කළේ ගන්ධක සිටාණෝ කියන නමෙන්. කුමාරයා තනතුරේ වැඩ බාරගත්තා.

පිය සිටුතුමා ඉන්න කාලේ පියසිටුතුමා වස්තුව දේපල ගැන විස්තර කුමාරයාට හරියට කියල දී තිබුණෙ නෑ. දැන් තමයි භාණ්ඩාගාර නිලධාරියා විස්තර කියල දෙන්නෙ. ගබඩා දොරවල් ඇර ඇර පෙන්නනවා.

ප්‍රධාන ගබඩා කාමරය: රන් රිදී බඩු මුතු මැණික් මසුරන් මළු

"මේ ඔබතුමාගේ දෙමව්පියන් සන්තක වස්තුව."

ඊළඟ ගබඩා කාමරය -රන් රිදී බඩු මුතු මැණික් මසුරන් මළු

"මේ ඔබතුමාගේ මුත්තා මිත්තණි සන්තක වස්තුව"

ඊළඟ ගබඩා කාමරය -රන් රිදී බඩු මුතු මැණික් මසුරන් මළු

"මේ ඔබතුමාගේ මී මුත්තා මී මිත්තණි සන්තක වස්තුව"

ඊළඟ ගබඩා කාමරය-රන් රිදී බඩු මුතු මැණික් මසුරන් මළු

"මේ ඊටත් ඉස්සර පරම්පරා වලින් ලැබුණ ඒවා සහ කාගෙන් ලැබුණ ඒවද කියල හරියටම කියන්ඩ බැරි එක එක විදිවලින් ලැබුණ වස්තුව‍."

"හොඳයි හොඳයි"

"එහෙමයි"

"දෙම්වපියො අත්තල මුත්තල කවුරුවත් යන‍කොට මොනවවත් අරගෙන ගියේ නැද්ද? නැත්තන් මේ ඉතුරු හරිය ද?"

"යනකොට කුසල් අකුසල් විතරයි නෙ අරගෙන යන්නෙ. සෙල්ලම් මසුරමක් විතර දෙයක්වත් ගෙනියන්නේ නෑ."

"මිනිස්සු හම්බ කරල එකතු කරල තියල යනව. මෝඩ වැඩක් නේ ද? මට නම් එහෙම කරන්න අදහසක් නෑ. මම යනකොට ගෙනියනවා. මම මේව සියල්ලම පරිබෝජනය කරනවා. එතකොට ඒවා මා ඇතුළෙ. එතකොට අරගෙන යනව වගේම තමයි."

මෝඩකමක් කරනකොට තමාගේම මෝඩකමින් ඒක කරන්නට ඕනෑ. සිටුවරයා තමාගේ නුවණින්, ඒ කියන්නේ තමාගේ නුනුවණින් වැඩ කරන්ඩ පටන් ගත්තා.

"නාන කොටුවක් හදන්න ඕනැ. පොළවට බිත්තිවලට කිරිගරුඩ ගල් අල්ලන්ඩ. ලක්ෂයක් ගියත් කමක් නෑ."

"එහෙමයි"

"නාන ඔරුවක් හදවන්ඩ. තනිකර හඳුන් ලී වලින්. ලක්ෂයක් ගියත් කමක් නෑ."

"එහෙමයි"

"කෑම කනකොට ඉඳගන්ඩ අලුත් කුරුබංකුවක් හදවන්ඩ.රත්තරන් වලින්. ලක්ෂයක් ගියත් කමක් නෑ."

"එහෙමයි"

"මට අළුත් කෑම කන තැටියක් හදවන්ඩ. දන්නව නේ. රත්තරන් වලින්. ලක්ෂයක් ගියත් කමක් නෑ."

"එහෙමයි"

"කෑම කන තැටිය තියන්ඩ කුරුමේසයකුත් හදවන්ඩ.රත්තරන් වලින්.ලක්ෂයක් ගියත් කමක් නෑ."

"එහෙමයි"

"කෑම කන තැන මණ්ඩපයක් හදවන්ඩ.නාටිකාංගනාවන්ට නටන්ඩ ඉඩ තියෙන්ඩත් එක්ක.ලක්ෂයක් ගියත් කමක් නෑ."

"එහෙමයි"

"අනිත් එක කෑම කන තැන මණ්ඩපෙත් එක්ක වීදියට පෙනෙන්ඩ ලොකු ආරුක්කු ජනේලයක් දම්මවන්ඩ. ලක්ෂයක් ගියත් කමක් නෑ."

"එහෙමයි"

"ඔක්කොම හරි ද එතකොට ? වැඩ හතයි. ලක්ෂ හතක් ගියත් කමක් නෑ."

"එහෙමයි. මම ලියා ගත්තා. ලක්ෂ හතක් ගියත් කමක් නෑ."

කෑම වියදම: සාමාන්‍ය දිනවල දවල් කෑමට බඩුවලට සහ වෙනත් වියදම්- මසුරන් දාහයි. රෑ කෑමට බඩුවලට සහ වෙනත් වියදම් -මසුරන් දාහයි. පසළොස්වක සහ අමාවක දිනවල දවල් කෑමට බඩුවලට සහ වෙනත් වියදම් -මසුරන් ලක්ෂයයි. රෑ කෑමට බඩුවලට සහ වෙනත් වියදම්- මසුරන් ලක්ෂයයි. ඒ දින දෙක විශේෂයි. වෙනත් වියදම් යටතේ වීදිය සැරසීම් කටයුතු සහ ප්‍රචාරක කටයුතු ඇතුළත්. ප්‍රචාරය කෙරෙන්නේ අණබෙර කරුවන් මඟින්.

ප්‍රචාරක පාඨය: 'ගන්ධක සිටාණන් බත් කන ලෙස බලන්නට හැම දෙන රැස්වුව මැනව.'

මිනිස්සු රැස්වෙනවා. *බත් කන ලෙස බලන්නට*. සෙනඟ වැඩි නිසා මැසි පිට මැසි ගහල ඒව උඩට නැගල බලනවා. මේ බත් කන වෙලාවට නාටිකාංගනාවො ගායන වාදන කරමින් නටනවා. සිටුතුමා මැද. නාටිකාංගනාවො වටේට අර්ධ කවාකාරව. ඇත්තටම නම් මිනිස්සු එන්නේ නාටිකාංගනාවන්ගෙ නැටුම් බලන්න වෙන්ඩත් පුලුවන්. බොහොම ශෘංගාර නැටුම්. ශාස්ත්‍රීය නැටුම් කියල කියන්ඩ බෑ. කොහොම වුණත් මිනිස්සු එනව *සිටුතුමා බත් කන ලීලාව බලන්නට*.

සිටුතුමා ලක්ෂයක් වටින නාන කොටුව ඇතුළෙ ලක්ෂයක් වටිනා නාන ඔරුවේ ඉඳගෙන සුවඳ පැන් කල දාසයක් නාගන්නවා. තෙත මාත්තු කරගෙන වටිනා සළුපිලි ඇඳගෙන ලක්ෂයක් වටිනා ලොකු ජනේලෙ ළඟ ලක්ෂයක් වටිනා ආසනේ උඩ එරමිණිය ගොතාගෙන ඉඳගන්නවා. ලක්ෂයක් වටිනා මිටි මේසෙ උඩ ලක්ෂයක් වටිනා රන් පළඟාන තියාගෙන ලක්ෂයක් වටිනා බත අනුභව කරනවා. බලන්ඩ වටින දෙයක්. පසුබිමේ නාටිකාංගනාවො ගයන වයන නටන සංදර්ශනයක්. ඒකත් බලාගන්න වටින දෙයක්.

සියලු දේ එකතු කළාම ශ්‍රී සමෘද්ධිමත් ලෙස බත් කෑමක්.

ශ්‍රී සමෘද්ධිමත් ලෙස බත් කෑම කිසිම ආපදාවක් නැතිව කාලයක් තිස්සේ පැවතුණා.

එක දවසක පිටිසර කෙනෙක් තමාට උවමණා දේවල් කීපයක් ගන්න නගරයට ආවා. දර පලාකොළ ආදිය කරත්තෙක පටවාගෙන. ඇවිත් නගරයේ යාළුවෙකුගෙ ගෙදර නතර වුණා. එදා පසළොස්වක දවසක්.

ගන්ධක සිටාණන් බත් කන ලෙස බලන්නට හැම දෙන රැස්වුව මැනව

"මොකක් ද ඒ බෙරේ?"

"දැකල තියෙනවද ගන්ධක සිටාණන් බත් කන ප්‍රදර්ශනය?"

"බත් කන ප්‍රදර්ශනය? නෑ දැකල නෑ."

"අහල තියෙනව ද?"

"අහලත් නෑ."

"නෑසූ විරූ නුදුටු විරූ දෙයක් නේද? යමු මම පෙන්නන්නම්."

සෙනඟ පිරිල. පිටිසර කෙනාට නිකං පිස්සු වගේ. නැටුම්වලට කෙසේ වෙතත් කෑමවලට.

"මට ඒකෙන් එක බත් කටක් කන්න ඇත්නම්!"

අපි කතා උපුටනය එතනින් නතර කරන්නේ කලින් ලියැවුනු කොටස මේ සමර අතින් ප්‍රතිලිඛිත කොටස හා සසඳා බලා ගන්නට ඇවැසි ප්‍රමාණය ටය. පාඨකයා වෙත දැනටම ඒ ආඛ්‍යාන දෙකෙහි වෙනස වැටහී ඇතිවා පමණක් නොව සමර ලියා ඇති ආකාරයෙන් කියවා ගෙන යද්දී මේවා බුදුන් දවස සිදු වූ සිද්ධි යැයි අමතක වී, දැනුදු රජවාසලේ සිදුවන ඇතැම් දේ හා මොනවට ඕවර්ලැප් වී සම්පිණ්ඩනය වී තියේ දැයි දැනෙන්නට ද පටන් ගනී. ඒ සද්ධර්ම කතා නවීන ක්‍රමයට කීමෙ අතුරුඵල යැයි කිව හැකිය. විවාදාසම්පන්නය.

මෙයාකාර සරල සුගම අවස්ථාවෝචිත කලානුරූපි බස්වහර ගැන තවත් කුමට වැණුම් ද ? අපි තවත් කාරණා ඔස්සේ මේ සමර ගත් මග වටහා ගන්නට උත්සාහ කරමු.

මාර්ටින් වික්‍රමසිංහ විසින් විරචිත සිංහල විචාර මඟ කෘතියේ දසවැනි පරිච්ඡේදය ඇරඹෙන්නේ මෙයාකාරයෙනි.

බුදුන් වහන්සේ තමන් සොයාගත් චතුරාර්ය සත්‍යය දෙසීමට කුලීනයන් හා බමුණන් විසින් සම්භාවිත සාහිත්යික භාෂාවක් වූ සංස්කෘතය උපයෝගී කොට නොගත්හ. උන්වහන්සේ තමන්ගේ ධර්මය දේශනා කෙළේ ප්‍රාකෘත භාෂාවෙනි. එය ගොපල්ලන් ගොවියන් දාසයන් වෙළෙන්දන් ශිල්පීන් හා පහත් කුලවල ජනයා ද භාවිත කළ පොදු බසකි.

මේ ආකාරයටම සමර විසින්ද සමර්ථනය කොට ඇත්තේ එබඳුම ජනතාවාදී උත්සහයක් බැව් මෙහි සඳහන් කළ යුත්තේමැයි මට සිතේ. මන්ද යත් දඹදෙණි යුගයේ ලියැවුන සද්ධර්මරත්නාවලියේ සිංහල භාෂාව අද ව්‍යවහාරික සිංහලය හා සසඳද්දී , එය සංස්කෘත තරම්ම නොවූවත් අදට වඩා බොහෝ දුරකින් එහි සින්ටැක්ස්- සිමැන්ටික්ස් සහ ප්‍රැග්මැටික්ස් ස්ථානගත වී ඇතැයි සිතේ. එනයින් අද වහරන අයුරින්ම පතුලටම ගිය එෆ්එම් නාලිකා භාෂා දුශීලත්වයටම නොපැවැත් වුවද, මේ සද්ධර්ම කතා ලියැවෙන සුමට සිංහල වහර නම් අතිශය සුකොමලය. වටහා ගැන්ම පහසුයැ. කියැවීමේ රසය උපදවයි.

අනෙක් අතට සද්ධර්මරත්නාවලිය වැනි අපගේ සිංහල බෞද්ධ ඓතිහාසික සාහිත්‍යය අද දවසේ නැවත කියවීමේ වැදගත් කම ද වටහා ගැන්මට කිසියම් සකාරණාවන් කීපයක් සොයා බැලිය යුත්තේමයැ. මූලික වශයෙන් ම සිංහල බෞද්ධ සාහිත්‍යය යථාර්ථවත් රීතියෙන් ගොඩ නැගුනකැයි සිංහල විචාර මඟ ලියා පළ කළ මාර්ටින් වික්‍රමසිංහ ශූරින් දක්වා ඇති අතර, එය එසේමැ'යි යන ස්ථිරත්වය ද ගුණදාස අමරසේකර විද්වතුන් විසින් සිය නොසෙවුනා කැඩපත නම් වූ සිංහල නවකතාවේ පරිහාණිය විවරණය කරනා විචාරක ග්‍රන්ථයේද සඳහන් කොට ඇත්තේයැ. මෙනයින් සිංහල සාහිත්‍යය නම් වූ ක්ෂේත්‍රය තුළ වත්මනේ පවතින කඩාවැටීමේ මොහොත කිසියම් අලුත්වැඩියාවක් උදෙසා මෙවන් පඩිවරු දක්වා ඇති අදහස් ඔස්සේ සිතුවිලි මෙහෙය වන්නට තරුණ පරපුර කිසියම් උත්සහයකට කැඳවන්නට මෙබඳු සාහිත්‍ය කර්මාන්ත හේතු වන්නේ යැයි ද මට සිතේ.

ඉන්ද්‍රජාලික යථාර්ථවාදය [Magical Realism] නම් වූ වත්මන් තරුණ ‍කොටස් දැඩිලෙස ආකර්ෂණව ඇති සාහිත්‍ය ප්‍රවණතාවේ ද නැවුම් බව අත්දකින අයවළුන් විසින් මගහැරී ඇත්තේ ද, ඒ සාහිත්‍ය ෂානරය සිංහල බෞද්ධ සාහිත්‍ය තුළ නිරූපිත බැව් වටහා නොගන්නා තතු යටතේ යැයිද, වරෙක තිස්ස අබේසේකර පුවත්පත් සාකච්ඡාවක සඳහන් කර තිබුණි. මේ ඒ ඉන්ද්‍රජාලික යථාර්ථවාදයට හසුවන සද්ධර්මරත්නාවලියේ බොහෝ කතන්දර සිංහල පාඨක ලෝකයට සරල බසින් නොපැමිණීමේ හේතුව නිසාවෙන් එය බටහිර නිර්මිතයකැයි- හටගත්තකැයි කීමට ද එදිරිව යම් ආකාරයක අවධානය ඉල්ලීමක් සමරගේ මෙම කුඩා ප්‍රයත්නය වරෙක අප ඇසට ඇණ පෙන්වයි. එබඳු කතා කීපයක් නම් "හතරවෙනි දොරටුවේ වාසය කරන දේවතාවිය-හාමුදුරුවන් පිටුපසින් යන ගැහැනු රූපය-ශක්‍ර දෙවියන්ගෙ කතාව-ශක්‍ර‍ දෙවියන්ගේ දානය -අවුරුදු ගණනක් දිග පැය කීපය" වැනි කතාංග ඉස්මතු කර දැක්විය හැකිය.


 සමර විජේසිංහ
 බොහෝ ලේඛකයන් පැරණි සාහිත්‍යාංග නූතන බසින් සරල සුගම කොට දක්වන්නට උත්සාහ කළ ද ඒවා එතරම් සාර්ථක වුයේ දැයි නැවතත් විචාරා බැලීම සුදුසු වන්නේ නූතන ලේඛක ව්‍යාපාරය තුළ විශේෂයෙන් වර්තමාන නවකතාකරණය තුළ එම ස්වදේශීයත්වය හෝ සිංහල බෞද්ධ ලකුණු අනුගත වීම් නූතන සන්දර්භයන් අභිමුව කොදෙව් ලක්ෂණ හෝ ලිංමැඩි න්‍යායාත්මක ලෙස ලඝුව, නිශේධව, ඩස්බින් වීම නිසා යැයි මට සිතේ. සුනේත්‍රා රාජකරුණානායක විසින් රචිත බුද්ධදාසි ද එක්තරා ඓතිහාසික නවකතාවක් වන අතර , එය දීර්ඝ කාලයක් තිස්සේ කරනා ලද්දා වූ භාෂාත්මක සහ සංස්කෘතියික අධ්‍යයනයක පසු-ප්‍රතිඵලය බැව් එහි සඳහන් වුව ද, ඒවා කතා වශයෙන් ගත් කළ භාෂාත්මක නොස්ටැල්ජික කිතිකැවීම් හැරුණු කළ දුර්වල බැව් මැදහත්ව සිතන කල වැටහේ. සිංහල බෞද්ධත්වය පෙර නොවූ කිසි ‍කලෙකටත් වඩා නොයෙකුත් ව්‍යසනයන් හේතුවෙන් විශේෂයෙන් සිංහල ජාතිවාදී එළඹුම් නිසාවෙන් විපරිතව එහි සැබෑ බෞද්ධ අක්මුල් සිඳෙමින්, මරණාසන්නව පවතින යථාවක් යටතේ, හිස නැගෙන නූතන කතිකාවන් විසින් ගොඩනඟමින් පවතින සෞන්දර්ය කලා වාදයන් විසින් නිර්මිත අලුත් මිනිස් ප්‍රජාව ගැන මෙබඳු කෙටිසටහනකින් ඇමතිය නොහැකි තරමට ව්‍යාකූලය. කෙසේ වුවද අධ්‍යතන යුගයේ සාහිත්‍යකරුවකු වන ටෙනිසන් පෙරේරා, ඉන්ද්‍රජාලික යථාර්ථවාදය කිසියම් යථාර්ථවාදයක් සහ අධියථාර්ථවාදයක් අතරමැද දෝලනය කරවමින් සිය සාහිත්‍ය රචනාකරණයේ යෙදෙන බැව් පෙනෙන්නට තිබීම යම් සතුටකි. එනමුත් ළඟක දී ලියැවුනු භාවාන්තරය හුදෙක් මහ විශාල නවකතා පොතකට උචිත මහ විශාල සාහිත්‍ය රසයකින් නොපිරීම තැති ගැන්මක් ඇති කරයි. ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුමට මේ අවස්ථාවක් නොවේ. කෙසේ වුවද සමරගේ මෙම උත්සහය කාලෝචිතය. මේ වෑයම පුරාණ ගද්‍ය නූතන සන්දර්භයට යා කරන පාළමක් වැනිය. නොසෙවුනා කැඩපත යළි දැක බලා ගන්නට විවෘත වන අහස් එලියකි. තව තවත් සද්ධර්ම කතා පොත් ලියැවේවා යි ප්‍රාර්ථනා කරමින් මේ කෙටි සටහන සමාප්ත කරමි.

2 කුළිය:

Sihina Ekathukarannek said...

අගෙයි,,,,,,,,,,,,,, බොහොම අගෙයි .

Sujeewa Kokawala said...

goood critic. looks like great work by samara