Tuesday, November 30, 2010

ජීවිතය සුන්දරය! -පියන්කාරගේ බන්දුල ජයවීර

ජීවිතය සුන්දරය!


ඔබ වාගෙමයි මමත්
යන්නේ බෝ බැති සිතින්
ඔබ රජමහා වෙහෙරට
මම සැඳෑ අවන්හලට!

දවසක් පුරා
දාහයෙන් තැවුණු ගත
දොවා සිහිලැල් දියෙන්
සන්සුන් වූ සිතින්

ඔබ වගේමයි මමත්
සිත පිරුණු ප්‍රීතියෙන්
ඇවිද යන්නේ හෙමින්
ඔබ රජමහා වෙහෙරට
මම සැඳෑ අවන්හලට!

තබන්නී ඔබ පුදසුනේ
මල් පහන් හඳුන්කූරු
සීරුවෙන් බැති සිතින්

තබයි වේටර පැමිණ
මධුවිත කටගැස්ම
සීරුමාරුවට
මගේ මේසය මත

සෑ රදුන් - බෝ රදුන්
බුදු රදුන් - දෙව් රදුන්!
පුදන්නී ඔබ
මල් පහන් සුවඳ දුමින්
සිහින් ස්වරයෙන්
ගාථා මුමුණමින්

සිහින් සත්සර රාව
අවන්හල පුරා යයි
මධු විතින් සිත මුදුව
දුක ඈත පාව යයි‍

ජීවිතය මධුවිතකි
එක හුස්මට බී
අහවර නොකළ යුතු
හෙටත් මෙහි ආ යුතු!

වැඳ පුදා අවසන
භාවනාවෙහි ගිලී ඔබ
ලොව සියල් සත්වයින්
නිදුක් වෙනු පතන්නී
කළ සියලු පින් මටත්!
අනුමෝදන් කරන්නී

රෑ බෝවෙනු පෙර
තබා අදට "මතට තිත!"
පියවි සිහියෙන්
කෙළින් කටින්
ගෙදර එමි

බොහෝ පින් රැස් කර
සිත නිවා සනහාන
මගේ පින්බර සොඳුර
මට කලින් ගෙට පැමිණ
බලා ඉන්නී
මා එන පෙරමග!

මා සොඳුර පින්බරය!
ජීවිතය සුන්දරය!


පියන්කාරගේ බන්දුල ජයවීර


මේ කවියේ අපූර්වත්වය වන්නේ එකිනෙක පරස්පර පුරුෂාර්ථ යුගලයක් එකිනෙක මත සමපාත කර දකින්න ට කවියා දරා ඇති උත්සාහය යි. මෙම එකිනෙක පරස්පර වෘත දෙක මධුපානය සහ ආගමික ශ්‍රද්ධාව යන යුගලයයි. මෙම ශ්‍රද්ධාව යනුම සෑ රදුන් - බෝ රදුන්, බුදු රදුන් - දෙව් රදුන් යනාදී ලෙස බෞද්ධ ශ්‍රද්ධාවේ සංකේතීය අවයව කෙරෙහි පවත්වන භක්තිමත් අභිනන්දනය යි. වෙහෙර බෝගස බුදු පිළිමය සහ දේව ප්‍රතිමා යනාදී දේ පිළිවෙලින් වැඳ පුදා ගන්නා සිය භාර්යාවගේ බැති සිත මෙන්ම තමන් ද සැඳෑ අවන්හලේ මියුරු සංගීතය ,කටගැස්ම, මන්දාලෝකය, කෙලි කවට සිනා බස් යනාදී දේ ද සමගින් බොහෝ ශාන්ත සිතින් මධුවිතින් සප්පායම් වී ජීවිතයේ කම්කටොළු සිඳ බිඳ දමා බිරිඳ කෙරෙහි සර්ධා සිතින් නිවස්න වෙත එන බැව් කවියේ මතුපිට අරුතයි. අනෙක් අතට කවියේ යටිපෙළ අරුත් ගන්වන්නේ මේ සමාජයේ න්‍යෂ්ටික පවුල නමැති ඒකකය දරා සිටිනා මව, පියා සහ දරුවා යන පුද්ගල බැඳීම් තුළ පවතින එකිනෙක පරස්පර අධ්‍යාත්මයන් සමාජය තුළ ශාන්තභාවය උපයා ගනු පිණිස දරන ශ්‍රමයේ විකාරරූපී ස්වභාවයයි.

මෙම කවිය තුළ ගම්‍යමාන වන සංස්කෘතික ගැටුම වටහා ගන්නට තැත් කරද්දී මා හට ප්‍රතිමාර්ක්ස්වාදී අදහස් දැරූ හර්බට් රීඩ් නම් වූ බ්‍රිතාන්‍ය ජාතික අරාජිකවාදියා මතක් වෙයි. ඔහු මාර්ක්ස්වාදී ලෝක දෘෂ්ටිය පිළිබඳ උග්‍ර විවේචනාත්මක මතවාද දැරූවෙකු ලෙස ප්‍රසිද්ධය. ඔහුගේ ටු හෙල් විත් කල්චර් [To Hell with Culture;Herbert Read- සංස්කෘතිය යකාට පල] නම් වූ විචාර කෘතියේ දෙවන ලිපිය වෙන් වන්නේ එනමින්ම වූ ප්‍රජාතාන්ත්‍රික සමාජය තුළ සංස්කෘතිය එහි නිර්මාණකරුවන් වෙත බලපාන අයුරු විශ්ලේෂණය කරන්නටය.


"අතීත සංස්කෘතියේ ප්‍රබල චරිතවල විශ්වීය වටිනාකමින් වූ නිර්මාණ අපට පරිශීලනය කරන්නට ලැබෙන හේතුවෙන් විශ්වීයත්වයට පත් වූ ඊසිකීලස් , දාන්තේ සහ ෂේක්ස්පියර් යන ඔව්හු එම ගෞරවයේ අසම්පූර්ණ හෝ අවිධිමත් ලෙස හෝ උරුමකරුවන් වෙති. ඊසිකීලස්, දාන්තේ සහ ෂේක්ස්පියර් යන ඔව්හු අමරණීය වෙති. එනමුත් ඔවුන් ගේ නිර්මාණ විසින් ආමන්ත්‍රණය ලද්දේ කඩතොළු සහගත අවිධිමත් අසංවිධානාත්මක සමාජයන් ය. සදාචාරාත්මක කෲරත්වයෙන් යුත් සමාජයන් ටය. සමාජීයව සාපරාධි සහ මුරණ්ඩු මිථ්‍යාදෘෂ්ටික සමාජයන්ටය. ඔවුන්ගේ අදහස් සහ නිර්මාණ එම සමාජයේ පොදු මිනිසාට සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවමය රුධිරයට දැනුනේ ඒවායේ ගර්වයට‍ සහ ප්‍රතාපවත්බවට විරුද්ධව විෂ පොවන ලද විෂම අදහස් වශයෙනි. ඔවුන්ගේ අදහස් වෙනුවෙන් සිටි ප්‍රේක්ෂාගාරය අතිශය ස්වල්ප පමණකට සීමා කළ ද ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට ඔවුහු නොපැකිල ඉදරිපත් වූහ."
-උපුටනය සහ පරිවර්තනය කතෘ විසිනි

මේ අදහස් සමගින් මේ කවියේ පුළුල් අරුත සමාජගත කරවීම උදෙසා කවිත්වය විසින් ඇණවුම් කර ඇති එකිනෙක ව්‍යුහාත්මකව පරස්පර එනමුත් විකාරමය අදහස් ජාලය පවත්නා සමාජ සංස්ථා තියුණු ලෙස ප්‍රශ්න කරයි. බන්දුල විසින් ද කරමින් සිටින්නේ කෲර සමාජයක් වෙත එහි නිසරු වෘතයන් කවි බවට පත්කර දමා ගැසීමයි. ‍මේ කවි විසින් සොලවා ලනු ඇත්තේ හුදෙක් සමාජ මිථ්‍යාවන් පමණක් නොව ඒවා රඳවා පෝෂණය කරන දේශපාලනික සමාජ අවකාශය යි.


වත්මන් ආර්ථික රටාව තුළ එදිනෙදා ජීවත්වීම අරභයා මිනිසුන් වගුරන ශ්‍රමය ඔවුන්ගේ සීමාවන් අතික්‍රමණය කරමින් ප්‍රමාණයෙන් විශාල වන්නට වූයෙන් සැම අයෙකුම තමන් තවමත් උපයා නැති ඉමහත් ධනස්කන්ධයක් වෙනුවෙන් තම අනාගත ඉපයීම් ද සන්තක කර ඇති තත්වය අතිශය තීරණාත්මකය. මෙබඳු සමාජයක් පවතින්නේ ලොවේ අන් තැනක මිනිසුන් තම ශ්‍රමය වගුරා උපයන ලද මුදල් ණය ලෙස ලබා ගෙන බැවින් අප සියල්ලන් කොතරම් ඉපයීම් කළ ද ආර්ථික ව්‍යූහයේ මර්මස්ථානවල රුධිරය ලෙස ගලා යන්නේ නම් අන්‍ය මානව ප්‍රජාවන් විසින් සිය ශ්‍ර‍මයෙන් උපයා ගත් ධනය නිර්ලජ්ජිත ලෙස පොම්ප කිරීමෙනි. මෙබඳු ආර්ථික ක්‍රියාවලියකට නතුව ඇති තතු යටතේ කිසිවෙකු හෝ තම ශ්‍රමයට නිසඟ ආත්මීය වටිනාකම නොලබයි. මිනිසුන් මරණයේ ජීවිතයේ වෙනස නොදැකම ජීවත් වෙයි. එනයින්ම ඔවුහු තම ආත්මීය හිස්බව පුරවා ගනු පිණිස මිථ්‍යා දෙසට හැරෙයි. ඉන් ප්‍රභලම ආසක්ත ස්ථානය වන්නේ ආගමයි. ඊට‍ නොදෙවෙනි ලෙස මායාකාරී සිහින ලෝක කරා හෝ මතිභ්‍රම වෙත ඇදී යාම වෙනුවෙන් කෘත්‍රිම ලෙස හැලුසිනේට් වීම තෝරා ගැනීමට නොපැකිලේ. මේ බැව් මධ්‍යසාර පරිභෝජනයේ දත්ත සංඛ්‍යා ලේඛන පරීක්ෂාවෙන් බැලීමට හැකි වුවද එය සුප්‍රසිද්ධ කාරණාවකි. ශ්‍රී ලංකාවේ මධ්‍යසාර ඒක පුද්ගල පරිභෝජන ඒකක ප්‍රමාණය අග්නිදිග ආසියාවේ වැඩිම ඉලක්කම බැව් කලකට පෙර සමීක්ෂණ සහ වාර්තා විසින් පිළිගෙන තිබුණි. මෙනයින් මෙබඳු සමාජ තුළ පවතින ආර්ථික ආතතිය යම් ආකාරයකට සංසිඳවා ගැනීමට පොදු මිනිසා යොමු වන්නේ අරක්කු දෙසට නම් පොදු ගැහැණිය තල්ලු වන්නේ ආගමික වෘත දෙසට බැව් උපකල්පනය කළ හැකිය. මෙය ද සාදෘශ්‍ය වශයෙන් සත්‍ය වන්නේ ලංකාවේ බහුතරයක් ස්ත්‍රී පක්ෂය තුළ ආගමික නැඹුරුව පිළිබඳ සාර්ථක ඇගයීමක් ලබා ගැනීමට උපකාරී වන්නේ ලංකාවේ ඡන්ද පදනම තුළ යම් යම් කොට්ඨාශ තුළ ස්ත්‍රී නියෝජනය වැඩියෙන් ආගමික පක්ෂවලට ඡන්දය දීමේ ප්‍රවණතා දැකීමෙනි. මේ පිළිබඳ කදිම විග්‍රහයක් කළකට පෙර මහරගම සහ තදාසන්න පෙදෙස්වලින් ඡන්ද ව්‍යාපාරයට පිලිපන් ජාතික හෙළ උරුමය වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය ලැබීම පිළිබඳ කළ වි‍ශ්ලේෂණයක් සාක්ෂි සපයයි. [එම විග්‍රහයේ මුලාශ්‍ර කතෘට මතක නැත. නමුත් එය පෙරටුගාමී පක්ෂයේ ප්‍රකාශනයක් බැව් මතකය.]  මෙනයින් මධ්‍යම පාංතික සමාජයේ පොදු ගති ලක්ෂණ දෙකක් මේ කවිය තුළින් විකාරමය ලෙස දැක්වීමේ දේශපාලනික කියැවීම සංකීර්ණය.

අනෙක් අතට රෝලන්ඩ් බාත්ස් ගේ මිතෝලොජීස් [Mythologies]පොතේ එන වයින් සහ කිරි [Wine and Milk] නම් වූ විචාර ලිපියේ ආකාරයට ම ප්‍රතිවිරුද්ධ ගති ගුණ සහිත වන අදහස් යුවලක් මේ කවිය තුළින් ඒකාබද්ධ වීම නැවත කියවිය හැකිය.

මත්පැන් පොදකින් දිවි දාහය නිවා ගන්නා මිනිසෙකු තම ආගමට ශ්‍රද්ධාවන්ත බිරිය හමුවට මද පමණින් සප්පායම් වී එදාට අදාළව මතට තිත තැබුම මේ සමස්ත සමාජ ව්‍යුහයේම වර්තමාන දේශපාලනික තතු විදහා දක්වන්නට ප්‍රමාණවත්ය.

වර්තමානයේ වරදත් නිවරදත් අවස්ථවෝචිතව සිය හැඩරුව වර්ණය වෙනස් කරගන්නා ගතිකය දැන් දැන් සමාජයේ තීරණාත්මක සාධකය බැව් සියුම්ව පරීක්ෂා කරද්දී වටහා ගත හැකිය. මේ සමාජය එතරම්ම අමානුෂිකය. කෲරය. සියල්ලෝ වැරදි කරමින් එහි ප්‍රමාණවත් බැව් නඩත්තු කරමින් සිටිනු හැර කරන්නට දෙයක් යෝජනා නොවීම ගැන සංකල්පනා නො උපදවති.

4 කුළිය:

මුචලින්ද said...

maru!

ඉලංදාරියා said...

නියම පොස්ට් එකක්.. ජ්ය ඔබට

මන්දාකිණි said...

අති විශිෂ්ටයි

ඩෝසන් said...

ලිපිය කියවා ප්‍රතිචාර දැක්වූ සැමට ස්තුතියි.

විශේෂයෙන් බන්දුල පියන්කාරගේ විසින් එවන ලද ඊමේලයේ සඳහන් වූ ආකාරයට ඔහුගේ මතු නිර්මාණ කෙරෙහි සාධනීය ලෙස මෙම ලියැවිලි බලපාන්නේ ය යන කාරණය කෙරෙහි මම සතුටු වෙමි.