සදාකාලික කන්‍යාව-සුභද්‍රා ජයසුන්දර

සදාකාලික කන්‍යාව

ගඟනත පලා වැසි වසිද්දී
නුවණත පුරා ප්‍රේමය දරා
හඬන්නී ඈ උමතුවෙන්
යදින්නී ප්‍රේමයේ පහසක්
සදාකාලික කන්‍යාව ඈ
එකම හදකට පෙම් කෙරූ

දිදී දස වද සරා සඳ විත්
ගෙතෙන විට වරලේ එතූ
කඩා මුහුලස අවුල් කර කෙස්
අසන්නී කුමකටද රූ

වෙලී නම් ලැම පිපි පියුම් මැද
පැතූ සුසුමක නුරා පෙම් පොද
නොවේ මේ රැය පෙමක දුක් කඳ
අසන්නී කුමකටද හදවත

රොන් සුණු පුරා හද මල් අරා
මල් පොදි පිටින් නෙලමින් පුදා
පරවී මියෙන යුරු බල බලා
වලප්නී, බල මල්සරා

ලවනත පුරා වැසි වැටෙද්දී
නුවණත පුරා සිහිනය දැරූ
සදාකාලික කන්‍යාව ඈ
නුඹට පමණක් පෙම් කෙරූ

සුභද්‍රා ජයසුන්දර
2010 නොවැම්බර්

මෙම කවියේ අන්තර්ගත හැඟවුම ලිහා ගැනුමට අපි ලැකානියානු මනෝවිශ්ලේෂණ න්‍යාය මදකට ව්‍යවහාරයට ගනිමු.

මෙම කොටස උපුටා ගන්නේ රවුට්ලිජ් ක්‍රිටිකල් තින්කර්ස් [Jacques Lacan-Routledge Critical Thinkers ]පොතේ 53 වැනි පිටුවෙනි. පරිවර්තනය ම විසිනි.

"දෙදෙනකුගේ සම්බන්ධය හෝ විවාහය යනුම ඒ‍ දෙදෙනාගේ කැමැත්ත සහ ආශාව පමණක් නොවන තවත් සමස්ත සම්බන්ධතා ගොඩනැගූ මිත්‍ර සමාජයේම සහ ඥාති සමූහයාගේ මෙන්ම ආයතනික සම්බන්ධතා ජාලයේම දිගුවක් බැව් ලැකාන් පවසයි. එනිසා පෞද්ගලික සම්බන්ධතා යනුම ගැහැණු සහ පිරිමි අතර ගොඩනැගෙන සමා‍ජයේ සංකේතීය පරිපථයේම පිහිටුම් ලෙස නිර්මාණය වෙයි. එම නිසා ලැකාන් ට අනුව සම්බන්ධතා තුළට පිවිසෙන යථාමය මිනිසුන් මෙන්ම එම සම්බන්ධතා සංවිධානය කරනු ලබන සංකේතීය ව්‍යුහයන් එකිනෙකින් වෙන් කර ගැනීමට සිදු වන්නේය. අපගේ සමාජ නියාමකයන් තුළ සංකේතීය සහ අවිඥානික සම්බන්ධතා තීරණය කරන ප්‍රමූලික ව්‍යුහය වන්නේ ඊඩිපස් සංකීර්ණය යි. වඩාත් නිවැරදිව කිවහොත් ඊඩිපස් සංකීර්ණය විසින් ඉදිරිපත් කරනු ලබන්නේ පරිකල්පනීය තලය තුළ මව සහ දරුවා අතර ද්විමය සම්බන්ධතාවය බිඳ හෙලන ත්‍රිකෝණික ව්‍යුහාත්මක සම්බන්ධතාවයක් ගොඩ නගන ව්‍යුහයක් ලෙස මතු වීමයි. වැඩි දුරටත් අපට පෙනෙන පරිදි පරිකල්පනීය තලය ද්විප්‍රකාර ව්‍යුහයක් වශයෙන් සරලමතිකයක් නොවන අතර නිරන්තරයෙන්ම තුන්වැනි පාර්ශවයක් කරා නතු වෙයි. දරුවාගේ ප්‍රමූල අවධියේ අත්දැකීම් සමස්තය තුළ සර්වප්‍රකාර ලෙසම මවට ඇති බැඳීම දරුවාගේ පැවැත්මේ මූලික දේ සඳහා එනම් ආහාර සැපයීම රැක බලා ගැනීම සහ පෝෂණය කිරීම යනාදී ව‍ශයෙන් වේ. ඊට සමාන්තරව දරුවාගේ ප්‍රහේලිකාමය ලෝකය තුළ වැඩෙන අනිත් ගැටළුව වන්නේ මවගේ ආශාව පිළිබඳවයි. මම අනෙකා ගේ ආශාව තුළ පිහිටුම කුමක් ද? දරුවා මේ සඳහා ලබා ගන්නා පිළිතුර ඊඩිපස් සංකීර්ණයේ තීරණාත්මක විදාරණයක් කරා එළඹීමයි.

ඊඩිපස් සංකීර්ණය පරිකල්පනීය තලයේ සිට සංකේතීය තලය කරා සංක්‍රාන්තිය සලකුණු කරයි.‍ තුන්වැනි අංගය ලෙස පීතෘ නාමකරණය අතරමැදි වෙද්දී මව සහ දරුවා අතර ඇති අන්‍යොන්‍ය ආශාව නමැති සංවෘත පරිපථය බිඳී යද්දී දරුවා තමා යනු මවගෙන් ස්වායත්ත පැවැත්මක් ඇති අවකාශයක් බැව් වටහා ගන්නට පටන් ගනී. මෙම තුන්වැනි අංගයට ලැකාන් පවසන්නේ පීතෘ නාමකරණය ලෙස වුවද එය සැබෑ පියාගේ භූමිකාව හෝ අත්‍යාවශ්‍යයෙන්ම පිරිමියකුගේ මැදිහත් වීමක් හෝ ඇවැසි නොවන මුත් එය අනිවාර්යයෙන්ම මව සහ දරුවා අතර සංකේතීය පිහිටුමක් ලෙස මවගේ ආශාව දරුවා වටහා ගන්නා විෂයක් ලෙස පවතී. එය එමෙන්ම අපට පෙනෙන පරිදි බලාධිකාරයේ ස්ථානීය පිහිටුමක් ලෙසද සංකේතීය නීතියේ අතපෙවීමක් ලෙසද දරුවාගේ ආශාවේ තහනම ලෙස ස්ථානගත වේ. ලැකාන්ට අනුව මූලික හැඟවුම්කාරකය ලෙස මේ පෙනී සිටින්නේ ෆැල්ලසය යි."

ෆැල්ලසය යනු භෞතික ශිෂ්ණය යැයි වරදවා වටහා නොගත යුතුයි. ෆැල්ලසය යනුම ඒ ඉහත දැක්වූ ක්‍රියාකාරිත්වය මෙහෙයවන සංකේතීය බලවේගයයි.

මෙනයින් ප්ලැටොනික ප්‍රේමය කරා ගැහැණියක් ගෙන එන ෆැල්ලසයේ අතරමැදි වීම මේ කවියේ ප්‍රස්තුත අනුභූතියයි.

"විරාගය" නවකතාවෙහි අරවින්ද, ‍නවකතාව තුළ ගෙන එන ප්ලැටොනික ප්‍රේමයත්, එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මළගිය ඇත්තෝ" නවකතාවෙහි දෙවොන්දරා සං ‍අත්දකින ප්ලැටොනික ප්‍රේමයත් පුරුෂ විශයෙහි ඊඩිපස් සංකීර්ණයේ ඌණ පූරක අවධිලෙස වටහා ගත හැකිය. මේ වසරේ සම්මානිත නවකතාව වන "කන්දක් සේමා" හි සුමිත්‍රා රාහුබද්ධ විකාශනය කරන්නේ ද මෙම ඊඩිපල් බැඳුමේ ම දිගුවක් මය. ලාංකීය ස්ත්‍රිය ඊඩිපස් සංකීර්ණය තුළින් මතු වන අනේක ප්‍රබේධයන් ඔස්සේ සිය සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදී සිටින්නී යැයි කීවද වරදක් නැත. මෑත කාලීන සිංහල නවකතා බහුතරයක් ලියැවී ඇත්තේ ලේඛිකාවන් අතින්ය.[කැත්ලීන් ජයවර්ධන (තඹරවිල/අග්නිචක්‍ර) සුනේත්‍රා රාජකරුණා(‍පොදු පුරුෂයා/බුද්ධදාසී) තාරකා වාසලමුදලිආරච්චි (කළු) යනාදී වශයෙන් සාහිත්‍යකරණයේ ඉදිරියෙන් සිටින්නේ ලේඛිකාවන්ය‍‍. ] ඔවුන් නවකතා‍ කලාවේ පුරෝගාමිත්වයට පැමිණ ඇත. එමෙන්ම ඔවුන්ගේ නිර්මාණ කේන්ද්‍රීය ලෙස ම‍නෝවිශ්ලේෂණාත්මක ප්‍රස්තුතයන් කෙරෙහි නැඹුරුතාවය දක්වා ඇත. බොහෝ නවකතා වල කියැවෙන්නේ ප්ලැටොනික ප්‍රේමයත් ලිංගිකාස්වාදයත් අතර ඇති ගැටුමයි. එමෙන්ම ඔවුන් අතින් ලියැවෙන්නේ ද ෆැලික මෙහෙයුම් මය.

මේ විග්‍රහයේ දී කවිය හරහා වුව ද තවමත් ලියලන්නේ මෙම ගැටුම ම වීම නිසාවෙන් සුබද්‍රාද ඔවුනතර වේ.

Comments

හෂිත said…
බකට් හැරී අයියා, මෙව්වාට කුළි ගෙවන්න අපිට මේ මුලු ආත්මෙම හම්බු කරන්න වෙයි,.
නන්දා-සුනිලු ත් මගේ හිතේ කොහෙන්දෝ දැවටී ගියා....මා හිතන්නේ ඒ සු-සංයෝගයත් මෙවන් ගැඹුරු, එහෙත් වඩා දිග කතිකාවකට ගෙන ආ හැකිනම් වටී......අහා ප්ලෙටොනික ප්‍රේමය....නුඹට අවතාර කීයක්ද..????
ඔබට තුති, ඩෝසන්......

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්