Friday, October 29, 2010

නො ඇසූ කන් වලට

අරුන්දතී....
අපි තාමත්
හුඟාක් ඈතයි
හුඟක් හුඟක් හුඟාක් ඈතයි

මට කුමාරිගේ කවි පොත රුපියල් හයසිය පණහක් වීම ගැන ඒ ගැන ඇසූ මොහොතේ පටන් ම ඉහේ රුදාවක් ඇති කළේය. එමෙන් ම ඈ කවි කර ඇති පරිදිම, අපි තාමත් අරුන්දතීලාට හුඟක් හුඟක් හුඟාක් ඈතයි යන වදන මගේ දෙසවන කරා මිමිණී ගොස් ඔලුවේ කැරලි ගසන්නට විය. සුණු විසුණු වී ගිය ජීවිත සුඛෝපභෝගි වර්ණ පිටු අතර කවි වන්නේ කෙසේදැයි මට සිතාගත නොහැකි විය. නැවතත් සිහි වූයේ මේ කවි පොත ඒ කවි වලින් පිදිය යුතු එකුදු හදවතකට ලං විය නොහැකි දුරකින් හුඟක් හුඟාක් ඈතින් ස්ථානගත වී ඇති බවයි. ඒ කවිය නම් වූ සාහිත්‍යාංගයක් ඒ හා සමාන පරිමාණයෙන් නැතිනම් මෙගා පරිමාණයෙන් විකුණ ගත හැකි අතිශය සුඛෝපභෝගි භාණ්ඩයක් හෝ සේවාවක් නොවන වග දැන දැනත්, අනෙක් අතට උතුරේ මෑත අතීත විත්ති කවි කර දකුණට විකුණන්නට ඇයට එතරම් ප්‍රාග්ධනයක් යට කරන්නට හේතු වූ පාරිභෝගික-පාරිභෝජන සමාජයේ යටිපෙළින් ක්‍රියාත්මක වන ආසන්න වශයෙන් හෝ සැබෑ තතු මොනවාදැයි යනාදී වශයෙන් හට ගත් කළකිරීම් මුසු විචිකිච්චාමය සිතිවිලි නිසාවෙනි. එනයින් කවිපොත හෂිත සොයුරාගෙන් ලද දිනයේ සිටම ඒ කවිපොතේ ඇතුළත් පිටත් සුපරීක්ෂාකාරීව නිවැරදිව කියැවීමේ අතිශය උනන්දුව තුළ මා ගිළී ගියේ මා හටද නොදැනීය. කීප වරක්ම මතුපිටින් එහි කොලිටිය පිළිබඳ විශ්මයාවහ ‍සැරිසැරූ මා හට විටෙන් විට හමු වූ සුමිතුරන් පැවසූ දෙයින් හද ප්‍රලය වීමෙන් මෙහි ඇතුළාන්තය කිඳා බැස බැලිය යුතුයැයි හැඟුනෙනි මේ කෙටි සටහන.

මේ උරෙයිප්පු සාප්පාඩ කවි‍ පොත කවි පොතක් ඉක්මවා යන්නේ එහි ආකෘතිය නිසාවෙන් නම් නොවේ. එහි මිල නිසාවෙන් ද නොවේ. සිවු වර්ණයෙන් සුසැදි සෑම පිටුවකම වූ අග්‍රගන්‍ය සිතුවම් ශිල්පීන්ගේ තෙලිතුඩින් හැඩ ගැන්වූ සිතුවම් නිසා‍වෙනුදු නොවේ. කවි පොතේ ආකෘතිය ද අපව කැඳවන්නේ වෙඩි උණ්ඩවලින් සිදුරුව ගිය ශරීර මෙන්ම ආත්ම කෙරෙහි අපගේ නිද්‍රාශීලි බත් ගූ කරන ශරීරවලට කරන ඉදිකටු ඇණීමකින් නිඳි බිඳුම අත්දකින පෙදෙසකට කරනු ලබන කැඳවුමකිනි.

ආලින්දයේ රූපවාහිනිය ඉදිරිපිට දිනපතා රන්දෙපැය නරඹන අයුරින්ම යුද පුවත් නැරඹූ අපි ඒ ගැහැණුන් මිනිසුන් අත්දකිමින් සිටි භීතිය ත්‍රාසය වියෝව වියවුල ඉතා පහසුවෙන් අමතක කර දැමුවෙමු. ෂෙල් ප්‍රහාරවලින් මල්ටිබැරල් වලින් ගැලවීමට සීසීකඩ දුවනා දරු පැටව් අප දුටුවේ නැත. බංකර් තුළ ගුලි වී කෑම වතුර නොමැතිව හුස්ම ගැනීමට අපහසුවෙන් මිය යන දරුවන් අප දුටුවේ නැත. තම දෑස් ඉදිරිපිට කුඩු වී ගිය මවගේ මස් වැදලි අතින් එකතු කරනා තරුණියන් අප දුටුවේ නැත. අතේ සිටි තම සිඟිති පුතුගේ හිස සොයමින් කෑ මොර දෙන මව්වරුන් අප දු‍ටුවේ නැත.

මේ මා උපුටා දැක්වූයේ කුමාරිගේ පෙරවදනින් පරිච්ඡේදයකි.


මෙය සැබෑවකි. සිදු වූ යුද්දය කුරිරුය. අමානුෂිකය. සේවිං ප්‍රයිවට් රයන් [Saving Private Ryan] සිනමා පටයේ ආරම්භක ජවනිකා පෙළ නරඹද්දී මෙන්ම, මුහුදු කළපු මත කැඩී බිඳී ගිය මිනිස් කොටස් ලේ රතින් වර්ණ ගැන්වුනු ලවණ ජලයේ චණ්ඩ රැලි වලින් පෙරී ඛාදනය වෙමින්, සොලොවා ලනු බලා සිටිනා අයුරින් සිනමාත්මක දෙයක් නොවේ. බිහිසුනු යථාව ලෙස, එක් තැනකට කොටු වුනු සහ කොටු කරන ලද නිරවි මිනිසුන්ට මුවා වූ චණ්ඩ ත්‍රස්තයන් අතින් සිඳලනු ලැබූ නිදහස තුළට ෂෙල් වෙඩි කඩා පතිත වීම හරහා අලුතෙන් ගොඩ නගනු ඇතැයි සිහිනමය ලෙස දැකිය හැකි උත්තර සමාජයක් හෝ නිදහසක් මානවයන් ට අත්කර දීමක් ද නොවේ. අතුරුඵල තවමත් ශේෂ වී ඇති කුරිරු යුද පිටියකින් නිදහස් ව කඳවුරු තුළ කොටුවූ සිවිල් මිනිස් කැළකගේ තත්වය තවමත් අන්ත දුක්ඛිත-ජරාජීර්ණ තතු පැහැර හැරිය නොහැකි බව සැබෑවකි. මේ සැබෑ තතු ලොවට කවි කරන්නට කුමාරි ගත් තැත ශ්‍රේෂ්ඨත්වයත් ඉක්මවා යන්නක් වුවද, එය කෙතරම් වෙඩි උණ්ඩවලින් සැදුනු සිදුරු වසා ලන්නට සමත් වේදැයි යන්න අපි අතිශය සමීපව කියවා ගත යුතුය.



exodus


සා පිපාසයෙන් මැල වී
දූලි වලාවෙන් නැහැ වී
ගිනි ගත් හිරුගෙන් සරණක් පතනා
පුංචි පැටව් දුටුවා

රුදුරු ගිනි වරුසා මැදින්
වියෝවෙන් සයින් දැවෙමින්
කටු කම්බි හත් පොටක
සෙනෙහෙ සුවඳ සෙවු
මහා සෙනඟ දුටුවා

2009 ජුනි 18

මේ උරෙයිප්පු සාප්පාඩ කෘතියේ පණස් එක්වැනි පිටුවේ කවිය යි. එය නම් කර තිබුණේ එක්සෝඩස් [exodus] යනුවෙනි. මෙහි එක්සෝඩස් යනු වේදනාත්මක විඳවීමකින් නික්ම යාම හෝ වහල්භාවයෙන් මිදී පළා යාම හෝ පැරණි තෙස්තමේන්තුවේ දෙවැනි පොතේ සඳහන් ආකාර හෝ ක්‍රිස්තියානි බයිබලයේ එන එම නමින් වූ කතා ප්‍රවෘතියේ ආකාර මෝසස් ගේ අණින් ඊජිප්තුවෙන් වහල්භාවයෙන් පළා යන ඊශ්‍රායල්වරුන්ගේ හැඟවුමයි. සීනායි කන්දේ දී දෙවියන්ගේ දස පණත පැනවෙන්නේ එම පළා යාම තුළින් බැව් ද එම පුරාණ කතාවේ සඳහන් වේ. මේ ඉහත කවියේ සමස්තය මෙම යෙදුම තුළින් ධ්වනිත වීමත්, කොරළේගෙදර පුෂ්පකුමාර සිත්තරාගේ සඳකඩපහණක හැඩය ගත් කටුකම්බි පොටවල් සහිත දම් සහ ලේ පැහැති තීරු සහිත සිතුවමත්, එකිනෙකට වෙනස් එනමුදු එකම තැනකට ගොනුවන අරුත් සමූහයකට අපව කැඳවා යයි. මේ ආකාර වූ බහුවිධ මතුපිට අරුත් නිමවන කවියකට පොතේ පිටු අතර පැති තුනක් වෙන් කිරීමේ දී හට ගන්නා තීව්‍ර බව එහි සුසුමින් සුසුම ගලා යන හැඟුම් වලින් අපව තෝන්තු කරවන්නට සමත් වෙයි.එම කවියේ සමස්ත අන්තර්ගතය තුළ දිස්වන විකෘති තල්ගස් ග්‍රැෆික ද එම කවියේ නොස්ටැල්ජික කුරිරු අත්දැකීම තව තවත් දුරට අපව කැඳවා යයි. මේ නම් කවියේ භාවිතාවේ සමාජ විඥානය පසා කර යාමේ උපක්‍රමික තේරීමක් යැයි මට සිතෙයි. මෙබඳු වියමනකට ගත හැකි උපරිම මනස් අවකාශය ලබා ගැනුමට කවි‍පොතේ පිටු මෙන්ම රක්ත වර්ණ පසුබිමක ලියැවුනු exodus වචනය ද, ඉන් පසුව ගොඩ නැගෙන හිස් සුදු පිටුවක් අරා සිටින කටුකම්බි සඳකඩපහණ ද, ඒ එක්කම අපේ නෙත මුණ ගස්සන කවියේ වචන පෙළ ද ඒ පසුබිමේ වන තල් ගස් සහ ප්‍රමාණයෙන් විශාල සහ කුඩා කටුකම්බි සඳකඩපහණ් ද අපට ඇණවුම් කරන නිහඩ හැඟවුම්කරණ කොපමණ දැයි අසම්පූර්ණව හෝ මෙහි ලියා දැක්විය හැකිදැයි සැක සිතේ.


දෙකක් බැගින් කරු ලැබුවෙමු ඇවිදින්ට

මල්ලියි මමයි අකුරට යන වෙලාවේ
හෙණ වැස්සක් වැටුනයි ගිනි වළාවේ
හඩා වැටෙන මුත් නැත සරණක් ලැබුවේ
තිස්තුන් කෝටියක් දෙවිවරු කිම නාවේ

දෙකක් බැගින් තිබුනේ පය දෙන්නාට
එකක් බැගින් බිලි දුන්නෙමු ගිනියකුට
දෙකක් බැගින් තරු ලැබුවෙමු ඇවිදින්ට
මොකක් කියන්න ද උඹෙ සිත සැනහෙන්ට

කඳවුරු වැටෙන් පිට නිදහස විඳින්නට
අපටත් දිනෙක හැකිවෙයි එහි ඇවිදින්ට
තරගෙට වැටී ඒ හැම හා දුවන්නට
තනි කකුළෙන් හැකිද මල්ලියෙ ජයගන්ට

මට නම් අටයි උඹෙ තාමත් වයස හයයි
ලෝකය හරි ලොකුයි උඹ මල්ලියෙ පුංචියි
උඹේ කකුළ යලි ලැබෙනව නම් සත්තයි
ම‍ගෙ තනි කකුළ පිදුවත් මගෙ සිතට සැපයි

මේ කවි පංතියේ තවත් කවි හතරක් සමග සියල්ල ලියැවී ඇත්තේ 2009 ජුලි 06 වැනිදාය. මට මේ කවි කියවද්දී මතක් වූයේ කන්දහාර් සිනමා පටයේ ඛේදනීය රූපාවලීන්ය. එය කවියකට ගෙන ඒමට කුමාරිගේ සාමර්ථය ලංකීය ජන දිවියේ හුරුපුරුදු රිද්මයක පා කර එවන්නට ලද දුක්ඛිත ප්‍රහර්ෂයම මා විශ්මයට පත් කරවයි. දෙකක් බැගින් කරු ලැබුවෙමු ඇවිදින්ට යන යෙදුම නිසාවෙන් මගේ ඇස් ඉදිරියේ ද‍ණිසෙන් පහල සුනු විසුනු ව ගිය කුඩා දරුවන්ගේ පා කැබලි මේ ලියන මේසය මතට හදිසියේ කඩා වැටුනාක් මෙන් දැනෙන්නට විය. කන්දහාර් සිනමා පටයේ ද බිම්බෝම්බ හේතුවෙන් කකුළ් අහිමි වන සිවිල් වැසියන් වෙත ආධාරක කණ්ඩායම් විසින් ගුවනින් හෙලන කෘත්‍රිම පාද ලබා ගැනීමේ දී, ඔවුන්ගේ ඇතිවන එකිනෙකා පරයා යන අසරණකම විසින්  මසිතේ ඇති කළ කම්පනයම වෙනස් මානයකින් මේ කවියේ චිත්‍රණය වී ඇත.

මේ කවි පොතේ කවි නැතැයි කී මා සොයුරන්ට මම දොස් නොකියමි. මේවා කවි කර-රිද්ම කර ලිවීම උගහටය. අධික ගැහැට විඳ වචන හමු වූ මේ කවි ඊට උචිත වර්ණ-හැඩතල සහ හැඟවුම් ඔස්සේ තීව්‍ර කරවන්නට සමත් ග්‍රැෆික සමග බෙදා ගන්නා ශෝකී සෞන්දර්යය-වේදනාවේ සෞන්දර්යය-ඛේදයේ සුන්දරත්වය අපතේ යා නොදී සුරැක ගෙන සියලු මිනිස් සත වෙත පිදිය යුතු බව මගේ අදහසයි. සරලව කීවොත් මේ කවි කියවා ලැබිය හැකි ආශ්වාදයක් වෙතොත් ඒ නම් හුදු නරුමත්වයකි. සෞන්දර්යාත්මක ලෙස ඉදිරිපත් කරන්නට කෙතරම් උත්සාහ කළ ද ඒ කවි මතු කරන්නේ මිනිස් වග හෙළූ නරුමත්වය වසා දමන්නට වර්ණ හැඩතල හෝ හැඟුමන් විසින් මූලෝත්පාටනය කරන ලද වචන වියමන් අසමත් වන බවයි.

පිටු දොළහක් පුරා පැතිරුණු 17 නම් වූ කවිය ඔස්සේ ස්කිසො‍ෆ්‍රිනික මායාවන් ඔස්සේ නිර්මාණය කළ හැකි සිනමාත්මක වින්‍යාසයක් ගොඩ නැගේ. එය කදිමට රූපාවලියක් බවටත්, සිනමා කෘතියක් බවටත් වර්ධනය කර ගත හැකි උසස් නිර්මාණයක් යැයි මට සිතේ. කවියකට ලඝු කරගත් මහා සිනමා ආඛ්‍යානයක් ඒ නිර්මාණය තුළ ගැබ් වී ඇත. මේ ඒ ඛේදවාචක තවත් මිළකර විකුණා ගැනුමට කරන ඇණවුමක් නොවේ. මේ කවියේ ඇති සාදෘශ්‍ය ලක්ෂණ වචන බවට හරවන්නට මා දැරූ ප්‍රයත්නයක් පමණි.

ශ්‍රී කාන්තන් ගොත ගැහුව
ඉල්ලුව මගෙන්
ඉලක්කම් තියෙන කොලේ....
මට තේරුනේ නෑ
කැලැන්ඩරයක් ද....?
....
රැජිනි කාන්ත්ලගෙ
විජෙයිලගෙ
ශ්‍රී දේවිලගෙ
....
ලක්ෂ්මිගෙ
විෂ්ණුගෙ
පින්තූරත් එක්ක
තොග ගණනෙ
බිත්ති වැහෙන්න
එල්ලල තිබුණු
කැලැන්ඩර් ඔක්කොම
බිත්තියත් එක්කම
කුඩුපට්ටම් වුණු ලෝකෙක
මගෙ ළඟ කොයින් ද?
කැලැන්ඩරයක්...?
අරගෙන දුවන බෑග් එකේ
අමතක නො කරන
ඩයරිය
...
පෙරලල ඇහුවා මං
මේක ද?
....
ශ්‍රී කාන්ත්
බලං හිටිය
වෙලාවක්
...
ඇඟිල්ලක් තිබ්බ
දිනයක් උඩින්
එදා තමයි
බැලුව මං
ළංවෙලා හොඳට
...
17
ඒ දිනේ දාහත
ඉතිං....
එදා මොකද...?
....
....
වැටුනු කඳුළු ගෙඩි වලින්
සට පට ගාලා
මගෙ ඩයරිය උඩට
බය වුනා මං
ගිලේවිද
අපි හැමෝමත්
කඳුළු ගංගාවක...
....

මේ උපුටා දැක්වූයේ 17 කවියේ කොටසක් පමණි. එහි අන්තර්ගත මානවීයත්වය ස්පර්ශ කරගැනුමට එම කවියේ සමස්තය හරහා අප ඇවිද යා යුතුය. එම කවියේම සංකේත ලෝකයේ අවයව සිතුවමට කැන්දා ඇති කෝරළෙගෙදර පුෂ්පකුමාරගේ සිතුවම් පෙළ ද අපගේ මනස් සිතුවම පරිපූර්ණ කර ශ්‍රී කාන්ත්ගේ තැවුම- ජීවිතයේ ලද අසරණම අත්දැකීම කවියේ හඩට ඔබ්බෙන් වර්ණ ගන්වයි. අතුණුබහන්- මස් වැදලි එකතු කරන දෑතකින් සමන්විත එක සිතුවමක් පහත කවි උපුටනයේ අදහස් තීව්‍ර කරයි.

අක්කගෙ පොරවං හිටපු රෙද්දටයි
ශ්‍රී කාන්ත් පොරවං හිටපු
තාත්ත‍ගෙ සරමටයි
අම්මගෙ යි අප්පගෙ යි කියල
සැක කරපු
මස් වැදලි ටික
එකතු කරල
ඔතල
ගැට ගහල
තැන්පත් කරන අයට බාර දීල
තවත් අය
තම තමන්ට අදාළ
මස් වැදලි එකතු කරද්දිම
අක්කගෙ අතින් අල්ලගෙන
ඔළුව හැරුණ අත
ඇවිදපු හැටි
....

මේ ප්‍රයත්නය සියළු කවි ගැන එකින් එක ඒවායේ කම්පනයේ සෞන්දර්යාත්මක ඉසව් සොයා යාමක් නොවේ. මේ සැබැවින්ම කම්පනයේ තීව්‍රතාව, පොතක වියමන් තුළින් කුළු ගන්වා මනුෂ්‍ය දයාවේ දොරටුව වෙතට අප කැඳවා යන සංඥා පද්ධතියයි.

අවසාන වශයෙන් මේ කවි සමුච්චයේ එන උරෙයිප්පු සාප්පාඩ නම් වූ කවියේ වියෙන ඒ හැඟුම් මාත්‍රාවන් විසින් එම දසුන කෙටි චිත්‍රපටයක් මෙන් අප පරිකල්පන ලෝකය ආලෝකමත් කර විශද කරයි.

මේ සියළු කවි ඒවායේ අන්තර්ගත ගොරහැඩි-කර්කෂක-නිරුවත් බව වසා දමා කිසියම් මිනිස් සිත්හි සනාතනික තැවුලක් ඇති කරවන්නට එහි පසුබිම්වන සිතුවම් විසින් මගහසර තනයි. බොහෝ කවි කියවා රස විඳිය නොහැකිය. ඒවා නොයෙක් භ්‍රාන්තීන් මනසට කැඳවයි. සංයුක්ත කවි සේම සංඥා ලෝක අලුතින් නිමවා වචනයේ දුර අතික්‍රමණය කරයි. කිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ කවියේ ආකෘතිය අජිත් තිලකසේනගේ සංයුක්ත කවි ආරක පසුබිම් ග්‍රැෆික ස්වරූපයක් අප මනසේ ජනනය කරවයි. සෘජුකෝණාස්‍ර හැඩතල සහ කළු වර්ණය පමණක් භාවිතයෙන් ගොඩනගා ඇති එම ග්‍රැෆික, කවියේ වචන තුළින් කුළු ගන්වන හැඟුම් වඩාත් ඉහල තලයකට ඔසොවයි. මේ නව කවියේ කුමාරි ලකුණ යැයි මට සිතේ.

ගැඹුරින් වූ තුවාල සුව වන්නට නම් අපගේ දයාව ඔවුනට අවශ්‍ය නො වන්නේ ද? ඒ තුවාල වර්ධනය වී ඔඩු දුවන්නට අත් හැර දමා සිටිමු ද? එවිට අනාගතයේ දිනක තවත් කකුලක් කපා දමන්නට සිදු නො වේවි ද?


මේ කුමාරි අපගෙන් අසන පැණයයි. ඇය මේ මතුකරන දයාව මිනිස්වගටම අදාළ වේ. එක් මොහොතක මිනිස් වගෙන් කොටසක අත්දැකීම විශ්වීය දයාවක් බවට පෙරළන්නට කුමාරි දරා ඇති වෑයම ගැන අපි ඇයට කෘතඥ විය යුත්තේ එබැවිනි.

පොත මිළ අධිකය. ඊට කම් නැත. ඒ මිළට ලද හැකි වෙනත් මේ හා සමාන කම්පනයක් වෙතැයි මම නොසිතමි.

මිනිස් වගට පහනක් දැල්වූ කුමාරි; ඔබට තුති පුදමි.

7 කුළිය:

හෂිත said...

මම ගුණදාස අමරසේකරගෙ 'සිංහල කාව්‍ය සම්ප්‍රදාය' හා 'උරෙයිප්පු සාප්පාඩු' එක තැන තියලා තියෙන්නෙ කුමාරි අමරසේකරට එල්ල කරන අභියෝගය නිසා.

Kelum Wijewardena said...

වචන ටැක්සියට කන් දුන්නේ අද
මට මං ගැනම දුකක් හිතුනා මොන තරම් හරවත් ලිපි මග ඇරෙන්න ඇද්ද?
ලස්සනයි සංවේදි පැහැදිලියි

Loku said...

ඩෝසන්,
අද දිවයිනේ ලිපියක මාතෘකාවක් තිබුණා, "බිහිරන්ට ඇසීමට විශාල ශබ්දයක්‌ අවශ්‍යය" කියලා. එහෙම හිතුවාම මේ පොතේ සුඛිත මුදිත බව එක අතකින් පොතේ අරමුණට සමීපය හිතුණා.

ඈත ඉන්න අපට මේ පණිවිඩය එවීම ගැන තුති.

කුමාරිට මගේ ප්‍රණාමය.

Loku said...
This comment has been removed by the author.
Sithumini Rathnamalala said...

ඉතාම අගනා විවරණයක්.......ස්තුතියි ඩෝසන්.....!!!
සිතුමිණි

රුක්ෂිලා වෙත්තමුණි said...

.
ඩෝසන් අයියා ස්තූතියි මතකය අවදි කළාට....
අපේ ආයතනයේ මේ පොත එළි දැක්වීම කළ නිසා මටත් සහභාගි වෙන්න වාසනාව ලැබුණා
ඇත්තටම එදා කුමාරි සොයුරිය සමඟ මම පෞද්ගලිකවම කථා කළා
ඉතා චාම් උත්සවයක් දැක ගන්නටත් හරවත් කථා කිහිපයක් අසන්නටත් මට වාසනාව ලැබුණා.
ඩෝසන් අයියාගේ මේ වචන ටැක්සිය කියවද්දී මාව ආයෙත් ඇදගෙන ගියා කුමාරි සොයුරියගේ කථාව දිහාවට
උරෙයිප්පු සාප්පාඩ - කට දැවිල්ලට කෑමක්
නොඇසු කන් වලට - කණ්ණීර් අංජලී

ඩෝසන් said...

මේ මුහුණු පොතේ මේ ලින්ක් එකට ලැබුණු ප්‍රතිචාර කීපයකි.

Eranga Chamila Palathiratne "නැගලා යනවා නියෙමට..."
Friday at 14:31

Subhadra Jayasundara "කියවන්න නොලැබෙන අපි වෙනුවෙන් මේ පලකිරීමට ස්තුතියි ඩෝසන්"
Friday at 15:11

Hashitha Abeywardana ‎.
"මම ගුණදාස අමරසේකරගෙ 'සිංහල කාව්‍ය සම්ප්‍රදාය' හා 'උරෙයිප්පු සාප්පාඩු' එක තැන තියලා තියෙන්නෙ අමරසේකරට කුමාරි එල්ල කරන අභියෝගය නිසා."
Friday at 15:30

Krishan Rajapakshe "ඔබේ සටහනට බොහොම ස්තූතියි ඩෝසන්. මෑතදී එක්තරා රැස්වීමකදී මට කුමාරිව මුණ ගැහෙනවා. එම රැස්වීමට පැමිණෙනවා උතුරැ නැගෙනහිර ප්‍රදේශවලිනුත් කාන්තාවක් පිරිසක්. මම දකින්නේ මහ සෙනගක් මැද්දේ ඒ අය කුමාරිව සොයගෙන ඈවිත් වැළද ගන්නා ආකාරය. ඒ සෙනෙහසේ පාලම හරිම අපූරැයි. අපට අහිමිව ගිය මිනිසත් බැදීමයි මම ඔවුන්ගෙන දකින්නේ.

ඒ කවි අපේ හිතට එතරම් තදින් අනිනබව දැනෙන්නෙම එය නිර්වාජත්වය සහ අප පසෙක ලූ යාථාර්ථය වන නිසාමයි..." Friday at 15:56 ·

Rukshila Wettamuni ‎.
"ඩෝසන් අයියා ස්තූතියි මතකය අවදි කළාට....
අපේ ආයතනයේ මේ පොත එළි දැක්වීම කළ නිසා මටත් සහභාගි වෙන්න වාසනාව ලැබුණා
ඇත්තටම එදා කුමාරි සොයුරිය සමඟ මම පෞද්ගලිකවම කථා කළා
ඉතා චාම් උත්සවයක් දැක ගන්නටත් හරවත් කථා කිහිපයක් අසන්නටත් මට වාසනාව ලැබුණා.
ඩෝසන් අයියාගේ මේ වචන ටැක්සිය කියවද්දී මාව ආයෙත් ඇදගෙන ගියා කුමාරි සොයුරියගේ කථාව දිහාවට
උරෙයිප්පු සාප්පාඩ - කට දැවිල්ලට කෑමක්
නොඇසු කන් වලට - කණ්ණීර් අංජලී"