Thursday, March 5, 2009

දුහුදු වැල් -ඩෝසන් ප‍්‍රීති

දුහුදු වැල්
මුනිදාස පුස්තකාලය වසන වෙලාව ආසන්න බැවින් දෛනික සටහන් පොතේ අවසන් ලේඛන වාර්තා තබමින් සිටියේ රාත‍්‍රී දහයට සිය පුත‍්‍රයා සමග අගනුවර ක්ලිනික් එකට යෑම ගැන කල්පනාවෙනි.


'අමලන්ත!'


'අමලන්ත!!'

'නැගිටින්න

මෙක නිදා ගන්න වෙලාවක් නොවෙයි

නිදා ගන්න තැනක් නොවෙයි

පුතා මෙක ඉස්කෝලේ !

ඔයා ඉක්මනට ගිහින් මූනේ වතුර ටිකක් ගාගෙන එන්න

මෙහෙම පංතියේ ඉන්න බැහැ නේ'

'අනේ මන්දා මෙ ළමයා රැට නිදි මර මර ටී වී බලනවා ඇති ඒකයි මෙ තරම් නිදා ගන්නේ...'


මුනිදාසගේ පුතු අමලන්ත ගේ පාසැල් වැඩ සීඝ‍්‍රයෙන් දුර්වල වීමත් නිතර නිදාගැනීමත් අලසව සිටීමත් හේතුවෙන් පාසැලෙන් නිතර පැමිණිලි ආවෙන් මුනිදාස සිය බිරිඳ සමග අමලන්ත මනෝ වෛද්‍යවරයකු වෙත ගෙන යාමට තීරණය කලේ මීට සති තුනකට පෙරය.

අද නොවැම්බර් දාහතය. ඒ ක්ලිනික් එකෙන් ලද දිනය වෙ. මානසික වෛද්‍යවරු හිග හෙයින් අගනුවර චිරප‍්‍රසිද්ධ වෛද්‍ය රුවන් රයිගම් කෝරලේ අල්ලා ගැනීමට මුනිදාස සිය පුස්තකාලයාධිපතිකම දිනකට වරා කොළඹ දැවැන්ත ක්ලිනික් එකක පෝලිමට වී සිටියේ රයිගම දොස්තර ගෙන් දිනයක් ගැනීමටය.

මුනිදාස වැනි තවත් බොහෝ අය සුවපහසු ආසනවල ඇන තියාගෙන සිටියේ තමන්ගේ අවස්ථාව එනතුරුය. සුපින්වත් පෙනුමැති සුන්දර සිනහවකින් මුව මඩල වසාගත් හෙදියක් දොර රෙද්දෙන් එලියට එබෙන ඒ ගාම්භීර කාමරයේ උළූවස්ස එහලින් රතු බල්බවලින් සැදි අටෙ ඉලක්කමක් ඊළගට එන රෝගියාගේ අංකය පෙන්වන්නේ සියල්ලෝ එදෙස සාවධානයෙන් බලා සිටියහ. මුනිදාස කල්පනා කලේ රටෙ මෙ තරම් මානසික රෝගීන් ඉන්නවාදැයි සිතා ගත නොහැකිවය.

'දවසම යනවා ඉතිං මෙවට ආවම' වයෝවෘධ පෙනුමැති කන්තෝරු මහතෙක් යැයි සිතෙන කෙනා මුනිදාසගේ අසල ආසනයේ තෙරපී වාඩි වූයේ රතු බල්බ අංක තහඩුවට කතා කරමිනි.

'දැන් මෙ මම ආවෙ හාමිනේට දිනයක් අරං යන්න'

මුනිදාස ඔහුට අවධානය යොමන්නට හරිබරි ගැහී වාඩිවී හුන් තැනම පැද්දුනේය. ඔහු ද මෙ රස්තියාදුව අනුමත කරන්නේ නැතිය යන වග මුවින් නොඅගවා නිසොල්මන් විය.

'අපේ හාමිනේ තනියම කියවනවා...විකාර මනස්ගාත... දැන් ටිකක් උග‍්‍රවීගෙන එනවා. '

වයෝවෘධ තැනැත්තා කොඳුරා මුනිදාසට කීවෙය.

'වයස කීයක් ද ?' මුනිදාස නිහඩතාවය බිඳීය.

'දැන් පණස් අටයි. මට දැන් හැට නවයයි. එයා ට කල්පනාව නැති වෙගෙන යනවා. ඒකත් එකට අපි දෙන්නට අපි දෙන්න විතරයි නිසා මටම තමයි මෙ සේරම බලන්න වෙලා තියෙන්නේ.'

'ඇයි අංකල් එහෙම කියන්නේ ලොකු ලමයි ඇතිනේ'

'ඉන්නවා... ඉන්නවා... ඒ අය සේරම පිටරටවල!'

'එහෙනම් මොකෝ රටක එක්කන් යන්න වුනත් බැරිය'

'මොන? උන් එකෙක්වත් පැත්ත බලන්නේ නැහැ. දැං කාලෙ එහෙම නේ. අපි ලමයි හැදුවා. දැං උං උන්ගෙ මතේ.'

'මම මෙ මානසික රෝග ගැන මෙලෝහසරක් දන්නේ නැහැ. අපේ පුතා ටිකක් පෙන්ව ගන්න ආවෙ මොකද එයාගේ ඉස්කෝලෙ වැඩ හොඳ නැහැ කියලා පංතිභාර ටිචර් කීප ගමනක් පැමිණිලි කරලා අපේ හාමිනේට. කියන්නේ මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වන්න කියලා. '

'දැන් කාලේ පුංචි එවුවන්ටත් හැදෙන්නෙ මහ එවුවන්ට හැදෙන අසනීපමයි. අපේ කාලේ වගේයැ වස විස නෙ කන්නේ බොන්නේ බලන්නේ...ඒකනේ ... අපේ සීයගේ තාත්තා දූදූ ඇට තෙල් හිඳවපු වෙදෙක් ඒ කාලේ... ඒත් අපි දැං මෙ මෝස්තර බල බල ලත වෙනවා මුන්ගේ රට ඉස්පිරිතාලවල'

'මොනවද අංකල් දූදූ ඇට තෙල් කීවෙ...'

'ආ ඒක මෙ මොලේට ගුණ ඔෘෂධයක්...ඉපැරණි ආයුර්වෙද තෙලක්, බොහොම වටින...'

'සරණ සීල දල්පතාදු, සරණසීල මහත්තය ඉන්නව ද?'

'ආ ඔවුවොවු... මෙ ඉන්නවා ...මෙ ඉන්නවා...!.... මෙ.... පුතා මම යනවා.... අර නම කතා කරානේ....'

වයෝවෘධ තැනැත්තා දල්පතාදු නමින් ඔබ්බට කිසිවක් දැනගැනීමට ඉඩක් නොතබාම ඔහුගෙන් සමු ගන්නට වන් මුනිදාස කල්පනාවට වැටුනි.

'මුනිදාස මුනිදාස!!'

මුනිදාස ඉදිරියේ සෘජු කාය විලාසෙන් නැගී හුන් කාන්තාව කොහේ හෝ දැක පුරුදු තැනැත්තියකි. ඇය ඉමහත් පුදුමයෙන් සහ සතුටින් ඉපිලෙමින් මුනිදාස දෙස බලා හිඳී. හතර වටින් රෝගීන් සහ ඔවුනගේ භාරකරුවන් ගැහැණුන් පිරිමින් දරුවන් බඩ දරු අම්මලා මැද ඇය කෙලින් හිටවූ මොල් ගහක් මෙන් මුනිදාස හිඳ සිටි අසුන ඉදිරියේ වූවාය.

'කමලිනී නේ?' මුනිදාස හිට වුනේය.

ඇය මුනිදාසගේ දෑතම අල්ලා ගත්තාය. ඔවුනට මුලු ලොවම අමතක වූවා වැනි ආනන්දයක් වීය. මෙ කමලිනී මුනිදාසගේ ප‍්‍රථම පේ‍්‍රමයයි.

'ඇයි කමලිනී මෙහේ?'

'අනේ මම මෙ දුව එක්කන් ආවා, එයාව ඩොක්ටර් ට පෙන්නන්න... අනේ ඒක නොවෙයි, ඔයා ඉස්සර වගේමයි,... ඒ වගේමයි...'

මුනිදාස හිස පීරා ගන්නට මෙන් හිසට අත යැව්වෙ ලැජ්ජාවකින් වෙලෙමිනි.

'දැන් ඔයා කොහෙද වැඩ කරන්නේ ? මම දන්නේ මීට අවුරුදු දහයකට විතර උඩදි නම් ඔයා කෘෂිකර්මෙ ඉන්නවා කියලා... අනෝජා හමුවුන වෙලාවක කීවා ඒත් ඉතින් දැං ගොඩක් කල්...'

'ආ... මම කෘෂිකර්මෙන් මාරු වුනා, දැන් අවුරුදු හතරක් වෙනවා. දැං මම ඉන්නේ හල්දුම්මුල්ලේ'

'හල්දුම්මුල්ලේ ? එහේ මොනවයි කරන්නේ?'

'මම ඉන්නේ හර්බල් ගාඩින් එකේ. දැං එතන පර්යේෂණ අංශයේ ඇසිස්ටන්ට්...'

'අහන්නත් සතුටක්. ඉතින් ඔයානේ මටත් ඒ කාලේ නෝට්ස් දුන්නේ ... අපෝ ඒ කාලේ කොයිතරම් සුන්දර ද කමලිනී'

'අනේ මුනිදාස, අපි ටිකක් එලියට යමු... මට ඔයා... එක්ක ආසයි කතා කරන්න ගොඩාක් කාලෙකින් නේ දැක්කේ'

'එහෙනම් පොඩිත්තක් ඉන්න වෙයි , මෙ තුණ්ඩුව අරගෙනම අපි එලියට යමු. දැං ඔයා ආයෙම හල්දුම්මුල්ලේ යනව ද?'

'නැහැ නැහැ... මම අද යන්නෙ බලංගොඩ පුංචිලයි දිහා, හෙට උදෙන් යනවා හල්දුම්මුල්ලේ, මම ඉන්නේ එහේ ක්වාටස් වල'

* * *

'මගේ පුතාගේ මොලේ ආබාධයක්'

'නැහැ! නැහැ !! එහෙම එකක් නැහැ!!! ඔයා නිකම් හිතන දේවල්... '

'මම හිතන දේවල් නොවෙයි , ඒ දරුවා හැදෙන්නත් ඉස්සර මම දන්නවා උන දේවල්'

'ඒ කියන්නේ ඔගොල්ලෝ ඒ දරුවා...'

'ඔවු , අපි ඉස්සෙල්ලම මෙක දැනගත් වෙලාවෙ දරුවා නැති කරන්න ඔන කියලා තීරණය කලා... ඒ දවස්වල අපි දෙන්නම රැකියා විරහිත උපාධිධාරීන්...පාරවල් ගානේ බෝඩ් ලෑලි උස්සන් ඇවිදලම කාලය ගත වුනා. මට මෙ පුස්තකාලේ රස්සාව ලැබිලා දැන් අවුරුදු හතරක් වෙනවා. ගංගා නම් ගෙදරට වෙලා ඇඳුම් මහනවා. ශිෂ්‍යත්ව පංතිවල ලමයින්ට උගන්නනවා. ජීවිතය පුදුම අමාරුයි කමලි...'

'මට හිතා ගන්න පුළුවන් මුනිදාස, ඒත් මෙ දරුවගේ ප‍්‍රශ්ණය කවදාවත් එහෙම එකක් කියල නම් හිතන්නවත් එපා. ඒක ගැන හිතීමත් පවක්...'

'දැන් කරන්න දෙයක් නැහැ, ඒ කාලේ එහෙම හිතුනා ...ඒක මහ මෝඩකමක් ...ජීවිතයට තිබ්බ බය නිසා වෙච්ච දෙයක්, අපි ඉගෙන ගත්තේ අකුරු ගොඩවල් විතරයි; ජීවිතය නොවෙයි. ඒකයි ඒ දේවල් එහෙම වුනේ, ඒත් මගේ දරුවා දැන් ලොකුයි ...එයාට දැන් වයස දොලහක්.'

'ඉතින් ඩොක්ටර්ස්ලා මොකද කියන්නෙ මුනි...'

'සිංගප්පූරු ගෙනියන්න ඔනලු , ලොකු වියදමක් කරන්න වෙනවලු , රුපියල් මිලියන පහක් ! දෙයියනේ!! එච්චර සල්ලියක් මම කොහෙන්... කවද සොයන්න ද කමලිනී....?'

කමලිනී සිසිල් බීම වීදුරුව වෙත දෑස් දල්වා ගෙන සිටියාය. ඒ කුඩා රෙස්ටොරන්ට් එකේ වීදුරු බිත්ති අතරින් ගිනි ගහන අව්ව හුළගක් මෙන් බටහිර අහසේ නිවෙමින් යන හැටි ඇය බලා සිටියාය. මුනිදාස ඔලුව බරකරගත් වනම මෙසය මත දබරැගිල්ලෙන් ලියන්නට තතනමින් සිටියේය.

'ඉතින් අපි මොකද කරන්නේ මුනි? මට ගංගව දකින්නත් ආසයි... ඒත් තාමත් එයා මා එක්කල අමනාපෙන් ද මුනි?'

'නැහැ නැහැ ...එයා දැන් ඉස්සරට වඩා ගොඩක් වෙනස්. ජීවිතය ගොඩක් දේවල් එයාට උගන්නලා ...'

'ඒ කීවෙ?'

'ගංගා දරුවා ගැනම සිහියෙන් ජීවත් වෙන්නේ. මම දන්නවා දරුවට මොනව හරි උනොත් මෙ ගෑනි වහ බොයි...'

'ඒක එහෙමයි මුනි , මට තේරෙනවා මම වින්ද්‍යාට කොයි තරම් ආදරෙද කියලා... ඒ දරුවා තමයි මගේ ජීවිතයම. මම ජීවත් කරවන්නේ ඒ දරුවා...'

'මම දන්නවා ඔයාගේ ප‍්‍රශ්නෙ , ඒත් දැං ඒවා ගැන හිතන්න දෙයක් ඉතිරි වෙලා නැහැ... දැං මෙ තියෙන දේවල් ටික ඉස්සරහට තල්ලු කරං යනවා ඇරෙන්න... අපි කවුරුත් දැං සමාජය ඉස්සරහ මහා වැඩිහිටියෝ... නේද කමලිනී?'

'ඔවු ... දරුවෝ නිසා අපි ජීවත් වෙනවා. ඒක නොවෙයි මුනි... අපේ මෙ දවස්වල රිසර්ච් එකක් යනවා... ඒක නම් මට හිතෙන්නෙ ඔයාට විසඳුමක් සොයන්න මුලක් වෙන්න පුළුවන් දෙයක් වෙයි. මගේ මෙ කල්පනාවට ආවෙ දැං...'

'රිසර්ච් එකක්? ඒ මොනව ගැන ද ? '

'ඔයා දන්නව ද ඉස්සර ආයුර්වෙද ඔෘෂධයක් තිබිල තියෙනවා මතකය දියුණු කරන...මොළයෙ වර්ධනය වැඩිකරන...'

'අපෝ මම ඔවා කොයිතරම් අහල තියෙද ...දැං කමලිනී කියන්නේ මගේ දරුවගේ මොලේ අසනීපයට ආයුර්වෙද බෙහෙත් කරන්න කියලද? මොලේ ෙසෙල විනාෂ වුනාට පස්සේ සක්කරයටවත් ආයෙම ඒවා රෙපෙයාර් කරන්න බැහැ, ඒවා විශෙෂ ෙසෙල ජාතියක් , මට ඩොක්ටර්මයි කීවෙ...හැබැයි මොලයේ යම් යම් කොටස් උත්තේජනය කරල කිසියම් සමතුලිතතාවයක් ඇති කරලා සමහර මානසික හැකියාවන් දියුණු කරන්න පුළුවන් ක‍්‍රමයක් තියෙනවලු. ඒකට තමයි අර තරම් වියදමක් ...'

'මුනි ඔයා වෙස්ටර්න් මෙඩිසින් තමයි මෙ ලෝකේ තියෙන එකම දෙය කියල හිතන්න එපා ..'

'නැහැ මම කියන්නේ ඒක නොවෙයි... ඒත් දරුවගේ රෝග තත්වය ඒ අය සොයාගෙන් තියෙනව නේ දැං... කරන්න තියෙන්නෙ ඒ ප‍්‍රතිකාර වලට යොමු වෙන එක විතරයි...'

'එහෙම කියන්න එපා, ආයුර්වෙද කියන්නේම ස්වාභාවිකම දේවල් වලින් අපේ රෝගාබාධවලට කරන පිළියම් ක‍්‍රමයක්... ඔයා මට වඩා ඒක ගැන දන්නවනේ මුනි... අපි නිකමට අපේ රිසර්ච් එකේ ප්‍රොෆෙසර් මුණ ගැහෙමු ද එයා ඉන්නේ බලංගොඩමයි. අද ? අපිට යන්න පුළුවන් එයාලයි ගෙදරම කෙලින්ම. දැං මෙහෙන් පිටත් වුනොත් හොඳටම වෙලාව ඇති...'

'කමලිනී ඔයා මෙ වැඩෙ ගැන මෙතරම් උනන්දුවක් දක්වන එක මට දරා ගන්නත් බැරිතරම් ... සල්ලි සොයන්න මම පත්තර කීපයකම උදවු ඉල්ලුවා ... ඒ අය විටින් විට මෙ ගැන පළ කළා...ඒත් තවම එකතු වෙලා තියෙන්නේ රුපියල් තිස්පන්දාහක් විතරයි ... මිනිස්සුන්ට කොහෙන්ද කමලිනී සල්ලි මෙවට දෙන්න?... මගේ අසරණ දරුවා ...'

මුනිදාසගේ දෑස් කඳුලින් පෙගී ගියේය.

'මුනිදාස දැන් ඔයා මා එක්ක බලංගොඩ යන්න එන්න ඔන... මෙ දැං! මට ලොකු විශ්වාසයක් තියෙනවා පො‍්‍රෆෙසර් ගැන. එයාට ආයූර්වෙද පුරාණ වෙද පොත් ගැන පුදුම දැනීමක් තියෙන්නේ. මෙ දවස්වල ඉන්දියාවෙන් මෙහෙ ආව ස්ටුඩන්ට් කෙනෙක් එක්ක දුහුදු පැළෑටි වලින් හිඳින තෙලක් ගැන පර්යේෂණ කරනවා...'

'මොන පැළෑටියක්? දූදූ ??'

'ඔවු දුහුදු කියලා , ඒක ඉස්සර ආයුර්වෙදෙ ඔසු හදන්න භාවිතා කරපු දුර්ලභ පැළෑටියක්. ඒක සංරක්ෂණය කරල තියෙන්නේ දැන් අපේ ගාර්ඩ්න් එකේ. හරිම අමාරුයි ඒ පැළෑටිය නඩත්තු කරන්න...හරිම ඉක්මනට මැරිල යනවා ...අපි පුදුම මහන්සියක් ගන්නවා ඒ පැළ ලොකු කරගන්න, ඒවා වැල් විදියට හැදෙන්නේ මුනි, ඒත් තවම අපි කවුරුවත් හොඳට හැදිච්ච වැලක් දැකල නැහැ, ඒ පැළවල මුල් වලින් තමයි අර මොලයට බලපාන ඔසුව හදාගන්නේ... ඒකටත් ගොඩක් වියදමක් යනවා...ඉස්සර නම් තෙලක් හිඳවලා තමයි මෙක අරන් තියෙන්නේ ඒත් දැං අපි ඒක වෙන් කරගන්න බලනවා වෙනම ඒකේ සංයුතිය සොයාගන්න ...සමහර විට පිලිකා සහ මොලයේ ආබාධවලට විශාල බලපෑමක් වෙන රසායනයක් අපට සොයාගන්න මෙකෙන් ඉඩ ලැබෙවි...'

'මම දන්නේ නැහැ කමලිනී පුතාගේ ඩයග්නෝස් කාර්ඩ් එක බලල පො‍්‍රෆෙසර්ට වැඩක් වෙද ...නැත්නම් පුතා එක්කම අපට යන්න පුළුවන් වෙන දවසක...ඇයි කමලිනී අපි හදිසියෙ යන්න ඔන?'

'හදිසියේ යන්න ඔන වෙන මොකුත් නිසා නොවෙයි , හෙට හවස ප්‍රොෆෙස යනවා ඉන්දියාවට. ඒ ගිහිල්ලා එන්නේ මාසයකින්. ඉතින් මෙ ගැන යන්න ඉස්සර කතා කරගන්න ඔන. මුනි මම කියන දේ කරන්න දැං ප්ලීස්.'

'එහෙනම් යමු, මම ගංගාට කෝල් එකක් දීලා එන්නම්'

* * *

අඳුර හතරවටින් ගලා එද්දී කමලිනී සහ මුනිදාස බලංගොඩ බසයකට නැග ආසන මත වාඩි ගත්හ. ඔවුනොවුන් ගමනාන්තය තෙක් සිය විශ්ව විද්‍යාල ජීවිතයේ මතක සටහන් අනුස්මරණය කරමින් යන්නට වන. වරෙක සොම්නසින් ද වරෙක දොම්නසින් ද සිය කතාවල ඇලී ගැලී ගිය ඔවුන් සිය ජීවිතවල කඩා වැටීම් හට ගත් අයුරු විවිධ කෝණවලින් විග‍්‍රහ කරන්නට ද වන.
ඔවුන් බලංගොඩ බසිද්දී මැදියම ඉක්මවා පැය දෙක තුනක් ගතවී තිබිණ.

'මට කියන්න බැරි වුනා, අද මට වයසක කෙනෙක් මුණ ගැහුනා ඇපලෝ එකේ දි, මට මතකයි එයා කියනවා ඔය දුදු වැල් ගැන, එයාගේ සීයලා ඔයා ඔය කීව දුදු වැල් වලින් තෙල් හිඳපු අයලු....'

'නැහ් ...!! එහෙම කීව ද ? අපි සොයා දැනගත් විදියට ඔය තෙල් හිඳපු පරම්පරා එකකවත් ජීවත් වෙන කිසිම කෙනෙක් අපට සොයාගන්න බැරිවුනා නේ..?'

මුකලං බස්සෙක් ඈතින් හිඳ නගන හඩක් ඉඳහිට මොවුනගෙ දෙබසට බාධා කරයි. ඝණ අඳුරෙම ඔවුහු ගල් පඩි වලින් නැග ගෙන කඳු ගැටයක මුදුනේ වූ මහාචාර්ය සිරිමෙවන් කුලතිලකගේ නිවස බලා ඇදේ.

'හැබෑද එහෙනම් ඒ මනුස්සයා පුදුම වටින මනුස්සයෙක් නේ ...පුදුමය කියන්නේ ඒ මනුස්සයත් අදම මුණගැහුන එකනේ... හරියට ඔයා මුනගැහුනා වගේම... මහ පුදුමයක්. බලන්න; ඔයා මට අන්තිමට මුණගැහුනේ අපේ කොන්වකේෂන් එකේදි , නේද ? එතකොට ඔයා කසාද බැඳලා සමරතුංග එක්කමනේ ආවෙ බීඑමයි සීඑච්.'

'ඔවු මුනි... එදා ඔයාගේ දුක්බර මූණ අද වගේම මතකයි මට. මට සමාවෙන්න මුනි. මම ඔයාට දෙ‍්‍රාහි වුනේ නැහැ. ඔයා දන්නවා ඒ සේරම වුනේ කොහොමද කියලා. ඔයාට ඔයාගේ ජීවිතයම නැති වුනා කියලා එදා මට හිතුනා. ඒත් ඔයා ආයෙම ජීවිතය දිහා සුභවාදීව බලන්න ගත්ත එක මට පුදුම සතුටක් වුනා මුනි. මම කවදත් හිටියේ ඒ ඔක්කොම වුනාට පස්සෙත් ඔයා ගැන සෙවිල්ලෙන්. ගංගා එක්ක පශ්චාත් උපාධියට කැළණි යනවා කියලා ආරංචි වුනාම මට හරිම සතුටක් ඇති වුනා...ඒත් ඔයා කසාද බැන්දට පස්සේ ආගිය තැනක් සොයා දැනගන්න බැරිවෙලා පහුගිය ගතවුන කාලයම මට මහා දුකක්. ඒත් අද මම ඔයා දැකලා මුණගැහිලත් ඒකත් මට දුකක් වෙලා මොකද ඔයාගේ මෙ පුතාගෙ ප‍්‍රශ්ණය නිසා...ජීවිතේ කියන්නේ මහ පටලැවිල්ලක් මුනි...'

'ඔයාට බය නැද්ද කමලිනී මෙ මහ රාත්තිරී මෙ වගේ ගමනක් යන්න? මට හිතා ගන්නත් බැහැ. ඔයා ඒ කාලෙත් එහෙමනේ. සමහර වෙලාවට කරන කියන වැඩ කොල්ලො දහයකටත් එහා නේ. මතකද අර ආයුර්වෙද ප‍්‍රශ්නෙ වෙලාවෙදි අපි වික‍්‍රමාරච්චියෙ ඉදන් ආව පෙලපාලියෙදි ඔයා පොලිස් පොලු පාරකින් බෙරිච්ච බෙරිල්ල? මතකද අපේ උපවාසයට පොලිසියෙන් ගහපු දවසේ අපි දිව්ව දිවිල්ල... ඔයයි මමයි ගහල ගාලක හැංගුනා මතක ද? මට නම් දැං මතක් වෙන කොටත් ඇග හීතල වෙනවා...'
'අපෝ ඒකටත් එකට දැං ඉන්න එවුන් ... උන් හොඳයි වැට ඉනි වලට තියන්න ... ඒ කාලේ කෙල්ලො වෙලත් අපි කොයිතරම් සටන් වලට ගියා ද? අපි මොනතරම් දේවල් දිනා ගත්ත ද? අත්දැකීම් ලැබුවද ??'

'කෝ තව දුර ද කමලිනී? '

ඝණ අන්ධකාරය තුල කමලිනී සහ මුනිදාස ඉදිරියටම යන්නට විය. ඈතින් පෙනුන මද එලියක් නිසාවෙන් කමලිනී මුනිදාසට කීවෙ තමන් මහාචාර්යතුමාගේ නිවසට කිට්ටු කර ඇති වගයි.

'මුනිදාස ඔයා ගංගට ආදරෙ ද?'

මුනිදාස සිනාසුනි.

'ඇයි කමලිනී? ඔයා තාමත් මට ආදරෙ ද?'

'ආදරය කියන්නෙ ශක්තිය වගේ දෙයක් ඒක ඇති වෙන්නෙත් නැහැ නැති වෙන්නෙත් නැහැ ඒක පරිවර්තනය වෙනවා විතරයි...'

'ඒ කියන්නෙ ඔයා මට තිබ්බ ආදරෙ දැං සමරතුංගට තියෙන ආදරය දක්වා පරිවර්තනය වෙලා ... එහෙම ද?'

'සමහර විට එහෙම වෙන්නත් පුළුවන් ... ඒත් මට වෙලා තියෙන්නෙ ඒක නම් නොවෙයි...'

'ඒ කීවෙ?'

'මම තාමත් ඔයාට ආදරෙයි. මම ඔයාගෙන් වෙන් වුනාට මම ඔයාව මගෙ ආදරයෙන් වෙන් කලේ නැහැ..'

'ඒක මට තේරෙන්නෙ නැහැ කමලිනී. ඒක මට එදා තේරුනෙත් නැහැ. ඔයා මට ආදරය කළා නම් ඇයි ඔයා සමරතුංගව කසාද බැන්දේ?'

'මම සමරතුංග කසාද බැන්දේ එයා එක්ක අපේ ගෙදර අයට ගනුදෙනුවක් තිබ්බ නිසා. මට එහෙමයි ඒ සිද්දිය අද පේන්නේ...'

'එතකොට ඔයාලයි ගෙදර එක්ක මට තිබ්බ ගනුදෙනුව මොකද්ද?'

'මුනිදාස ඔයා ඉස්සර වගේමයි... ඔයාට හැම දේකටම හේතු ඔන. ඒත් අහේතුක දේවල් වලිනුයි මිථ්‍යාවෙනුයි ලෝකය පිරිලා. අපිට දැනෙන ලෝකයට වඩා මහා විසාල ලොකයක් අපට දැනෙන්නේ නැතිව පවතිනවා. මම එදත් ඒක ඔයා ට කීවා මම දන්න විදියට. ඒකම අදත් මම කියනවා...'

'කමලිනී... ඔයා වචන අස්සේ දේවල් හංගනවා... ඉස්සරත් එහෙමයි'

'නැහැ මම කිසි දෙයක් හංගලා නැහැ මුනි...'

'කමක් නැහැ... ඒවා දැං ඉවරයි කාලය හැම දෙයක්ම අවසානයට ගෙනැල්ලා..'

'දැං අපි දොරට තට්ටු කරමුද? වෙලාව නම් පාන්දර තුනහමාරයි... කූද්දන්න හොඳ වෙලාවක් නම් නොවෙයි නේද? '

'අපි එහෙනම් මෙහෙම වාඩිවෙලා ඉමු. තව පැයක් දෙකක් ... කොහොමත් දැං එලිවෙලා නේ...'
'හා අපි වාඩිවෙලා ඉමු'

'ඇත්තටම කමලිනී මට මෙ ගමනින් වැඩක් වෙයිද? පුතාගේ අසනීපයට ප්‍රොෆෙසර් ගේ උදවුවක් ලැබෙවිද ??'


* * *

'නම කියන්න'

'ගංගා සූරියආරච්චි'

'රොගියගෙ කවුද? '

'වයිෆ්'

'දැං මෙයා මෙ කියන දරුව ඉන්නේ කොහෙද?'

'මොන දරුවද ඩොක්ටර්?'

'අමලන්ත '

'අමලන්ත?'

'ඔවු අමලන්ත'

'අපට දරුවො නැහැ ඩොක්ටර් ... මෙයා බලංගොඩ ඉන්නවා කියල පොලිස් මැසේජ් එකක් ආවා අද දවල්... ඒකයි මම ආවෙ... දැං ඩොක්ටර් මෙයාට ආයිම කරන්ට් අල්ලනව ද?'


ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2009/03


12 කුළිය:

Anjana Jayaweera said...

meka kiyawaddi mama sirawatama hituwe amalantha gena kiyanne kiyala....

eeta passe madadi luv story ekak enawa...... eka sira......

ath antimata wenne nohithapu deyak......

wadiyenma kemati kotasa.....

"oyata hemadekatama hethu oni"

pattai dawsa........ pattama pattaiii.....

චමිල said...

schizophrenia

අමුතුම රෝගයක්.

කතාව එළ..

චින්තක said...

මෙක කියව්ල ඉවර වෙද්දි මම හොයනව රෝගියව!!
මම තාමත් හොයනව!!!

ecH said...

මේක නම් එක හුස්මට කියවගෙන යන්න පුළුවන්. ඒ වුණාට කතාව අතරමග බෙහෙත් පැලෑටිය ගැන කියද්දි මම හිතුවෙ මේක නිකං ආයුර්වේද පරීක්ෂණාගාරයක් ගැන කියවෙන එකක් කියල. ඒ වුණාට ඉවර වුණේ වෙනම තැනකින්....

නියමයි...

෴බින්කු෴ said...

නියමයි, කතාවේ මාතෘකා වෙනස් කරමින් අන්තිමට '?' ඉතුරු කරන එකට.

chathurarcrc said...

මෙක නම් නියමයි

vk said...

ela niyamai......anthimata wena kan galagena yana kathwak..

and kalin guess karanna beri hoda awasanayk thiyenne...

hoda kathwak machan..

para.

නොදරුවා said...

මරු!

Koombiya said...

ඩොසා මගෙ ගානෙත් නියමයි එකක් ලියාගනින්.

මචං,
මේ බේතෙ නමේ සංකේ්තාර්ථය නම් මට තෙරුණේ් නැහැ ගොඩක්. නමුත් ඒකෙන් දරුවා ගැන යමක් කියවෙනවා වගේ් ෆීල් වුනා දෙවන වර කියවද්දි.

කතාව රියලිසිටික් වුනත් පොඩි ඇබ්සර්ඩ් කලවමක් තියනවා. අන්තිමට ෆුල් ආතල් එකේ් කියෝගෙන යන එකාව හොල්මන් වෙනවා.
අනික ඔය මහ රෑ යන ගමනෙ තියන ගුප්ත මහ නිකං අමුතු ගතිය මරු.

අන්තිමට උඹ ලියපු පැරා එක අත ඇරලා දැම්මොත් කතාව කොහෙ කොහෙ යන්න තිබ්බද, ඩබ්. ඒ. සිල්වා සහ ඩොසා වෙනස් වෙන්නේ් කොහොමද වගේ් අරව මේවා හිත හිත ගියා මං ගෙදර යද්දි.

උඹේ රූපාන්තරණය සහ මැර කතා දෙකටම වඩා වෙනස් වියමනක්.
දෙබස් රචනය මරු. කේ්. ඩබ්ලියු. පෙරේරා වගේ්.

අනුෂ්ක තිලකරත්න said...

ඩොසා... Beautiful Mind මතක් උනා.හැබැයි අන්තිමට. උඹේ උත්සාහය සාර්ථකයි.

ඩෝසන් said...

නිර්මාණය රස විඳි ඒ හා නිර්මාණාත්මක විවෙචනයේ යෙදුනු සහ සිය සිතුවිලි මෙහි සටහන් කර මා දිරිගැන්වූ සැමට මම කෘතඥ වෙමි.

විශේෂයෙන් කාර්යබාහුල්‍ය මධ්‍යයේ වුවද ජගත් අයියාගේ අමිල උපදේශණය ද ඒ වෙනුවෙන් මිඩංගු කළ කාලයට ද මම ණය ගැති වෙමි.

Ramachandra said...

නියම කතාව.
මේකෙ ස්ටයිල් එක නම් මරු.නාට්‍ය පිටපතක වගේ.බාහිර පරිසර සිද්දි වැඩිය සදහන් නොකර දෙබස් හා සංවාද වලින් කතාව ගොඩනැගෙන ආකාරය නියමයි.