Monday, March 2, 2009

සත්‍යවාදියකුගේ දිනපොත -1986 ජුලි 26

1986 ජුලි 26

අද මට මහා ශ්‍රේෂ්ඨ දවසකි. කියුබන් විප්ලවයේ ආරම්භය ඇතිවුනේ අද වැනි දිනකය. විප්ලවවාදීන්ගේ ශ්‍රේෂ්ඨත්වය තවත් වරක් ලොවට හඩගා කීමට අතලොස්සක් කියුබන් වීරයන් පෙරට ආවෙ අද වැනි දිනකය.

මොන්කාඩා හමුදා බැරැුක්කවලට කස්ත්‍රෝ නමැති තරුණයකු සහ තවත් කීප දෙනෙකු පහර දුන්නේ එක්දහස් නවසිය පනස් තුනේ ජුලි 26 වැනිදාය. අධිරාජ්‍යවාදී ධනපතීන්ගේ ගණිකා මඩමක් සූදු පිටියක් හා කෙළි බිමක් ව තිබූ කියුබාව විමුක්ති මාවතට ප‍්‍රථම පියවර තැබූ එම සටනට මම ආචාර කරමි. දිළිඳුකම හිගමන ගණිකා වෘත්තිය සහ මන්ද පෝෂණය දේශයෙන් තුරන් කිරීම සඳහා ප‍්‍රථම පියවර තැබූ එම ශ්‍රේෂ්ඨ සහෝදරයන් හා සහෝදරියන් මම භක්තියෙන් හා ආදරයෙන් සිප ගන්නෙමි.

අනේ පීඩිතයන් සිටින රටවල තවත් මොනතරම් මොන්කාඩා වැනි බැරැුක්ක ඇත් ද? සිහින් වෙදනාවක් මට මෙ මොහොතේ දැනේ. කමක් නැහැ. පීඩිතයින් කවදා හෝ එක් වෙවි. එක්වෙනවමයි. කස්ත්‍රෝ මෑතක දී කීවාක් මෙන් විප්ලවය සිදුවෙද්දී සැබෑ වීරයන් සිය දහස් ගණනින් බිහිවෙනු ඇත. ඒ ගැන සිතන විට ජීවිතය මොනතරම් සුන්දරදැයි සිතේ.

සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

0 කුළිය: