Monday, August 9, 2010

පල්පීය කතාවක්

පල්පීය කතාවක්

අරවින්ද විරාගී තරුණයෙකි. කුමාරි සරාගී පෙනුමැති නිරාලම්බන මනසින් ජීවත් වන්නියකි. අරවින්ද කොණ්ඩා මෝස්තර කරුවෙකි. කුමාරී වාස්තු විද්‍යාඥවරියකි. ඔවුන් දෙදෙනා හමු වන්නේ වීදුරුවක එක පසය. ඔවුනොවුන් නිරීක්ෂණය කළ දේ වීදුරුවේ දෙපසය. වීදුරුවේ එක පාර්ශවයක රසදිය ආලේප කොට තිබුණි. අනෙක් පස කුමාරිගේ නිද්‍රාගත මුහුණ ද කෙස් වැටිය ද විය.
රසදිය මතුපිට දෙදෙනාගේ බිඹු මුසු වී තිබුනි. රසදිය තලය මත රස පොලොව නිර්මාණය වෙමින් පැවතුනි.

අරවින්ද බසයේ නැගී මරදාන වෙත එමින් සිටී. අරවින්ද කුඩා කල දුටු ගොඩනැගිලි තවමත් ඒ ඒ තැන්වල වයෝවෘධව නැගී සිටී. ඔහු එකල නොදුටු කුඩා ගොඩනැගිලි රාශියක් පසුගිය අවුරුදු දහය ප‍හළව තුළ මරදාන මහ මාර්ගයේ දෙපස නැගී ඇත. එනමුත් දැවැන්ත උස ගොඩනැගිලි කිසිවක් ඉදිවී නැත. එම මාර්ගයේ පර්චසයක් දෙකක් මිළට ගෙන කුඩා බයිසිකල් පොම්පයක් වැනි උඩට විහිදුනු බම්බු ගොඩනැගිල්ලක් හදනු විනා පැතිරුන වාස්තුවක් ගොඩනැගෙන්නට තරම් ආර්ථික ශක්තියක් එම පෙ‍දෙසේ ව්‍යාපාරික අවස්ථාවක් වෙනුවෙන් අත පොවන කිසිම ව්‍යාපාරිකයෙකුට නොමැති බව කුමාරි සෙමින් මිමිණුවාය.

කුමාරි එක වරම මරදානේ අහසට නැගුනු ජරාජීර්ණ වෙමින් පැවති කලකට පෙර සෞභාග්‍යයෙන් සපිරි ගොඩනැගිල්ලක් දෙස බසයේ කවුළුවෙන් බලන්නට වූවාය.

"අරවින්ද, ඔයා දන්නවද පදාස මුදලාලිට මොකද වුනේ කියලා? දැන් ඒ ගොඩනැගිලි පාළු වෙලා ගිහින් කිසිම කලඑළියක් නැහැ. ඒ බිස්නස් වැටුනා නේද? ඇයි ඒ....?"

"නැහැ, මම දන්නේ නැහැ. මම කවදාවත් වැදගත් මිනිහෙක්ගේ කොණ්ඩයක් කපල නැහැ. හැමදාම ආවේ පළපුරුදු කට්ටියමයි. ආණ්ඩුවේ රස්සාවල් කරන මට වැඩිය ඩිංගක් පොහොසත් උදවිය. ඒ අයගේ එකම එක ස්ටයිල් එකයි කපන්න තියෙන්නේ. මට ඇස් පියන් ඒ කට් එක කපතෑකි. ගොඩක් අය ඩයි කරගන්න පුදුම උනන්දුයි. සීසී මහත්තුරු සේරම කොණ්ඩ කළු කරනවා..."

ඇය අරවින්දගේ කොණ්ඩා කතා අසන්නට හුරුවෙමින් සිටියාය. වරෙක ඔහු අතින් වැඩියෙන් කැපුනු උඩු රැවුලක් හේතුවෙන් දවස් දෙකක් වැඩට එන්නට බැරි වෙන්නට ගුටි කෑ බවත් ඔහු මරදානේ සාතං වත්තේ චණ්ඩිය‍කු බවත් පසුව ඔහු අරවින්දගේ හොඳම මිතුරකු වූ හැටිත් කියමින් ඔවුහු මහ හඩින් සිනා සෙන්නට වුහ. අරවින්දගේ ජීවිතේ ලද සියළු දේ කොණ්ඩා අතගාන අතරතුර ලද දේවල් බව කියද්දී කුමාරි ඔහුගේ දකුණතේ සුළැඟිල්ල සෙමින් මිරිකා ගත්තාය. කුමාරි අරවින්දගේ පැති පෙනුමේ නහය පරීක්ෂා කරමින් බසයේ කවුළුව තුලින්‍ මොහොතින් මොහොත වෙනස් වෙමින් පැවති දර්ශන අරවින්ද ගේ නාසයෙන් කැපී ගිලී යන අයුරු බලමින් සිටියාය. ලයිට් කණුවක් වරෙක නාසයෙන් කැපී නොපෙනී ගිය අතර ඊළඟ නිමේෂයේ දී කෙල්ලන් රොත්තක් නාසයෙන් කැපී ගියේය. ගොඩගේ පොත් සාප්පුව නාසයේ වදිද්දී එක වරම නා‍සයේ ඡේදනය වෙනුවට කම්මුලේ පෘෂ්ටයක් මතින් සියළු දේ කැපී යන්නට විය.

අරවින්ද කුමාරි දෙස හැරී බලා හිඳියි.

"මොනවද කල්පනා කරන්නේ? මේ බිල්ඩිං ගැන ද? "

කුමාරි කිසිවක් නොකීවාය.

"පදාස මුදලාලිට වුනේ මොකද්ද කියල ද ඇහුවේ? මට මතකයි එක කස්ටමර් කෙනෙක් ඕක ගැන දවසක් අපේ සැලුන් එකේ කතා කළා. එයා කියන්නේ මහ පුදුම කතාවක්. පදාස මුදලාලිගේ බිල්ඩිම කිට්ටුවම බස් හෝල්ට් එකක් තියෙනවා. ඒ හින්දා බොරැල්ල පැත්තෙන් එන බස් සේරම එතන කිට්ටුවෙද්දි අහන්නේ පදාස බහිනවද පදාස බහිනවද කියල. එතකොට මිනිස්සු කියනවා ඔවු පදාස බහිනවා පදාස බහිනවා කියල... දැං මේක හැම දවසකටම එක විදියට වෙනවානේ. ඉතිං හැම කෙනාම නොහිත අචේතනිකව කියන්නේ පදාස බහිනවා පදාස බහිනවා කියලා... ඕක දැං කටවහ වැදිලා ඇත්තටම පදාස මුදලාලිගේ බිස්නස් බැස්සා... ඉතිං ඔය වගේ බස්හෝලට් ගාව තියෙන විසාල බිස්නස් ගොඩකට ඔය වගේ කටවහ වැදිලා බිස්නස් බැහැලා නැති වෙලා යනවා කියල තමයි ඒ මහත්තයා කීවේ...ඇත්ත වෙන්නැති නේද?"

"එහෙම කතාවක් මම ඇහැව්වාමයි. හරි පුදුමයි නේ?"

කුමාරිගේ දෑස් අනපේක්ෂිත භීතියකින් වැසී ගියා සේ අඳුරු විය. ඇය නොඉවසිල්ලෙන් අරවින්දගේ මුහුණ දෙස බලන්නට වූවාය.

"මට නම් ඔහොම දෙයක් කවදාවත් හිතුනේ නැහැ. මම හිතන් හිටියේ ආණ්ඩු මාරු වෙනකොට බිස්නස්කාරයොන්ටත් ලාබාලාබ වෙනවා කියලයි. මොකද පදාස මුදලාලි‍ලා අර පැත්තෙනේ..."

"ඔව් එහෙමත් වෙන්න පුළුවන්. ආණ්ඩුවට සපෝට් කරන අයට තමයි හැම වරප්‍රාසදයක්ම ලැබෙන්නේ. අපේ බොස්තුත් ආණ්ඩුවට පොඩි සප් එකක් දීලා තමයි අර අලුත් අපාර්ට්මන්ට් බිල්ඩිං ඇතුලේ තියෙන පුංචි සැලොන් පටන් ගන්න අධිකාරියෙන් කඩකෑලි ගත්තේ...දේශපාලන බලය හැම තැනම විසිරිලා. ඒව එහෙම තමයි. එහෙම නැතිව කාටවත් පැවැත්මක් නැහැනේ...."

"ඔව් ගොඩනැගිලි කියන්නෙත් බල ව්‍යුහයක් තමයි. අපි ගොඩනැගිලි සකස් කරනවා. පස්සේ ගොඩනැගිලි විසින් අපව සකස් කරනවා.."

"ඔව් ඔව්...මම කොණ්ඩ සකස් කරනවා. පස්සේ කොණ්ඩ විසින් මිනිස්සු සකස් කරනවා."

"ඒකත් එහෙමද? "

කුමාරි කුතුහලයෙන් අරවින්දගේ මුහුණට එබී බලා සිටියාය.

"ඔව්. දැන් බලන්න ඔයා. ඔයාගේ ඔය කොණ්ඩය ඔය විදියට තියා ගන්න ඔයා සේරම වෙනස් කරගන්නවා‍ නේද? ඔයා අව්වේ යන්නේ අඩුවෙන්. නාන්නේ පරෙස්සමින්. නිදා ගන්නේ පරෙස්සමින්. ... හීනයක් දකින්නත් බයයි කොණ්ඩෙට මොනා හරි වෙයි කියලා..."

අරවින්ද මහ හයියෙන් හිනා වන්නට විය. කුමාරි ලැජ්ජාවෙන් ඉවත බලා ගත්තාය.

"මම ඔයාගේ කොණ්ඩෙට ආදරෙයි."

අරවින්ද ඇගේ කෙහෙරැල්ලක් සියුම්ව අතින් ගෙන ඇඟිලිතුඩුවල පටලා පිරිමදින්නට විය. එම කෙහෙරැලි තුළ කුමාරි ට වඩා දෙයක් සිරව ඇති බව ඔහු දැන ගත්තේය.

කුමාරිගේ ජංගම දුරකතනයේ බීට්ල්ස් ගීතයක් වාදනය වන්නට වූයෙන් ඇගේ කනේ තිබූ හෙඩ්ෆෝනයේ ඉතිරි අග්‍රය අරවින්දගේ කනට ඔබන්නට වූවාය.

try to see it my way
do i have to keep on talking till i cant go on?
while you see it your way,
run the risk of knowing that our love may soon be gone.
we can work it out
we can work it out
think of what youre saying...
you can get it wrong and still you think that it's right.
we can work it out and get it straigt, or say good night..
we can work it out..
we can work it out..
life is very short, and there's no time
for fussing and fighting, my friend..
I have always thought that is's a crime,
so i will ask you once again...
try to see it my way..

නිමේෂයක දී ඔවුන් සිටින්නේ මරදාන බසයේ බව අමතකව නොයන්නට නැවතත් බසයේ දෙදරීම් අතරින් කෑකෝ ගැසීම් අතරින් දූවිලි ගහන පරිසරයේ දෙපා ඔබමින් ඇවිද යන්නට ඔවුහු බසයෙන් බැස ගත්හ.

"අරවින්ද, ඔයාගේ සැලුන් එකේ ඔයාට හොඳට ගෙවනව ද? "

"හ්ම්ම්... ඒක මෙහෙමයි. මට තනිකඩයෙක් විදියට ජීවිත කාලයම ගෙවන්න පුළුවන් ආදායමක්...කසාදයක් බැඳලා ජීවත් වෙන්න නම් ප්‍රමාණවත් මුදලක් නොවෙයි. අනික මම තාම පොඩි එකෙක් නේ... "

අරවින්ද දෑස් කුඩා කර කුමාරි දෙස බලන්නට විය.

"ඔව්, ඔයා පොඩියි නම් තමයි. මට වයස විස්සක් කියලා හිතුවේ ඔයා නේ..."

"ඒක තමයි. මට වයස තිස්පහක් විතර කියල හිතුවෙත් ඔයා නේ..."

"වයස වැඩක් නැහැ."

"ඔව්, වයස වැඩක් නැහැ. ඔයාගේ කොණ්ඩෙට මම හැමදාම සාත්තු කරන්නම්."

කුමාරි අරවින්දගේ සුරත තද කර මොහොතකට පටලා ගත්තාය. මහ පාරේ පෙම්වත් වන්නට තරම් පරිසරයක් නොවීම ගැන කුමාරි කැළඹුනාය. ඇයට ඇගේ මොටෝරිය සිහි විය. ඈ එම රථයෙන් ගමන් බිමන් සැඳෑ කාලයට සීමා කරගත්තී අරවින්ද සමගින් බසයේ උදෑසන ගමන ඊට වඩා සුන්දර යැයි සිතූ දිනයේමය.

"බිල්ඩිං...බිල්ඩිං...හතරවටේම බිල්ඩිං කිසිම පිළිවෙලක් නැති. මේ පාලම් කොයිතරම් කැතද නේද? වාහන තදබදේ...දුම්...දූවිලි...කිසි හාංකවිසියක් නැති මිනිස්සු හැම පැත්තෙම...එහෙට යනවා මෙහෙට යනවා...අපි කොයිතරම් අසරණද මේ ලෝකේ අරවින්ද? "

"ඔව්, මේ කිසි කෙනෙක් කොණ්ඩෙ ගැන සැලකිල්ලක් නැහැ. කොණ්ඩයත් කලා භාණ්ඩයක්...කලා කෘතියක්...කිසි කෙනෙකුට කිසි තැකීමක් නැති...ඒත් කොණ්ඩය කොටටම කපලා ඒක හිසින් අත් හැරපු තරුණයෝ කොච්චර ද? කොණ්ඩය මහ බරක් වෙලා ... ජෙල් ගාන්න නඩත්තු කරන්න මිනිස්සුන්ට කාලයක් නැහැ. වුවමනාවක් නැහැ. ඒකාකාරී කොණ්ඩ හැම තැනම පේන්නේ... කිසි ‍පිළිවෙලක් නැහැ. මේ බිල්ඩිං වගේමයි..."

කුමාරි ඇගේ කාර්යාලයට ආසන්නව සිය ගමන මන්දනය කරන්නට වූවාය.

"ඔයා හයට එන්න චැරියට් එක ගාවට...මම කාර් එක අරන් එනවා... අපි හවස කොහේ හරි ගිහින් රෑට කෑම කමු. "

"මම එන්නම් හයට. එහෙනම් මම මෙතනින් එහා පැත්තට යනවා. ඔයා පරිස්සමින් යන්න."

අරවින්ද අසල ගොඩනැගිල්ලේ වීදුරු මුහුණතින් ඔහුගේ රුවත් කුමාරි පිටු පා යන සුරූපි ලාලිත්‍යයත් දුටුවේය. ඔහු කොණ්ඩය අතින් සකසා ගත්තේය. වීදුරුවේ දෙපස අරවින්ද සහ කුමාරි මොහොතින් මොහොත ඈත් වී බොඳ වෙයි. ඇය වීදුරු දොර තුලින් රසදිය නොපැතිරුනු ගොරෝසු වීදුරු බිත්ති අතරින් නොපෙනී ගියාය.

2010.07.05

ඩෝසන් ප්‍රීති

4 කුළිය:

Arkitektonic said...

දාස මුදලාලි විවුර්ත ආර්තිකෙට බිලි කරපු පිදෙනියක් විදියට තමා මම නම් දකින්නේ. ගොඩක් දේවල් මේ කෙටි සටහනෙන් කියවෙනවා. තවත් මේ වගේ ඒවා ලියන්ඩ.

Rasika Nanayakkara said...

කාලෙකට පස්සේ කියවන්න හිතෙන කෙටි කතාවක් පළකළාට බොහොම ස්තූතියි ඩෝසන්.

ජය වේවා...

ඩෝසන් said...

ආර්කිටෙක්ටොනික් සහ රවා
ඔබ දෙපළටම ස්තුතියි.

:)

Prashan Fernando said...

කතාවේ අමුතුම ස්ට්ය්ල් එකක් තියෙනවා. හරියට අපිට මොකක්ද කියන්න ආවත් කියාගන්න බැහැ වගෙයි. ඒකනම් හරිම ලස්සනයි. පල්පීය කියන්නේ මොකටද? මම pulp fiction ෆිල්ම් එක බලල තියෙනවා. නමුත් මට ෆිල්ම් එකේ කතාවෙයි, නමෙයි සම්බන්දය තේරුනේ නැහැ. මේකත් ඒ සම්බන්ද දෙයක්ද?