තට්ටු කරන්න හෙමින්

තට්ටු කරන්න හෙමින්

නයිට්‍රික් ඇසිඩ් බිංදුවක්
අත්ල මැද දුම් දමයි
ජීවිතේ රේඛා එකිනෙක
පිළිස්සෙයි අඟුරු වෙයි
එනමුදු
වචන ගල් වී ඇත
අයිස් කැට මෙන්
ඝණීභවනය වී ඇත
දිය නොවෙයි කෙළෙසවත්
සැර නොවේ නයිට්‍රික් අම්ල
දිය වුවත් රත්තරන්
දිය නොවෙයි වචන

කරකැවෙයි කටු කම්බියක්
පසා කර බඩ කැවුතු උදරයේ
කිලිපොලා යයි අතුණුබහන්
බත්කෙඳි පුපුරා යයි
එනමුදු
සිතුවිලි ගල් වී ඇත
කිරිගරුඩ කැට මෙන්
නිල් දියමන්ති සේ දැඩිව
නොකැඩෙයි දැඩි බව
සිරුරු පටක ඉරී ගියත්
වානේ තියුණු තුඩු මතින්
නො‍බිඳෙයි සිතුවිලි

සිරුර අත් හළ විටක
අත්හැර දැමිය නොහැකි කිසිවක්
ලෙයින් මසින් සිතට යාවන
මේ මාංෂ කඩමාළුවේ නැත

නොබිඳෙන සිතුවිලි ද
දිය නොවන වචන ද
වේදනාවේ වේදනාව
මකා දමනු ඇත

*"තට්ටු කරන්න හෙමින්//
මගේ විමානේ..දොරටුව ඔබගෙයි
තට්ටු කරන්න හෙමින්//"


 *තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්සිංහල) ගා‍ය‍න‍ය‍ - අනුලා බුලත්සිංහල
ගීතය උපුටා ගන්නට උපකාරී වූ නූර්ති සහ වේදිකා නාට්‍ය ගී බ්ලොග් අඩවියට ස්තුතියි.

සිතුවම ArtRage ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද්දකි.


ඩෝසන් ප්‍රීති
08/2010

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්