Saturday, August 14, 2010

සඳුන්ගේ දෘශ්‍ය කවිය ECT විදියට කියවාගැනීම හෙවත්...

සඳුන්ගේ දෘශ්‍ය කවිය Electro-Convulsive Therapy [ECT] විදියට කියවාගැනීම හෙවත් කවිවලින් ඔලුවට කරන්ට් ඇල්ලීම


මේ නිර්මාණය මා තුලින් හමා යන්නේ ඉලෙක්ට්‍රො කනවල්සිවු ෂොක් තෙරපියක් Electro-Convulsive Therapy (ECT) වගේ කියල සඳහන් කළොත් සමහර අය මේ කීව තෙරපිය ගැන හාංකවිසියක්වත් නොදන්නා හෙයින් තවත් මේ වගේ දෘශ්‍ය කවි දුටු විට ඒවා රසාස්වාදනය කෙසේ වෙතත් පැත්ත පළාතකින් ඇස යවන්නවත් බය වෙන්නට‍ බොහෝ ඉඩකඩ ඇත්තේය.


සත්‍යය නම් මෙවැනි නිර්මාණයක් හරහා අපි අත්දකින එබඳු කම්පනය කුමක් ද යන්න නිවේෂණය කර ගැනීම තුළින් අප අත්කර ගන්නා දැනුම හෝ පැහැදිලි බව යම් අයුරකින් සම්ප්‍රදායික කවියක් හරහා ගොස් ආනන්දයෙන් ප්‍රඥාවට එළඹීමට වඩා හාත්පසින් වෙනස් වන බැව් අවබෝධ කරගැනීමයි. නැවතත් එම කළින් සඳහන් කළ තෙරපිය වෙතට ආවොත් එය සමහර මානසික රෝග පරිපාලනය සහ ප්‍රතිකාරය පිණිස භාවිත වන විද්‍යුත් තරංග ආශ්‍රයෙන් මොළය කම්පනය කරවා එහි රසායනික ජීව ක්‍රියාවලිය සොලවා දැමීමකින් එම ප්‍රතිකාරයට ලක්වන පුද්ගලයාගේ කිසියම් මානසික ආතතියක් හෝ පීඩන තත්වයක් සමනය කිරීම හෝ පාලනය කිරීම කරනු ලබන බව දැක්විය හැකියි.


මේ දෘශ්‍ය කවිය කියවීමත් සමග මේ තෙරපිය ගැන මගේ මතකය අවදි වුනේ කලකට පෙර මා නැරඹූ සිනමා පටයක් වන වන් ෆ්ලූ ඕවර් ද කුකූස් නෙස්ට් [One Flew Over the Cuckoo's Nest] හි ජැක් නිකල්සන් ‍ද මෙවැනි විද්‍යුත් ප්‍රතිකාරයකට බඳුන් වන ශෝකිජනක ඉරණමක් එහි තීව්‍රර ලෙස සටහන් ව තිබූ බැවිනි. ජැක් නිකල්සන් ගේ තත්වය ‍එසේ වුවද මේ නිර්මාණය පරිශීලනයෙන් මා අත්කරගත් කම්පනය ඊට වඩා වෙනස් සහ තීව්‍රරත්වයෙන් සූක්ෂමය.


නිර්වින්දන තාක්ෂණඥයකුගේ බාබිටියුරේට් එන්නත් නික්ෂේපණයකින් සිහි මුර්ජාව හෝ සිහි නැතිව හෝ සිහිනයකට ඇතුල්වන්නා සේ මම ද මෙම තෙරපියට සූදානම්ව කවියේ සංකේත සහ පරිකල්පන ක්ෂේත්‍ර වෙත ඇතුළු වන්නට සැරසෙමි. මෙනයින් මා විසින් කිසියම් ආකාරයක හිස්ටීරියාවක් කෘතිම ලෙස නිර්මාණය කරගෙන කවිය තුලට ඇතුළු වන්නේ නියු‍රෝසියාවක මනෝවිශ්ලේෂණය තුලින් කෘත්‍රිම හිස්ටීරියාව නැවතත් හිස්ටෙරික නියුරෝසියාවක් බවට ඌණනය කොට එය අවසානය දක්වා විසඳා ගැනීමට එළඹුමක් වශයෙනි. මෙය සායනික තත්වයක් වුවද අ‍පගේ විග්‍රහයේදී කවිය සහ මා අතර සිදුවන ගනුදෙනුව එබඳුම තත්වයකට සම්ප්‍රේෂණය කර ගත හැකි වන්නේ කවිය ද සජීවි විශ්ලේෂකයෙකු බවට පත් කිරීමෙනි. මේ තත්වය තුළ කවියෙ අවිඥානය ලෙස එහි කතෘ පෙනී සිටින අතර එය පෙනී නොසිටීමත් අතර දෝලනය වන තත්වයක් බැවින් එය හැඟවුම්කරණය බවට පත්වෙයි. නිර්මාණයේ යථ වසා දැමෙන මේ හැඟවුමේ ක්‍රියාකාරිත්වය සොයා යාම මගේ අරමුණයි. දැන් මේ ලෙස පවතින තත්වය විග්‍රහය සඳහා උචිත සියලුම අංගෝපාංගයන්ගෙන් සැදුනේ වෙයි. වඩාත් නිවැරදිව මෙම ආස්ථානය පැහැදිලි කරන්නේ නම් ස්ලාවො සිසැක් [Slavoj Zizek] සිනමා කෘතියක් තුලින් සංකේතීය සහ පරිකල්පනීය පිළිවෙල තුලින් යථ පරාවර්තනය කරගැනීමේ ක්‍රමවේදයම දෘශ්‍ය කවිය අරභයා අනුගමනය කිරීමේ උත්සාහයකි මේ. සිනමාත්මය තුළ දී කාලය සමග වෙනස්වන රාමුව සහ අන්තර්ගතය ආන්තික වශයෙන් චලිතයේ යෙදෙන විඥානය පිළිබඳ සෘජුවම සමපාත වුවද භාෂාමය කවියක් තුළ හෝ කාව්‍යාත්මය තුළ එබඳු චාලක බවක් සුළු වශයෙන් අන්තර්ගත මුත් දෘශ්‍ය කවියක එවැනි ගතිකයක් ප්‍රබලව ඇති හෙයින් දෘශ්‍ය කවිය අරභයා වඩාත් සෘජු ලෙස මෙම පරමාදර්ශීකරණය අදාල වන්නේ යැයි කතෘ උපකල්පනය කරයි. නොඑසේ නම් දෘශ්‍ය කවිය විඥානමය ගතිගුණ දක්වන වස්තුවක් ලෙස ගැනීමේ විරල දෝශයෙන් මුදවා ගැනීමේ වෙනත් ක්‍රමයක් සොයා ගත යුතුය. එනමුත් දෘශ්‍ය කවිය අරභයා අපගේ පර්යේෂණාත්මක එළඹුමත් මනෝවිශ්ලේශණ සිද්ධාන්ත ප්‍රායෝගිකව වටහා ගැනීමටත් මෙවැනි අභ්‍යාසයකින් කිසියම් උදව්වක් වන්නේය යන්න පමණක් වුවද මේ උත්සාහ‍යේ අපද්‍රව්‍ය ලෙස හෝ ශේෂ වනු ඇත.


මෙම නිර්මාණයේ තිරෝහරණ අතුරු මුහුණත හෝ අපගේ මැදිහත් වීමේ දොරටුව ලෙස තල දෙකක් සංයුක්තව ඇති බැව් මතුපිටින් දැකිය හැකිය. එක තලයක් තුළ දෘශ්‍යමය පසුතලය ද දෙවන තලය ලෙස අක්ෂර මගින් දැක්වෙන සංකේත තලය ද හඳුනා ගත හැකිය. එම තල යුගල සමපාත වන්නේ විඥානයේ පරිකල්පනීය තලය සහ සංකේතීය තලය වෙතටය. දෘශ්‍ය පිලිබිඹුව වන පසුතලය අප ලෝකය දක්නා පරිකල්පනීය දේ හා ගැට ගැසෙන බැවින් එය දෘශ්‍ය රූපයක් අපට සෘජුව සකසා දෙන බැවින් එය පැහැදිලිවම පරිකල්පනීය තලය ලෙස වටහා ගත හැකිය. අක්ෂර භාවිතයෙන් හෝ පරිභාෂික වචන භාවිතයෙන් ගැට ගැසී ඇති දෘශ්‍ය කවියේ සංකේතමය කොටස සෘජුවම සංකේතීය තලය බව එනයින් වටහා ගත හැකිය. මෙනයින් මෙම තල දෙක අතර ගැටුමෙන් උපදින හැඟවුම විසින් අපගේ සංකේතීය ලෝකය වෙත මුදා හරින සංකේතකරණය නොවන වපසරිය යථ ලෙසද හඳුනාගත හැකිය. යථ කිසිවිටෙකත් අප වෙත සෘජුව අභිමුඛ නොවන එනයින්ම එය සොයා යෑම තුළ විෂය බිහිවීම යනු මෙම දෘශ්‍ය කවියේ විවිධ කියැවීම් කරා අපව මෙහෙය වනු ලබන ක්ෂතියේ උල්පතයි. එම ක්ෂතිය යනු මා පෙර සඳහන් කළ ෂොක් තෙරපියේ සමරූපය යි. එනයින් මෙම දෘශ්‍ය කවිය තුළ අප එහි නිරූපිත යථ සොයා යවන ගම්‍යතාවය එම ක්ෂිතමය අත්දැකීමයි.


දැන් අපට මෙම නිර්මාණයේ සංකේත තලය වෙත ගොස් එහි වියවුල තුළ උපදින කියැවීම් කරා වෙනස් මානයකින් ප්‍රවේශ විය හැකිය. සංකේත තලයේ නෛසර්ගික ප්‍රවණතාවය වන්නේ එය නිරන්තරයෙන්ම භෞතික ලෙස නිශ්චිත නොවන අර්ථ සහ නීති පනවන්නට සමත් වීමත් එනයින් භෞතික ලෙස නිර්වේෂණය කළ නොහැකි සිද්ධාන්තමය අවකාශයක් මනස තුළ නිර්මානය කරන්නට පෙළඹවීමත් එතුළ වියවුල හට ගැන්වීමත් ය. නිවැරදි උදාහරණයක් දුන්නොත් එය හරියටම සමපාත වන්නේ ක්වොන්ටම් පද්ධතියක වන භෞතිකව විග්‍රහ කළ නොහැකි ‍ෂ්‍රෝඩින්ගර් සමීකරණයේ විවිධ ගණිතමය ප්‍රකාෂන සහ එමගින් විසඳුම් ලෙස ලැබෙන භෞතික අගයන් තුලින් ක්වොන්ටම් සංසිද්ධි විග්‍රහ කරගැනීමට උපකාරී වීමත් ය. මේ අයුරින් සංකේත තලය සෘජුවම ක්‍රියාත්මක වන නීති අපට අවිශය වුවද එහි ප්‍රතිඵල අපට භෞතිකව විෂය වේ. එනයින් මෙම කවියේ සංකේත තලය විසින් කුළු ගන්වන ප්‍රතිඵලද ඒවායේ මූලාකෘතික වන හෝ සහේතුක වන තත්වයන් අපට විශය නොවූ වද එම අන්තර්ක්‍රියාවේ ප්‍රතිඵල නිරතුරුවම භෞතික තේරුමක් අපට අත් කර දෙන්නට සමත් වෙයි. එම සියළු කියැවීම් නැවතත් පරිකල්පනීය විශ්වය තුළ ගැටීමෙන් අපට ශේෂ කරනු ලබන යථමය ස්වරූපයන් අතරින් වඩාත් ප්‍රභල යැයි අපට හැඟවුම් වන දෙයක් තෝරා ගත හැකියි. එම යථමය ස්වරූපයන් ද කිසි විටෙකත් සර්වප්‍රකාරයෙන් නිරාවරණය නොවන තාක් අපට මේ නිර්මාණය සමග විනෝද විය හැකිය. මෙම නිර්මාණයේ හෝ මෙබඳු දෘශ්‍ය කවියක් හා අපගේ ගනුදෙනුව ‍එලෙස අපරිමිත ශ්‍රේණියක පැටලුන යථෙහි හැඟවුම් සමග දිගින් දිගට ගනුදෙනු කළ හැකිය. එයට අපි මෙම නිර්මාණය අරභයා වන වෙනස් කියැවීම් ලෙස අර්ථගන්වන්නටද හැකිය.


එබඳු එක් කියැවීමක් උදාහරණයක් ලෙස මෙහි සටහන් කළ හැක.


කවියා කුඩය අකුලාගෙන වැස්සේ තෙමෙන්නට තීරණය කරන්නේ පොද වැස්සක් පතිත වීමත් සමගය. පොද වැස්සට හේතු වන්නේ පහල වායුගෝලයේ මහා කැළඹීමකි. කවියේ දෘශ්‍ය පසුබිම එම වැස්සේ භෞතිකත්වය මවා පෙන්වයි. එය තෙමී ගිය තාප්පයක හෝ බිත්තියක ප්‍රතිබිම්බයක් ද ඊට මෙහායින් වන රෙදි වැලක හුදකලා නොවූ ඇමුනුම් කටු දෙකක් ද එමත වූ ජල බිඳු ද පෙන්වයි. බිත්තියේ වර්ණ විසින් බිත්තිය මකා දමන අතර පැහැදිලිවම එය අහසින් වැටෙන පොද වැස්සකට හුවමාරු වෙයි. ඇමුණුම් කටු යුගල හෝ යුවල එකිනෙකා තෙරපගෙන වැස්සට නිරාවරණය වෙයි. පරිකල්පනීය අවකාශයේ හුදකලා යුවලක් දැකීම සංකේතීය විශ්වය තුළ කවියාගේ හුදෙකලා බව මකා ගැනුමට වැස්සේ තෙමෙන්නට යෝජනා කරයි. කවියා හුදකලා නොවූයේ නම් වැල මත වූ යුවල ඔහුට සංවේදනය වන්නේ වෙනස් ආකාරයකටය. නොඑසේ නම් කුඩය සංකේතිකරණය වන්නේ තම සහකරු නම් ඇයද තුරුළට ගෙන වැස්සේ තෙමුනේ කවියා ය. මෙහිදී මෙම අවිනිශ්චිතතාවය විසින් ඇත්තටම කුමක් සිදු වූයේද යන්න විමසීම යනු කිසිදා අවසානයක් නොවන පිළිතුරු ආදේශ වෙමින් ගමන් කරන ප්‍රහේලිකාවකි.


දෘශ්‍ය කවියක අපරිමිත කියැවීම් මෙනයින් මෙම සංකේතීය සහ පරිකල්පනීය තල ඔස්සේ මුදා හරින්නේ යථ හමුවීමෙ ක්ෂතිය නම්වූ විභවය නොනැසී පවතින තාක් දුරටය.‍ ප්‍රායෝගිකව කවියා අතරමැදි වී මෙම සංකේත තලය තුලට පිවිසියොත් අපට අරුම පුදුම දෙයක් අත් විඳින්නට ලැබෙයි. එනම් අපට කවියේ යථ ලෙස කවියා හමු වෙයි. ඉන් සියළු යථාර්ථයන් බිඳී යයි. කිසිවෙකුත් යථාර්ථය සුන් කරගැනුමට උත්සාහ නොකරති‍. එනමුත් මේ වන විටද සඳුන්ගෙන් මේ දෘශ්‍ය කවියේ සැබෑ තේරුම අසන්නන් සිටිය හැකිය.

0 කුළිය: