Tuesday, April 30, 2013

බලන විදිය සහ පේන විදිය

ඉන්දික* මට දුන් විඩියෝ වාර්තා වැඩසටහන් අතර "නිල් ග්‍රහයා" (Blue Planet) නමින් වූ අපගේ පෘථිවිය පිළිබඳ වාර්තා වැඩසටහනේ නිතරම අපගේ ග්‍රහලෝකය අභ්‍යවකාශයේ සිට ගන්නා ලද දුරස්ථ චලන රූපවලින් පෙන්වූ බැවින් එය බලා සිටීමට අතිශය ප්‍රිය උපදවන වාර්තා වැඩසටහනක් විය.

 

අප ජීවත් වන මේ ග්‍රහ ලෝකය ගෝලාකාර යැයි කිසිවෙකුත් පවසද්දී එය එසේමදැයි තත්ත්වාකාරයෙන් දැන ගැනීමේ හැකියාවක් සාමාන්‍ය මිනිසුන් වන අපට නැත. එක්කෝ අප අන් අය කියන දේ විශ්වාස කළ යුතුය. නැත්නම් අප විසින්ම අභ්‍යවකාශයට ගොස් මේ ග්‍රහ ලොවේ ගෝලාකාර බව දෑසින් දැක තෘප්ත විය යුතුය. පෘථිවිය ගෝලාකාර බවට පොළව මත සිට කළ හැකි නිරීක්ෂණ කීපයක් අපට ද්විතීයික අධ්‍යාපනය ලබන අවධියේ දී හෝ තෘතීයික අධ්‍යාපනය ලබන අවධියේ හෝ ගුරුවරුන් විසින් කියා දී ඇති හෙයින් ඒ ගැන යළි යළිත් ලිවීමට වෙහෙසීම නිරර්ථක ය. නමුත් ඒ කිසිවක් අප වසන පෘථිවියේ ගෝලාකාර බව අපට දෑසින් දකින්නට සළස්වන උපක්‍රමයෝ නොවෙති. එවා හුදෙක් තර්කයෙන් ව්‍යංගයෙන් හෝ වක්‍රාකාරව සාක්ෂිමය ලෙස පොළවේ ගෝලාකාර බව ස්ඵුට කරවන සාධකයෝම වෙති. (මා කලක් සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී ලාංකිකයෙකු මුණ ගැසුනේ හෙතෙම පෘථිවිය ගෝලාකාර යැයි ද සූර්යයා වටා අපගේ ග්‍රහ ලෝකය පරිභ්‍රමණය වන්නේ යැයි ද ඇසූ විට තූෂ්ණිම්භූත විය.ඔහු මේ පිළිබඳව අවිශ්වාසය පළ කළ අතර ඔහුව ඒත්තු ගැන්වීමට මට සෑහෙන කාලයක් ගත කරන්නට සිදු විය. ඒ වර්ෂ 2000 දී පමණය. මට හමු වන විට ඔහු හොඳ වැටුපකට හිමිකම් කියන තාක්ෂන නිලධාරියෙකු ලෙස වසර දහයක් පමණ සෞදි අරාබියේම වාසය කොට තිබුණි. ඔහුගේ කුඩා දරුවන් පවා ලෝක ගෝලවලින් සෙල්ලම් කරද්දී ඔහු මේ ගැන නොදැන සිටීම මට මහ පුදුමයක් විය. ඔහු කීවේ ගත කළ ජිවිතේ අතිමහත් ගැටළු නිසාවෙන් මෙවන් සුළු සුළු දේවල් අධ්‍යයනය කිරීම මගහැරුණු බවයි. මා ද ඔහුට කීවේ එබඳු දේ නොදැන සිටීම දෛනික ජීවිතයට බල නොපාන බවයි.)

ඇත්තටම කිසිවෙක් අභ්‍යාවකාශයට ගිය හොත් ඔහුට හෝ ඇයට අප වසන පෘථිවියේ දැකිය හැක්කේ කුමන ප්‍රමාණයක් ද යන්න ගැන යමක් ලිවීමට මට සිතුනේ ඒ විඩියෝ පටය නරඹද්දී ඇති වූ සිතුවිලි නිසාවෙනි. මා මීට පෙර ද නොයෙක් විට පෘථිවියේ දුරස්ථ දෘශ්‍ය චලන රූප දැක ඇතිමුත් එම දෘශ්‍ය රූප වඩාත් සමීපව දකින්නට සහ ඒ ගැන සිතන්නට මෙවර අවස්ථාව ලද්දේ අහඹු සිදුවීමක් ලෙසිනි. එම වාර්තා වැඩසටහනේ අන්තර්ගත පෘථිවි නිරීක්ෂණ දෘශ්‍ය පටිගත කිරීම් සිදු කර තිබුනේ පොළවෙන් අභ්‍යවකාශය දෙසට සැතපුම් දෙසීයක පමණ දුරක සිට ය. ගූගල් අර්ත් (Google Earth)වැනි පරිගනක වැඩසටහනකින් ද ලෝක ගෝලය දෙස අභ්‍යාවකාශයේ සිට අතාත්වික බැල්මක් හෙලිය හැකි නමුත් මා මේ සාකච්ඡා කරනු ලබන විශාල වස්තුවක දෘශ්‍ය ප්‍රමාණය සහ විශාලත්වය පිළිබඳව එහි කිසියම් ගණනය කිරීමක් ඇත්දැයි නිවැරදි ලෙස කීමට මම නොදනිමි. ගූගල් අර්ත් පරීක්ෂා කරද්දී මට දැනෙන්නේ ඔවුන් ඇසට පෙනෙන සීමාව පිළිබඳ සැළකිය යුතු අවධානයක් යොමු කොට ඇත්තේ සමීප දසුන්වල දී පමණකැයි ද දුරස්ථ දසුන් සැබෑ පියවි ඇසකට හමුවන යථාර්ථය නොවන බවත් ය.

පෘථිවිය වැනි විශාල වස්තුවක් දෙස අප බලද්දී එහි කොතරම් ප්‍රමාණයක් අපගේ දෘශ්‍ය ඉන්ද්‍රිය වෙත ග්‍රහණය වන්නේ දැයි සොයා බැලීමට මම උත්ත්සාහ කරමි. මෙම ප්‍රමාණය තීරණය වන ප්‍රධාන සාධකය වන්නේ අප එම වස්තුවට කොතරම් දුරකින් නිරීක්ෂණය කරන්නේ දැයි යන කාරණාව මත ය.

සුලු ගණිතමය ආකෘතියකින් මේ ප්‍රමාණය පිළිබඳ ගැටළුව ලිහාගත හැකිය. ගෝලාකාර වස්තුවක් දෙස කිසියම් දුරක සිට බැලූ විට අපට පෙනෙන්නේ කුමක් ද? වෘත්තාකාර ප්‍රතිබිම්බයකි. මෙම වෘත්තාකාර ප්‍රතිබිම්බයේ විශ්කම්භය සැම විටම එම ගෝලයේ විශ්කම්භයට වඩා අඩුවෙන් පෙනීම වටහා ගැනුමට පහත රූප සටහන පරීක්ෂාවෙන් බැලිය යුතුය.

 
ගෝලයකින් අපේ ඇසට ආලෝකය ඇතුළු වන්නේ එහි ස්පර්ශීය කේතුවක සීමාවේ සිටය. එම කේතු සීමාවට පිටතින් කිසිදු ආලෝකයක් ඇතුළු නොවන බැවින් එම ස්පර්ශීය රේඛාවෙන් ඇතුලත කිසිදු ජ්‍යාමිතික තොරතුරක් අප ඇස වෙත ගමන් නොකරයි.

මෙම සටහනේ රතු ත්‍රිකෝණයෙන් දැක්වෙන්නේ නිරීක්ෂක ඇස පෘථිවියට සමීප අවස්ථාව වන අතර කොළ පාටින් දැක්වෙන ත්‍රිකෝණයෙන් දැක්වෙන්නේ කළින් අවස්ථාවට වඩා වැඩි දුරකින් පෘථිවිය නිරීක්ෂණය කරන අවස්ථාවයි. රතු පාට T1P1 රේඛාවෙන් දැක්වෙන්නේ O1 ස්ථානයේ සිට බැලූ විට පෙනෙන පෙදෙසේ තල පෘෂ්ඨීය වෘත්තයේ විශ්කම්භය යි. කොළ පාට T2P2 රේඛාවෙන් දැක්වෙන්නේ O2 ස්ථානයේ සිට බැලූ විට පෙනෙන පෙදෙසේ තල පෘෂ්ඨීය වෘත්තයේ විශ්කම්භය යි. එය T1P1 වඩා විශාල බැව් පෙනේ.

මේ අනුව ගෝලයේ විශ්කම්භයම ඇසට පෙනීමට නම් ඇස තැබිය යුතු වන්නේ අපරිමිත දුරක බැව් මේ සටහන අනුව පෙනේ. ගණිතමය වශයෙන් ප්‍රකාශ කළහොත් එය අනන්ත දුරක සිට නැරඹිය යුතුය. නො එසේ නම් අපට සෑම විටකම පෙනෙන්නේ සැබෑ ගෝලයේ විශ්කම්භයට වඩා අඩු විශ්කම්භයකින් යුතු වෘත්තයකි.

අපේ ඇස්වලට දේවල් පේන්නේ සෑම විටකම එක්තරා ප්‍රක්ෂිප්ත තලයකට වෑස්සෙන ප්‍රමාණය බැවින් ගෝලීය විශාල වස්තුවක සැබෑ විශ්කම්භය ම දැකීමට මිනිස් ඇස අසමත් වන බැව් මින් පෙනේ. පෙනෙන දුරක සිට බලද්දී නිරතුරුවම අප දකින්නේ විශාල ගෝලීය වස්තුවේ සැබෑ උපරිම වෘත්තයට වඩා කුඩා වෘත්තය කි.

අනෙක් අතට දේවල් අපට පෙනෙන ප්‍රමාණය තීරණය කරන අනෙක් සාධකය වන්නේ වස්තු විසින් ඇස මත ආපාතනය කරනු ලබන කෝණය යි. ඉහත තර්කයේදී ද අප මුහුණ දෙන්නේ මේ ආපාතන කෝණයේ සීමාව ගෝලය විසින් ගොඩනගන්නේ එහි ස්පර්ශීය දාර හේතුවෙන් වීම නිසයි අපට අර ආලෝක කේතුකයකින් සීමා වන බව දක්නට ලැබුණේ.

අප අනන්ත දුරකට කෙසේ හෝ ගියත් එවිට විශාල වස්තුව විසින් ඇස මත ආපාතනය කරන කෝණය ද ඉතා කුඩා අගයක් බවට පත්වන බැවින් විශාල ගෝලීය වස්තුවක සැබෑ විශ්කම්භය දැකීමට කිසිදු ප්‍රායෝගික හැකියාවක් මනුෂ්‍යා වෙත නොමැති බැව් මින් පැහැදිලි වේ.

ඉතා විශාල වස්තු සේම අතිශය කුඩා අංශු ද අපට පියෙවි ඇසින් දැක ගත නොහැක්කේ ද මේ හේතුවම නිසාය. ඉතා කුඩා දේවල් පියවි ඇස මත ආපාතනය කරන කෝණය ඉතා කුඩා බැවින් ඒවා අපට දැකිය නොහැකිය. මේ හේතුවෙන් විවිධ අන්වීක්ෂ මගින් කුඩා වස්තුවල ප්‍රතිබිම්බ විශාලනය කරන කාච උපක්‍රම යොදා ඇසේ ආපාතන කෝණය වැඩි කිරීමෙන් දැක ගන්නට සළස්වයි.

ඒ කෙසේ වුව ද ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනය වැනි පරමාණුක අංශු අපට තනි තනිව පියෙවි ඇසකින් දැකීමට නොහැකිය. කිසිදු උපක්‍රමයකින් ඒවා නරඹන්නට නොහැකි වන්නේ ඒවා එසේ නරඹන්නට සැකසුම් සකස් කරද්දීම ඒවායේ ස්වභාව වෙනස් කර ගන්නා බැවිනි. වක්‍ර ක්‍රම වලින් පවා ඒවා නැරඹිය හැක්කේ ෂර්ලොක් හෝම්ස් ක්‍රමයටය. එනම් රහස් පරීක්ෂකයෙකු සේ අංශු විසින් ඉතිරි කොට ඇති ඇඟිලි සළකුණු වැනි දෑ පරීක්ෂා කිරීමෙන් අපරාධකරු මේ ආකාරයේ විය යුතුය වැනි අනුමාන කිරීම් ඔස්සේ ය.

මේ දෑස කුමට දැයි (මක්කටෙයි?) දැන් දැන් සිතේ නම් එහි වරදක් ද නොපෙනේ. අපි යථාර්ථය යැයි කී විට අපට සිතට නැගෙන්නේ මේ අප ඇස් දෙකෙන් දැක මනසින් ගොඩනගා ගත් ලෝකයට යි. යථාර්ථය යනුම දෘශ්‍යාවලියකි. පින්තූර ලෝකයකි.නමුත් එය කොතරම් ඒ යථාර්ථයෙන් පවා දුරස් දැයි මේ අනුව සිතා ගත හැකිය.

ස්ලාවෝ ජිජැක් එක්තරා වාර්තාමය විඩියෝ වැඩසටහනක දී දෘශ්‍ය රූප ගැන පවසන දේ අපට වැදගත් වේ.

මේ එම වැඩසටහනේ ඇරඹුමයි. ජිජැක් වට කොට විශාල තිර මත ඔහුගේම මුහුණේ සමීප රූප විඩියෝ දර්ශන සජීවි ලෙස ඔහු අසල සිටින කැමරාකරු විසින් ග්‍රහණය කොට තිර මතට ප්‍රක්ෂේප කරමින් සිටියි. ජිජැක් තමා වටා තමාගේම දැවැන්ත ප්‍රතිරූප විසින් නිමවන කැළඹුම්කාරී රූපාවලිය නිසාවෙන් තරමක් තිගැස්මකට ලක්ව සිටියි.

මේ අතරතුර වැඩසටහනේ මෙහෙයවන්නා පසුබිමෙන් අවකාශයෙන් ඔහු වෙත කතා කරන අතර මේ සැකැසුම හෝ වැඩසටහනේ ආකෘතිය පිළිබඳ ජිජැක්ගේ පළමු ප්‍රතිචාරය කුමක් දැයි විමසා සිටියි. එවිට ඔහු මෙසේ කියයි “Images are the true reality today, I claim! Yeah, I like this idea that you will bombard me with images from reality. Images are the true reality today; I claim. We cannot simply say discard the images and you see reality. If we discard images, nothing remains just some pure abstraction. Images are reality for us today.”

"දෘශ්‍ය රූප තමයි වර්තමානයේ සැබෑ යථාර්ථය වී ඇත්තේ; මමයි කියන්නේ. ඔව්, මම කැමතියි මේ යථාර්ථයේ දෘශ්‍ය රූප මා වෙතට බෝම්බ ලෙස ප්‍රක්ෂේප කරවන මේ අදහසට. දෘශ්‍ය රූප තමයි වර්තමානයේ සැබෑ යථාර්ථය වන්නේ. මම කියන්නේ. අපට බැහැ සරලව කියන්න දෘශ්‍ය රූප මගහරින්න එතකොට ඔබට යථාර්ථය පෙනේවි කියලා. අපි දෘශ්‍ය රූප මග හැරියොත් කිසිවක් ඉතිරි නොවේවි සමහර විට ශුද්ධ වියුක්ත බවක් ඉතිරි වෙයි. අද වන විට දෘශ්‍ය රූප යනු අපේ යථාර්ථය බවට පත් වී ඇත."

මෙතන මේ ජිජැක් දක්වා ඇති "පියෝ ඇබ්ස්ට්‍රෑක්ෂන්" කියන යෙදුමේ තේරුම දෘශ්‍ය රූප ඉවත් කළ විට ඉතිරි වන දෙය පිළිබඳ හැඟවුමකි. එය කුමක්දැයි දෘශ්‍ය රූපවලින් තොරව වටහා ගත නොහැකි බව අප වටහා ගත යුතුය. අවශ්‍ය නම් සිංහල ඉංගිරිසි ශබ්ද කෝෂයක් පෙරළා ඇබ්ස්ට්‍රෑක්ෂන් යන්නේ සිංහල පදය උපුටා මෙහි ලිවිය හැකි වුව ද ඉන් එම අදහස වටහා ගැනීමට කිසිදු ආධාරයක් නොවනු ඇති බැව් ද සඳහන් කරමි.

අපි වස්තු දිහා බලද්දී ඒ වස්තු වලින් අපට පෙනෙන ප්‍රමාණය සහ විශාලත්වය යනු දෙයාකාරයක පරාමිතීන් බව වටහා ගැනුමට අපගේ ඉහත ලෝක ගෝල උදාහරණය තව දුරටත් විග්‍රහ කර ගනිමු. අප ලෝක ගෝලය දිහා බලද්දි ඉන් අපට පෙනෙන ප්‍රමාණය වන්නේ අපේ ඇස මතට පතිත වන ආලෝක කේතුවේ වාටියේ ප්‍රමාණය බැව් අපට පැහැදිලිය. නමුත් එය ප්‍රමාණාත්මකව ගතහොත් එම කේතුකයේ පතුලේ ඇති වෘත්තයේ වර්ගඵලය ට සමානුපාතික වේ. (නොඑසේ නම් ගෝලයේ එම කේතුක ස්පර්ශයෙන් ඇවිරෙන වක්‍ර වර්ගඵලය ලෙස ද ගත හැකිය. වක්‍ර වර්ගඵලය ගණනය කිරීම තරමක් දුෂ්කර බැවින් පැතැලි වර්ගඵලය ඊට අනුලෝමව සමානුපාත බැවින් භාවිතා කරමි.) අප ගෝලයෙන් ඈතට යත්ම මෙම කේතුකයේ පතුලේ වර්ගඵලය ප්‍රමාණාත්මකව වැඩි වුව ද එය විසින් ඇසෙහි ආපාතනය කරනු ලබන කෝණය අඩුවන බැව් පෙනේ. මෙය අවශ්‍ය නම් ගණිත සමීකරණ ආධාරයෙන් ශ්‍රිත ගොඩනගා වඩාත් ලස්සනට ප්‍රස්තාරික ලෙස පෙන්විය හැකිය. දෘශ්‍ය ආධාරක රහිතව මෙය මනසින්ම වටහා ගන්නට තැත් දැරීම මදක් දුෂ්කරය.

මෙනයින් අපට පැහැදිලි වන්නේ ලෝක ගෝලයේ මතුපිට අපට වැඩිපුර නිරාවරණය වද්දී එහි ඇසට පෙනෙන විශාලත්වය ක්‍රමයෙන් කුඩා වන බවයි.

සාමාන්‍යයෙන් අපට වඩා හොඳින් වස්තු පෙනෙන්නේ ඒවාට වඩාත් ලංව බැලූ විටයි. නමුත් විශාල වස්තු වඩා හොඳින් බලා ගැනීමට නම් අප දුරස් විය යුතුයි. දෘශ්‍ය දේ යථාර්ථයක් වන්නේ අප ඇස තැබිය යුතු තැන නිවැරදිව තැබූ විට බැව් මෙයින් දළ වශයෙන් වටහා ගත හැකිය.

* විශේෂ ස්තුතිය
මා හට විඩියෝ වාර්තා වැඩසටහන් විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කළ ඉන්දික සංජීව සමරවික්‍රම සහෘදයාට.

7 කුළිය:

Dilantha said...

හොද පොස්ට් එකක් , ගොඩක් වටිනවා

SilentSahan said...

ඇත්තටම ගොඩක් වටිනවා ..මේ වගේ දේවල් තව ලියන්න ...එනවා බලන්න ..

SilentSahan said...

ඇත්තටම ගොඩක් වටිනවා ..මේ වගේ දේවල් තව ලියන්න ...එනවා බලන්න ..

Ayilas A said...

නියමයි.++++++

Ayilas A said...

නියමයි!.++++++++++++++

Anonymous said...

oya, monawa liyanawada manda, ara ka.ka. wage guu katha liyanawako, modayonegen hure da ganna.

කතන්දර කාරයා said...

Thanks Mr. Anonymous