Friday, May 3, 2013

සිංහලෙන් කියැවීම සහ ඉංගිරිසියෙන් සිතීම

ඔන්ටික් (Ontic) සහ එපිස්ටමික් (Epistemic) යන (ක්වොන්ටම්) යථාර්ථයේ ස්වරූප (State of Reality) දෙක වටහා ගන්නට ක්වොන්ටම් භෞතිකයෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වන අයෙකුට වැදගත් ලිපියක් අද පළ වෙලා තියෙනවා Physics World (පිසික්ස් වර්ල්ඩ්) වෙබ්සයිට් එකේ.

ඒ ලිපියේ හෙඩිම යොදා ඇත්තේ ජනප්‍රිය නවකතාවක් වන ලයිෆ් ඔෆ් පයි (Life of Pi) අනුව යමින් ලයිෆ් ඔෆ් ප්සයි (Life of Psi) යනුවෙනි. මේ ප්සයි යනු ෂ්රෝඩිංගර් සමීකරණයේ විසඳුම් ලෙස එන තරංග සමීකරණය හඳුනා ගන්නා ග්‍රීක සංකේතය යි. එම ලිපියෙන් සාකච්ඡා වෙන්නේ එම තරංග ශ්‍රිතය කොතරම් දුරට භෞතික යථාර්ථයට සමීපදැයි යන්න විමසීමය. රසවත් ලිපියකි. මා හට එම ලිපිය කියවද්දී හිතුනේ එය සිංහලට පරිවර්තනය කළා නම් හොඳයි නේද කියා ය. නමුත් මගේ අතීත අත්දැකිම් මට සිහිපත් කළේ අනෙකකි.

Ontology:
1 (computing) a rigorous and exhaustive organization of some knowledge domain that is usually hierarchical and contains all the relevant entities and their relations.
2.The metaphysical study of the nature of being and existence

Epistemology:
1.The philosophical theory of knowledge

මේ අර්ථකථන මා උපුටා ගත්තේ "වර්ඩ්වෙබ්" (WordWeb) ශබ්දකෝෂයෙන්. මේ වචනවලට සිංහල වචන නිර්මානය කිරීම දුෂ්කර කටයුත්තක් වුනත් ඒවා ඉංගිරිසියෙන්ම කියවා අවබෝධ කර ගැනීමේ දී කිසිදු පටලැවිල්ලක් සිදු නොවන බැව් පෙනේ. සිංහල පමණක් කියවන පාඨකයන් ඉංගිරිසි ඉගෙන ගැනීම අනිවාර්ය විය යුත්තේ ඔවුන් ඉංගිරිසියෙන් ප්‍රකාශිත දැනුම තම තමන්ගේ අවබෝධය පිණිස උපයෝගි කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම් පමණි යනුවෙන් ද පැවසිය නොහැක. මන්ද යත් තම තමන්ගේ දැනුම ප්‍රසාරණය කරගැනුමට ද බටහිර දැනුම භාවිතා කරන්නන් අප අතර සිටින බැවිනි. ඔවුහු විශේෂ දැනුම ප්‍රචාලනය හෝ සංවාදගත වීම හෝ වෙනත් දේශපාලනික ව්‍යාපාරයක නියැලුනෝ හෝ නොවෙති. විශේෂයෙන් ඉංගිරිසි පොත්වල දැනුම භාවිත කරන්නට සිදු වන වර්තමානයේ ඉංගිරිසි භාෂාව හැකි තරම් ඉහළට ඉගෙන ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් බැව් පෙනේ. නොඑසේ නම් ඉංගිරිසි පොත් පත් සිංහල භාෂාවට පරිවර්තනය කරන්නට යන සෑම විටෙකම අදාළ සිංහල වචන අලුතෙන් නිර්මානය කිරීම හෝ තිබෙන වචනවලට අලුත් අර්ථකථන සම්පාදනය කිරීමට හෝ සිදුවන බැවින් වඩාත් සුදුසු වන්නේ අප ඉංගිරිසි භාෂාව ඉගෙන ගැනීම යැයි මම සිතමි.

මේ ළඟක දී මගේ හිතවත් සහෝදරයෙකු ස්ලාවෝ ජිජැක්ගේ කෘතියක් සිංහලට පරිවර්තනය කිරීම ආරම්භ කර ඇති මුත් මගේ අදහස නම් එය ඔහුගේ කාලය අපතේ යැවීමක් ලෙසටත් වඩා (අනාගත) කියවන්නන් දැඩි අපහසුතාවයකට ලක් කිරීමක් ලෙසය. ලංකාවේ ජිජැක් කියවන අය කොහොමත් ඔහුගේ ඉංගිරිසි පොත් කියවා ගන්නා බව ස්‍ථිරය. ඔවුහු ඒවායේ සිංහල පරිවර්තන එනතුරු බලා නොසිටිති. නමුත් ලංකාවේ ඉංගිරිසි නොකියවන අයට ජිජැක් කියවන්නට අවකාශයක් තනා දීම අගය කළ යුත්තක් ලෙස යමෙක් වටහා ගන්නේ නම් මට ඒ ප්‍රාර්ථනාව සමග එරෙහි විය නොහැකිය. එනමුත් මගේ යෝජනාව ඒ ආකාරයෙන් ජිජැක් ගේ කියැවීම් ගැන උනන්දු අය වහවහා ඉංගිරිසි ඉගෙන ගත යුතු බවයි. මන්ද යත් සිංහලට නැගෙන එම අදහස් බොහෝ විට වචන ගොඩවල් පමණක් වීමයි. විකෘති සංකල්ප පොම්ප කිරීමක් පමණක් වීමයි. මා දන්නා තරමින් වර්තමානයේ මනෝවිශ්ලේෂනය හෝ ක්වොන්ටම් භෞතිකය හෝ වෙනත් බටහිර දැනුම කේන්ද්‍රකරගත් පරිවර්තිත බොහෝ සිංහල ලිපි ලේඛන ඒවායේ ඉංගිරිසි මුල් පොත්වල සම්පාදිත අදහස්වලට වඩා විකෘති සහ ව්‍යාජ අර්ථකථනයන්ගෙන් බහුල බවයි. සමහර වගන්ති පටන් ගන්න තැනේ සිට අවසානය දක්වාම ඇත්තේ ජීවිතේට අසා නැති සිංහල වචන එකකට එකක් ගැටගසා ඇති අපභ්‍රංසය. (මේ නිසාවෙන් ඉංගිරිසි ලිපි සිංහලට පරිවර්තනය කිරීම මා විසින් සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත.) ඉංගිරිසියෙන් එම අදහස්ම කියවද්දී සරලව වැටහෙන එම අදහස් ම සිංහලට නැගීමේ දී ව්‍යාජ සංකීර්ණබවක් ඔබ්බවා ඇතැයි කිසිවෙකුට දැනේ නම් එය වැරදි නොවේ. ඒවා ගැන කිසියම් විමර්ෂනයක් කර වැරදි නිවැරදි කිරීම් කළ හැකි අය ද (එම ලිපි සම්පාදකයන්ම හෝ වෙනත් අය) සිංහල භාෂා ක්ෂේත්‍රයේ හෝ දැනුම් ක්ෂේත්‍රයේ හෝ එක්කෝ නැත- නොඑසේ නම් ඔවුනට ඒ ගැන වගක් නැත.

ඉංගිරිසි ලිපි ඒ ආකාරයෙන්ම සිංහලට නැගීමට වඩා අතරමැදියා විසින් අචේතනිකව කරනු ලබන වැරදිවලට හෝ දෝශවලට ඉඩක් තැබුමට පොඩි ලංසුවක් තබා කළ යුත්තේ අනුවර්තනය කිරීම යැයි මම සිතමි. කෙසේ වුවත් අපැහැදිලි සිද්ධාන්ත විසින් පැහැදිලි කරනු ලබන විග්‍රහයන්ගෙන් ගහණ ජිජැක්ගේ පොත් අනුවර්තනය කිරීම ද ඒ විශයයන් ප්‍රමාණාත්මකව හදාරා නැති අය විසින් නොකළ යුතු යැයි මම සිතමි. එනයින් ජිජැක් පරිවර්තනයේ සමර්ථයෝ ලංකාවේ වෙත්දැයි කුකුසක් උපදී.

මා විසින් ද නොයෙක් වර විවිධ අපභ්‍රංස පරිවර්තනය කොට ඇති අතර ඒවා ගැන අද මම ඉමහත් සේ ලැජ්ජාවට පත්වන බැව් ද මෙහි සඳහන් කරමි. ඒ සඳහා මා වැය කළ කාලය හෝ ශ්‍රමය ගැන ද කනගාටු වෙමි. ඒ කිසිවක් සිංහලට පරිවර්තනය නොකළ ද ඒවායේ ඉංගිරිසි මුල් පිටපත් අදාල මිනිසුන් වෙත යොමු කළා නම් මැනවියැයි මට සිතෙන්නේ වැඩි හොඳ කරන්නට ගොස් රට්ටුන්ගෙන් අවලාද ඇසීමට ද සිදු වූ බැවිනි. මුහුණු පොතේ හමු වූ ඇනෝනිමසයෙකු මා හට තර්ජනය කළේ මා විසින් පරිවර්තනය කරන ලද ඉංගිරිසි ලේඛනවල දෝෂ මතු කොට "විසංයෝජනය" (Deconstruction) කරන බවයි. ඒ එක් අවස්ථාවකි. තව කීප විටකම නොයෙකුත් පරිභවයන්ට පාත්‍රවන්නට සිදු විය.

එහෙම දේවල් වෙන්නේ අර මගේ හිතවතා වගේ බහුජන හිතාය-සුඛාය වැඩ කරන්න ගියාම-විශේෂයෙන් දන්නව කියල හිතන් ඉන්න අයවත් බහින්නේ නැති තාලේ කරන්න බැරි වැඩ කරන්න පුළුවන් කියල හිතල කරන්න ගියාම!

කෙසේ වුවත් කාට කාටත් ඉංගිරිසි හොඳින් ඉගෙන ගැනීමේ වැදගත්කම කියා පෑම මේ කෙටි සටහනේ අරමුණයි. එක්තරා ඉංගිරිසි-සිංහල පරිවර්තකයෙක් ඉංගිරිසියෙන් කතා කිරීම ඉගෙන ගත යුතු බැව් මට පැවසීය. ඒ ඔහුගේ අවංක අදහස වුවද එක අතකට ඉංගිරිසියෙන් කියවා යමක් හොඳින් අවබෝධ වන්නාට ද එම අදහසම සිංහලට පෙරළීමට ඇවැසි වන්නේ හොඳ සිංහල වාග්කෝෂයකින් පිරිපුන් මනසක් පමණි. ඔහු ඉංගිරිසි කතා කිරීමෙහි නිපුණයෙකු වීම අවශ්‍ය නොවේ යැයි මම ද සිතමි. නමුත් මෙබඳු පරිවර්තකයන් හමු වන්නේ ලංකාවේ දී පමණකි යැයි මට සිතේ.

3 කුළිය:

Imantha said...

ලොව ඇති එකම සත්‍ය දහම බුදු දහමයි.එය තවත් එක් ආගමක් නොවේ.

kkroxc said...

මම හොදින් ඉංග්‍රීසි කතාකරනවා ලියනවා නමුත් ඉංග්‍රීසි නවල් කියවද්දී සිංහල එව්වා වගේ මගේ හිතේ කතාව මැවෙන්නේ නැහැ ඒක හින්දා මම කියවන්න ඕනි කම තිබුනත් මම ඉංග්‍රීසි පතපොත කියවන්නේ නැහැ

Eratu said...

ඒ අපේ හිතේ පොඩි කාලෙ ඉදාල මැවිල තියන චිත්‍ර, අපේ මතක , අපේ සිතුවිලි පවා සිංහලෙන් නිර්මාණය වෙලා තියන නිසා.