"මිලි ග්‍රෑම් දහසේ
ඩොලිප්‍රෑන් පෙත්ත"*
උගුරෙන් පහල ඇදී යද්දි
ආමාෂය වෙත
මට දැනුනා
මගේ බර තුන්කාලකින් අඩු වුණු බව!
දෙපා තැබූ සේ
සඳ මත
කවුළුවෙන් එපිට අහසෙ
යම්තමින් බැබළුනු...
පෙණ කැටි දහසක්
කාබන්ඩයොක්සයිඩ්
ගොර ගොර ගා උගුරට එද්දි
සඳ වත
මා කුස තුළ
දියව ගියා...
ඔන්ලයින් ආ කිසිවෙක්
සේලයින් දිගේ ආවෙ නැති
දිගු අන්ධකාර රාත්‍රියේ
සෙත් කවි මුමුණන්නට ආ
මැලේරියා මදුරුවාට
අත දිග හැර චප්ප වෙන්න
පහරක් දී ගත නොහැකිව
ඇඳ මත දපා සිටියෙමි
සඳ ගිලගත් රාහු සේ...
නිමිත්ත
* මංජුල වෙඩිවර්ධන ලියූ "යළි නිදන්නෙමි" (ඉස්පිරිතාල සිතිවිලි) කවිය සහ අගෝස්තු මාසයේ මුල මැලේරියා සැදී එක දිගට සති දෙකක් පමණ මා විඳි අපහසුතාවය, ඒ කවිය කියවද්දී නැවතත් ආගන්තුක කෝණයකින් මතක් වීම, මේ වදන් පෙළ ලියැවෙන්නට හේතු විය.
ප.ලි.
1996 දී පමණ මා ද පෙණහළු ආශ්‍රිත අසනීපයකින් රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දී කුඩා කොපි පොතක ප්‍රමාණයේ කවි වැනි දෑ ලියා තැබූ බව මට මතකය. ඒ සිතිවිලි ද මා නම් කර තිබුණේ "ඉස්පිරිතාල සිතිවිලි" යැයි මට යම්තමින් මතකය. ඒ සටහන් පොත මගේ විශ්වවිද්‍යාල සහෘදයකු වන අරවින්ද සේනාධීර සතු කර ගත් බැවින් මට ඒ සටහන් පොත අහිමි විය. ඔහු ඒ කොපි පොත සුරක්ෂිතව තබා ඇතැයි වරක් විදේශයක සිට ලංකාවට නිවාඩුවකට පැමිණි කල මා හට පැවසීය.
රූප සටහන උපුටා ගැනුම
