Wednesday, August 24, 2011

"මිලි ග්‍රෑම් දහසේ ඩොලිප්‍රෑන් පෙත්ත"*

"මිලි ග්‍රෑම් දහසේ
ඩොලිප්‍රෑන් පෙත්ත"*
උගුරෙන් පහල ඇදී යද්දි
ආමාෂය වෙත

මට දැනුනා
මගේ බර තුන්කාලකින් අඩු වුණු බව!

දෙපා තැබූ සේ
සඳ මත
කවුළුවෙන් එපිට අහසෙ
යම්තමින් බැබළුනු...

පෙණ කැටි දහසක්
කාබන්ඩයොක්සයිඩ්
ගොර ගොර ගා උගුරට එද්දි

සඳ වත
මා කුස තුළ
දියව ගියා...

ඔන්ලයින් ආ කිසිවෙක්
සේලයින් දිගේ ආවෙ නැති
දිගු අන්ධකාර රාත්‍රියේ

සෙත් කවි මුමුණන්නට ආ
මැලේරියා මදුරුවාට
අත දිග හැර චප්ප වෙන්න
පහරක් දී ගත නොහැකිව

ඇඳ මත දපා සිටියෙමි
සඳ ගිලගත් රාහු සේ...

නිමිත්ත
* මංජුල වෙඩිවර්ධන ලියූ "යළි නිදන්නෙමි" (ඉස්පිරිතාල සිතිවිලි) කවිය සහ අගෝස්තු මාසයේ මුල මැලේරියා සැදී එක දිගට සති දෙකක් පමණ මා විඳි අපහසුතාවය, ඒ කවිය කියවද්දී නැවතත් ආගන්තුක කෝණයකින් මතක් වීම, මේ වදන් පෙළ ලියැවෙන්නට හේතු විය.

ප.ලි.

1996 දී පමණ මා ද පෙණහළු ආශ්‍රිත අසනීපයකින් රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දී කුඩා කොපි පොතක ප්‍රමාණයේ කවි වැනි දෑ ලියා තැබූ බව මට මතකය. ඒ සිතිවිලි ද මා නම් කර තිබු‍ණේ "ඉස්පිරිතාල සිතිවිලි" යැයි මට යම්තමින් මතකය. ඒ සටහන් පොත මගේ විශ්වවිද්‍යාල සහෘදයකු වන අරවින්ද සේනාධීර සතු කර ගත් බැවින් මට ඒ සටහන් පොත අහිමි විය. ඔහු ඒ කොපි පොත සුරක්ෂිතව තබා ඇතැයි වරක් විදේශයක සිට ලංකාවට නිවාඩුවකට පැමිණි කල මා හට පැවසීය.

රූප සටහන උපුටා ගැනුම

7 කුළිය:

kA said...

Ispirithala Sithiwili newatha oba atha path wewa!
Online a kisiwek seline bata dige awe nethi...
Ow...
eththa nam e katawath one wunath enna bari... :)

මුචලින්ද said...

නියමයි නියමෙනුත් නියමයි!

Sujeewa Kokawala said...

මං මංජුලට බූන්දියේ දාපු උත්තරේ මෙන්න.

------------------------------------

...
ඇඳ ළඟ කියන ඔරසන්
බීප් බීප් හඬකින්
පින පව දෙපස ලා
එකවුන්ට් බැලන්ස් කරමින්
පල්සය සෙමින් මියයන

කෙටි බීප් හඬ නැවතී
තාප ගතික විද්‍යාවේ
තුන්වෙනි නියමය
මහ හඬින් කෑ ගසනට
නිමේශයකට පෙර

අවසන ඉතිරි වනුයේ
විශ්වයෙ කවන්ධය
උණුහුම තවම රැඳී මුත්
අන්ධ අඳුරු
ආලෝකය යලි නොයෙන

සුදු රෙද්දකින් වැසී ගිය

Hermitian said...

ස්තුතියි කේඒ-මුචා සහ කොකා.
:)

කොකාගේ කවියට මම කැමති විශේෂයෙන් තාප ගතික විද්‍යාවේ නියමයන් රූපිකව කවියක එලීම ට දරපු උත්සහය නිසා.

ඒ වුනත් තාප ගතිකයේ තුන්වෙනි නියමය නම් මරණයට අදාල වෙන විදිය එතරම් ලේසි වැඩක් නොවෙයි කල්පනාවට ගන්න එක, අපි ජීවත් වන උෂ්ණතවයන් එක්ක සසඳද්දී...

සොඳුරු සිත said...

මරණයේ සොඳුරු , එළිපත්ත ළඟට
සඳ සමඟ ඇවිද ,
සඳ සමඟ ඇවිද ,
සඳ සමඟ ඇවිද ,
සඳ සමඟ ඇවිද ,
නෙත් පේන මානේ , අත ළඟම මරණෙ
තවම ඇවිදිමිය
සඳ සමඟ ඇවිද,
සඳ සමඟ ඇවිද ,
සඳ සමඟ ,...... සඳ ..සඳ....
පෙනී පෙනී නෙතට
සොඳුරු මරණය ද
දුර ඇයිද මටම


මරණය , රමණය කරන්නට
අවසර දෙන්න බැරිලු දැන්ම........
තව තව ලියන්න
තව කලක් ඉන්න....

Sujeewa Kokawala said...

@Hermitian;

100% ගැලපෙන්නේ නැහැ.

කොහොමත් මගේ කතාව තාපගතිකයේ තුන්වන නියමයේ දිගුවක් ගැන.

අවසානයේ ඉතිරි වන්නේ අතිශයින් අඳුරු අධික ලෙස රත්වූ අක්‍රිය විශ්වයක් හෙවත් විශ්වයේ කවන්ධය.

උණුහුම ඇරෙන්නට ඉතිරිය ගැලපේ. ඉලක්කම් සමාන කිරීමක් නොවේ මෙටෆෝ එකක් විතරනේ.

Hermitian said...

@Sujeewa,

ඔව්, රූපිකව ඔබ ගත් වෑයම අසාර්ථක නෑ. ඒක හරිම ලස්සන යෙදුමක්. එකඟයි ඉලක්කම්වල අදාලත්වයක් නැති බවට... :)

මට හිතුන දේත් කෙටියෙන් ලියා තබන්නම්.

සාමාන්‍ය පිළිගැනීම ජීව සෛල තුළ සිදුවන රසායනික ක්‍රියාවල එන්ට්‍රොපිය ක්ෂය වීමක් හරහා ඒවා මරණය කරා එළඹෙන බවයි. ජීව සෛලවලට අදාලව මට ඒක එතරම් පැහැදිලි නෑ නමුත් මට එකපාරටම හිතුනේ එන්ට්‍රොපිය සම්බන්ධ මේ මතය ඔබ කවියේ රූපිකයට භාවිතා කළා යැයි කියා නොවේ. මා සිතුවේ එන්ට්‍රොපිය ශූන්‍ය වන උෂ්ණත්වයක් කරා සිරුර ගමන් කළා යන අරුතින්. එම උෂ්ණත්වය නිරපේක්ෂ ඒකකයෙන් සියළු අත්‍යාංශු සිය චලිතය නවතා ලන උෂ්ණත්වය වන නිසා එය අප්‍රායෝගික උෂ්ණත්ව ලක්ෂ්‍යක් ලෙසයි මට පෙණුනෙ. එකම ස්ටේට් එකක් පවතින තත්වයට අංශුවක් පත් වූ විට එහි අවුල අතුරුදන් වන නිසා එන්ට්‍රොපිය ශූන්‍ය වෙන බැව් ක්වොන්ටම් භෞතිකය තුළ කියැවෙනවා. එබඳු තත්වයක් ඇති කරවන උෂ්ණත්වය බොහෝ පහළ අගයක් බැවිනුයි මට කාමර උෂ්ණත්වයක සිදුවීගෙන යන මරණය සමග එය ගලපා ගන්නට දුෂ්කර වුණේ. සංවෘත හුදකලා පද්ධතියක නම් එන්ට්‍රොපිය වැඩිවෙමින් පවතින රාශියක් මිසක් අඩුවෙන දෙයක් නොවෙයි එන්ට්‍රොපියේ ගණිතමය පසුබිමට අනුව.
විශ්වයේ අවසානය එන්ට්‍රොපි සංකල්පයෙනුත් විග්‍රහ කළ හැකි වීමත් වැදගත්.
කොහොම වුණත් මේ කෙටි කවියට මම කැමති යමක් නැවත සිතන්න ට පොළඹවන සුළු එහි අන්තර්ගත ගුප්ත බව නිසයි.