Showing posts with label තුෂාරි ප්‍රියංගිකා. Show all posts
Showing posts with label තුෂාරි ප්‍රියංගිකා. Show all posts

Tuesday, August 30, 2011

"ඕලන්ද අහස" සහ "සිහින" ගැන "වික්ෂිප්ත සංක්ෂිප්තය"

තුෂාරි ප්‍රියංගිකා සහ සුභද්‍රා ජයසුන්දර ගේ කවි දෙකක් ඒවා සමාන්තර කාල ප්‍රාන්තරයක දී ලියැවුණ හෙයින් ඒ දෙකම එකට ගෙන සටහනක් ලියන්නට සිතුවෙමි.

විමුක්තිය පිළිබඳ සදාකාලික සිහිනයෙන් උජ්වලිත වන මේ නිර්මානකරුවන් අපට කියන්නේ කුමක් ද?

මේ කවි දෙකම මරණය හා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති අයුරු පැහැදිලිව පෙනේ. තුෂාරි "මැරුණු පැතුමක්" ගැන කියද්දී සුභද්‍රා "මියෙන්නෝ භාග්‍යවන්තයෝයැ" යි කියන්නීය. මේ නිර්මාන දෙකම අතීතකාමයෙන් උපන් චිත්ත රූප සහ වස්තු එහා මෙහා කරමින් සිහිනමය ආකෘතියෙන් වැඩ අරගෙන ඇත. දෙකේම පොදු ලක්ෂණය වන්නේ මරණය පිළිබඳ ගෙනෙන අපූරු උත්කර්ෂය යි.‍

කවිය මතුපිටින් නොකියැවෙන දේ කුමක්දැයි සොයා යමු.

නිර්මානයකට අවිඥානිකව ඇතුලත් වූ මේ මරණයේ සංකේතීය ප්‍රකාශණය යනුම මරණ හඹා යාමේ පෙළඹුම ලෙස වෙනත් ලෙසකට කියවා ගැනුමට ඇවැසි කෙනෙකුට නිදහස ඇත. නමුත් මරණ හඹා යාම යනු ග්‍රාම්‍යාර්ථයෙන් මරණය කරා එළඹීම පිළිබඳ ෆැන්ටසික ඛණ්ඩාංක නිමවා ගැනීමක් නොවේ. ඩෙත් ඩ්‍රයිව් යනුම ජීවිතය (අන්ඩෙඩ්) අමරණීය තත්වයක පවත්වා ගැනීමට අවිඥානිකව එළඹීමයි. මෙය පැහැදිලි කරගැනීමට ෆ්‍රොයිඩියානු සංකල්පයක් වන ආංශික වස්තු (partial object) වෙත ගමන් කිරීමට සිදු වේ.



ආංශික වස්තු යනු මොනවා ද?

අපි ස්ලාවෝ ජිජැක් ගේ ද පර්වර්ට්ස් ගයිඩ් ටු සිනමා (The Pervert's Guide to Cinema)නම් වූ වීඩියෝ පටයේ එන ඔහුගේ අදහස් දැක්වීමකට යමු.

The fascinating thing about partial objects,
in the sense of organs without bodies,

is that they embody
what Freud called "death drive".

Here, we have to be very careful.
Death drive is not kind of a Buddhist
striving for annihilation.

"I want to find eternal peace. I want..."
No. Death drive is almost the opposite.

Death drive is the dimension of what
in the Stephen King-like horror fiction

is called the dimension of the undead,
of living dead,

of something which remains alive
even after it is dead.

And it's, in a way, immortal in its deadness itself.

It goes on, insists. You cannot destroy it.

The more you cut it,
the more it insists, it goes on.

This dimension,
of a kind of diabolical undeadness,

is what partial objects are about.

Slavoj Zizek-Pevert's Guide to Cinema

"ආංශික වස්තුවල ඇති විශේෂත්වය නම් ඒවා ශරීර විරහිත අවයව වී ඩෙත් ඩ්‍රයිව් Death Drive (මරණය හඹා යෑම) තුළ ඇසිරී තිබීමයි. මෙතැන දී අප ඉතාමත් ප්‍රවේශම් විය යුතුය. මරණය හඹා යාම යනු අතිශය පරිශ්‍රමයකින් කෙලෙස් මූලෝත්පාටනය කරන බෞද්ධ විදිය නොවෙයි.

මට මගේ අභ්‍යන්තර විමුක්තිය සොයා ගන්න ඕන-මට විමුක්තිය සොයාගන්න ඕන...
නැහැ. ඩෙත් ඩ්‍රයිව් යනු එහි සමස්ත විලෝමයයි. ප්‍රතිවිරුද්ධාර්ථය යි.

ඩෙත් ඩ්‍රයිව් යනු ස්ටෙෆන් කිං ආකාරයේ හොල්මන් ප්‍රබන්ධයක හැඳින්වෙන ආකාරයේ අන්ඩෙඩ් (මිය නොගිය) මානයයි නැතහොත් ජීවත් වන මළකඳ යි එනම් යමක් මියගිය පසුවද ජීවයෙන් පැවතීමයි. එනම් එය එක්තරා අයුරකින් මෘත කලේබරයක අමරණීයත්වය යි. එය සදාකාලිකව පවතිනවා. ඔබට එය විනාශ කළ නොහැකියි. ඔබ එය කපන්න කපන්න විනාශ කරන්න කරන්න එය වඩාත් තහවුරු වෙනවා. ස්ථිරත්වය ට පත්වෙනවා.

මෙම මානය එක්තරා පාපිෂ්ඨ ආකාරයක නොමළ තත්වයක් පවත්වා ගැනීමට ආංශික වස්තු යන ව්‍යවහාරය භාවිතා වෙනවා."

අපට ආංශික වස්තුවක් ලෙස බුදු පි‍ළිමය හඳුනා ගත හැකිය. එය සංකේතීයව අප වෙනුවෙන් භාවනාවේ යෙදී ජීවිතයේ විමුක්තිය පිළිබඳ අභ්‍යාසයේ නිමග්න බැවින් අපට ඕනැ තරම් අපරාධ කරමින් ලෞකික ජීවිතය ගත කළ හැකිය. ඒ මන්ද යත් අප වෙනුවෙන් ඒ පිළිම සංකේතීයව සදාකාලිකව විමුක්තිය සොයමින් තැංතැංවල භාවනානුයෝගීව සිටීමයි. අපට කළ හැකිව ඇත්තේ හෝ කිරීමට ඉතිරිව ඇත්තේ මාසයකට වරක් හෝ අවම වශයෙන් රිචුවල් ආකාරයෙන් පූජාකර්මයක් ලෙස පන්සලකට හෝ බුද්ධ ප්‍රතිමාවකට මල් පහන් හඳුන්කූරු පිදීම පමණි. ඉතිරි කොටස එනම් අපගේ විමුක්තිය වෙනුවෙන්- අපගේ අභ්‍යන්තර විමුක්තිය පිළිබඳ ඇති ක්ෂුද්‍ර ආශාවේ වස්තුව වෙනුවෙන් එම ප්‍රතිමාව විසින්- මරණය හඹා යාමේ මානයක අපට නොපෙනෙන අවිශය වන ඉසව්වක ශ්‍රමයක් වගුරා ඉටු කර දෙනු ඇතැයි යන අවිඥානික විශ්වාසයෙන් අප තෘප්තිමත් වෙමු. අපගේ අභ්‍යන්තර විමුක්තිය පිළිබඳ ඇති ආශාව හෝ තණ්හාවේ බෞද්ධ තත්‍ය ස්වරූපයට පටහැණි මෙම ආශාව ද්‍රව්‍යමය ස්වරූපයක් අත්කර ගන්නේ බුද්ධ ප්‍රතිමාව ලෙසය. එනම් බුද්ධ ප්‍රතිමාව යනු සංකේතීය ලෙස අමරණීයත්වයට පත් මරණයකි.

Perhaps the ultimate bodily part

which fits this role
of the autonomous partial object

is the fist, or rather, the hand.

-ස්ලාවො ජිජැක්

අප දෑත් එකතු කර වැඳීමෙන් දෙහොත් මුදුන් තබා වැඳීමෙන් කරනු ලබන්නේ මෙම ආංශික වස්තුවල ඒකාග්‍රතාවයක් ඉටු කිරීමයි. බුද්ධ ප්‍රතිමාවක දෑත් ද තව දුරටත් ආංශික වස්තුවල දිගු ලෙස ක්‍රියාකරන බැවින් ඒවායේ අනුයුක්ත විවිධ සංකේතීය ප්‍රකාශන ද වේ. ඒවා මුද්‍රා ලෙස අපි හඳුනා ගන්නෙමු. මේ දෑත් වලින් නිමැවුනු අභිනය යනුම ජිජැක් පවසන ආකාරයේ ආංශික වස්තුවල සංකේතීය කූටප්‍රාප්තියයි.

අතක් ඉහලට ආනතව ඔසොවා බලය පිළිබඳ සංකේතීය ව්‍යාපෘතිය සමාජයට මුදා හළ හිට්ලර් මෙන්ම අහිංසාවාදී මුද්‍රාවෙන් සමාජය වෙත විමුක්තියේ සංකේතය සංනිවේදනය කරන බුද්ධ ප්‍රතිමාව ද ආංශික වස්තු ලෙස අපගේ විමුක්තිය පිළිබඳ කිසිදා සංකේතීයව අත් නොවන ආශාවේ වස්තුව සඟවා ගෙන සිටියි.

"There is only one object of desire, OBJET PETIT A, and this is represented by a variety of partial objects in different partial drives. The OBJET PETIT A is not the object towards which desire tends, but the cause of desire. Desire is not a relation to an object, but a relation to a LACK."

"මේ ආශාවේ වස්තුව යනු ඒකීය පැවැත්මක් වන ආශාවේ ක්ෂුද්‍ර වස්තුවයි. මෙය විවිධාකාර වූ ආංශික වස්තු ලෙස ආංශික පෙළඹවීම් ඔස්සේ සංකේතීයව ප්‍රකාශ වේ. ආශාවේ ක්ෂුද්‍ර වස්තුව යනු ආශාවේ නැඹුරුතාවය දිශානතිය පෙන්වන දෛශිකයක් නොවේ. එය හුදෙක් ආශාවේ හේතුවම ය. ආශාව යනු වස්තුවකට ඇති සම්බන්ධයක් නොවේ. එය කිසියම් අඩුවක් හා බැඳී ඇති දෙයක් පමණි. "

පිටුව 38-An Introductory Dictionary of Lacanian Psychoanalysi

අපගේ ආශාවෝ සියල්ලම කෘත්‍රිම වෙති. අපි නැවතත් පර්වර්ටස් ගයිඩ් ටු සිනමා (The Pervert's Guide to Cinema) ආරම්භක දසුන් පෙළ වෙත යමු.

There is nothing spontaneous,
nothing natural, about human desires.

Our desires are artificial.

We have to be taught to desire.

Cinema is the ultimate pervert art.

It doesn't give you what you desire,
it tells you how to desire.

THE PERVERT'S
GUIDE TO CINEMA

"මනුෂ්‍ය ආශාව පිළිබඳ කිසිවක් ස්වයංජාත නැත-ස්වභාවික නැත. අපගේ ආශාවන් කෘත්‍රිම ය. අප ආශා කළ යුත්තේ කෙසේදැයි අපට ම ඉගැන්විය යුතුය. සිනමාව යනු අවසන් විපරිවර්තිත කලාව යි. එය ඔබ ආශා කරන දෙය නොදෙයි. එය ඔබට ආශා කළ යුත්තේ කෙසේදැයි කියයි. "

දැන් කිව යුත්තේ කවිය යනු ඔබගේ ආශාව නොවෙයි. එය ඔබගේ ආශා වස්තුව දෙනු වෙනුවට කවිය ඔබට ආශා කළ යුත්තේ කෙසේදැයි කියා දෙයි යනුවෙනි.

ඕලන්ද අහස

බිමට බර වුණු වළාකුළු මුහුණු
හඬන්නට ළං ව දෑල ඉවුරු වසා ගෙන
පරවුණු කුමුදු මල් පෙති-දෙපෙති අහුලා
සේපාලිකා පලස වියයි තිත්තාඳුරට ම
සුවඳ, ළය මත්තෙන් ඇද ඉහිරවා ගෙන

ඇහැරුණු අලුයම දෝතින් විදා ගෙන
සයුරු තෙර වැතිරෙන්නෙ
ඕලන්ද නිල් අහස කිරි ඉද්දමල් ඉහින

ක්ෂිතිජය වුවත් රවටන්නට ඇහැකි
රළ බිඳෙන තැන එ තැන ම නම්
විසල් පොළොවකට පවා ඉඳ හිට
ඉරු එළිය අඳුර ගෙන එනු නැති ද
හස රළ ලිහා හිත බිඳුණු තැන පිරිමැද
මන්ඳ අඳුරක දිලෙනු නැති ද

වකුටු වුණු අතැඟිළි අතර
තීන්ත අහවර පන්හිඳ රුවා ගෙන
වැරදුණු අකුරින් අකුර අමුණා
කඳුළකට මඟ කියන අතරමඟ නතර වුණු
කතා නොකරන කණස්සලු වීථියෙන්
යළි යළිදු මඟ අසන
අකීකරු ඒදණ්ඩක ඉස්මත්තට
හිතුවක්කාර වැහි සිත්තම් තව කුමට

මේ ඕලන්ද අහස යට
කැකෑරෙන හදවත පුරුද්දන
කිසිවෙකුත් නැති නිම්තෙරකි
අපමණ නෑයන් එහා මෙහා ගිය
පාලම වුව ද කැඩී බිඳී ගොස් ය

රළ වෙරළ සිප ගන්නේම නැත
නිල් අහස අමනාප වෙද්දැයි
සිත බිය ගන්නවා මිස
සිළිලාර හඬ නඟන්නේ ද නැත
රහසින් ඉකිබිඳිනු ඇසෙනු මිස
ලවනත සැඟවුණු ලවණ මුසු වුණු
මන්දස්මිතයක්වත් දකින්නට නැත

ඉතිං මේ දුරක් නෑගම් ආවාට
නෑයෙක් කියා කියන්නට කිසිවෙක්
හමු වුණු එකම උදෑසනක්වත් නැත
මනස්කාන්ත සැඳෑවෝ ය
කිළිටි උවනත වසා ගෙන
අහක දමන ආකහේ බදා ගෙන

අමනාප වුණු අමාවකත් පාරවන
රළු තිතකි
ඒ එකම තිත මත ම අභිමුඛව
දුනු හේවායෙකුට පුළුවනි ද
දඩයම හැර දුවන්නට
තෙතබරිත නෙතු සඟල ඉහද්දර රිදුණු
පිනි පොකුරු ඔය තරම් හඬන්නම ඕනි ද
අත්තල මත්තේ ම පා පතුල් දුක විඳින්නේ මන්ද
මැකී යනුයේ ඉතිං මැසිවිලි ද වැලපිලි ද

බලන්න හිස ඔසවා උස් ව
අහසකටත් හීන් කටහඬක් ඇත
සවන් පෙති ඉහත්තේ ඉකිබිඳින

පපු කුහර බිඳ දැම්ම හී පහර සැර නැද්ද
මඳ පවන ඇදෙන කොට හුස්ම තැවරුණෙ නැද්ද
පින්න අතගාන කොට කඳුළු දුටුවෙම නැද්ද
ඕලන්ද අහස යට මැරුණු පැතුමක් නැද්ද

-අහ්ක්ලම් [08.08.11]
තුෂාරි ප්‍රියංගිකා


ෆැන්ටසියේ පරික්‍රමණය
Traversing of fantasy

"... Bearing in mind that our capacity to desire involves the paradoxical structure of the forced choice (of the empty symbolic gesture of an offer to be rejected; of the gap between the explicit symbolic texture which guarantees the choice and the phan-tasmic obscene supplement which precludes it - that is, of the gap which separates the public symbolic space in which the subject dwells from the phantasmic kernel of his/her being), one can appreciate the radical character of'traversing the fantasy': by means of this traversing, the gap is closed, the structure of the forced choice is suspended, the closure of being is fully accepted, the hysterical game of'I offer you X (the opportunity to leave our community), on condition that you reject it', which structures our belonging to a community, is over. Once we move beyond desire -that is to say, beyond the fantasy which sustains desire - we enter the strange domain of drive the domain of the closed circular palpitation which finds satisfaction in endlessly repeating the same failed gesture.

Page 40- Slavoj Zizek: The Plague of Fantasies

"යම්කිසිවෙකුට ෆැන්ටසියේ පරික්‍රමණය පිළිබඳ රැඩිකල් ස්වභාවය ඇගයීමට - අපගේ ආශාවන් තෘප්ත කර ගැනීමේ ධාරිතාවය බලහත්කාරයට පමුණුවන ලද කැමැත්තේ පැරඩොක්සීය හෙවත් විරුද්ධාභාෂී ව්‍යූහය සමග බැඳේ.

මෙම පරික්‍රමණයේ ආනුභාවයෙන් හිදැස වැසී -බලහත්කාරී කැමැත්තේ ව්‍යූහය අවලම්බිත වන අතර පැවැත්මේ සංවෘත තත්වය සම්පූර්ණයෙන් ම පිළිගැනෙන අතර හිස්ටෙරික ක්‍රීඩාවේ මම ඔබ වෙත එක්ස් නම් වූ දෙය ප්‍රදානය කරමි (ඔබට අපගේ සමාජ වෘතය හැර යාමේ අවකාශය නිදහස් කර) නමුත් එය ඔබ විසින් ප්‍රතික්ෂේප කළ යුත්තේ එමගින් අපගේ සමාජ වෘතයට අප පමණක් අයිති බැව් සාක්ෂාත් වීම අවසන් වන බැවිනි. අප අපගේ ආශාවන් ගෙන් ඔබ්බට චලනය වන විට එනම් ෆැන්ටසිය එනම් ආශාවේ පැවැත්මෙන් ඔබ්බට යද්දී අප ඇතුළු වන්නේ ඩ්‍රයිව් වල (එළඹුම් හෝ පෙළඹවීම් වල ) අරුම පුදුම විමානයට ය. එනම් එක දිගටම චක්‍රීය ලෙස එල්ල හිස් බැල්මකින් තෘප්ත වන්නට සිදුවන සංවෘත අවකාශයට ය." (Translator's note: විදේශයක ජීවත් වීම ම මෙවැනි තත්වයක් විඳීම ය.)

එනම් වඩාත් පැහැදිලිව කියන්නේ නම් අපට ආගන්තුක සමාජයක් තුළ හෝ පිටස්තරයකු ලෙස එහි ඇතුළු වී ජීවත්වීමට හැකියාව උපදින්නේ ම ඔවුන් විසින් අපව එම සමාජයේ කොටස්කරුවන් බවට පත්කර ගැනීමට කරනු ලබන ආරාධනය ප්‍රතික්ෂේප කිරීමෙනි. මේ අනුව ඔවුහු වඩාත් ප්‍රගිතිශීලි ලෙසින් අපට ඔවුන්ගේ සමාජයේ කොටස්කරුවන් වන්නට ආරාධනා කළ ද එය හුදෙක් සංකේතීය ආරාධනයක් පමණි. එය ඔබ ප්‍රතික්ෂේප කළහොත් පමණි ඔබට එහි රැඳී සිටිය හැක්කේ. අනෙක් ආකාරයෙන් ඔවුනට ඔබව ඔවුනගේ සමාජයෙන් පිටමං කළ හැකි අතර එය අමානුෂිකත්වයක් වන බැවින් ඔවුහු වඩාත් මානුෂික ලෙස ඔබව සමාජයෙන් පිටමං කරන්නේ ආරාධනය ප්‍රතික්ෂේප කරන්නට මං පෑදීමෙනි. මේ අනුව මෙම ආරාධනා ප්‍රතික්ෂේප කිරීම ම යනුම ආශාවේ අතෘප්තිය පවත්වා ගෙන යාමේ උපක්‍රමයකි. මෙම ආශාව එක්තරා ආකාරයකින් ඕලන්ද අහස ලෙස හෝ මරණයේ ධාවකයේ ආංශික වස්තු ලෙස හෝ නිර්මානයක ගැබ් ගනී. එය ඉන්පසු හඹා යන්නා වූ විමුක්තියක ක්ෂුද්‍ර වස්තුවක් බවට පත් වී අප වෙනුවෙන් විමුක්තිය සොයන කවියක් බවට පත් වී අමරණීයත්වයට පත්වේ. ලංකාවේ විමුක්ති අරගලයේ කොටස්කරුවන් වෙනත් සමාජ තුළ කොටු වී සිය විමුක්ති අරගලය පිළිබඳ ගොඩනැංවෙන නිර්මාන තුළ සැඟවුනු මරණයේ මානය කොතරම් අවිඥානික වුව ද එය පොළෝ ගැබ පලා එන ලෝ දිය දහරක් සේ නිතින් සිය මනස තුළ බුබුළුලමින් ඇති බැව් මේ නිර්මාන අපට රහසේ කොඳුරයි....

"This closure of drive, of course, is not to be confused with the domain of pre-symbolic animal bodily instincts; crucial here is the basic and constitutive discord between drive and body: drive as eternal-undead' disrupts the instinctual rhythm of the body. For that reason, drive as such is death drive: it stands for an unconditional impetus which disregards the proper needs of the living body and simply battens on it It is as if some part of the body, an organ, is sublimated, torn out of its bodily context, elevated to the dignity of the Thing and thus caught in an infinitely repetitive cycle, endlessly circulating around the void of its structuring impossibility. It is as if we are not fit to fit our bodies: drive demands another, 'undead' body. The Unputrefied Heart', a poem by the Slovene Romantic poet France Preseren, perfectly expresses the partial object of drive which is libido: years after a poet's death, his body is excavated for some legal reason; all parts of his corpse are long decayed, except the heart, which remains full of red blood and continues to palpitate in a mad rhythm - this undead organ which fellows its path irrespective of the physical death stands for the blind insistence; it is drive itself, located beyond the cycle of generation and corruption. One is tempted to subtitle this poem 'Preleren with Stephen King': is not such an undead partial organ one of the archetypal motifs of horror stories? Does it not index the point at which sublime poetry overlaps with repulsive horror?

Page 42- Slavoj Zizek: The Plague of Fantasies

සිහිනය

සිහින කාලකණ්ණිය
බිය ගන්වන සුලු ය
හැමදාම අඳුර තුළ
උපරි විඥාණයට තැනක් නැත

රාස්සි‍ගෙ අව්ව ට
පත් සෙමින් සෙලැවෙන
රබර් වත්තට ගොඩ වෙමි
මේ අපේ ඉඩම් යැයි උදම් ඇනූ
ආච්චි ගෙ වැඩවසම් ආදරය
නුරුස්සන හැඟීමක් ඇති කරයි

රබර් ඇට වසාගත්
චන්ඩ කෝෂය බිදිමි
එකින් එක ගණන් කර
පන් මල්ල පුරවමි
ඊට පසු ඉහිරෙන්න ඉඩ හරිමි

බඳ රිඳන විට ගසා පිහි පහර
හැඬූයෙන් සැදි ඔට්ටපාලුය
රබර් ගඳ ඉවසමින්
ප්‍රත්‍යස්තතාවයට හිස නමමි
වැඩවසම් අයිතිය කෙලවරේ
පුවක් ගස් තනි පයින් වැඩමවයි

කරුංකා රන් බවට හරවමින්
ආච්චී දුන් කණක පළඳනා
නො පළඳින මට කුමට
රබර් මුල් කාල මංජුසාවකි
මිටි මෙළ වූ අත ලිහා නිදන් ලමි

ආදෙරන් වැළඳ ගෙන මුදුන් මුල්
ගස වැටෙන්නට නොදී ඇය නිදයි

යථා වාරී වහා පූරං
පරිපූරෙන්තු සාගරං
සාගරය වන් හැඬුම් මතකය
බෝරිච්චි හැට්ටයට රැළි වැඩිය

විශ්වයක සුමධුර ම ස්වර රැගත්
ධ්වනිය නින්නාද දී මට ඇසෙයි
ඒව මේව ඉතෝ දින්නං
පේතානං උප කප්පතී

ආච්චී ආදෙරන් අත වනයි
ඇගේ උණුහුම ලඟින්
මගෙ දිගට පළල ට
යහන සදමින් වරෙන් යැයි කියයි

මියෙන්නෝ භාග්‍යවන්තෙයෝ ය
මක්නිසා ද, නො විඳවීම ඔවුන්ගේය

සුභද්‍රා ජයසුන්දර
අගෝස්තු 2011

අවසානයේ අජිත් සී හේරත් විසින් 1994 දී හිරු පුවත්පතේ නිම්තෙරට රචිත පහත දැක්වෙන කවිය මම රතු බූන්දියෙන් උපුටා ගනිමි.

මරණයට පත් වූ මිත්තණියත් ඇගේ කතන්දර සිය සුපිරි අහමේ මිය ගිය සංකේතීය අණක් බවට පරිවර්තිතව අජිත් සී හේරත් මීට වසර දහ හතකට පෙර අකුරු කළ මේ කව ඉහත වත්මන් තතු යටතේ ලියැවෙන මරණයේ ධාවකයේ ආංශික වස්තු හා ප්‍රතිසම වීම මෙන්ම තීවෘර බව නොකිව මනාය.

වික්ෂිප්ත සංක්ෂිප්තය

තාරකා ගැන ලියන්නට සිතෙන විට
සින්ඩරෙල්ලාගේ අනිත් සපත්තුව
පොදු මිනී වළක
තෙත බරිත පස් අතරින්
මතු විය.

මග දිගේ වපුළ මළ කඳන්
ගණන් කරමින් ඇවිද
ආපසු බෝඩිමට පැමිණි විට
සොල්දෙරෙන් බැස ආ
අඟුටු මිටි මිනිස් රූ
බෝල කූඩුවේ එල්ලී මැරී තිබිණි.

අවසාන බෙහෙත් පෙත්තද ගිල දමා
නිදාගන්නට හදන විට
හැමදාම වසන්නට අමතක වන ජනේලෙන්
කොහෙදි හෝ දැක පුරුදු කවුරුදෝ
හිස පුරා ලේ තැවැරි වෙළුම් පටි ඔතාගෙන
අද රෑත් හෙමින් එබිකම් කරයි.

හඳ එළිය විසුළ බඩවැටි අතර
ගී ගයන සිනාසෙන දුව පනින
ළමා අවතාර හා පියාඹන්නට සිතමි.
එහෙත් උන් එක්වරම මා අතැර
මහ හඬින් හඬාගෙන
වල් වැදුණ සොහොන් කොත් අතර සැඟවෙයි.

පාන්දර අවදි වී වේලාව බලන විට
බිත්ති ඔර්ලෝසුවේ තැනූ
ගේ කුරුළු කූඩුවේ මිනී ඔළු
ආහාර අයැද මුව විවර කර
කුරුළු හඬකින් කෑගසයි.

හොඳ මිනිසුන් නොමියන
අවසනදී හැම දෙනා සතුටින්
බොහෝ කල් වෙසෙන
එකමත් එක රටක් ගැන
එකම එක කථාවක් අසා ගන්නට
ආත්තම්මා එන තෙක්
සියවස් පහක පරාජය හිස දරාගෙන
මිහින්තලේ පහළම ගල් පඩියේ
වාඩි වී බලා සිටියෙමි.

එහෙත්
විසි වසක් පමා වී පැමිණි
විදුලි පුවතකට අනුව
දැන් ආත්තම්මාද මිය ගොස්ය.

-නිම්තෙර [හිරු- 1994 දෙසැම්බර් 25]
අජිත් සී හේරත්

නැවතත් ස්ලාවො ජිජැක් දක්වන අදහසකින් මේ ලිපිය සමාප්ත කරමි.

And the lesson is clear.

The only way for me
to get rid of this autonomous partial object

is to become this object.

-from The Pervert's Guide to Cinema

"දැන් අපට පාඩම පැහැදිලිය. මට අනුව (ස්ලාවො ජිජැක්ට) මේ ස්වතාන්ත්‍රික ආංශික වස්තුවෙන් මිදීමේ එකම මග නම් එම වස්තුව බවටම පත්වීමයි." -ස්ලාවො ජිජැක්

මේ මොහොතේ දී, විදෙස්ගතව අනෙකාගේ විමුක්තිය පිළිබඳ සිරගත සිතුවිලි අකුරු කරන අයට කළ හැක්කේ මෙබඳු රහසිගත පණිවිඩ කවි තුළ ඔබා අප වෙත එවීම පමණි.

Tuesday, August 3, 2010

ස්ත්‍රී දෙවියනි! ඇය පිලාර්, මම උප්පලවණ්ණා!!

ස්ත්‍රී දෙවියනි! ඇය පිලාර්, මම උප්පලවණ්ණා!!



මම ද වැළපුණෙමි - පියේද්රා ගඟබඩ හිඳ නොව....

ආදරය මුණ ගැසුණු සඳ - මම ද වැළපුණෙමි
පියේද්රා ගඟබඩ හිඳ නොව - ජීවිත වන්දනාව අභියස ..

හදගුළු හැරීමි
කීරි ගෑ අගුළු කට
නැගූයේ කෙඳිරියකි.
හඬක් නැති කෙඳිරියකි.
මළ කෑ යතුරු හිස අගිස
බැඳි දුඹුරුවන් ප්‍රාර්ථනා
පණ ගසාවිත්
පැසුණු උදෑසන සනසවාලයි
හිරිවැටුණු බාහුවට වාරු වී..

අහෝ! මේ ආදරයට
හැකිය හඬන්නට
මෙතරම්ම.
ඒ නොදැන උන් ඇසිල්ලක
කඩා හැලේ
දිය සීරා
නයගරාවක සිරියෙන්..

නොදුටු රුවක්
ඇසේ හැපෙයි
ගණඳුරේ දී.
රිදුණු තරමක් ප්‍රේමයක්.

වැඩිමහලු කඳුළු පෙති මත
අඩි තිය තිය
පාව ආ හැටි
අරුමයක්.

කඳු පෙළක් යට
තවරා ඉඳුසැව්ව
ඇන තියා ගත් හිතකට
නින්නාද දේ ගීතයක්.
එය ප්‍රේම ගීතයක්.

තණබිස්ස
ළදල්ල මුදා හළ
මුහුලසට
ගැසූ පොඩි මල් කිනිත්තක්.

මේ සෙනෙහස..
හද බිත සසළ කළ
ඝණ්ඨාර නාදයෙන් පේ වී
පිරිත් පැන් ඉස නමැද
හදසුනේ තැබූ පෙර
සංසාර පුරුද්දක්.

("පියේද්රා ගඟබඩ - හිඳ මම වැළපුණෙමි" කියවීමෙන් පසු)
Thushari Priyangika තුෂාරි ප්‍රියංගිකා


තුෂාරිගෙ "මම ද වැළපුණෙමි - පියේද්රා ගඟබඩ හිඳ නොව..." කවිය ගැන විමසුමක්

පාවුලෝ කොයියෝගේ බොහෝ නවකතා වල ආකෘතිය දේව ධර්මය නම් වූ කුරුසියේ සිවු කොනට විතන්‍ය ලුහු තන්තුවක් ලෙස මිනිස් ආත්මය ගැටගසා සකස් කරගත් සරුංගල රාමුවකට ප්‍රේමයේ සව් කඩදාසි අලවා ප්‍රබන්ධකරණයේ වාග් කෝෂ‍ය නම් වූ නයිලෝන් අවිතන්‍ය තන්තුවේ කොණක් එම සරුංගලයේ සමබර ලක්ෂ්‍යයේ ගැට ගසා පාඨකයා ලවා අහස්ගත කරවීමෙන් ඇරඹෙන කාව්‍යාත්මක ඇස්බැන්දුමකි. දෙවනුව එම වචනමය සරුංගලයේ පොළවට සබැඳි රැහැන වන එහි නයිලෝන් නූල පාඨකයාම ලව්වා කඩවා අහසේ ඉමක් කොණක් නැති සුළි සුලං රැළි අතරින් පාව යන්නට සලස්වා එය පොලවට පතිත වූ පසු නටඹුන් වූ සරුංගලයේ ඉරී ගිය සවු කොළ වලටත් ඇදී රිදී ගිය විතන්‍ය නූල් ජාලය නැමැති මිනිස් ආත්මය වෙත නැවතත් පාඨකයා ලවා පාඨකයාට අභිමත සවුකොල අලවා ගන්නට සලස්වයි. මෙයාකාර වූ අධ්‍යාත්මවේදයක් ගුරු කොට ගෙන ලියැවුනු කොයියෝගේ නවකතා වල බයිබලයේ උධෘත පාඨ සහ දේවකතා වල චරිත හමු වන්නේ උත්තම හැඟීම්වලින් පිරී ගිය පෙම්වත් චරිත සමගය.



පාඨකයාගේ ඔළුව තුලින් ප්‍රතිනිර්මාණය වන ඔහුගේ කතා එනම් එම සවුකොල ජාවාරම සිදුවන සන්දර්භය තුළ නොහොත් පාඨකයාගේ සංස්කෘතික අවකාශයට සාපේක්ෂව එයින් විටෙක සිනමා කෘතියක් උපදියි. එසේත් නොමැති නම් තුෂාරි වැනි කිවිඳියක් අතින් කවියක් ඉපදෙයි.

පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි [බයි ද රිවර් පියෙද්රා අයි සැට් ඩවුන් ඇන්ඩ් වෙප්ට් /By the River Piedra I Sat Down and Wept] නම් වූ නවකතාවේ සිංහල අනුවාදය තුලින් ගොස් භූගත වූ මේ කවියේ යථානුභූතියේ අන්තර්ගතය එබඳු අන්තර්සංස්කෘතික ඝට්ඨනයකින් උපත ලබා ඇත. මෙම නවකතාව මින් මතු මෙම ලේඛණය තුල හඳුන්වන්නේ 'පියෙද්රාව' වශයෙනි. නවකතාවේ නම දිග වැඩි හෙයිනි ඒ.

මෙම කවිය පියෙද්රාවෙන් උපත ලබා ඇත්තේ වුවද එහි අන්තර්ගතය නැවත කවියා තුළ ප්‍රතිනිර්මාණය වී ඇත්තේ කොයියෝගේ සංකේත ලෝකයෙන් නොව කවියා ගේ සංකේත ලෝකය තුලිනි. එය සිදුවිය යුත්තකි. මග හැර යා නොහැක්කකි. ‍එහෙයින් මෙම ද්විප්‍රකාර සංස්කෘතික ලෝක දෙක තුළ සිදුවන අන්තර් සහසම්බන්ධතා පෙරළිය පිළිබඳ විචාරන්නට කිසියම් සමීකරණයක් තනා ගත යුතු වන්නේය. එම සමීකරණය ගොඩනගා ගන්නට කවියේ සංකේත විශ්වය මතුපිටත් නවකතාවේ විශ්වයත් අතපත ගා බැලිය යුතු වන්නේය.

කොයියෝගේ පියෙද්රා නවකතාව තියෝලොජිකල් හෙවත් දේවධාර්මික කුළුණු මත ගොඩනැගී ඇත. මෙම ආගමික විශ්වය කවිය තුළ දී බෞද්ධ සංකේත විශ්වයකට පරිවර්තනය වේ. එනයින් කොයියෝගේ නවකතාව එක් එක් ඉන්ද්‍රියයෝ වෙන වෙනම මෙයාකාර වූ 'බයිනරි ඔපොසිෂන්' ප්‍රබේධයන්ට හුවමාරු වීමෙන් කවියේ මතුපිට නිර්මාණය වී ඇති හෙයින් මෙම එකිනෙක ප්‍රතිවරුද්ධාර්ථයෙන් යුත් ද්විකෝටිකයන් නිර්මාණය වීම රීතියක් ලෙස ගත හොත් අප කතා කරන විශ්ව දෙක අතර හුවමාරු වීම් සියල්ල සෘණ එකේ [-1] ගුණිතයකින් ගොඩනැගෙන සමස්තයක් බවට එක විට පත්වේ. මෙහිදී සෘණ එකේ ගුණිතයක් ලෙස ගණිතමය ලෙස දැක්වූ‍යේ ගැහැණිය නම් පිරිමියා බවටත් අහස නම් පොළව බවටත් යනාදී ලෙස එක් එක් සංකල්පය එහි කේන්ද්‍රීය සර්වත්‍ර කුලකයන් තුළ එකිනෙක ප්‍රතිවිරුද්ධාර්ථයන් ලෙස සිතියම්ගත වීමයි.

දැන් පියෙද්රාව සහ කවියේ අන්තර්ගතය අතර එකිනෙක සිතියම් ගත වන 'ඔපරේටරයක්' අප සතුවේ. වඩාත් සමීප සැසඳීමක දී මෙම පියෙද්රා‍වේ 'බයිනරි ඔපොසිෂන්' පරිවර්තන සිතියම මෑතක සිංහල සිනමාවට එකතු වූ බෞද්ධ ආකෘතියක වියමන් ගත වූ "උප්පලවණ්ණා" සිනමා පටයේ 'නෙගටිව්' පටලයක් ලෙස සමපාත වීම හුදු අහම්බයකි. මෙම සිනමා කෘතිය සහ පියෙද්රාව අතර ‍ඓන්ද්‍රීය සම්බන්ධයක් නැති වුවද මෙම ලිපිය තුල විග්‍රහ වන ඔපරේටරමය සිතියම්ගත කිරීම තුළ මෙම නවකතාව සහ සිනමා පටය එකිනෙකේ නෙගටිව් පටල බවට පත්වේ. උප්පලවණ්ණා සිනමා පටයේ දළ කතා වින්‍යාසය මෙලෙස හකුළුවා දක්වමි.

උඩරට කුල කාන්තාවක් වන සංගීතා තමන්ට පහතරට නැටුම් උගන්වන ගුරුවරයා සමග අසම්මත පෙම් සබඳතාවක පැටලී දෙමව්පියන්ගේ අකමැත්තෙන් විවාපත් වේ. ඉන්පසු එ සොවින්ම කල් ගත කළ ඇගේ මව මිය යයි. මවගේ අභාවය දැනගෙන මෙම විවාපත් යුවල මළගෙදර පැමිණි විට ඇගේ පියා අතින් නැටුම් ශිල්පී සිය ස්වාමියා මිය යයි. මින් දැඩි‍ලෙස කම්පනය වන ඇය දසසිල් මාතාවක් බවට පත් වන්නී වනබද ආරණ්‍යයක ධර්මය හදාරමින් සිටින්නීය. මීට සමාන්තර කාලය තුළ ලංකාවේ තරුණ කොටස් ආණ්ඩුව සමග විප්ලවවාදී ගැටුම් ඇති කර ගන්නා අතර කැරලිකාර ව්‍යාපාරයේ කලක් කැපවීමෙන් ක්‍රියාකාරිත්වයෙන් දායක වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙක් -රත්නපාල-පක්ෂයෙන් න්‍යායික හේතූන් මත වෙන්වී රාජ්‍ය හමුදා වෙත ඔත්තු සපයා පක්ෂය පාවා දෙයි. මීට දඩුවම් ලෙස ඔහුට මරණීය දණ්ඩනය පක්ෂයේ සන්නද්ධ අංශය විසින් තීන්දු කරන අතර ඔහුට දඩුවම් පැමිණ වීමට පාක්ෂික තරුණයෙක් තෝරා ගෙන එම ක්‍රියාන්විතයට යොමු කරයි.‍ රත්නපාලගේ ගම ආරණ්‍ය සේනාසන‍යේ අසල් දනව්වකි. රත්නපාලගේ ඝාතකයා පැමිණ සිය වගකීම ඉටු කර එම ගැටුමේදී ලද තුවාලද සහිතව දුර්වල ව පැන යමින් සිටිය දී ආරණ්‍ය සේනාසන සීමාවේ දී කකුලේ ඇනුන උලක් හේතුවෙන් ඇවිද ගත නොහී වනයේ වැතිර සිටී. මේ අවස්ථාවේ අහම්බයෙන් තරුණ සිල් මාතාවට ඝාතකයා මුණ ගැසේ. සිල් මාතාව විසින් විනයධර ලෙස ඔහුට පිහිට වන අතර ඔහු ක්‍රමයෙන් සුවපත් වන අතර ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම ද ගම තුළ රාජකාරි කරයි. සාක්ෂි ‍ඔස්සේ ක්‍රියාත්මක වන පොලිස් පරීක්ෂකයන්ගේ ඉව ඔස්සේ ගම්මු ආරණ්‍ය සේනාසනය පීරා ඝාතකයා සොයා කුදලගෙන ගමේ පන්සලට ගෙනෙයි. ඉන්පසු සිල් මාතාවට ආරණ්‍ය හැර යාමට සිදු වන්නේ ගම්මුන්ගෙන් ආරණ්‍ය සේනාසනයට ඇති ‍ගෞරවය සහ සම්පත් දායකත්වය පැහැර හරින්නට ඔවුන් නිතැතින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙනි. ඇය ආරණ්‍යයෙන් පිටව යන අතරමග දී සිය පාත්‍රය ගංගාවකට විසි කරන අතර එම පාත්‍රය සුරක්ෂිතව ඩැහැ ගන්නා ආරණ්‍යවාසී කුඩා සිල් මාතාවක් වන නන්දුත්තරා එය ආරණ්‍ය සේනාසනයේ නායක සිල්මාතාව ද ඇතුලු පිරිස සමග පැමිණ උප්පලවණ්ණා අතීතකාමීව සිහිය මෙහෙයවමින් හුන් වැල් පාළම මත දී නැවත පිළිගන්වන්නීය. මෙයින් සිනමා කෘතිය අවසානය ලකුණු කරයි.

දැන් පියෙද්රාවේ කතාව සැකෙවින් සළකා බලමු.

පිලාර් නම් වූ තරුණිය සිය පැටි වියේ සිට මිතුරු දමින් වෙළුණු කොලු ගැටයකු ගේ තරුණ වියේ ඔහුගේ ආරාධනයෙන් බාසිලෝනා නගරයේ ඔහු පවත්වන්නට යෙදුන ධර්ම දේශනයකට පැමිණෙන්නේ ඉමහත් දෙගිඩියාවෙනි. පිලාර් ඔහු කෙරෙහි ප්‍රේමයකින් පසු වුවද ඔහුගේ ජීවණ දැක්ම කුඩා කල සිටම එල්ල වී තිබුනේ දෙවියන් සොයා යාම කෙරෙහි බැවින් ඇය ඔහු හමු වන විට ඔහු එම කාර්යභාරයේ සාර්ථකත්වයට පත්වී ඇති බැව් ඇය වටහා ගන්නා අතර ඇය ඔහු කෙරෙහි වූ ප්‍රේමය හෙළිදරව් නොකරන්නට සිතා සිටින මුත් ඇය වටහා ගත් ආකාරයක ඔහු දේවධාර්මිකයකු වනවා වෙනුවට ස්ත්‍රීත්වය දේවත්වය දක්වා පරිවර්තනය කරන්නාවූ වෙනස් ආකාරයක සත්‍යයක් සොයමින් සිටින බැව් ඇයට තහවුරු වේ. මෙම සත්‍යය ලෙස ඔහු දකින ස්ත්‍රීත්වයෙන් පිරිපුන් දේවත්වය යනු ලොව සියළු ජීවයේ උපත වන ජලය ලෙස සංකේතීය ව පවතින ස්ත්‍රීත්වය ලෙසත් එය තමාගේ අධ්‍යාත්මික චාරිකාවේ අග්‍රඵලය බවත් එය පිලාර් සමග වන්නාවූ ප්‍රේමය ලෙස නැවත පිළිසිඳ ඇති බවත් ඔහුගෙන් දැන ගන්නා ඇය ප්‍රේමයේ භෞතික සීමා ඉක්මවන දෙවියන් හා බැඳීමේ මාර්ගය ලෙසත් ලොව එකම සත්‍යය යනු දෙවියන් හා බැඳෙන ප්‍රේමය බවත් ඇය වටහා ගන්නී ඔවුනොවුන් කෙරෙහි දිව්‍යමය බැඳීමකින් ලං වන්නීය.

දැන් මෙම කතා ප්‍රවෘත්ති දෙක තුළ පවතින 'බයිනරි ඔපොසිෂන්' අර්ථ වශයෙන් ගෙන එකිනෙක සෘණ පටලමය ක්‍රියාකාරිත්වයක පැවැත්ම සළකා බලා එබඳු ලෙස වූ සෘණ පටලාත්මක නිර්මාණයක් තුලින් එහි ප්‍රතිවිරෝධි සංකේත පද්ධතියක හරහා යාම නම් වූ ක්‍රියාවලිය තුළ සන්දර්භයන් වෙනස් වද්දී අර්ථ විසින් අත් කර ගන්නා රූප කෙරෙහි අවධානය යොමු කරමු.

පිලාර් ගැහැණියකි. පිලාර්ගේ පෙම්වතා පාදිලිතුමෙකි. මේ පුද්ගලයන් දෙදෙනා උප්පලවණ්ණා සිනමා පටයේ දී රත්නපාලගේ ඝාතකයා සහ උප්පලවණ්ණා මෙහෙණියට සමපාත වේ. පිලාර්ගේ පෙම්වත් පාදිලි වෙනුවට රත්නපාලගේ ඝාතකයා ලෙස කැරලිකරුවෙක් හමුවේ. ගැහැණිය සහ පිරිමියා හුවමාරු වේ. පිලාර් මෙහෙණියක නොවේ. එමෙන්ම ඇයට පාදිලිතුමා හමුවන්නේ අහඹු‍ ලෙස ද නොවේ. උප්පලවණ්ණා මෙහෙණියක වන අතර ඇයට රත්නපාලගේ ඝාතකයා හමු වන්නේ අහඹු ලෙසය. පිලාර් ගේ පෙම්වතා වන පාදිලිතුමා දේව ධර්මය තුළ ස්ත්‍රී දේවත්වය සොයා යයි. උප්පලවණ්ණා බෞද්ධත්වය තුළ ස්ත්‍රී භික්ෂූත්වය නියෝජනය කරයි. පිලාර් ප්‍රේමයේ දිව්‍යාත්මය ස්පර්ශ කරන්නීය. උප්පලවණ්ණා ප්‍රේමයේ අනිත්‍යතාවය තුළ සත්‍යය සොයා වෙහෙසෙන්නීය. මේ ආකාරයෙන් එකිනෙක ප්‍රතිවිරුද්ධ සංකල්ප පද්ධතියකින් පියෙද්රාව සහ උප්පලවණ්ණා කෘති එකිනෙක ඡේදනය කරගන්නේ ගංගාව නමැති අක්ෂයේ දෙපසය. පියෙද්රා ගඟ අසබඩව පිලාර් තැවෙද්දී උප්පලවණ්ණා සිය පාත්‍රය ගඟ දිය තුල පා කර හරින්නීය. ඔවුන් දෙදෙනම එකම සංකල්ප විශ්වයක ප්‍රතිවිරුද්ධ මාර්ගවල ඇවිද යති. කාලමාත්‍ර ව‍ශයෙන් සලකා බැලූ විට ද පියෙද්රාව දින දහයක් තුළ ඔවුන්ගේ ආගමික වන්දනාවක සිරිය ගත් ප්‍රේමනීය සංවාදයන් තුළ ගත වන අතර උප්පලවණ්ණා සිනමා පටය ද සීමිත කාලයක් තුළ හැකිළුන වෘතාන්තයක් අධික ආතතියකින් තිරය මත දිග හරියි. ඒ අයුරින් එම ආඛ්‍යාන රීතින්ද එකිනෙකට ප්‍රතිමුඛ වේ.

මෙ ආකාරයෙන් පල්ලිය කේන්ද්‍ර වූ දේව ධර්මය තුළ පගන් * නිකායක හෙවත් ස්ත්‍රී දේවත්වයක ගවේෂණාත්මක කැරැල්ලක් මෙහෙය වමින් සිටින පිලාර්ගේ පෙම්වත් පාදිලි වෙනුවට උප්පලවණ්ණාට සමාජ විමුක්තිය වෙනුවෙන් යථාර්ථමය කැරැල්ලක මෙහෙයුම් කරුවකු අහඹු ලෙස සිය අධ්‍යාත්මික ජීවිතය දෙපළු කරන්නට වනය තුළින් ප්‍රාදූර්භූත වේ.

පිලාර්ගේ පෙම්වත් පාදිලිතුමාගේ අදහසකින් ඔහුගේ කැරලිකාරිත්වයේ අරමුණ විශද වන අවස්ථාවක්:

"By the time of my first vision i was already aware of the work being done by the true revolutionaries of the church. I knew that my mission on earth, in addition to curing was to smooth the way for this new acceptance of God as a woman. The feminine principle , the column of Mesericordia, would be rebuilt and the temple of wisdom would be reconstructed in the hearts of all people"
By the River Piedra I Sat Down and Wept
page 164

පියෙද්රාව කියවා ගෙන යන අයෙකුට ලාංකීයත්ව ය තුළ හමු වන පියෙද්රාවේ 'බයිනරි ඔපොසිෂන්' වල පැවැත්මේ සන්නිකර්ෂණයක් ‍මේ ආකාරයෙන් ගොඩ නැගිය හැකි අතර ‍කතෝලික බැතිමතකු අතින් ලියැවිය හැකි කවියක ආකෘතිය ද මේ කවියේ ආකෘතිය සහ අන්තර්ගතය ද හාත්පසින් වෙනස් විය හැකි බව මේ සැසඳීම්වලින් පෙනී යනු ඇත. මෙම ප්‍රස්තුත කවියෙ බුද්ධ භාෂිතය සංකල්පගත වීම අහම්බයක් නොවන්නේ එම තතු යටතේය.

මෙම සසැඳිල්ල යටත් වන්නේ වචන වශයෙන් පවතින අර්ථයෙන් වියුක්ත වූ යමක් ප්‍රතිවර්ථනය යැයි නොසැලකිය යුතුය. මෙම සෘණ එකේ අගයෙන් ගුණ කර චරිත සහ සිද්ධි මෙන්ම ඒ ඒ චරිත කැඳවා යන දෘෂ්ටි යනාදී සියල්ල ග්‍රහණය කර ගැනීම විහිලුවක් ලෙසද පෙනී යා හැකි නමුත් මෙම ද්විමය පරිවර්තනය ස්වභාවය මනසේම එක්තරා සංකල්පීය නිර්මාණයක් බැවින් අපගේ සංජානනය දෘෂ්ටිවාදාත්මක කෘතියක් තුළින් පෙළ හසුරුවන පරිකල්පනීය සහ සංකේතීය මාන වල ඝට්ඨනය මීට සමරූපි හැසිරීමක් වනු ඇතැයි තර්ක කළ හැක. එබඳු සසැඳීමක ට හෝ සංකල්පීකරණයක‍ට ලෞකික දේ පොළඹවාගත හැකි බැවින් මෙයාකාර වූ විග්‍රහයක් වචන ඔස්සේ කිරීමේ සාවද්‍යතාවය මෙලෙස ලංකාවතාර සූත්‍රයෙන් උපුටා දක්වමි.

"නැවත ද එම අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ මහාමතී බෝධිසත්ව මහාසත්වයන්ට මෙසේ කීහ. ශූන්‍යතාව අනුත්පත්තිය අද්වය සහ නිහ්ස්වභාව පිළිබඳ මෙම ඉගැන්වීම සියළු බුදුවරයන්ගේ සියළු සූත්‍ර තුළ දැකිය හැකිය. එමෙන්ම ඒ සෑම සූත්‍රයකම මෙම ඉගැන්වීම පිළිගෙන ඇත. කෙසේ වෙතත් මහාමතී ආයුෂ්මතුනි සූත්‍ර යනු සිය‍ළු සත්වයන්ගේ අධිමුක්තීන්ට අනුකූල වන පරිදි ඉදිරිපත් කර ඇති ඉගැන්වීම්ය. එමෙන්ම ඒවා නියම අර්ථයෙන් ඈත් වන්නේය. එමෙන් ම ඒවා නියම සත්‍යය ගැබ් වන වාක්‍ය වන්නේ නැත. මහාමතී ආයුෂ්මතුනි ද්‍රෝහි වූ ජල උල්පත් මගින් මුවන් පොළඹවන්නා වූ මිරිඟුව මෙනි ජල උල්පත් එහි ඇත්තේ නැත. එහෙත් ඒවා ඇත්ත වශයෙන්ම පවතී යැයි සිතන ‍මුවෝ ඒවාට ඇලී සිටිති. සියළුම සූත්‍රවල පැහැදිලි කර ඇති ඉගැන්වීම් ද එබඳුය. තමන්ගේ විකල්පීය මනසේ තෘප්තියට පත් කර ගැනීම සඳහා ඒවා සියළු සත්වයන් වෙත ඉදිරිපත් කර ඇත. ඒවා ආය්‍යර්‍ ඥානය විසින් ග්‍රහණය කළ යුතු වූ සත්‍ය අන්තර්ගත වූ කියමන් නොවන්නේය. මෙම කරුණ නිසා මහාමතී ආයු‍ෂ්මතුනි අර්ථයට අනුකූල වන්න. වචන වල එල්ලී නොසිටින්න."
-ලංකාවතාර සූත්‍රය

එනයින් මෙම සන්සන්දනය අතිශය වශයෙන් සාහිත්‍යමය වන අතර දෘශ්ටිවාදාත්මක ලෙස ලෝකෝත්තර කාරණා සම්බන්ධයෙන් වලංගු නොවන්නක් බවද අප සිත් තබා ගත යුතුය. නොඑසේ නම් තර්කාණුකූලව පෙන්වා දීමකින් හෝ ගණිතමය ඔප්පු කිරීමකින් නිර්වාණ මාර්ගය හෝ දෙවියන් හා එක් විම බුද්ධිගෝචර දෙයකැයි පෙන්විය හැකි සරල දෙයකට ඌණනය වන්නේය. එය ප්‍රායෝගික නොවන්නකි. එනමුත් එබඳු අන්තයන් දෙකක් තුළ දෝලනය වන නිර්මාණාත්මක මනසක් විශද කර ගැනීමට මෙම ඔපරේටරමය හඹායාම කුතුහලය කුළුගන්වන සුළු ක්‍රමවේදයක් බැව් සඳහන් කළ යුතුය.

පියෙද්රාවේ චරිත සිද්ධි සහ දෘශ්ටි සෘණ එකෙන් [-1] වැඩි කරගෙන ගියාම ඒවායේ 'බයිනරි ඔපොසිෂන්' න්‍යාසය හමු වේ.

'උප්පලවණ්ණා' හමු වන්නේ මේ නවකතාවේ 'බයිනරි ඔපෝසිෂන්' එකක් ලෙසයි. එය ලංකාවේ සන්දර්භය තුළ පාවුලෝ හමු වෙන ආකාරය විය හැකියි. එම ආඛ්‍යාන ද්විත්වය හරහා මෙම කවිය උපත ලබා ඇති වග මගේ අදහසයි. පියෙද්රා නවකතාව උත්පළවණ්ණා කරා රූපාන්තරණය වන අතරතුර මෙම කවිය ශේෂ කොට ඇත.

සංසාර පුරුද්දක් ලෙස එන බෞද්ධත්වය තුළ ප්‍රේමය සංසාරයට අලවන සසර ගමන දිගු කරවන ක්ලේශයකි. තණ්හාවේම තවත් රූපයකි. ආලය විඥානය යනු චිත්තයේ උපදින නෛසර්ගික ප්‍රවාහයකි. එය නැසුම සංසාර ගමන කෙටි කිරීමේ මග ට ප්‍රවිශ්ට වීමකි. පිලාර් අත්දකින ප්‍රේමය දෙවියන්ගේ සිහින තුළ යථාර්ථවත් වන්නකි.

"the path of the Goddess can only be opened through words and miracles. But that's not the way the world works. It's going to be very hard -tears, lack of understanding, suffering."
By the River Piedra I Sat Down and Wept
page 164
මෙ අයුරින් බෞද්ධත්වය තුළ ප්‍රේමය ට හිමි නොවන තැනක් කොයියෝගේ දේවධාර්මික ආඛ්‍යානය තුළ ඉස්මතු වීම අතිශය පැහැදිලි සද්භවයකි. ස්වභාවයකි. ස්ව පැවැත්මක් භවයක් ඇති දෙයකි.

මෙම කවිය තුළ ද්විඝඨනාත්මක ලෙස කඩා හෙලන්නේ එම පරස්පරයයි.

"සෑම දෙයක් තුළම ස්ව-භාවයක් ඇත්තේ නැත. ඒවා මිනිසුන්ගේ නිකම් වචන පමණය. යමක් විකල්පනය කරන ලද්දේ ද එයට නියම පැවැත්මක් නැත; නිර්වාණයද සිහිනයක් වැනිය; සංසාරය තුළ කිසිවක් දක්නට ඇත්තේ නැත. කිසිවක් නිර්වාණය තුළට ඇතුළු වන්නේද නැත"
-ලංකාවතාර සූත්‍රය

*පගන්' [Pagan or Paganism] : ස්ත්‍රී දෙවියන් පිළිබඳ හෝ දෙවියන් වෙනුවට දේවතාවියක් විශ්වාස කරන ආගමික පද්ධතිය.


ආශ්‍රිත ලිපි ලේඛන/ වෙබ් අඩවි

1. ලංකාවතාර සූත්‍රය
2. By the River Piedra I Sat Down and Wept-Paulo Coelho
3. පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි සිංහල පරිවර්තනය පියල් කුමාර ජයරත්න/අනුෂයා කොල්ලුරේ
4. උප්පලවණ්ණා ටොරානා ඩීවීඩී තැටිය
5. http://srilankanfilmcritics.blogspot.com/2008/04/uppalavanna.html
6. http://www.dailynews.lk/2007/10/03/art03.asp
7. http://en.wikipedia.org/wiki/By_the_River_Piedra_I_Sat_Down_and_Wept

මෙම ලේඛනය සකස් කිරීමේදී නන් අයුරින් සහය දැක්වූ තුෂාරි, හෂිත, මාලතී, කූඹියා සහ මහේෂා ට ස්තුතිවන්ත වෙමි.