ස්ත්‍රී දෙවියනි! ඇය පිලාර්, මම උප්පලවණ්ණා!!
මම ද වැළපුණෙමි - පියේද්රා ගඟබඩ හිඳ නොව....
ආදරය මුණ ගැසුණු සඳ - මම ද වැළපුණෙමි
පියේද්රා ගඟබඩ හිඳ නොව - ජීවිත වන්දනාව අභියස ..
හදගුළු හැරීමි
කීරි ගෑ අගුළු කට
නැගූයේ කෙඳිරියකි.
හඬක් නැති කෙඳිරියකි.
මළ කෑ යතුරු හිස අගිස
බැඳි දුඹුරුවන් ප්‍රාර්ථනා
පණ ගසාවිත්
පැසුණු උදෑසන සනසවාලයි
හිරිවැටුණු බාහුවට වාරු වී..
අහෝ! මේ ආදරයට
හැකිය හඬන්නට
මෙතරම්ම.
ඒ නොදැන උන් ඇසිල්ලක
කඩා හැලේ
දිය සීරා
නයගරාවක සිරියෙන්..
නොදුටු රුවක්
ඇසේ හැපෙයි
ගණඳුරේ දී.
රිදුණු තරමක් ප්‍රේමයක්.
වැඩිමහලු කඳුළු පෙති මත
අඩි තිය තිය
පාව ආ හැටි
අරුමයක්.
කඳු පෙළක් යට
තවරා ඉඳුසැව්ව
ඇන තියා ගත් හිතකට
නින්නාද දේ ගීතයක්.
එය ප්‍රේම ගීතයක්.
තණබිස්ස
ළදල්ල මුදා හළ
මුහුලසට
ගැසූ පොඩි මල් කිනිත්තක්.
මේ සෙනෙහස..
හද බිත සසළ කළ
ඝණ්ඨාර නාදයෙන් පේ වී
පිරිත් පැන් ඉස නමැද
හදසුනේ තැබූ පෙර
සංසාර පුරුද්දක්.
("පියේද්රා ගඟබඩ - හිඳ මම වැළපුණෙමි" කියවීමෙන් පසු)
Thushari Priyangika තුෂාරි ප්‍රියංගිකා
තුෂාරිගෙ "මම ද වැළපුණෙමි - පියේද්රා ගඟබඩ හිඳ නොව..." කවිය ගැන විමසුමක්
පාවුලෝ කොයියෝගේ බොහෝ නවකතා වල ආකෘතිය දේව ධර්මය නම් වූ කුරුසියේ සිවු කොනට විතන්‍ය ලුහු තන්තුවක් ලෙස මිනිස් ආත්මය ගැටගසා සකස් කරගත් සරුංගල රාමුවකට ප්‍රේමයේ සව් කඩදාසි අලවා ප්‍රබන්ධකරණයේ වාග් කෝෂය නම් වූ නයිලෝන් අවිතන්‍ය තන්තුවේ කොණක් එම සරුංගලයේ සමබර ලක්ෂ්‍යයේ ගැට ගසා පාඨකයා ලවා අහස්ගත කරවීමෙන් ඇරඹෙන කාව්‍යාත්මක ඇස්බැන්දුමකි. දෙවනුව එම වචනමය සරුංගලයේ පොළවට සබැඳි රැහැන වන එහි නයිලෝන් නූල පාඨකයාම ලව්වා කඩවා අහසේ ඉමක් කොණක් නැති සුළි සුලං රැළි අතරින් පාව යන්නට සලස්වා එය පොලවට පතිත වූ පසු නටඹුන් වූ සරුංගලයේ ඉරී ගිය සවු කොළ වලටත් ඇදී රිදී ගිය විතන්‍ය නූල් ජාලය නැමැති මිනිස් ආත්මය වෙත නැවතත් පාඨකයා ලවා පාඨකයාට අභිමත සවුකොල අලවා ගන්නට සලස්වයි. මෙයාකාර වූ අධ්‍යාත්මවේදයක් ගුරු කොට ගෙන ලියැවුනු කොයියෝගේ නවකතා වල බයිබලයේ උධෘත පාඨ සහ දේවකතා වල චරිත හමු වන්නේ උත්තම හැඟීම්වලින් පිරී ගිය පෙම්වත් චරිත සමගය.
පාඨකයාගේ ඔළුව තුලින් ප්‍රතිනිර්මාණය වන ඔහුගේ කතා එනම් එම සවුකොල ජාවාරම සිදුවන සන්දර්භය තුළ නොහොත් පාඨකයාගේ සංස්කෘතික අවකාශයට සාපේක්ෂව එයින් විටෙක සිනමා කෘතියක් උපදියි. එසේත් නොමැති නම් තුෂාරි වැනි කිවිඳියක් අතින් කවියක් ඉපදෙයි.
පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි [බයි ද රිවර් පියෙද්රා අයි සැට් ඩවුන් ඇන්ඩ් වෙප්ට් /By the River Piedra I Sat Down and Wept] නම් වූ නවකතාවේ සිංහල අනුවාදය තුලින් ගොස් භූගත වූ මේ කවියේ යථානුභූතියේ අන්තර්ගතය එබඳු අන්තර්සංස්කෘතික ඝට්ඨනයකින් උපත ලබා ඇත. මෙම නවකතාව මින් මතු මෙම ලේඛණය තුල හඳුන්වන්නේ 'පියෙද්රාව' වශයෙනි. නවකතාවේ නම දිග වැඩි හෙයිනි ඒ.
මෙම කවිය පියෙද්රාවෙන් උපත ලබා ඇත්තේ වුවද එහි අන්තර්ගතය නැවත කවියා තුළ ප්‍රතිනිර්මාණය වී ඇත්තේ කොයියෝගේ සංකේත ලෝකයෙන් නොව කවියා ගේ සංකේත ලෝකය තුලිනි. එය සිදුවිය යුත්තකි. මග හැර යා නොහැක්කකි. එහෙයින් මෙම ද්විප්‍රකාර සංස්කෘතික ලෝක දෙක තුළ සිදුවන අන්තර් සහසම්බන්ධතා පෙරළිය පිළිබඳ විචාරන්නට කිසියම් සමීකරණයක් තනා ගත යුතු වන්නේය. එම සමීකරණය ගොඩනගා ගන්නට කවියේ සංකේත විශ්වය මතුපිටත් නවකතාවේ විශ්වයත් අතපත ගා බැලිය යුතු වන්නේය.
කොයියෝගේ පියෙද්රා නවකතාව තියෝලොජිකල් හෙවත් දේවධාර්මික කුළුණු මත ගොඩනැගී ඇත. මෙම ආගමික විශ්වය කවිය තුළ දී බෞද්ධ සංකේත විශ්වයකට පරිවර්තනය වේ. එනයින් කොයියෝගේ නවකතාව එක් එක් ඉන්ද්‍රියයෝ වෙන වෙනම මෙයාකාර වූ 'බයිනරි ඔපොසිෂන්' ප්‍රබේධයන්ට හුවමාරු වීමෙන් කවියේ මතුපිට නිර්මාණය වී ඇති හෙයින් මෙම එකිනෙක ප්‍රතිවරුද්ධාර්ථයෙන් යුත් ද්විකෝටිකයන් නිර්මාණය වීම රීතියක් ලෙස ගත හොත් අප කතා කරන විශ්ව දෙක අතර හුවමාරු වීම් සියල්ල සෘණ එකේ [-1] ගුණිතයකින් ගොඩනැගෙන සමස්තයක් බවට එක විට පත්වේ. මෙහිදී සෘණ එකේ ගුණිතයක් ලෙස ගණිතමය ලෙස දැක්වූයේ ගැහැණිය නම් පිරිමියා බවටත් අහස නම් පොළව බවටත් යනාදී ලෙස එක් එක් සංකල්පය එහි කේන්ද්‍රීය සර්වත්‍ර කුලකයන් තුළ එකිනෙක ප්‍රතිවිරුද්ධාර්ථයන් ලෙස සිතියම්ගත වීමයි.
දැන් පියෙද්රාව සහ කවියේ අන්තර්ගතය අතර එකිනෙක සිතියම් ගත වන 'ඔපරේටරයක්' අප සතුවේ. වඩාත් සමීප සැසඳීමක දී මෙම පියෙද්රාවේ 'බයිනරි ඔපොසිෂන්' පරිවර්තන සිතියම මෑතක සිංහල සිනමාවට එකතු වූ බෞද්ධ ආකෘතියක වියමන් ගත වූ "උප්පලවණ්ණා" සිනමා පටයේ 'නෙගටිව්' පටලයක් ලෙස සමපාත වීම හුදු අහම්බයකි. මෙම සිනමා කෘතිය සහ පියෙද්රාව අතර ඓන්ද්‍රීය සම්බන්ධයක් නැති වුවද මෙම ලිපිය තුල විග්‍රහ වන ඔපරේටරමය සිතියම්ගත කිරීම තුළ මෙම නවකතාව සහ සිනමා පටය එකිනෙකේ නෙගටිව් පටල බවට පත්වේ. උප්පලවණ්ණා සිනමා පටයේ දළ කතා වින්‍යාසය මෙලෙස හකුළුවා දක්වමි.
උඩරට කුල කාන්තාවක් වන සංගීතා තමන්ට පහතරට නැටුම් උගන්වන ගුරුවරයා සමග අසම්මත පෙම් සබඳතාවක පැටලී දෙමව්පියන්ගේ අකමැත්තෙන් විවාපත් වේ. ඉන්පසු එ සොවින්ම කල් ගත කළ ඇගේ මව මිය යයි. මවගේ අභාවය දැනගෙන මෙම විවාපත් යුවල මළගෙදර පැමිණි විට ඇගේ පියා අතින් නැටුම් ශිල්පී සිය ස්වාමියා මිය යයි. මින් දැඩිලෙස කම්පනය වන ඇය දසසිල් මාතාවක් බවට පත් වන්නී වනබද ආරණ්‍යයක ධර්මය හදාරමින් සිටින්නීය. මීට සමාන්තර කාලය තුළ ලංකාවේ තරුණ කොටස් ආණ්ඩුව සමග විප්ලවවාදී ගැටුම් ඇති කර ගන්නා අතර කැරලිකාර ව්‍යාපාරයේ කලක් කැපවීමෙන් ක්‍රියාකාරිත්වයෙන් දායක වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙක් -රත්නපාල-පක්ෂයෙන් න්‍යායික හේතූන් මත වෙන්වී රාජ්‍ය හමුදා වෙත ඔත්තු සපයා පක්ෂය පාවා දෙයි. මීට දඩුවම් ලෙස ඔහුට මරණීය දණ්ඩනය පක්ෂයේ සන්නද්ධ අංශය විසින් තීන්දු කරන අතර ඔහුට දඩුවම් පැමිණ වීමට පාක්ෂික තරුණයෙක් තෝරා ගෙන එම ක්‍රියාන්විතයට යොමු කරයි. රත්නපාලගේ ගම ආරණ්‍ය සේනාසනයේ අසල් දනව්වකි. රත්නපාලගේ ඝාතකයා පැමිණ සිය වගකීම ඉටු කර එම ගැටුමේදී ලද තුවාලද සහිතව දුර්වල ව පැන යමින් සිටිය දී ආරණ්‍ය සේනාසන සීමාවේ දී කකුලේ ඇනුන උලක් හේතුවෙන් ඇවිද ගත නොහී වනයේ වැතිර සිටී. මේ අවස්ථාවේ අහම්බයෙන් තරුණ සිල් මාතාවට ඝාතකයා මුණ ගැසේ. සිල් මාතාව විසින් විනයධර ලෙස ඔහුට පිහිට වන අතර ඔහු ක්‍රමයෙන් සුවපත් වන අතර ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම ද ගම තුළ රාජකාරි කරයි. සාක්ෂි ඔස්සේ ක්‍රියාත්මක වන පොලිස් පරීක්ෂකයන්ගේ ඉව ඔස්සේ ගම්මු ආරණ්‍ය සේනාසනය පීරා ඝාතකයා සොයා කුදලගෙන ගමේ පන්සලට ගෙනෙයි. ඉන්පසු සිල් මාතාවට ආරණ්‍ය හැර යාමට සිදු වන්නේ ගම්මුන්ගෙන් ආරණ්‍ය සේනාසනයට ඇති ගෞරවය සහ සම්පත් දායකත්වය පැහැර හරින්නට ඔවුන් නිතැතින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙනි. ඇය ආරණ්‍යයෙන් පිටව යන අතරමග දී සිය පාත්‍රය ගංගාවකට විසි කරන අතර එම පාත්‍රය සුරක්ෂිතව ඩැහැ ගන්නා ආරණ්‍යවාසී කුඩා සිල් මාතාවක් වන නන්දුත්තරා එය ආරණ්‍ය සේනාසනයේ නායක සිල්මාතාව ද ඇතුලු පිරිස සමග පැමිණ උප්පලවණ්ණා අතීතකාමීව සිහිය මෙහෙයවමින් හුන් වැල් පාළම මත දී නැවත පිළිගන්වන්නීය. මෙයින් සිනමා කෘතිය අවසානය ලකුණු කරයි.
දැන් පියෙද්රාවේ කතාව සැකෙවින් සළකා බලමු.
පිලාර් නම් වූ තරුණිය සිය පැටි වියේ සිට මිතුරු දමින් වෙළුණු කොලු ගැටයකු ගේ තරුණ වියේ ඔහුගේ ආරාධනයෙන් බාසිලෝනා නගරයේ ඔහු පවත්වන්නට යෙදුන ධර්ම දේශනයකට පැමිණෙන්නේ ඉමහත් දෙගිඩියාවෙනි. පිලාර් ඔහු කෙරෙහි ප්‍රේමයකින් පසු වුවද ඔහුගේ ජීවණ දැක්ම කුඩා කල සිටම එල්ල වී තිබුනේ දෙවියන් සොයා යාම කෙරෙහි බැවින් ඇය ඔහු හමු වන විට ඔහු එම කාර්යභාරයේ සාර්ථකත්වයට පත්වී ඇති බැව් ඇය වටහා ගන්නා අතර ඇය ඔහු කෙරෙහි වූ ප්‍රේමය හෙළිදරව් නොකරන්නට සිතා සිටින මුත් ඇය වටහා ගත් ආකාරයක ඔහු දේවධාර්මිකයකු වනවා වෙනුවට ස්ත්‍රීත්වය දේවත්වය දක්වා පරිවර්තනය කරන්නාවූ වෙනස් ආකාරයක සත්‍යයක් සොයමින් සිටින බැව් ඇයට තහවුරු වේ. මෙම සත්‍යය ලෙස ඔහු දකින ස්ත්‍රීත්වයෙන් පිරිපුන් දේවත්වය යනු ලොව සියළු ජීවයේ උපත වන ජලය ලෙස සංකේතීය ව පවතින ස්ත්‍රීත්වය ලෙසත් එය තමාගේ අධ්‍යාත්මික චාරිකාවේ අග්‍රඵලය බවත් එය පිලාර් සමග වන්නාවූ ප්‍රේමය ලෙස නැවත පිළිසිඳ ඇති බවත් ඔහුගෙන් දැන ගන්නා ඇය ප්‍රේමයේ භෞතික සීමා ඉක්මවන දෙවියන් හා බැඳීමේ මාර්ගය ලෙසත් ලොව එකම සත්‍යය යනු දෙවියන් හා බැඳෙන ප්‍රේමය බවත් ඇය වටහා ගන්නී ඔවුනොවුන් කෙරෙහි දිව්‍යමය බැඳීමකින් ලං වන්නීය.
දැන් මෙම කතා ප්‍රවෘත්ති දෙක තුළ පවතින 'බයිනරි ඔපොසිෂන්' අර්ථ වශයෙන් ගෙන එකිනෙක සෘණ පටලමය ක්‍රියාකාරිත්වයක පැවැත්ම සළකා බලා එබඳු ලෙස වූ සෘණ පටලාත්මක නිර්මාණයක් තුලින් එහි ප්‍රතිවිරෝධි සංකේත පද්ධතියක හරහා යාම නම් වූ ක්‍රියාවලිය තුළ සන්දර්භයන් වෙනස් වද්දී අර්ථ විසින් අත් කර ගන්නා රූප කෙරෙහි අවධානය යොමු කරමු.
පිලාර් ගැහැණියකි. පිලාර්ගේ පෙම්වතා පාදිලිතුමෙකි. මේ පුද්ගලයන් දෙදෙනා උප්පලවණ්ණා සිනමා පටයේ දී රත්නපාලගේ ඝාතකයා සහ උප්පලවණ්ණා මෙහෙණියට සමපාත වේ. පිලාර්ගේ පෙම්වත් පාදිලි වෙනුවට රත්නපාලගේ ඝාතකයා ලෙස කැරලිකරුවෙක් හමුවේ. ගැහැණිය සහ පිරිමියා හුවමාරු වේ. පිලාර් මෙහෙණියක නොවේ. එමෙන්ම ඇයට පාදිලිතුමා හමුවන්නේ අහඹු ලෙස ද නොවේ. උප්පලවණ්ණා මෙහෙණියක වන අතර ඇයට රත්නපාලගේ ඝාතකයා හමු වන්නේ අහඹු ලෙසය. පිලාර් ගේ පෙම්වතා වන පාදිලිතුමා දේව ධර්මය තුළ ස්ත්‍රී දේවත්වය සොයා යයි. උප්පලවණ්ණා බෞද්ධත්වය තුළ ස්ත්‍රී භික්ෂූත්වය නියෝජනය කරයි. පිලාර් ප්‍රේමයේ දිව්‍යාත්මය ස්පර්ශ කරන්නීය. උප්පලවණ්ණා ප්‍රේමයේ අනිත්‍යතාවය තුළ සත්‍යය සොයා වෙහෙසෙන්නීය. මේ ආකාරයෙන් එකිනෙක ප්‍රතිවිරුද්ධ සංකල්ප පද්ධතියකින් පියෙද්රාව සහ උප්පලවණ්ණා කෘති එකිනෙක ඡේදනය කරගන්නේ ගංගාව නමැති අක්ෂයේ දෙපසය. පියෙද්රා ගඟ අසබඩව පිලාර් තැවෙද්දී උප්පලවණ්ණා සිය පාත්‍රය ගඟ දිය තුල පා කර හරින්නීය. ඔවුන් දෙදෙනම එකම සංකල්ප විශ්වයක ප්‍රතිවිරුද්ධ මාර්ගවල ඇවිද යති. කාලමාත්‍ර වශයෙන් සලකා බැලූ විට ද පියෙද්රාව දින දහයක් තුළ ඔවුන්ගේ ආගමික වන්දනාවක සිරිය ගත් ප්‍රේමනීය සංවාදයන් තුළ ගත වන අතර උප්පලවණ්ණා සිනමා පටය ද සීමිත කාලයක් තුළ හැකිළුන වෘතාන්තයක් අධික ආතතියකින් තිරය මත දිග හරියි. ඒ අයුරින් එම ආඛ්‍යාන රීතින්ද එකිනෙකට ප්‍රතිමුඛ වේ.
මෙ ආකාරයෙන් පල්ලිය කේන්ද්‍ර වූ දේව ධර්මය තුළ පගන් * නිකායක හෙවත් ස්ත්‍රී දේවත්වයක ගවේෂණාත්මක කැරැල්ලක් මෙහෙය වමින් සිටින පිලාර්ගේ පෙම්වත් පාදිලි වෙනුවට උප්පලවණ්ණාට සමාජ විමුක්තිය වෙනුවෙන් යථාර්ථමය කැරැල්ලක මෙහෙයුම් කරුවකු අහඹු ලෙස සිය අධ්‍යාත්මික ජීවිතය දෙපළු කරන්නට වනය තුළින් ප්‍රාදූර්භූත වේ.
පිලාර්ගේ පෙම්වත් පාදිලිතුමාගේ අදහසකින් ඔහුගේ කැරලිකාරිත්වයේ අරමුණ විශද වන අවස්ථාවක්:
"By the time of my first vision i was already aware of the work being done by the true revolutionaries of the church. I knew that my mission on earth, in addition to curing was to smooth the way for this new acceptance of God as a woman. The feminine principle , the column of Mesericordia, would be rebuilt and the temple of wisdom would be reconstructed in the hearts of all people"
By the River Piedra I Sat Down and Wept
page 164
පියෙද්රාව කියවා ගෙන යන අයෙකුට ලාංකීයත්ව ය තුළ හමු වන පියෙද්රාවේ 'බයිනරි ඔපොසිෂන්' වල පැවැත්මේ සන්නිකර්ෂණයක් මේ ආකාරයෙන් ගොඩ නැගිය හැකි අතර කතෝලික බැතිමතකු අතින් ලියැවිය හැකි කවියක ආකෘතිය ද මේ කවියේ ආකෘතිය සහ අන්තර්ගතය ද හාත්පසින් වෙනස් විය හැකි බව මේ සැසඳීම්වලින් පෙනී යනු ඇත. මෙම ප්‍රස්තුත කවියෙ බුද්ධ භාෂිතය සංකල්පගත වීම අහම්බයක් නොවන්නේ එම තතු යටතේය.
මෙම සසැඳිල්ල යටත් වන්නේ වචන වශයෙන් පවතින අර්ථයෙන් වියුක්ත වූ යමක් ප්‍රතිවර්ථනය යැයි නොසැලකිය යුතුය. මෙම සෘණ එකේ අගයෙන් ගුණ කර චරිත සහ සිද්ධි මෙන්ම ඒ ඒ චරිත කැඳවා යන දෘෂ්ටි යනාදී සියල්ල ග්‍රහණය කර ගැනීම විහිලුවක් ලෙසද පෙනී යා හැකි නමුත් මෙම ද්විමය පරිවර්තනය ස්වභාවය මනසේම එක්තරා සංකල්පීය නිර්මාණයක් බැවින් අපගේ සංජානනය දෘෂ්ටිවාදාත්මක කෘතියක් තුළින් පෙළ හසුරුවන පරිකල්පනීය සහ සංකේතීය මාන වල ඝට්ඨනය මීට සමරූපි හැසිරීමක් වනු ඇතැයි තර්ක කළ හැක. එබඳු සසැඳීමක ට හෝ සංකල්පීකරණයකට ලෞකික දේ පොළඹවාගත හැකි බැවින් මෙයාකාර වූ විග්‍රහයක් වචන ඔස්සේ කිරීමේ සාවද්‍යතාවය මෙලෙස ලංකාවතාර සූත්‍රයෙන් උපුටා දක්වමි.
"නැවත ද එම අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ මහාමතී බෝධිසත්ව මහාසත්වයන්ට මෙසේ කීහ. ශූන්‍යතාව අනුත්පත්තිය අද්වය සහ නිහ්ස්වභාව පිළිබඳ මෙම ඉගැන්වීම සියළු බුදුවරයන්ගේ සියළු සූත්‍ර තුළ දැකිය හැකිය. එමෙන්ම ඒ සෑම සූත්‍රයකම මෙම ඉගැන්වීම පිළිගෙන ඇත. කෙසේ වෙතත් මහාමතී ආයුෂ්මතුනි සූත්‍ර යනු සියළු සත්වයන්ගේ අධිමුක්තීන්ට අනුකූල වන පරිදි ඉදිරිපත් කර ඇති ඉගැන්වීම්ය. එමෙන්ම ඒවා නියම අර්ථයෙන් ඈත් වන්නේය. එමෙන් ම ඒවා නියම සත්‍යය ගැබ් වන වාක්‍ය වන්නේ නැත. මහාමතී ආයුෂ්මතුනි ද්‍රෝහි වූ ජල උල්පත් මගින් මුවන් පොළඹවන්නා වූ මිරිඟුව මෙනි ජල උල්පත් එහි ඇත්තේ නැත. එහෙත් ඒවා ඇත්ත වශයෙන්ම පවතී යැයි සිතන මුවෝ ඒවාට ඇලී සිටිති. සියළුම සූත්‍රවල පැහැදිලි කර ඇති ඉගැන්වීම් ද එබඳුය. තමන්ගේ විකල්පීය මනසේ තෘප්තියට පත් කර ගැනීම සඳහා ඒවා සියළු සත්වයන් වෙත ඉදිරිපත් කර ඇත. ඒවා ආය්‍යර් ඥානය විසින් ග්‍රහණය කළ යුතු වූ සත්‍ය අන්තර්ගත වූ කියමන් නොවන්නේය. මෙම කරුණ නිසා මහාමතී ආයුෂ්මතුනි අර්ථයට අනුකූල වන්න. වචන වල එල්ලී නොසිටින්න."
-ලංකාවතාර සූත්‍රය
එනයින් මෙම සන්සන්දනය අතිශය වශයෙන් සාහිත්‍යමය වන අතර දෘශ්ටිවාදාත්මක ලෙස ලෝකෝත්තර කාරණා සම්බන්ධයෙන් වලංගු නොවන්නක් බවද අප සිත් තබා ගත යුතුය. නොඑසේ නම් තර්කාණුකූලව පෙන්වා දීමකින් හෝ ගණිතමය ඔප්පු කිරීමකින් නිර්වාණ මාර්ගය හෝ දෙවියන් හා එක් විම බුද්ධිගෝචර දෙයකැයි පෙන්විය හැකි සරල දෙයකට ඌණනය වන්නේය. එය ප්‍රායෝගික නොවන්නකි. එනමුත් එබඳු අන්තයන් දෙකක් තුළ දෝලනය වන නිර්මාණාත්මක මනසක් විශද කර ගැනීමට මෙම ඔපරේටරමය හඹායාම කුතුහලය කුළුගන්වන සුළු ක්‍රමවේදයක් බැව් සඳහන් කළ යුතුය.
පියෙද්රාවේ චරිත සිද්ධි සහ දෘශ්ටි සෘණ එකෙන් [-1] වැඩි කරගෙන ගියාම ඒවායේ 'බයිනරි ඔපොසිෂන්' න්‍යාසය හමු වේ.
'උප්පලවණ්ණා' හමු වන්නේ මේ නවකතාවේ 'බයිනරි ඔපෝසිෂන්' එකක් ලෙසයි. එය ලංකාවේ සන්දර්භය තුළ පාවුලෝ හමු වෙන ආකාරය විය හැකියි. එම ආඛ්‍යාන ද්විත්වය හරහා මෙම කවිය උපත ලබා ඇති වග මගේ අදහසයි. පියෙද්රා නවකතාව උත්පළවණ්ණා කරා රූපාන්තරණය වන අතරතුර මෙම කවිය ශේෂ කොට ඇත.
සංසාර පුරුද්දක් ලෙස එන බෞද්ධත්වය තුළ ප්‍රේමය සංසාරයට අලවන සසර ගමන දිගු කරවන ක්ලේශයකි. තණ්හාවේම තවත් රූපයකි. ආලය විඥානය යනු චිත්තයේ උපදින නෛසර්ගික ප්‍රවාහයකි. එය නැසුම සංසාර ගමන කෙටි කිරීමේ මග ට ප්‍රවිශ්ට වීමකි. පිලාර් අත්දකින ප්‍රේමය දෙවියන්ගේ සිහින තුළ යථාර්ථවත් වන්නකි.
"the path of the Goddess can only be opened through words and miracles. But that's not the way the world works. It's going to be very hard -tears, lack of understanding, suffering."
By the River Piedra I Sat Down and Wept
page 164
මෙ අයුරින් බෞද්ධත්වය තුළ ප්‍රේමය ට හිමි නොවන තැනක් කොයියෝගේ දේවධාර්මික ආඛ්‍යානය තුළ ඉස්මතු වීම අතිශය පැහැදිලි සද්භවයකි. ස්වභාවයකි. ස්ව පැවැත්මක් භවයක් ඇති දෙයකි.
මෙම කවිය තුළ ද්විඝඨනාත්මක ලෙස කඩා හෙලන්නේ එම පරස්පරයයි.
"සෑම දෙයක් තුළම ස්ව-භාවයක් ඇත්තේ නැත. ඒවා මිනිසුන්ගේ නිකම් වචන පමණය. යමක් විකල්පනය කරන ලද්දේ ද එයට නියම පැවැත්මක් නැත; නිර්වාණයද සිහිනයක් වැනිය; සංසාරය තුළ කිසිවක් දක්නට ඇත්තේ නැත. කිසිවක් නිර්වාණය තුළට ඇතුළු වන්නේද නැත"
-ලංකාවතාර සූත්‍රය
*පගන්' [Pagan or Paganism] : ස්ත්‍රී දෙවියන් පිළිබඳ හෝ දෙවියන් වෙනුවට දේවතාවියක් විශ්වාස කරන ආගමික පද්ධතිය.
ආශ්‍රිත ලිපි ලේඛන/ වෙබ් අඩවි
1. ලංකාවතාර සූත්‍රය
2. By the River Piedra I Sat Down and Wept-Paulo Coelho
3. පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි සිංහල පරිවර්තනය පියල් කුමාර ජයරත්න/අනුෂයා කොල්ලුරේ
4. උප්පලවණ්ණා ටොරානා ඩීවීඩී තැටිය
5. http://srilankanfilmcritics.blogspot.com/2008/04/uppalavanna.html
6. http://www.dailynews.lk/2007/10/03/art03.asp
7. http://en.wikipedia.org/wiki/By_the_River_Piedra_I_Sat_Down_and_Wept
මෙම ලේඛනය සකස් කිරීමේදී නන් අයුරින් සහය දැක්වූ තුෂාරි, හෂිත, මාලතී, කූඹියා සහ මහේෂා ට ස්තුතිවන්ත වෙමි.
0 කුළිය:
Post a Comment