Friday, February 13, 2009

කලියුගයේ වසන්තය [1996] -ශානිකා කල්හාරි වටෝවිට

පන්හිඳ

දහසකුත් දේ අතර සුවිශේෂ වූ
දෙයකි පන්හිඳ
මගේ අතැගිලි අතර සිරවී
නොකඩවා ලියන වදන් වැල්
ඉරිතැලුන මිහිකතට
පිරුණු නදියක් වැන්න
සුන්දරත්වය මතින් ඇති කටුක යථාර්ථය
වෑහෙන්නේය තුඩගින්
හිරුගේ රැුස් ලෙසට
අයුක්තිය අසාධාරණය අසත්‍ය දුටු තැන
පහර දුන්නේය පන්හිඳ
කඩු, කිනිසි, අවි වලින් නොව
සියුමැලි තුඩගින්ය
මතු දිනෙක මා අතින් ගිලිහිලා
ගව් ගණන් දුර පතිත වුව
මට දොස් නොතබනු
මන්ද ?
මගේ අතැගිලි ලිහිල් කරන්නේ මිනිසුන්ය
මා ලියන්නේද මිනිසුන්ටය
ඉතින් මිනිසුනේ
පන්හිඳ කග පතක් කළ හැක්කේ ද
මිනිසුන්ටමය

ශානිකා කල්හාරි වටෝවිට
කලියුගයේ වසන්තය 1996



ශානිකා කල්හාරි වටෝවිට

මෙ ලියන්නේ තවත් කිවිඳයක් ගැන නම් නොවෙයි.

මෙ ලියැවෙන්නේ මහමෙරක් මෙන් නොසැලුන අකම්පිත ආත්මයක පරිකල්පනීය දිග පළල පිලිබඳ මිනින්දොරුවකුගේ සටහනකි.

කලියුගයේ වසන්තය ශානිකා කල්හාරි වටෝවිට ගේ ප‍්‍රථම කාව්‍ය සංග‍්‍රහයයි.

ඇය මෙම කාව්‍ය සංග‍්‍රහය පළ කරන්නේ 1996 දීය.

1992 දී පමණ ඈත දුරාතීතෙක මට ඇයගේ කවි කියවා මතක ඇත්තේ රාවය පුවත් පතිනි. එකල මට හැගුනේ ඇය ද අප මෙනි. එහෙත් වැඩි කලක් යන්නට මත්තෙන් එම රාවය පුවත් පතේම පළ වූ ඇගේ සංලාප සටහනකින් මා දැනගත්තේ ඇය අප මෙන් නොවන වගයි. ඇය මාංශ පේශි වර්ධනය නොවීමෙ රෝගයකින් පෙලෙන්නියක් බවත් එහි සැබෑ තතු රැගත් ඇගේ ඡායාරූපය පුවත් පතේ පළ වීමත් සමග මම කම්පනයට පත් වීමි.

කලකට පසු මට ඇගේ ප‍්‍රථම කාව්‍ය සංග‍්‍රහය හමු විණි. ඒ ගොඩගේ පොත් මැදුරෙ කල් ඉකුත්ව ගිය පොත්පත් ගොඩගැසුනු අඳුරු රාක්කයක තිබීය.

ඇගේ හඩ තවමත් මා සිත කම්පනය කරන බැවින් මෙ කුඩා සටහන ඇය වත්මන් ලෝකයටත් ඇය නොදන්නා අලුත් පරම්පරාවට හඳුන්වා දීමටත්ය.


ඇය ගැන වනිතා විත්ති පුවත් පතේ දමයන්ති අමරසේකර පවසන්නේ...

වයසින් මෙන්ම අත්දැකීමෙන් මුහුකුරා නොගිය ද තම සිරුර වාරු නැති වුව ද ඇය බුදධිය මෙහෙයවා කරන නිර්මාණයන්හි අගය මැනිය නොහැකි තරම් ය. කිසිවක් කර කියා ගත නොහැකි ව මැසිවිලි නගන සමහර මිනිසුන් අතර ආබාධිත ඇය ආශ්චර්යයකි.

ඇගේ කවි පොතේ පෙරවදනේ දක්වන ඇගේ අදහස් කීපයක්ද මෙහි සටහන් කරමි.

කවිත්වය තුලින් නිරූපනය විය යුත්තේ සෙෘන්දර්යාත්මක අගයන් යැයි බොහෝ දෙනා විශ්වාස කරති. සුන්දර පරිසරය පේ‍්‍රමය ගැහැණිය වැනි වස්තූන් මුල් කරගෙන ශෘගාරාත්මක ශෛලියකින් කවි ලිවීමට බොහෝ කවීන් පුරුදු වූයේ එම මතවාදයේ පිහිටා විය යුතුය. එහෙත් කිසියම් වස්තුවක් දෙස යථාර්ථවාදී ව බලා කවිත්වය තුළින් එහි ස්වභාවය සත්‍ය ලෙස නිරූපණය කළ හැකි නම් එය කවියෙකු සතු විශේෂ කුසලතාවක් නොවන්නේ ද

එවැනි කුසලතා තුළින් මතු වූ පැල් කවි පාරු කවි පතල් කවි ගොයම් කවි වැනි වැඩ කරන ජනතාවගේ නිර්මාණ සමාජයට කළ මෙහෙවර අප ඉතා අගය කළ යුතුය. එම කවි සංකල්පනා වර්තමාන සමාජ ක‍්‍රමය හමුවෙ කෙෘතුක වස්තූන් බවට පත් වූවත් ඒ මග පිහිටා සමාජ මෙහෙවර මතක් කර දීමට අනුගමනය කළ ජනතාවාදී ශෛලිය මගේ නිර්මාණවලට පදනම වූ බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.

විශේෂයෙන්ම පසුගිය 17 වසරක පාලන අවධියේදී ජාතිවාදයට යුද්ධයට අසාධාරණයට භීෂණයට එරෙහිව උතුරේත් දකුණේත් ඇතැම් කවීන් ඉටු කළ මෙහෙයට මුළු ලාංකීය ජනතාවම ප‍්‍රශංසා කළ යුතුය. සමාජ අසාධාරණකම්වලට ජනතාව ගොදුරු වන කාල පරිචඡේද වලදී කවීන් විසින් ලබා දෙන පණිවුඩය ප‍්‍රාග් විප්ලවීය රුසියානු සාහිත්‍ය පුරා පැතිරී ඇත. එම ආදර්ශය යටත් විජිත යුගයේ දී ආසියා අප‍්‍රිකා ලතින් අමෙරිකා අතුළු සියලු රටවල් හරහා හමා ගොස් අද එය විවිධාකාරයෙන් සිදුවන සමාජ අසාධාරණකම් වලට එරෙහි ව පෙළගැසී සිටින්නේ ඒ රුසියානු ආභාසයට පින් සිදුවන්නටය.






නොලද සවි

මිනිසුනේ මිනිසුනේ
එක් වී බලව්
මුලාවක් වී මුසාවක් නොව
පන්හිඳෙන් මා ලියන්නේ
බිඳුණු තල් වැටෙ මුල්ලක තනි වී
අපේ අසල්වැසි අසරණ යුවතිය
කෝවිල දෙස නෙත් අයා සිටින්නේ
දෙවියන් කොහිදැයි දෙවියන් කොහිදැයි
ෂෙල් වෙඩි යුද්දෙන්
දෙවියන් පන්නා
අවි අත ගත් උන්
තල්වැට බින්දෝ

හිමි අත ගන්නට
දැවැදි නැති ඇය
ගිනි අවි ගත්තී
තල් වැට රැකුමට


ශානිකා කල්හාරි වටෝවිට
කලියුගයේ වසන්තය 1996



අලුත උපන් පුතුනේ

දිරච්ච පොල් අතු වහල යටින්
ගොම ගෑ පොළොවක නිදන පුතේ
නුඹෙ අම්මා කිරි අරගෙන එනතුරු
නාඩා නිදියන්නේ

නේක වර්ණ පිළි බෝනික්කෝ
තනියට නෑ නුඹෙ හතර වටෙ
දේදුන්නෙන් එන සුරංගනාවන්
හැරදා ගොස් ඇත නුඹ තනියෙන්

දූවිලි රොඩු පිරි චණඩ සුළං
නිතරම නුඹ වට කැරැකෙන්නේ
කාණුවෙ කුණු ගඳ දසත ගලා ගොස්
නුඹෙ පැල ඇතුලේ රජ වෙන්නේ

පාට පාට මල් නොපිපෙන්නේ
පුතුට දකින්නට සුවඳ දිදී
නුඹ බිලි ගන්නට ඇස් දල්වා ගෙන
බාඳුරා මල් ඇත ගේ මිදුලේ

දවසක් මැදියම් ? යාමෙ
අංක තහඩු නැති වාහනයෙන්
නුඹෙ අප්පච්චී රැගෙන ගියා
එව්වෙ නැත නුඹ දකින රිසින්

නුඹ වැනි උන් ඇත දහස් ගණන්
මව්වරු සමගින් තනිවීලා
නුඹෙ අම්මා කිරි අරගෙන එනතුරු
මිහි මව් තුරුලේ නැලවෙන්නේ

ශානිකා කල්හාරි වටෝවිට

කලියුගයේ වසන්තය 1996

0 කුළිය: