Monday, September 28, 2009

සුනාමියට පෙර මුහුද ගිලී ගියා


සුනාමියට පෙර මුහුද ගිලී ගියා

ඈතට ඈතට
කිසි දිනක ‍නොදුටු සිප්පි කටු කොරල් ගල් මල් මතුකර
එක නිමේෂයකට
මුහුද ඈතට ඈතට ගිලී ගියා...
මහ සමුදුර වෙරළ උරා බී
බඩ පුම්බා ගෙන
මුහුදු මට්ටමේ ශූන්‍ය ක්‍රමාංකනය දෙස
සෝපාහස ලෙස බැල්මක් හෙලමින්
කිසි දිනක ‍නොදුටු සියුමුව වැලි ගල් රොන් මඩ මතුකර
එක නිමේෂයකට
මුහුද ඈතට ඈතට ගිලී ගියා...


තැනිතලාවක් සේ මහ මුහුද රැඳුනු ඉඩ
හිස් ව
තෙත්ව
දර්පණයක්‍ ව
පෙනුනා...


ඈතම ඈත මහ වළල්ලක් මෙන්
දිය තරඟයක් පිම්බි පිම්බී
ගොඩ ඉවුර එල්ලයේ
සයිනාකාරව
මහ විසාල විභව ශක්තියක් එකතු කරමින්
එක රොත්තට ඇදෙන්නට වාරැ ගනිමින් හුන්නා

පොල් කරටිවලට උඩින් පියඹා ගිය විහඟුන් පෙල
අහසේ එකම එක රටාවක් මවන්නට දරන තැත
මම රාණිට කොඳුරා කීවා ඒ නිමේෂය කොතරම් කෙටි ද
පවුඩර් සුවඳට ලවණ මුසු වූ විටෙක කොතරම් සරාගී ද

මහ ජල තරඟය ගැන අපට හා‍හෝවක් තිබ්බ ද ?

පස්සෙයි මම දැන ගත්තේ ඒකට කියන්නේ සුනාමිය කියල
මම කල්පනා කරමින් සිටියේ රාණිගේ රාත්‍රි යට ඇඳුම් ගැන
අපි හරි ඉක්මනට කුරැල්ලන්ට රටා ලියා ගන්න බැරිවුන
පොල් කරටිය අසලටම ගියා...රාණි ‍මගේ අතේම එල්ලිලා හිටියා

රෑ මධුසමයේ දුටු රාණි එලෙසම නිරැවතින් මා සමගම
දිය රළ පෙල අතර පොර බැදුවා අපට රාත්‍රිය කෙටි වුනා වගේම
දිය රැලි අතර ජීවිතය ද කෙටි බව ඒ සරාගී මොහොතේ මෙන්ම දැනුනා
ඒත් රමණ කෙඩෙත්තු මැද්දෑවෙම මම රාණිව තදින් වැළඳන් උන්නා

හතරවටේ දිය රති කෙළිය අවසන් වෙනතුරැ...
පොල් කරටියේ මුදුනේ සිටම කඳ දිගේ
පහලට අපි ගැස්සි ගැස්සී රෑටං ආවා....
ආයෙමත් ජීවිතය මුණ ගැසුනා
මහ රොන් මඩ අස්සෙන් සුන් බුන් මැද්දෙන්
නාදුනන මිනිසුන්ගේ නිරැවත් මළ සිරැරැ අස්සෙන්...

රාගනීශ්‍රිත සන්ධ්‍යාවක්
මරණාසන්න උදෑසනකින් කෙළවර වුනු හැටි...

අපි කාර් එකෙන් කන්‍යාරාමය ඉස්සරහින් යද්දීත්
සුනාමියට කඩං වැටුනු සුරැවම
කවුදෝ පිලිසකර කරමින් උන්නා...

අපි කලකට පෙර
හරියටම ඊට අවුරැදු දහයකට ඉස්සර
මුනගැහුනු මහ මායා විද්‍යාලේ
බෝඩ් ලෑල්ල පෙරලිලා
කැඩුනු තාප්පයේ ‍ගඩොල් අස්සේ වැතිරිලා සිටියා...

රාණිත් මගෙන් ඈත් වෙලා ඊටත් කලකට පස්සේ
දැක්කා මම තාප්ප ගල් බිත්ති පිරිසකර වෙලා දිස්නේ දිදී
පොල්කරටි උඩින් ර‍ටා‍ මවමින් කුරැල්ලන් ගියා අද හවසත්
රාණිත් තනිවෙලා වෙන්නැති මම වගේම
ඒත් නැහැ දන්නේ දෙන්නම ඒ ගැන අදට රහසක්

මේ පොල්හේනට ආවාම
සුනාමියටත් වඩා සැරෙන්
ඒ අතීත මතක සටහන්
මගේ ඔලුව පහුරැ ගාන හැටි?


ඊ ඒ ඩෝසන් ප්‍රීති
270909

2 කුළිය:

wimalasiri said...

Kiyala wedak ne niyamai kaviya eth thawa kidenek thamath widawanawada Tsunamiyen

දුකා said...

රාගනිශ්‍රිත සැන්දෑවක් . . වේදනාකාරී උදෑසනක් වීම අපූරුවට සිත්තම් කරලා තියෙනවා . . . . ඒ අතරෙම සුනාමියේ වේදනාත්මක මතක සටහන් යලිත් වරක් මතකය ආක්‍රමනය කෙරෙව්වාට . . . අමනාප නෑ . . . මක්නිසාද ඒය ජීවිතයේ අනිත්‍ය ගැන සිහිකිරීමට දිනපතා මැතිරිය යුතු මන්ත්‍රයක් මෙන් නිසා . . .