Saturday, August 18, 2012

අමුතු රස රසවතිය

නිර්මානයක රස විඳීමත් ඒ තුළින් ලද රස විඳුම් අත්දැකීම සහෘදයන් හරහා බෙදා හදා ගැනීමත් එක්තරා සතුටකි. එමෙන්ම දුලබ රූපකයන් හරහා එම අත්දැකීම් සමපාත කිරීමත් ඒ අනුසාරයෙන් නව සිතුවිලි ගොඩනැගීමත් ඊටත් වඩා චමත්කාරජනක දෙයකි. එබඳු විරල විඳුම් සටහනක් රසවතියේ ලියැවී ඇත.

ලෝකය අප දන්නේ භෞතික වශයෙනි. පසිඳුරන්ට සංඥා වන දේ තුළින් ලෝකය වටහා ගැනුම බොහෝ විට අප අවිඥානිකව කරනා දෙයයි. අපගේ මනසින් පරිබාහිරව මේ අප විඳිනා දෙය ඇත්තට ම තිබේ දැයි අපි නොදනිමු. එය ශතවර්ෂ ගනනාවක් තිස්සේ විවාදාත්මක දාර්ශනික ගැටළුවක් හෙයින් අපි එතනින් නවතිමු. එදිනෙදා ජීවිතයට වැදගත් වන ප්‍රමානයට සිතීම ප්‍රායෝගික සීමාව බැවින් ඉන් එහාට පියවර තැබීමෙන් සියල්ල පිළිබඳ අවුලක් ඇති කර ගන්නවා විනා අමුතුවෙන් ලැබෙන දෙයක් නැති බැව් අප බොහෝ විට වටහා ගෙන ඇත්තෙමු. වචන සරඹ දක්වා ලැබෙන කෙංගෙඩියක් නැති බැව් අප අනන්ත වාරයක් අත්දැක ඇත්තෙමු. හුදෙක් ඒවා අපගේ විනෝදයට හේතු විය හැකි ප්‍රසාංගික ක්‍රීඩා ය.

කෙසේ වුව ද අපගේ අත්දැකීම් පමණක් ම අපගේ දැනුමට හේතු නොවන බැව් හෝ අපගේ අදහස් සංවර්ධනයට හේතු නොවන බැව් නොයෙක් උදාහරණ මගින් පෙන්වා දී ඇත්තේ අතීත දාර්ශනිකයන් විසිනි. උදාහරණයක් ලෙස දී ඇති තලයක් මත වූ ලක්ෂ්‍යයක් හරහා එම තලය මතම වූ රේඛාවකට සමාන්තරව තවත් ඇඳිය හැක්කේ එකම එක රේඛාවක් බැව් අපට බැලු බැල්මට තේරෙන නමුත් එය එසේම යැයි ඔප්පු කළ නොහැකිය. එනමුත් එය සාවද්‍යයැයි කියා ප්‍රතික්ෂේප ද කළ නොහැකිය. මෙය බැලු බැල්මට සත්‍ය විය යුත්තකැයි අපේ අවිඥානය අපට විධාන කළ ද එය එසේ යැයි අවිඥානය දැනගත්තේ කෙසේදැයි කීමට අප හෝ අවිඥානය හෝ නොදනී. මෙබඳු උදාහරණ මගින් පෙන්වා දී ඇත්තේ සමහර දේ අපට ඉන්ද්‍රිය ගෝචර අනුභූතික දැනුම ඔස්සේ පමණක් සත්‍යාපනය නොවන බවයි. කිසියම් දිව්‍යමය දැනුමක් අප තුළ ඇති බවට කිසිවෙකු හෝ තර්ක කරන්නට මෙබඳුම උදාහරණ අදාළ කර ගත හැකිය. එතෙකින් අපට නැවතී ඔවුනගේ වාග් සංග්‍රාම බලා සිටිය හැකිය.

ෆ්‍රැක්ටල් ජියොමෙට්රි (Fractal Geometry) හෝ හෂිත එය සිංහලට පෙරලන අයුරින් "භින්න භාග ජ්‍යාමිතිය" (මෙම සිංහල පරිවර්තනය මා හට දැනෙන්නේ කිසියම් දෝශයකින් පෙලෙන බවයි. භින්න භාග යනු කිසියම් සංකීර්ණ වීජ ප්‍රකාශනයක් භාග ලෙස පැවතිය හැකි අවස්ථාවක එහි හරයේ ඇති ප්‍රථමක සාධක ඇසුරින් වෙනස් නමුත් සංකලනයෙන් හෝ එකතුවෙන් සර්වසම භාග කීපයක් බවට මුල් වීජීය ප්‍රකාශනය බිඳ දැමීම යි. ෆ්‍රැක්ටල් ජියොමෙට්රි තුළ එබන්දක් නොපවතී. එහි ඇත්තේ විශාලනයේ දී පවත්වා ගන්නා සමමිතිකභාවය නම් වූ සමමිතිය ආශ්‍රිත සංකල්පනයකි.) එරික් ඉලයප්පාරච්චිගේ කවි විමසුමටත් එහි න්‍යෂ්ටික ගතිගුණ විදහා දැක්වීමටත් භාවිත කිරීම අමුතු එළඹුමකි. එය ඉතා දැනුවත් ලෙසම වෙනස් ක්‍රමවේදයකින් සම්ප්‍රදායික නිර්මානයක අන්තර්ගතය විමසීමකි. එකිනෙකට වෙනස් දෑ අතර ඇති සබඳතාවයන් විදහා දැක්වීමකි. අන්වීක්ෂීය ලෙස මහා දේවල් තුළ අන්තර්ගත මහ රූපය මතු කිරීමට දැරූ සද් ව්‍යායාමයකි.

3 කුළිය:

CHINTHAKA TIKIRIBANDARA said...

//අපගේ මනසින් පරිබාහිරව මේ අප විඳිනා දෙය ඇත්තට ම තිබේ දැයි අපි නොදනිමු. //
////මුලින්ම අදහස් පල කිරීමට දැන් පවතින තත්වය වෙන්ස් කරන්නැයි ඉල්ලා සිටිනවා. ඉතාම වැදගත් ප්‍රවෙශයක්. ඉදිරියේදී අපි සාකච්චා කරමු.

තිස්ස දොඩන්ගොඩ said...

"වචන සරඹ දක්වා ලැබෙන කෙංගෙඩියක් නැති බැව් අප අනන්ත වාරයක් අත්දැක ඇත්තෙමු. හුදෙක් ඒවා අපගේ විනෝදයට හේතු විය හැකි ප්‍රසාංගික ක්‍රීඩා ය."

:-)

හෂිත said...

මේ ඩෝසන් බ්ලොග් අවකාශයේ කළ රචනාවන්ගේ අතුරු ඵලයක් හෝ සෘජු ඵලයකි. වියවුල් න්‍යාය සාහිත්‍යය හා සම්බන්ධ කිරීමට මා තුල දශකයක් පමණ ලියලූ උවමනාව එළියට පැන්නේ වචන ටැක්සිය නිසාය. සුනන්ද ඔබේසේකර පාසැල් මිතුරු/විවි බැචා, 1997 මයිකල් ක්‍රිච්ටන් ගේ 'ද ලොස්ට් වර්ල්ඩ්'ගෙනැත් දී මචං මේ පොතේ කේඔස් තියරි එක ගැන හැම චැප්ටර් එකකම මුල ලියලා තියෙනවා, ඒක ෆලෝ කරපං, කියූ වග ද මතකයට නැගෙයි.