Wednesday, May 26, 2010

කාන්චනාගේ අහස සහ පොලොව


කාන්චනාගේ මේ 'දෘශ්‍ය කවිය' ගැන ලියමි.

මෙම 'දෘශ්‍ය කවි' යැයි මා සඳහන් කළ දෙය ගැනද කිසියම් පැහැදිලි කිරීමකින් අනතුරුව කවියක් ගැන කෙටි අදහස් දැක්වීමක් පෙළ ගස්වමි. මෙම කවි 'දෘශ්‍ය කවි' වන්නේ ඒවායේ වියමනට වචන හා සමානවම වර්ණ හැඩතල මුසුවූ පසුබිමක්ද වන බැවිනි. මගේ සිතට ආවේ නගරයේ බිත්ති තාප්පවල පෝස්ටර ඇලවූ විට ඒවා හුදෙක් පෝස්ටරයේ අන්තර්ගතය ඉක්මවා පසුබිමද සමගින් ම කියවීමකට ලක් වීම නොවැලැක්විය හැකි තත්වයක් වන්නේ යම් සේද මේ දෘශ්‍ය කොටස හේතුවෙන් එම කවිය කියවා ගැනීමේ දී ද එම සන්තෑසියම සිදුවන බැවින් ඒ කවි ප්‍රවර්ගය වෙන්කොට නාමකරණය කරනු වස් 'දෘශ්‍ය කවිය' යැයි මම සඳහන් කරමි. 'දෘශ්‍ය කවි' යන වර්ගය ගත් විට ඒවායේ කිසියම් මිම්මක් ආදර්ශනයක් ගැනීමට කදිම උදාහරණ චරිත් සේනාධීරගේ හෝ අජිත් තිලකසේනගේ එබඳු නිර්මාණ ඔස්සේ සාදා ගත හැකිය. ඒවා 'සංයුක්ත කවි' ලෙස හැඳින්වීමට අතිශය සාධාරණය. 'සංයුක්ත' වීමට දේවල් අතර සම්බන්ධය විෂයමූලික විය යුතුය. එනම් සරල උදාහරණයකින් පැහැදිලි ‍කලොත් ද්‍රව්‍ය සහ අවකාෂය සංයුක්ත සම්බන්ධයකින් පවතී. මන්ද යත් ද්‍රව්‍ය අතර නොපවතින ද්‍රව්‍ය හේතුවෙන් එම හිස් තැන හෝ අඩුව හෝ නොපැමිණි දෙය අවකාෂය විසින් අත් කරගන්නා නිසයි. එම නිසා ද්‍රව්‍ය සහ අවකාෂය සංයුක්තව පවතී. එකින් එකක් විස්ථාපනය වීමෙන් අනෙකා ජනනය කරගනී. මේ ආකාරයෙන් සංයුක්ත යන වදනේ භාවිතය එය යෙදෙ‍න සන්දර්භය තුළ ප්‍රතිපක්ෂයන් ගේ ඒකීයත්වයක් ගොඩනගයි.
වියුක්තව පවතින්නේ එවිට එම ප්‍රපංචයන් විසින් අත්කරගන්නා නෛසර්ගික අගයන්ය. මැටි ගොඩක් හෝ එයම බුදු රුවක් හෝ බවට පත් වූ විට එහි නෛසර්ගිකත්වය ඉක්මවා ඒවා තුළට වියුක්ත අගයන් ආ‍දේශ වේ. බහිෂ්කරණයක් සිදු වේ. එබැවින් මැටි සහ බුදු යන සංකල්ප සංයුක්ත නොවේ. ඒවා වියුක්තය. බුද්ධ ප්‍රතිමාවට වැඳීමේ දී මේ වඳින්නේ මැටි ගොඩකට ය යන්න සංයුක්ත නොවේ. බුදුන් පවතින්නේ මැටි නිසා නොවන බැවිනි. එනයින් සංයුක්ත සහ වියුක්ත යන කාරණා කවිය සම්බන්ධව මේ ආකාරයෙන් වටහා ගත හැකිය.‍ වෙනස් කියවීම් ද නැතිවා නොවේ. මේ මගේ අදහසයි.
සංයුක්ත කවි ගත් විට ඒවායේ අන්තර්ගතය පසුබිමක් ඉක්මවා යන දේවල් වලින් අන්තර්ගත වන අතර එක පදාර්ථයක් අනෙක් පදාර්ථයේ පැවැත්ම නිශේධනය කරමින් පවතී. එවිට එහි අන්තර්ගත වන ඕනෑම අංගයක් එහි ප්‍රතිපක්‍ෂයේ නොපැවැත්ම තුළ පවතී‍. එහෙයින් අකුරක කොටස් හෝ රූපයක කොටස් හෝ අසම්පූර්ණ කිසිවක් විසින් එහි අත්හළ හෝ මගහැරුණු කොටස සමග හෝ නොපැමිණි කොටස සමග අපගේ සංකේත විශ්වය ක්ෂතිමය අත්දැකීමකට මෙහෙය වයි. මෙම හැඟුමට අපි කලකට පෙර හෂිත යෝජනා කළාක් මෙන් මෙව්වා එක යැයි අපි වචනවලට පෙරළගන්නට උත්සාහ කරමු. මෙබඳු ආකාරයේ වචන හමු නොවන දැනීම් මනෝවිශ්ලේෂණය තුල හඳුන්වන්නේ යථ හමුවීමක් ලෙසිනි. මේ හමු වන යථ කියවන්නාගේ විඥානය තුල පරිකල්පනීයත්වය සහ සංකේතීයත්වය ගැටීමෙන් හට ගන්නා රේඛාවක් තුලින් විශද වන දෙයකි. ලැකානියානු අරුතින් ගත් විට සංකේතීය විශ්වයේ හැසිරීම මනසට ගෝචර නොවේ. නමුත් එහෙම දෙයක් පවතී. හරියටම කීවොත් විචල්‍යයන් ප්‍රමාණය ඉක්මවා ගිය සමගාමී සමීකරණ පද්ධතියක විසඳුම් භෞතිකව අර්ථ දැක්වීමට නොහැකි වන්නා සේම එම තීරක සමීකරණ විසින් මනසේ කරනු ලබන දෙයට විග්‍රහයක් මනසට සකස් කරගත නොහැකි වීමේ තත්වය සේමය. සංකේතීය විශ්වයට ප්‍රතිපක්ෂව පරිකල්පනීය විශ්වය තුළ අති සරල සමගාමී සමීකරණ පද්ධතියක් ක්‍රියාත්මක වන අතර එහි ප්‍රතිඵල නිරන්තරයෙන්ම භෞතික තේරුමක් අත්කර ගනී. එක්ස් වර්ගය සමානයි හතර යැයි කී විට එක්ස් යනු හතරේ වර්ගමූලයයි යනාදී වශයෙන් එය සරලම තර්කනයකින් ඉපිද දෘශ්‍යමය සී‍මාවේ දී ම එහි අරුත් විකේතනය කරයි. දැං සංයුක්ත කවියක ඇති සංකීර්ණත්වයත් දෘශ්‍ය කවිය ඉන් මෙපිට අප හා කරන සරල ගනුදෙනුවත් වටහා ගැනීමට හැකිය.
අහස පොලොව ලෙස මතුවන කවිය ගැන ද එම සන්දර්භයේම සාකච්ඡා කළ හැකිය. අහස උඩින් ද පොලොව යටින් ද දෘශ්‍ය කවියේ සිය සීමා සළකුණු කොට ඇත‍. එය සවිඥානික වැඩකි. එසේ උපකල්පනයෙන් පටන් ගමි. අහස පොලොව යා වන ක්ෂිතයද මෙම කවියේ තීරණාත්මක කටයුත්තක් කරයි. 'එකම එක වැහි බිඳක් නැතුව' යන හැඟවුම ක්ෂිතිජයේ මතුපිට පිහිටුම අවිඥානික වැඩකි. එනම් කාන්චනා එය සිතා කළ දෙයක් නොවේ. එය අහස උඩ අත් කර ගනිද්දී පෙළ අනුක්‍රමයෙන් සිය ස්ථානය සොයාගත් හේතුවෙන් ක්ෂිතිජය මතුපිටට පැමිණ ඇත්තේ අහසින් ලැබෙන දෘශ්‍යමය දෙය වැහි බැවින් එය ලැබෙන කරාම කට හෙවත් වෙන්වීමේ අතුරු මුහුණත වශයෙනි. නොඑසේ නම් සවිඥානිකව ක්ෂිතජය රූපයේ හරියටම 1/3 පංගුවකට පැමිණියේ මන්දැයි සැළකූ විට එය තව දුරටත් අවිඥානික ක්‍රියාදාමයක් නොවන වග පැහැදිලි වේ. එනම් ක්ෂිතජය ස්ථාන ගත වී ඇත්තේ කවියේ වචන හමුවූ පසු ඒවා ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය තුළම විය යුතුය. මෙනයින් පැහැදිලි වන්නේ කවියේ වචන සහ පසුබිම සංයුක්ත බවයි. වචන හේතුවෙන් පසුබිමද පසුබිමේ හේතුවෙන් වචන ද සිය ස්ථානීය අගය සොයා ගෙන ඇත. එනයින් මේ කවිය ක්ෂිතජයෙන් තොරව කියවා ගැනීමක් යනු ම කිසියම් ක්ෂතියකට අත වැනීමකි. එනම් පසුබිම මේ වචනවල හැඟවුම සමග කුමන ගනුදෙනුවක් කරන්නේද යන සරල ප්‍රශ්නය අභිමුවට එයි. පොලොව අහසට සාපේක්ෂව කුඩා බැව්ද මෙහි අහසේ පොලොවේ ප්‍රමාණාත්මක අනුපාතයෙන් පෙන්වයි. අහස සඳ තරු එක්ක මුකුළුවන්නේ අප්‍රමාණත්වය තුළය. පොලොව වැහි බිඳකට හූල්ලන්නේ ප්‍රමාණාත්මකවය. එතැනද එකිනෙකින් ප්‍රතිරෝධය ගොඩනගන්නා වූ පැවතුම්වල ඒකත්වය පෙන්වයි. දැන් කවියේ සං‍කේත තලයට හැරුණු විට ගම්‍යමාන වන්නේ මේ මිනිස් විෂය කෙරෙහි දක්වන සබැඳියාව නීති රීති මතුපිටින් බිඳෙන බවයි. මන්ද යත් සංකේත විශ්වයේ නීති රීති මිනිස් විෂයට පිටින් පවතින් නොහොත් වියුක්ත කාරණයක් බැවිනි. දෙයක් අවිනිශ්චිත වීමේ ප්‍රමාණය සංකේතීය විශ්වයේ සීමාවෙන් ඇහිරී ඇති හෙයින් අපට විනෝද විය හැකි තැන මෙතැනින් මතුවේ. විනෝදයේ එක් ආකාරයක් උදාහරණයකට මම මතු කරමි. මේ අහස නම් පිරිමියා ය. පොලොව නම් ගැහැණිය ය. පිරිමි අප්‍රමාණ ගැහැණුන් ඇසුරේ මුකුළුවේ. ඔවුන් නිදහස්ය. ගැහැණිය එසේ නොවේ. ඇයට එබඳු නිදහසක් නැත. ඇයට ඇත්තේ එක ස්වාමියෙකි පෙම්වතෙකි. ඔහුගේ එකම ඇල්මකට බැල්මකට පාත්‍ර නොවී ඇය හූල්ලයි. දැං අපේ ක්ෂිතිජය මැකී යයි. ඒ වෙනුවට ඇගේ වැලපිල්ල හමු වෙයි.

0 කුළිය: