Monday, May 24, 2010

ඉසිවරයා (08) -Ransirimal Fernando's translation

ඉසිවරයා (08)


“කියන්න අපට සතුට සහ දුක ගැන”
ගැහැණියක් කීවාය
ගැහැණියක් කීවාය


“නිරාවරණය වූ ඔබේම ලතැවුලයි ඔබ විඳින ප්‍රමෝදය”
කීය ඔහු

උද්දාමයේ බුබුළු බිඳ ඔබේ සිනා රැල් ගලා එන
ප්‍රීතියේ උල්පත
පිරී ඇත්තේ බොහෝවිට
කඳුලින්ය ඔබේම

අන් කවර ලෙසකින් විය හැකිද මෙය?

වේදනාව කිඳා බසීද කොතරම් ගැඹුරට
එපමණම ගැඹුරුය
රැඳිය හැකි සතුටත් ඔබේ හද තුල

ඔබේ මධුවිත පිරෙන
කදා බඳුනම නොදැවුනිද
බුර බුරා දඟලන ගිනි සිලක උණුසුමින්
ඇඹෙන්නට බඳුනක්ව?

ලයාදර හඬින් ගයමින් ජීවිතය පිරිමදින වීණාව
දැව කඳක් නොවෙද අසරණ
පාරා සිදුරු කර හදවතම හෑරූ
තියුණු සැතකින්?

පිරී ඉතිරෙන විට සතුට බලන්න එබී හද ගැඹුරට
දකිනු ඇති ඔබ සතුට වගුරනු
සිත පෙළූ ‍හැඬවූ දෙයම

වේදනාවෙන් රිදුම් දෙන කල සිත බලන්න නැවතත් එබී
දකින්නට යථාර්තය අසන්නට ඔ‍බේ වැලපීම
ඔබේ ප්‍රමෝදය වූ දෙයටම

සමහරෙක් කියනු ඇති සතුටමයි අගනා උතුම් ...
තව කෙනෙක් කියනු ඇත
නැත නැත ශෝකයයි වඩා වැදගත්
ලද යුතු පිදුම්...!

මම කියමි ඔබ හට ...
වෙන්කල නොහැක කිසි දින
මේ ද්වන්ද්වය
සතුට ශෝකය...!

පැමිණෙති උහු දෙපල පටලවා අත්වැල්
එකෙක් හිඳිනා කල ඔබ අසල
සිටී අනෙකා ඔබේ සයනේ වැතිර

අසරණව ප්‍රලම්බව දෝලනය වෙයි ඔබ
තුලාවක දෙබඳුන
දුවන සේ උඩ පහල‍
ශෝකයත් සතුටත් අතර ...
හිස් ව ගිය ඇසිල්ලක නිසලවනු ඇත ඔබ
බඳුන් සමතුලිතව

එසැවෙනා දින ඔබ ඉහල
නිදන් පල්ලා අතින්
ගිණෙන්නට ඔබ දිනූ
ජීවිතේ රන් රිදී
මිණෙනු ඇත නොවැරදී
ශෝකයත් සතුටත්.

- ඛලීල් ගිබ්රාන් -

ඛලීල් ගිබ්රාන්ගේ ඉසිවරයා (The Prophet - (1923)) පද්‍ය එකතුවේ අටවන පරිච්ඡේදයේ ඡායානුවාදයකි.
සිත්තම: කමිලා, ඛලීල් ගේ මව (ඛලීල්ගේ සිතුවමකි )

රන්සිරිමල් ප්‍රනාන්දු [ලොකු]


ලොකුගේ මෙම ඛලීල් ජිබ්රාන්ගේ මුනිවරයා හෝ ඉසිවරයා කාව්‍ය සමුච්චයෙන් උපුටාගත් පරිවර්තන කාව්‍ය මගේ හැඟුම් අවුලුවා ලීය. ඒ හැඟුම් ගුමු ගුමුව ලියා දක්වන්නට දරන තැතකි මේ. එතැනට මට එන්නට තව වැකි කීපයක් අමුණන්නට සිදු වන්නේය.

මේ කවිය මොනිටරයේ දිග හැරෙන්නට මත්තෙන් මා සිටියේ නාරද දිසාසේකරයන්ගේ වියොව විඳිමිනි.

රූපං ජීරති මච්චානං
නාම ගොත්තං න ජීරති///
ලස්සන සැමදේ මොහොතක සුව දේ
එහි කෙළවර දුක දේ//
ලස්සන සැමදේ මොහොතක සුව දේ
එහි කෙළවර දුක දේ//
ලස්සන සැමදේ මොහොතක සුව දේ


දෙනෙත පෙනේනම් සුවඳ දැනේ නම්
සවන බිහිරි නැතිනම්//
දැල්වෙන අතරේ සදහම් ගීතේ
මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ
සියල්ල ලෝකේ වැනසී යයි//
දිරා ජරාවට යයි//


සැපත දකිවී විපතට ලං වී
කිමද සැපෙක පස්කම්
දැල්වෙන අතරේ සදහම් දීපේ
මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ
බුදු දහමින් තොර සැපක් නැතේ
පරම සුවය ඒකයි///

වෛයාහ අස්ථියේ [hyoid bone] දැවටී පැදකුණු කරමින් සප්ත ස්වර යාතිකා මිමිණූ ස්වරාලයක කාටිලේජ අක්‍රිය වී ඇත. කිසි කලෙකත් මා හට කිසිවෙකුටත් නිවණ ප්‍රාර්ථනා නොකළ හැකි වුවද මම ඔහුට නිවන් ප්‍රාර්ථනා කරමින් හීල්ලුවෙමි. ඒ මට නොහැඟෙන අභූත සිතිවිලි දාමයක මා පැටලී හුන් හෙයිනි. යලි යලිත් ඉපදෙමින් මිනිසුන් අතර වැඩ කරන්නට ප්‍රාර්ථනා කළ පරාක්‍රම කොඩිතුවක්කු සිය සංසාරෙට මං ආසයි කාව්‍ය සංග්‍රහයේ අයුරින් නොවුවත් මේ අප යලි යලි ඉපදෙන්නට පතන දේශය කුමක් වැනිදැයි පරිකල්පනයේ අඳුරු ඡායා ප්‍රතිරූපනය වද්දී ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කර යලි ඉපදුමෙන් මිදී ඉන්නේ නම් යහපති යැයි මට සිතුන බැවිනි.


එසඳ මා නෙත මේ පරිවර්තිත කවියේ දැවටුනි. එක්තරා පෙලකදී මගේ සිත ඇවිලුණි. ඒ පෙල මෙසේය.

“නිරාවරණය වූ ඔබේම ලතැවුලයි ඔබ විඳින ප්‍රමෝදය”

Your joy is your sorrow unmasked.
ලොකු ජෝයි [joy] යන ඉංගිරිසි වදනට සියුමුව ගැළපෙන සිංහල වදනක් සොයා අමුණා ඇත්තේ වෙනත් අනෙක් සමරුත් පදාවලියකින් ව්‍යවච්ඡේදනය කොට මැණිකක් ගරා ගන්නා ලෙසිනි.

කුමක්ද මේ ප්‍රමෝදය?

මා නැවතත් ‍‍ජෝයි [joy] යන ඉංගිරිසි වචනයට සමරුත් පද සෙව්වෙමි.
ප්‍රීති ප්‍රමෝදය-ප්‍රීතිය-ප්‍රමෝදය උපදවන්න යන නාම පද මලලසේකර අපට ‍යෝජනා කරයි.
ජෝයිෆුල් යන්නට සමරුත් ලෙස සතුටු දනවන-ප්‍රීතිමත් අවස්ථාවක්-ප්‍රීතිය දනවන යනාදී වශයෙන් ගොස් ජෝයි රයිඩ් යන්න විනෝදයට යන ගමන ලෙසින්ද දක්වා වරහන් තුළ විශේෂයෙන් සොරාගත් කාරයකින් [stollen car] යන්න ද සඳහන් කර ඇත.

වර්ඩ්වෙබ් ශබ්දකෝෂයෙන් එම වදනේම පර්යාය වන ඉංගිරිසි නිර්වචන කීපයකට ගියෙමි.
Noun: joy
1. The emotion of great happiness
2. Something or someone that provides a source of happiness
Verb: joy
1. Feel happiness or joy
2. Make glad or happy
'ප්‍රමෝදය' යන වචනය මට හමුවන්නේ වෙනස් සන්දර්භයක් නියෝජනය කරමින් ලැකානියානු මනෝ විශ්ලේෂණය තුළ දීය. [සත්‍ය වශයෙන්ම දීප්ති කුමාර ගුණරත්නලා X කණ්ඩායමේ අපරිමිත ශ්‍රම‍ විභජනයෙන් එලි දැක්වූ හිස්ටීරියාව කෘතියෙනි.] ඒ මන්ද යත් ලැකානියානු '‍jouissance' යන ප්‍රංශ වචනයට සමාන වචනයක් ඉංගිරිසි භාෂාව තුළ නොවූයෙන් ඊට සමරුත් වචනයක් ඔවුන් ආදේශ කළ බැවිනි. එම අරුතට අනුව එහි දිහහැරුම ලියා දක්වන්නට එම නිර්වචනය අඩංගු වන හිස්ටීරියාව පොතේ පෙර වචනයෙන් වාක්‍ය ඛණ්ඩ කීපයක් උපුටා දක්වමි.
"එබැවින් මනුෂ්‍ය ජීවිතය යනු අතිරික්තය විසින් චලනය කරන්නකි. ජීවිතය තල්ලු කරන බලවේගයක් අදෘෂ්‍යමාන ව ජීවිතය තුළම ඇත. එය ජීවිතයට වඩා දෙයකි. තමා සහ සමාජය අතර ඇති නිරන්තර පරතරය පුරවන්නට යන මිනිසා සැමවිටම එම ක්‍රියාවෙන් අසාර්ථක වෙයි. එනම් යථාර්ථවාදී මූලධර්මය අසාර්ථක වෙයි. එවිට ඉහත පැල්ම හෝ පරතරය පිරවීමට මිනිසා තුළ පෙලඹවීමක් ඇති වේ. ෆ්‍රොයිඩ් මේ පෙලඹවීම නම් කෙරුවේ 'මරණ හඹායාම' [death drive]0 නමිනි. ෆ්‍රොයිඩ්ට අනුව මරණය යමක අවසාන වීම නොවේ. ඔහේ පැවැතීම හෝ ජීව විද්‍යාත්මක සිරුරක් වශයෙන් හෝ පැවතීම වෙනුවට මනෝමූලිකත්වය මිනිසා ව රැඩිකල් ආස්ථානයකට රැගෙන යයි. එනම් අමරණීය ආත්මයක් සහිත මිය යන ශරීරයක් හැටියට මිනිසා තමන්ගේ සත්තාව හඳුනා ගනියි. එබැවින් මිනිසාට මෙම මනෝමූලිකතාවය මනසක් සහිත වීම රැඩිකල්භායකට අමතරව විනෝදවන්නක් ද වෙයි. [කෙනෙකු නොදන්න දෙයක් දැන ගත් පසු විනෝද වෙයි. එබැවින් විනෝදය දැනුමට මඟ පෙන්වයි.] මේ නිසා මිනිසා තුළ මෙම විනෝද වීම කෙරෙහි එනම් තම දෛනික ශාරීරික පැවැත්ම අභිබවා දැඩි ආශක්ත වීමක් මෙන්ම පෙලඹවීමක්ද දක්නට ලැබේ. මෙම මානුෂික තත්ත්වය ‍මෙම පොත තුළ ප්‍රමෝදය යනුවෙන් හඳුන්වනු ලැ‍බේ. මෙමගින් මිනිසා අප අර කලින් සඳහන් කළ සමාජය සහ පුද්ගලයා අතර දෙබෙදුම පරතරය ඉඩ වසා දමයි. එමගින් මිනිසා සත්තාව අත්පත් කර ගනියි. සරලව මිනිසා එමගින් සංකේතීය සත්වයෙක් බවට පරිවර්තනය වෙයි."

-හිස්ටීරියාව-පෙරවදනෙන්

අනෙක් අතට ප්‍රමෝදය වනාහි තැවුමක් ඉවසීම තුල හට ගන්නා විනෝදය බවද එනයින් දුක සහ සැප අතර භාෂාමය සම්බන්ධය මෝබියස් නිරූපණයකින් වටහා ගැනිම කළ යුතු බවද මෙම හැදෑරීම් තුලින් ගම්‍යමාන වේ. මෝබියස් පටිය ගැන මෙතැනින් කිසියම් අවබෝධයක් ලැබිය හැකිය.

පොත්පත් වලින් කොටස් උපුටා‍ මෙලෙස දක්වන්නේ මේ කාරණා ගැන අධ්‍යයනය කරන්නන්ට, උනන්දු වන්නන්ට එම පොත් හඹා ගොස් දැනුම අත් කරගෙන විනෝද වන්නට ආරාධනා කරන්නටය. විනෝදය දැනුමටත් දැනුම ක්‍රියාවටත් මග පෙන්වනු ඇතැයි මා විශ්වාස කරන නිසාය.

0 කුළිය: