Wednesday, September 18, 2013

රඟපෑම් ඉවරයි




"රඟපෑම් ඉවරයි" නාට්‍ය මා හඳුනා ගන්නේ එකිනෙකට වෙනස් විඳීම් අන්තර්ගත නාට්‍ය ත්‍රිත්වයක් ලෙසිනි. මුල් කොටස ඉදිරිපත් කරන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් විසිනි. ඔහු මිය ගිය අයෙකු ලෙස පැමිණ නොමැරුනු මිනිසුන් සහ මැරුනු මිනිසුන් පිළිබඳ දීර්ඝ දාර්ශනික සාකච්ඡාවක් හා සමාන ඉදිරිපත් කිරීමක් කරමින් ඔහුගේ කොටස අවසන් කරන්නේ දේශපාලකයෙකු බවට රූපාන්තරනය වීමෙනි. කතා කරන මළ මිනියක් දේශපාලකයෙකුට පරිවර්තනය වීම පිළිබඳව ඕනෑතරම් විශ්ලේෂණ කළ හැකි අතර එම විශ්ලේෂණ ඉදිරිපත් කිරීමේ සුදුස්සෝද ඇති තරම් ලංකාවේ විචාරකයන්-න්‍යාචාර්යවරුන්-මහාචාර්යවරුන් අතර සිටිනා බැවින් ඊට එහා යමක් ඒ කොටස ගැන ලියන්නට මට නොසිතේ.

දෙවැනි කොටස ඉදිරිපත් කරන්නේ නිළියක විසිනි. සුබුද්ධි ලක්මාලි නමැති රංගන ශිල්පිනිය ඉදිරිපත් කරන එම කොටස පළමු කොටස නැරඹීමෙන් අත් වූ ක්ෂතිමය අද්දැකීමෙන් මිදීමට සැළසුම් සහගතවම එහි අදියුරුවන් විසින් සිහින සහ යථාර්ථය අතර ගීතමය ජවනිකා ද රැගත් වඩාත් සෞන්දර්යාත්මක එබ්බවීමක් ඇතුලත් කර ඇති ලෙස මට හැඟුනි.

මුල් කොටස සංකේතීය නම් දෙවැනි කොටස පරිකල්පනීය යැයි ද කීමෙන් මට පහසුවක් දැනේ යයි මම සිතමි.
එවිට අපට තෙවැනි කොටසේ දී හමු විය යුත්තේ බොරෝමියානු ගැටයේ ඉතිරි ටික විය යුතු යැයි මම සිතමි. එනම් රියල් එකයි. යථයි.

කමල් අද්දරආරච්චි අප වෙත ගෙන එන්නේ පහසුවෙන් අත් කර ගත නොහැකි වචන සංකේතවලට පෙරලීමට මැලි බියකරු යථයි.

(මේ මට හිතෙන හැටිය. මට හිතෙන්නේ ලැකානියානු ත්‍රිකයෙනි. වෙන අයට වෙනත් ත්‍රිකයන්ගෙන් සිතිය හැකිය. රත්න ත්‍රිකය හෝ රත්නත්‍රය හෝ බුද්ධ-ධම්ම-සංග කියා ද ඕනෑ නම් කෙනෙකුට ත්‍රිකයක් සාදා ගෙන කමල්ගේ කොටස සංග ත්‍රිකය ලෙස ගෙන විචාරය වැනි දෙයක් කළ හැකිය. මොන ත්‍රිකයත් ඕනෑවට වඩා ඕනම නැත.)

ඒ කෙසේ වෙතත් කමල් ගැන මා පෞද්ගලිකව අතිශය සතුටට පත් වන්නේ ලංකාවේ දී එමෙන්ම වර්තමානයේ දී ඔහු ඉදිරිපත් කරන එම චරිතය නිරූපනය කළ හැකි එකම  නළුවා හෙවත් ඉතිරි වූ නළුවා කමල් පමණක් නිසාවෙනි යැයි මම සිතමි.

කමල් සිය සිරුරේ රෝම කූපයක් නෑර සෛලයක් නෑර සිය රංගන කාර්යයට දායක කරවන්නේ මුළු සිරුරම කිසියම් ක්‍රමලේඛනයකට අනුව ක්‍රියාත්මක වන්නට ඉඩ හැරි තරම් සංහිඳියාවකිනි. මට දැනුනේ ඔහු විනාඩි හතලිස් පහක් පමණ එක දිගට කිසිදු දෙබසක් වරද්දන්නේ නැතිව -මේ අදහස විවාදාපන්නය-දෙබස් නිවැරදිදැයි සැසඳීමට මා අත එහි පිටපත නොවීය- එක එල්ලේ රැඟුමින් දෙසුමින් ඉඟියෙන් බිඟියෙන් දස දහසක් සංකේතයන් ද සංඤාවන් ද විහිදා පතුරමිනි.
මේ නම් අතිශය මනරම් රංගන කාරියකැයි මම සිතුවෙමි. එබඳු රංගනයක් ඉදිරිපත් කළ හැක්කේ කමල්ටම පමණකැයි මම සිතමි. ඒ චරිතය ඒ ආකාරයෙන් වෙන කිසිවෙකුට හෝ මේ මිහිමත ඉදිරිපත් කළ හැකි දැයි විශ්මයට පත් වෙමි.

කමල් ඔබ රංගනයේ උත්තරීතරත්වය සීමාවේ උපරිම ලකුණ සිංහල වේදිකාවේ සනිටුහන් කළේ යැයි මම සිතමි. රඟපෑම් ඉවර වන්නේ එබැවිනි.

රඟපෑම් ඉවරයි නාට්‍යය අති විශාල දේශපාලනික උත්ප්‍රාසයකි. ඒ පිළිබදව වර්ණනා කිරීමට විග්‍රහ කිරීමට කම්මැලිය. එබඳු නිර්මානයක් අප වැනි අපතයන් වෙත දිරවන සුළු ලෙසින් ප්‍රහසනාත්මකව ඉදිරිපත් කිරීම ගැන කෙටියෙන් හෝ එහි අදියුරු උදයසිරි වික්‍රමරත්න වෙත ගෞරවය පුද කළ යුතුය.

(මමත් කලකට පෙර විඳුම් සටහන් කියා ජාතියක් ඉඳහිට ලීවේ විචාර වැනි බාරදූර නාමික කටයුතු මගහැරීමට ය. කිසියම් කරුණක් අරභයා විචාර කිරීම් කළ යුතු වන්නේ ඒ පිලිබඳ ප්‍රාමාණික දැනුමක් ඇතියවුන් බැවින් අප වැන්නවුන් ලිවිය යුත්තේ විඳුම් සටහන් යැයි මම සිතමි. කමල් අද්දරආරච්චි රඟන රඟපෑම් ඉවරයි නාට්‍ය පිළිබඳව මේ සටහන තැබුවේ ඒ පසුබිමේ සිටය. )

0 කුළිය: