Saturday, June 1, 2013

සංසාර චක්‍රය ඔබව තව තවත් කරකවනු ඇත!

මට මතක් වෙයි
එක්තරා සිලින්ඩරාකාර
කැටයම් රෝදයක්1
කරකැවිය හැකි බඳක්
උඩැක්කියක් වාගේම
අතේ තබා උස්ව පද්දා

යාඥා මන්ත්‍රයක් එහි මතුපිට අලවා-කරකැවිය හැකි
ඔබ වෙනුවෙන් යාඥාව දිගටම මතුරන අජීවී යන්ත්‍රයකි

ඔබ වෙනුවෙන් යාඥා කරන
අජීවී යන්ත්‍රයක්!

මට මතක් වෙයි
එක්තරා පිළිමයක්
කැටයමින් වැසී ගිය අනුරුවක්
නිසොල්මනේ සමාධිගත
දෑතේ නෙක සංඥා මවාගත්
බුදුවරයෙක් වාගේම

ඔබ වෙනුවෙන් ධ්‍යානගතව ඔබ වෙනුවෙන් භාවනානුයෝගීව
පාෂාණීභූතව දුක වළඳන
අව්වට වැස්සට නිරාවරිත ශෛලමය පිළිමයක්

ඔබ වෙනුවෙන් භාවනා කරන
අජීවී යන්ත්‍රයක්!

ඉතිං ඔබ නිදහස්
කළ හැකිය ඕන වරදක්!
විනාශයක්!!
සමූල ඝාතනයක්!!!

අර පිළිම
ඔබ වෙනුවෙන් හැමදාමත්
ධ්‍යාන වඩමින් සිටිනු ඇති...
ඒ පිළිම වටා රොද බැඳි
කෝකාලික2 වංශ බඹරුන්
නොයෙක සජ්ජායනා කරනු ඇති
තටු සලමින්
අජීවි යන්ත්‍ර සේ...

ජීවය ඉවත් කළ පසු
ජීවියා රසවත් ආහාරයක්-තවත් ජීවියෙකුට
විශ්වාසය ඉවත් වූ පසු
ඉතිරි වන
විශ්වාසය මරණීය ආයුධයක්-තවත් බැතිමතෙකුට3

01/06/2013

1. Tibetan prayer wheels; Zizek, Sublime Object of Ideology, p.31
2.  සීහ කොත්ථුක ජාතකයේ (545 වැනි ජාතකය) එන කෝකාලික මහණුන්.
3. Hegel's comment apropos Ancient Greece: "The statues are now only stones from which the living soul has flown, just as the hymns are words from which belief has gone"; Zizek, Sublime
Object of Ideology, p.X Preface

2 කුළිය:

අසංග | Asanga said...

උපක්‍රමයක්
ක්‍රමලේඛයක්
පරිනාමීය ප්‍රපංචයන්
නිවැරදිව ප්‍රතිග්‍රහණය කරන ලෙස
යුග ගණනාවක් හරහා
සූක්‍ෂමව යාවත්කාලීන කරන ලද .

බහුතරය ආකර්ශනය කරගනු පිණිස
බහුතරය නිද්‍රාවට පත්කරනු පිණිස
සුළුතරය නිහඬ කරවනු පිණිස
එදා
අද මෙන්ම හෙට
යොදාගන්නට නියමිත .

හෂිත said...

උඹ ලංකාවට නෑවිත් ම ඉඳපන්, මෙහෙම ලියන්නෙ එහෙම ඉන්නකොට නිසා.. :)