Monday, September 20, 2010

කමලසිරිගේ "Onilne කුමරිය"


මේ මුහුණු පොතේ හමු වූ කවියක් සහ එම කවියට මා දැක්වූ කෙටි කොමෙන්ටුවකට කවියා දැක්වූ ප්‍රතිචාරයත් එයට මගේ පිළිතුරත්ය.

Dawson Preethi ඔන්ලයින් කුමර කුමරියන්ට කවි වලින් ලව් කරන්න යෑමෙන් කවිය‍ට කෙලවෙන බවද සිහි තබා ගත යුතුය.
:)

Kamalasiri Bandara ‎@Dawson ...ඔබගේ ප්‍රකාශය මට නම් හිස් ප්‍රලාපයක් පමණි.මා කළේ online සංකල්පය කාන්තාවකට උපමාකොට ගීතයට ඥාතීත්වය පලකරන කවියක් නිර්මාණය කිරීම පමණයි. එය tag කළේ නිර්මාණය පිළිබඳ ගුණාගුණ දැනගැනීමට මිස මගේ හිතවතුන්ගේ වාචාල දැනගැනීමට නොවේ.අනෙක කි...සිම හිතවතියකගෙ පෞද්ගලික ජීවිතයට එබී බලන්නටද නොවේ.ඒ නිසා ඔබ හොඳින් කවි ඇසුරු කරන්න,ඒ අනුව මගේ නිර්මාණය මනින්න.මා සිතන විදියට FB කවියට කෙලවෙන්නේ මේවගේ කවි ලිවීමෙන් නොව,ඔබ කළා වැනි අඳබාල ප්‍රකාශයන් ගෙනි. මේ පිළිබඳ අනෙක් හිතවතුන්ගේ ද අදහස් ලියා එවනවා නම්,වටී. අනෙක, කවියෙන් love කරන්න බෑකියන එකද ඔබගේ දැනීමේ අඩුවක් මිස කවියේ ප්‍රශ්නයක් නොවේ.කවිය තරම් love කරන්නට උචිත මාධ්‍යයක් තවත් නොවේ.මන්දයත්,කෙටිකතා හෝ නවකතා ලියා love කරපු කෙනෙක් ඔබ හෝ මම අසා නැති නිසාය.

Dawson Preethi‎@කමලසිරි


"@Dawson ...ඔබගේ ප්‍රකාශය මට නම් හිස් ප්‍රලාපයක් පමණි.මා කළේ online සංකල්පය කාන්තාවකට උපමාකොට ගීතයට ඥාතීත්වය පලකරන කවියක් නිර්මාණය කිරීම පමණයි. එය tag කළේ නිර්මාණය පිළිබඳ ගුණාගුණ දැනගැනීමට මිස මගේ හිතවතුන්ගේ වාචාල දැනගැනීමට නොවේ.අ...නෙක කි...සිම හිතවතියකගෙ පෞද්ගලික ජීවිතයට එබී බලන්නටද නොවේ.ඒ නිසා ඔබ හොඳින් කවි ඇසුරු කරන්න,ඒ අනුව මගේ නිර්මාණය මනින්න.මා සිතන විදියට FB කවියට කෙලවෙන්නේ මේවගේ කවි ලිවීමෙන් නොව,ඔබ කළා වැනි අඳබාල ප්‍රකාශයන් ගෙනි. මේ පිළිබඳ අනෙක් හිතවතුන්ගේ ද අදහස් ලියා එවනවා නම්,වටී. අනෙක, කවියෙන් love කරන්න බෑකියන එකද ඔබගේ දැනීමේ අඩුවක් මිස කවියේ ප්‍රශ්නයක් නොවේ.කවිය තරම් love කරන්නට උචිත මාධ්‍යයක් තවත් නොවේ.මන්දයත්,කෙටිකතා හෝ නවකතා ලියා love කරපු කෙනෙක් ඔබ හෝ මම අසා නැති නිසාය."

කමලසිරි මාගේ කොමෙන්ටුව කියවා ගෙන ඇති අයුර ගැන මම විස්මයට පත් වුනෙමි. ඒ එක් අතකින් මා දැක්වූ අදහස වාචාලයක් ලෙස අරුත්දැක්වීමත් මා හට හොඳින් කවි ඇසුරු කරන්නට යැයි යෝජනා කිරීමත් මුහුණු පොතේ කවියට කෙලවෙන්නේ මා වැනි අයවලුන් දක්වන මෙයාකාර අඳබාල ප්‍රකාශයන් මගින් බවත් සහ මා විසින් කවියෙන් ලව් කරන්නට බෑ යනුවෙන් නිගමනයක් එළදරව් කළාය යන්නත් මෙහි ලියා තැබීමෙනි.

පළමුවෙන් මා කිව යුත්තේ මා කළ ප්‍රකාශය තොප්පියක් වී එය දමා ගැනීමට කමලසිරි හදිසි වීම ගැන මා කනගාටු වන බවය. එය කවියාගේ සවිඥානික අනුභූතිය කෙරෙහි කුළුගැන්වුනු අවිඥානික ප්‍රතික්‍රියාවක් විය යුතුය.

මුහුණු පොතේ කවි ලියන්නෝ බොහොමයක් ලියන්නේ කවි නොවන භාෂාමය ප්‍රකාශනයන් බව මෙහි කාලාන්තරයක් කවි දෙස විමසිලිමත් මා අවබෝධ කොට ඇත්තේ බොහෝ කලක සිටය. මෙම කවි නොවන වෙනස් ෂානරය හැඳින්වීමට වෙනත් අලුත් නමක් ඇවැසි කාලයක ඉඳහිට කවිද ලියන සහෘදයන් හමු නොවන්නේ යැයි කිව නොහැකිය. උදාහරණ වශයෙන් ඉන්දික ගුණවර්ධන සහ ක්‍රිෂාන් රාජපක්ෂ ලියන බොහෝ දේ කවි නොවන වග ඔවුන ද දනිති. ඒවා වර්ගීකරණය කළහොත් අයත් විය හැක්කේ අදහස් "ප්‍රකාශනයේ නැවුම් භාෂා ආකෘති" ලෙසය. එම බොහෝ නිර්මාණ කියැවීමෙන් කාව්‍යමය රසඥතාවයන් පුබුදුවනවා වෙනුවට අර්ථ රසයන් උපදවයි. නොයෙක් සමාජ සිදුවීම් වචන බවට හැරවීම් ලෙසත් ඒවා කිසියම් "කිලිපොලා" යන අත්දැකීමක් ජනනය කරන්නට සමත් ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ ප්‍රවීනත්වයක් මොවුන් දෙදෙනාම ප්‍රකට කරති. ඒවායේ අන්තර්ගත "ට්‍රොමැටික්" සංඥා විසින් අපව යම් යම් දේ ගැන අමුතු ඇසකින් යළි බලන්නට පොලඹවන නමුදු ඒවා කවි‍ නොවෙති.

කමලසිරි මේ දක්වා ඇති කවියේද ඉංගිරිසි වදන් අතුරා මුහුණුපොතේ තාක්ෂණික හැසිරීම රූපකයක් ලෙස භාවිතා කොට ඇති අයුරු මනෝඥය. එය අතිශය සුවිශේෂි ස්ථානයක් ගන්නා කවියක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. නමුත් මෙහි අන්තර්ගතය විසින් හැඟවුම් කරන වෙනස් මානයන් කරා යද්දී ස්වභාවයෙන් මුහුණුපො‍තේ සිදුවන කේන්ද්‍රීය කාරණයක් ද ඉස්මතු වෙයි. එනම් බොහෝ අය මිනිසුන් හඳුනා ගැනීම හා අතාත්වික රංචු ගැසීම් සහ කණ්ඩායම් ගත වීම් සඳහා මුහුණුපොත සුලභව ධනාත්මකව පාවිච්චි කරද්දී තවත් සමහරු මෙහි සැරිසරන්නේ ගොදුරු දඩබිමක් ලෙස මුහුණු පොත වෙනස් විරුද්ධ ලිංගිකයන් දඩමීමා කර ගැනීමේ හෝ දඩයම් කරගැනීමේ මාධ්‍ය අවකාශයක් ලෙසිනි. මුහුණුපොතේ අතවරයන්ට ලක්වන ගැහැණුන් බොහෝ බව අපි මේ වසර කීපයක් තිස්සේ ලද අත්දැකීම් තුළින් වටහා ගෙන ඇත්තෙමු. කොල්ලන් කෙල්ලන් හමුවන පාරාදීසයක් ලෙස හන්දිගානේ කෙල්ලන් දිහා කෙලහලන කොල්ලන් මෙන් මෙහිද විවිධ සිමියුලේක්‍රමය අනන්‍යතාවන් තුළ සැඟ වී දුර්වලයන් වසඟකර ගැනීමේ කුරුමානම් අල්ලන අයවලුන් ද බොහෝ වේ. එබන්දන් කඩිමුඩියේ තම අදහස් වසඟකාරී ලෙස ව්‍යාප්ත කරගැනීමේ අරමුණින් කවි වැනි බොළඳ හරසුන් නිර්මාණ කරමින් ඉන්නා බැව් අපට බොහෝවිට ප්‍රත්‍යක්ෂ වේ. ඔවුන් විසින් කරනු ලබන අවරගනයේ නිර්මාණ හේතුවෙන් කවි ඇසුරේ විචක්ෂණභාවයක් නැති අයවලුන් එක් අතකින් එබඳු අවරගනයේ නිමැවුම් හරහා "මේවා නොවෙද කවි" යනුවෙන් අතිශය සාවද්‍ය එල්ලයන් කරා කවිය නමැති සාහිත්‍යාංගය තල්ලු කර දමමින් සිටිනා අතර මොවුනට ඇති සාහිත්‍ය ඇල්ම කෙසේ වෙතත් විරුද්ධලිංගිකයන් ආකර්ෂනය කර ගැනීමේ මෙවලමක් ලෙස මෙම හරසුන් ප්‍රකාශ ‍ග්‍රැෆික ආකාරයෙන් මෙහි හතරවටේ එල්ලමින් ක්ෂණික කවියෝ වෙති.

මෙම තත්වය හකුළා කීමක් ලෙස දැක්වූ මාගේ ඉහත ප්‍රකාශය වාචාලයක් දැයි නැවත විමසීම කමලසිරිට භාර කරමි.

මා කවිය පිළිබඳ දරන අදහස් ද විටින් විට අනෙකුත් නිර්මාණකරුවන් සමග බොහෝ විට බෙදා හදා ගෙන ඇත. මා හට කවිය හොඳින් රස විඳින්නැයි කීම කමලසිරිගේ හදිසිය නිසා සිදුවූ ප්‍රතිචාරයක් බැව් මම ඉතා හොඳින් දනිමි.

මා විසින් කර ඇති දීර්ඝ කවි විවේචන ඇස නොගැටුනු කමලසිරිට මා වැනි අඳබාලයන් කරනා කොමෙන්ටු නිසාවෙන් කවිය වලපල්ලට යන්නේ යැයි කීම ගැන මම සමාව දෙමි.

සම්පූර්ණ ප්‍රතිචාර අවකාශයට මෙතැනින් යන්න.


1 කුළිය:

Sujeewa Kokawala said...

අම්මට හුඩු. මේක එළ උත්තරේ.

අනුන්ගෙ කවි ලොකු පොඩි කරන්න මං කවියෙක් නොවේ. ඒත් ඔබ කියූ පරිදි කවි නම් නොවෙයි බොහෝ දෙනෙක් ලියන්නේ, වදන් හසුරා හැඟීම් ජනනය කරන ප්‍රකාශන.

හුඟක් ඒවායේ ඇති ලස්සනක් මටනම් [පුද්ගලික මතය] නෑ. මෙතන කතාවෙන "කවිය" වුණත් මෙලෝ රහක් නෑ. ඒත් ඒවට කට්ටිය හොඳ උත්තර දාලා තියෙන කොට මට හිතෙනවා රස වින්දනයත් රචනය වගේම අළුත් තලයකට ගිහින් ද කියලා. නැත්නම් ඔහේ දාන්න ඕනේ නිසා මොනවා හරි කියලා දානව ද දන්නෙ නෑ කියවපු අය.

මෙකෙන් කියන්නේ කෝට්ටේ යුගයට අනුව හැමෝම කවි ලිවිය යුතුයි කියා නම් නොවේ. පර්යේෂණ කළ යුතුයි පදනමක් මත.