Tuesday, October 19, 2010

චිරන්තගේ පැංචා ඊඩිපල් කියවීමක්

චිරන්තගේ මෙම කවිය නිසා හටගත් සිතිවිලි කීපයක සටහනකි මේ.



මේ කවියේ ඉහළ සිට පහළට කියවාගෙන යද්දී කියැවීම් දෙකක ගැටුමක් [කතෘ දෘෂ්ටි දෛශික] හට ගන්නා බවට සාධක ඇත. එකක දී මට හමුවන්නේ දරුවකු පිළිසිඳි මොහොතේ සිට ඒ ගැන චින්තාවලියේ දැවටෙන පියා එම දරුවා ගැන දකින අයුරු කවි කරන තුන්වැන්නෙකු වන කවියාය. එවි‍ට කතෘ පිතෘත්වයෙන් පිටතින් පවතී. එය පීතෘ පරිකල්පනීය විශ්වයේ මතුපිට සදයි. එනම් පියාට පිටින් එම තත්වය වටහා ගැනීම හෝ සංකේතනය කිරීම. එනම් මුල් පද පේලි හතරම එම කවියාගේ සවිඥානික ගොඩනැංවීමකි.

දෙවන කියැවීමේ දී මට හමුවන්නේ පිළිසිඳි දරුවා පිය සෙනේ ‍ස්වභාවයන් දකිනාකාරය ලියා තබන එම පියාමය. එම සංකේතනය ගොඩනගන්නේ සැබෑ පියා විසින්මය.

"යකඩ දෑත් මට ලැබෙන්න" යන පදයෙන් ජනිත වන අදහස එක් අයුරකින් කවියේ කතෘ ද අනෙක් අතට එම පැතුම පතන පියා ද ලෙස ගත හැකිය. එවිට කතෘ පිතෘත්වයෙන් ඇතුළත පවතී. එනම් පරිකල්පනීය විශ්වයේ ඇතුළත තතු සදයි. එය සවිඥානිකත්වය පරයා කතෘගේ අවිඥානික පෙදෙස් තුළ නිර්මිත පියාගේ භූමිකාව අනාවරණය කරයි.

මේ දෙයාකාරයෙන් දැක්වෙන අරුත් එකිනෙකට වෙනස් බැවින් කවියේ අවිනිශ්චිත අර්ථ පෙළ ගැසෙන්නට ගනී.

අනන්තයේ ඇස් ඇවිදියි
සිහින් සිඟිති නිය ලියවෙයි
අප්පච්චිගේ රූප ඇඳන්
විරෝධතාවකි දොරකඩ

නැවතත් මෙම පද අතරේ අප්පච්චි යනු කවියේ කතෘත්වයට පිටින් ඇති විෂයක් ලෙස හමුවේ. අනෙක් අතට අනන්තයේ ඇස් ඇවිදින්නේ යැයි යෙදුම විටෙක නූපන් දරුවකුගේ ගන්ධබ්බ අවස්ථාවක් ලෙසද වරනගා ගත හැකිය. සිහින් සිඟිති නිය ලියවෙයි යන්න ගැබ තුළ මෝරන දරු කලලයේ අවස්ථා ශ්‍රේණියෙන් එක් අවස්ථාවක් ලෙසද කියවා ගත හැකිය. ඒ අතර තුර දරුවන්ගේ මුහුණුවර පිළිබඳ පෙරයීම් මත මේ නම් තාත්තාගේ හැ‍ඩරුව ඇති පුතෙකැයි දක්වා ඊට ප්‍රතිවිරෝධි ලෙස මව්ගේ මුහුණුවර ඇති දුවක ගැන ඉංගිතයක් ඇඟවෙන්නේ ද නැත්තේ නොවේ. මෙනයින් අප්පච්චි දිහා සහ නූපන් දරුවා දිහාද එකවිට නිරීක්ෂණයේ යෙදෙන තුන්වැන්නෙකු ලෙස කවියා පවතී. මේ අයුරින් පරිකල්පනීය අවකාශය සවිඥානික සංඥා ඔස්සේ ගමන් කරයි.

මල්පෙති තෙත උරා ගන්න
ඉර මදුවැල් උගුල්ලන්න
සතර වරම් දෙවි වරමින්
යකඩ දෑත් මට ලැබෙන්න

දෙවැනි කියවීමක් හටගන්නා හේතූන් මෙම කොටසින් පැහැදිලිව එළිදරව් වේ. යකඩ දෑත් මට ලැබෙන්න යන පැතුම ඔස්සේ මේ කවියේ කතෘ එම දරුවාගේ පියා බව හැඟවුම් වෙයි. මෙයාකාරයෙන් කවියේ කියැවීම් දෙක එකිනෙකින් වෙන් නොවී මතුපිටින් ස්පර්ශ කරගෙන යද්දී මතුපිට ඇතුළ බවට පත්වන ස්වභාවයෙන් ඇතුළත් පිටත් සමපාත වේ. වඩාත් නිවැරදිව කීවොත් නිරන්තරව හමු වන මෝබියස් [Mobius][5] ස්වභාවයේ ජ්‍යාමිතියක් උපදී.

කවියක ඇති මේ ස්වභාවය සම්ප්‍රදායික කවි පරිශීලන මානයෙන් ඔබ්බේ බැව් ද පැවසිය හැකිය. සමහර විට එය කවියේ විෂය දෝලනය වීමක් ලෙසද දැක්විය හැකිය. මෙහි ඇති සවිඥානික හැඟවුම් සහ අවිඥානික හැඟවුම් අතර ගැටුම හේතුවෙන් කවියේ අවසානය අවිනිශ්චිත විෂයක් බවට පත්වේ. සතර වරම් දෙවි වරම මතු වද්දී කවියේ අවිඥානික පෙදෙස සිතියම් වේ.

පරිකල්පනීය තල විභේදන ඔස්සේ මනෝවිශ‍්ලේෂණාත්මක පිවිසුම වඩාත් දිග් කළ හොත් අපට හමු වන්නේ ඊඩිපස් සංකීර්ණය ඔස්සේ මතු වන කියැවීමක් කරා යාමට කෙටි මගකි. ඊඩිපස් සංකීර්ණයේ එළඹුම වඩාත් ප්‍රකට වන කවියේ ලක්ෂ්‍ය වන්නේ අප්පච්චිගේ රූප ඇඳන් විරෝධතාවකි දොරකඩ යන තැනිනි. එම වියමන ඔස්සේ හැඟවුම් වන විරුද්ධ ලිංගික මව-පුතා සහ දුව-පියා යන සහසම්බන්ධයේ සංඥාර්ථ හේතුවෙන් එකවරම මෙම කවියේ යටිපෙළ සකස් වන්නේ පුතෙකුගේ පීතෘ විරෝධයේ ප්‍රතිපක්ෂයේ ගොඩනැංවීමක් ලෙසිනි. එනම් පුතුගේ ආකර්ෂණයේ පියා රැඳෙන්නට දරන සවිඥානික ශ්‍රමයක් ලෙසිනි. මේ කවියේ පද අතර පුරුෂත්වය ම මතුවන හෙයින් එම ගැටුම පිළිබඳ අදහස සාධාරණය. අප්පච්චි-පුංචි සිත්තරෙකි-සතර වරම් දෙවි-යකඩ දෑත් යනාදී වූ පැහැදිලි පුරුෂාර්ථයෙන් හටගත් සංකේත විසින් එය ඊඩිපල් ගැටුමට මග පාදන බව මගේ අදහසයි. සතර වරම් දෙවිවරු ගැනද කෙටියෙන් සඳහන් කළ යුත්තක් ඇත. ලංකා ඉතිහාසයේ සතර වරම් දෙවිවරු ගැන ප්‍රථමයෙන් සඳහන් වූයේ යැයි පැවසෙන්නේ පණ්ඩුකාභය රජ දවසේය. මහා වංශයේ සඳහන් පරිදි අනුරාධපුර නග‍රයේ සතර දිශා ආරක්ෂා කරලනු පිණිස යක්ෂයින් සිව් දෙනෙකු යෙදවූ බවත් ඔවුන් සතරවරම් දෙවිවරු හෝ යක්ෂයන් ලෙස හෝ හඳුන්වා ඇතත් ඔවුහු යක්ෂ‍ හෝ දේව යන්න විමසීම අවිනිශ්චිත බවත් "ඉපැරණි සිංහලේ ලංකේය දෙවිදේවතාවෝ" [3] ග්‍රන්ථයේ සඳහන් වේ. එම සතරවරම් දෙවිවරු නම් ව්‍යාධ දේව, වෛශ්‍රවණ, කාලවේල සහ චිත්තරාජ යන සිව්දෙනාය. එම කෘතියේම සඳහන් වන පරිදි වේද සම්ප්‍රදායේ සතරවරම් දෙවියෝ නම් සූර්ය, පෘථිවි, අග්නි සහ විෂ්ණු යන සතරදෙනා ලෙස සැලකේ. ඉන්දු ආර්ය ආභාෂයට අනුව සතරවරම් දෙවිවරු වන්නේ ශිව, පාර්වතී, ගණේෂ, කාර්තිකේය යන දෙවිවරුන්ය. එනයින් මේ කවියේ කියැවෙන සතරවරම් දෙවිවරු අවිනිශ්චිතය. එය එහි පුරුෂාර්ථ ලිහා ගැනුමට බාධා නොකරයි යන්න මගේ අදහසයි.

මතුපිට අර්ථය ඔස්සේ යද්දී මේ නම් පියා විසින් පළමු දරුවාගේ සහෝදරත්වයට පත්වීමට සූදානම් වන ගර්භණී මවගේ ගැබේ තතු පළමු දරුවා විසින් භාරගන්නා අයුරක් වර්ණනා කරනා ලෙසද ගත හැකිය. නොඑසේ නම් තම කුඩා පුතුගේ දඟකාරකම් දකින පියා ඔහුගේ මතු අනාගතය ගැන පෙර දකින සිහිනය ලෙස ද දැක්විය හැකිය. කුමන කියැවිමක් තුළ ද අතාත්වික ප්‍රති ඊඩිපල් බැම්ම නොසිඳී පවතින්නේ යැයි මට සිතේ.

සමස්තයක් ලෙස ගත් විට කවියේ ද්විප්‍රකාර ගැටුමක් ද එනිසාවෙන් හට ගන්නා අවිනිශ්චිත අරුත් සමූහයක් ද ප්‍රධාන කියැවීම් ත්‍රිත්වයක් ද හට ගනී. කවියක බහු අරුත් නිමැවීම තුළම එහි රස විඳුම් සීමා පුළුල් වේ.


ප.ලි.

මාක්ස්වාදී විචාර මූලධර්ම ඔස්සේ නම් මේ කවිය ප්‍රතිගාමී අදහසක් ගෙන එන බැව් මට වැටහේ. එනම් කුටුම්භ රක්ෂණයට මේ කාර්තුවේ දුෂ්කරත්වය දේව වරමකින් ලිහිල් කර දෙන්නැයි යැදීමේ හැඟවුම් නිසාවෙනි.

මදුවැල් නම් කිරි සහිත ශාක විශේෂයකි. කිරි මදුවැල් ද නම් ලෙස දැක්වේ. නමුත් ඉර මදුවැල් ගැන මට දැනුමක් නැත. කෙසේ වුවත් එය ද ශාකයක් යැයි මට හැඟේ. බොහෝ විට එය ප්‍රයෝජනයක් නැති ශාකයක් ද විය හැකිය.


ආශ්‍රිත ග්‍රන්ථ:


1 හිස්ටීරියාව- දීප්ති කුමාර ගුණරත්න
2 *Sigmund Freud and Psychoanalysis
3 ඉපැරණි සිංහලේ ලංකේය දෙවිදේවතාවෝ-ඩී.කේ. ධර්මදාස බණ්ඩාර
4. මුහුණු පොතේ පළ වු චිරන්තගේ කවිය
5. ලොස්ට් හයිවේ වෙත-ලින්ච් සහ ලැකාන්: සිනමාව සහ සංස්කෘතික ව්‍යාධිවේදය හරහා 


සටහන


* Resolution of the Oedipus complex is essential for healthy sexual development. The way forward is different for boys and for girls. A boy, murderously jealous of his father’s possession of his mother, is none the less aware of the power of his father. He fantasises that his father knows of his desires and will punish him by castrating him. Only by abandoning his desire for his mother as a sexual object can he avoid this terrible fate and move on. For a girl, the way forward is even more difficult. She also desires her mother and fears the response of her father. But she discovers that she is already castrated – she lacks a penis.

3 කුළිය:

ඇවරියා said...

නියමයි අප්පා... සමබර විචාරයක්

Chirantha said...

"පුතෙකුගේ ආකර්ශනයේ පියා රැඳෙන්නට දරන සවිඥානික ශ්‍රමයක්"

"මේ නම් තත්තාගේ හැඩරුව ඇති පුතෙකැයි දක්වා ඊට ප්‍රතිරෝදී ලෙස මවගේ මුහුනුවර ඇති දුවක් ගැන ඉඟියක්"

ඔබ මේ කියවන්නේ මගේ ජීවිතයයි එය යටි සිතදැයි කියන්නට මා සතු දැනුම අල්පයි. මෙම කවියෙහි මටත් නොදැනීම ඔය අරුත් ගැබ්වුනේ කෙසේදැයි මා පුදුම නොවන්නේ මගේ කවි වල ඇත්තේ මා විසින්ම විඳි විඳින අත්දැකීම් වන නිසාවෙනි. එහෙත් ඔබ එය සොයා ගත්තේ කුමන ඉන්ද්‍රජාලීකමකින්දැයි මම තවම සොයා ගත නොහැකිව ලතවෙමි.

අන්කුර වලට ඔබෙන් ලැබෙන මේ සහෝදරත්වයේ සාත්තුව ඔබට ඉතිහාසයෙහි සොඳුරු තැනක් වෙන්කිරීමට මග හසර සකසනු ඇත.(එවැන්නක් ඔබ නොපතන බව මම දනිමී)

Buddhika said...

සතරවරම් දෙවියන් සම්බන්ධයෙන් අදහසක් එක්කිරීමට කැමැත්තෙනි. බෙෘද්ධයින් සතරවරම් දෙවි වරු ලෙස වන්දනාමාන කරණ දෙවිවරුන් සතර දෙනෙක් වෙයි. එනම් ධතරාශ්ඨ, විරූඩ, විරූපාක්ෂ, වෛශ්‍යවන (වෙසමුණි). මේ සම්බන්ධව දීර්ඝව හැදෑරීමට ආටානාට සූත්‍රය, මහා සමය සූත්‍රය ආදී සූත්‍ර බාවිතයට ගත හැකිය. මාගේ දෘෂ්ඨියට අනුව හා පාලි පරිවර්තන වලට අනුව මොවුන් සිව් දිසාවන් හී අධිපති රජ දරුවන් වේ. ආදි ලාංකීය ජනයා සතරවරම් පිහිට පැතුවේ මෙම දෙවි වරුන්ගෙනි. මේ අතර යක්ක ගෝත්‍රික ප්‍රදානියා වෙසමුණි වෙයි. මම චිරන්ත තුලින් අතීතය ආමන්ත්‍රණය ‍කරනු දුටුවේ ඒ ඔස්සේය. අතීත ගැමි ජනයාද ‍මේ සිව්වරම් දෙවිවරු ආමන්ත්‍රණය කරයි. යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය තුලදී ද එය දැකිය හැකි වෙයි. ජන සාහිත්‍ය තුළ එවැනි කවියක් මෙසේ ගෙනහැර දක්වමි.

වෙසමුණි රජ අනුහසයෙන්
ව‍රෙන් ප්‍රේත යකෝ මෙදැන්
මා දෙන මේ දොළ කැපගන්
ආතුර ලෙඩ හැර පලයන්

චිරන්තගේ සතරවරම් දෙවියන්ගෙන් වරම් ඉල්ලීම හා මේ අතර කොතරම් සමීප සම්බන්ධයක් පවතීද? මෙය හුදෙක් මාගේ පෞද්ගලික හැඟීමක් පමණි. මට විචාරකයෙක් වීමට තරම් දැනුමක් නැත. මෙහි අඩුපාඩු ඇතොත් ඒවාට සමාව අයැදිමි.