2006 වසරේ සිට 'ගොඩගේ කාව්‍ය සහ ගීත ව්‍යාපෘතියේ' ප්රකාශනය සඳහා ගොඩගේ ව්‍යාපෘතිය විසින් තෝරාගත් මේ කෘතිය, ඉන් පසුව පොතක් ලෙස එලිදක්වන්නට වසර හතරක් ගත වූයේ මන්දැයි මම නොදනිමි. ඔහු ද එය තත්වාකාරයෙන් නොදනී. එනමුත් දැං එය පොත් රාක්කවලට පැමිණ ඇතිවා විය යුතුය. කෙසේ වුවත් කිසිදා පරණ නොවන කවි සැමදා සියතින් අකුරු ඇමිණෙන බන්දුලගේ සුරත මම සිප ගනිමි.
ඔහුගේ නිර්මාණ දිවියට සුභ පතමි!
මේ කෙටි සටහන ඔහුගේ 'තොරාගත් කෘති' ගැන විචාරයක් ලිවීමේ අදහසකින් නොවේ. ඔබ සියල්ලන්ට ද ඔහුගේ කවි පොත ඔහු වෙනුවෙන් මා දෝතින් පුදන්නටය.
කවිපොතේ අන්තර්ගතය යුග යුග වලට බෙදී ඇත. පිකාසෝගේ චිත්‍ර යුගවලට බෙදුවා සේම නිල් යුගය, රෝස යුගය හෝ ඝණික යුගයාකාරයෙන් බන්දුලගේ කවිද අතීතකාමී,පශ්චාත් අතීතකාමී,පශ්චාත් නූතන, පශ්චාත්- පශ්චාත් නූතන යනාදි වශයෙන් උත්ප්රාසවත් ආකාරයකින් බෙදා වෙන්කොට ඇත. එම යුග නිරූපණය වන කවි කිහිපයක් උපුටා දක්වමි.
අතීතකාමී යුගය- හත්වැනි කවිය-දහඅට පිටුව
මාළුවා වෙතටයි
ඇම නො කා මග හරින්නේ නම්
මාව කාපන් මාළුවෝ
නිරාහාරව මළත් දියඹෙන්
යන සිතක් නැත මාළුවෝ
දුකින් මළ මනු හද මාංශය
රස බලාපන් මාළුවෝ
මිතුරු රෑනක් එක්ක ඇවිදින්
මාව කාපන් මාළුවෝ
ඇමත් කාගෙන මාත් ඇදගෙන
මූදු පත්ලට මාළුවෝ
ගියත් නුඹ නම් අත් හරින්නට
හිතෙන්නෑමයි මාළුවෝ
සටහන: 'මහල්ලා සහ මුහුද' ලියා මගේ අන්තවාදී ප්‍රේම සිහිනයට දිරිය හා සවිය දුන් අර්නස්ට් හෙමිංවේ ස්තුතියි!
පශ්චාත් අතීතකාමී යුගය-දහනවය කවිය-තිස්හතර පිටුව
පෙම් පිම්ම
සඳ මත
ආම්ස්ට්‍රෝං තැබුවේ
දෙපය යි!
මා තැබුවේ
දෙතොලයි!!
සිරකරුගේ කවිය!
ඉක්මනට සෙනසුරාදා එන්න!
සතියේ දවස් නීරසයි එන්න!!
කන්තෝරු හිරගෙදර දුක් විඳින
සිතට සිහිලසක් අරගෙන එන්න
ජීවිතය පැය අටක් නො වන වග
දින දෙකක් දිවි ගෙවා දැනගන්න
රළු කටුක දවස් පහ විසුණු කර
ඇවිත් යන්නට වුණත් ඔබ එන්න
දූපතක ගෙවී යනමුත් දවස
ජිවිතය මහාද්වීපයක් බව
හතරවට මූදු වෙරළෙන් එපිට
ලෝකයක් තිබෙන බව දත යුතුය
පඩියකින් පඩියකට පනින විට
හැමදා ම කොන්ද කැඩුණැයි හඩන
ණය බරින් පෙළෙන දිවි ගිම් නිවන
මෙඟක් කොහි හෝ තිබිය යුතු නොවෙද?
සඳුදාට ඇස් අරින උදෑසන
ගෙවූ දෙ දින සිහිනයක් දැයි හඟින
දින පහක් විය ගඟට ගෙල පුදන
දෙපා-අම්බරු සකිය! පිබිදෙන්න!!
පශ්චාත් නූතන යුගය-විසිහත කවිය-හතලිස් අට පිටුව
පටු වචන හා විසල් ජීවිතය
ලොකු පුතා
'ලොකු පුතා' වූයේ
පොඩි පුතා
ඉපදුණ පසුවයි
පොඩි පුතා
'පොඩි පුතා' වූයේ
ලොකු පුතා
එවකටත්
ඉපැදී සිටි නිසයි
උපතින්ම කිසිවෙකුත්
ලොකු නොවී
පොඩිත් නොවී!
වදන් ලෝකය
මිනිස් සිරුරත
යොදන බලයෙන්
එහා ඇත්තේ
වචනයෙන්
ලියා හෝ කියා
අවසන් නො වෙන
සැබෑ ආදරයයි
සැබෑ ජීවිතයයි
ආදරය වචනයකි
වචනයට වැඩි යමකි!
හැඟුම් ලෝකය
වචනයට ගෙනා සැණ
ජීවිතය (ආදරය)
කූඩුවක සිරවෙයි
පශ්චාත් පශ්චාත් නූතන යුගය-විසිඅට කවිය-පනහ පිටුව
හිස්ටීරියාවෙන් සයිකෝසියාවට
මාක්ස්, එංගල්ස්
ෆ්‍රොයිඩ්, ෆූකෝ
ලකාන්, ඩෙරීඩා
කොටා දියකර
බී, එයින් මත් වී
වනා කගපත හතරතේ
'පිටිය සුද්ධයි'
(Ground Clear)
කියා තුටු වී
කුටියකට වැද...
"මමයි ලෝකය
මම වගේ වෙනු!
සකල සාහිත
කලා ලෝකය
මගේ අණසක
අනුව යා යුතු!"
(ට්‍රොට්ස්කි ගැන අමතක වුණාව ද)
ඈත නොම වූ
දිනෙක "දහසක්
මල් පිපේවයි
මත ගැටේවයි"
"එක ම මල මම"
කියා මළ පැන!
වහසි දොඩනා
කුටියකට වැද
ස්වයං වින්දනයේ
වුණේ කිම්දැයි
අසන ලොව වෙත
බුරා පැන
පිළිතුරු දෙමින්
"මට වුණේ කිම්දැයි
දැනගන්ට තොපි
සතුටු නම්...
මා සොයාගෙන
මාගේ ගෙදරට
තොපි වරෙව්
(මෙන්න ලිපිනය)
මගේ අභිමානය
එයයි!"
"පෙම් ලොව දී දුටු ඔහු ම ද මේ!
ඔහුට ද මා අන්ධ වුණේ!!"
'හිස්ටීරියාවෙන් සයිකෝසියාවට' කවිය ගැන කෙටි සටහනක් තැබිය යුතුමය. මට මෙය කියවූ ගමන් දැනුනේ 'ඇල්ජීරීයාවෙන් ආසියාවට' වැනි හැඟුමකි. ජනක මහබෙල්ලන මෙන්ම බන්දුල ජයවීරද දීප්ති කුමාර ගුණරත්නට කවියකින් ඇන දමා ඇති බව පෙනේ. ඔවුන්ගේ කෘති තුල එක කවියක් දීප්ති වෙනුවෙන් වෙන්වීම දැන් දැන් සම්ප්රදායක් බවට පත් වී ඇතැයි මට සිතේ.
2 කුළිය:
"හිස්ටීරියාවෙන් සයිකෝසියාවට"
අපගේ සිතුම් ඔහුගේ පන්හිඳෙන් ලියැවුනු හැඩයි!
මම අවුරුද්දකට පස්සෙ ඇයි මේක කියන්නෙ කියල ඔයා කල්පනා කරන්න එපා. මම මේක දැක්කෙ අද ඒ නිසයි මේක කියන්නෙ. මේ කවිය ලියපු කාලෙ බන්දුල නෙමෙයි අපිත් ඒ වගේ කවි ලියන්න වෙන වැඩක් තමා වුනේ. "Hope කියන්නෙ Doop නෙමෙයි,කුමන්ත්‍රණකාරීන්ට හසු නොවන්න.
මූලස්ථානය අමතන්න". යනුවෙන් දීප්තිගෙ නම සඳහන් තරමින් ප්‍රමාණයේ පෝස්ටරයක් කොළඹ. නුවර, ගම්පහ, මීගමුව, ගාල්ල, මාතර, කුරුණෑගල. රත්නපුර, අවිස්සාවේල්ල නගර වල ඒ ඒ ස්ථාන වල අලවා තිබිණි. දේශපාලනය කිරීම යනු දැනුම සමග අරගල කිරීම යන්න තරයේ විශ්වාස කළ බන්දුලට නායකයාගේ කකුල් ලෙවකමින්, මොළය සෝදා ගැනීමට රත්මලානේ පිරිවෙන පාරේ ගෙදරට එන ලෙස දන්වා 150 දෙනෙකුට පමණ දැන්විය යුතු පණිවිඩයක් තමන්ගේ මමත්වයේ උපරිමය රැකගෙන ලංකාවේ ප්‍රධාන නගර වල ප්‍රසිද්ධ කර දීප්ති විසින් කල ඒ කැත වැඩේට කම්පාවුණු බන්දුල අතින් මෙවැනි කවියක් නොලියවුනානම් ඔහු සහ දීප්ති අතර වෙනස කිම?
Post a Comment