Friday, June 12, 2009

පේ‍්‍රමණිය හැන්දෑවක් නොවේ - [රවිනාථ] - කවියේ ද්වන්ධාත්මය

පේ‍්‍රමණිය හැන්දෑවක් නොවේ
ඉටිපහන් මන්දාලෝකයේ
ගිනියම් මද්දහනෙන්
සීත පිඹින ගිිනි හුයක් යටට
පිටස්තරයෙකුගේ ඇස නොගැටී
පලා ආ අපූරුව

නින්නාද දී සරාගී සර
හඬ හඬා පවුරු මත ප‍්‍රකම්පිතව
මහා සන්ධ්වනිය අරඹා
සිතින් තොර කය
සන්තර්පණය කල අපූරුව

රාගී පරමාශ්වාදයට පසු
එළඹෙන පශ්චාත්තායට ඉඩ දී
නිද්‍රාවට වැටී හුන් සිත ඇහැරී
අවුල්ව ගිය
සයනය දෙස බලා හිඳ
”මුදුව අමතක නොකර පැළඳගන්න” යි
මතක් කර දුන් අපූරුව

රවිනාථ

රවිනාථ විසින් විරචිත ඉහත කවිය ගැන මගේ අදහස් දැක්වීමකි මේ.

ම‍ට මෙ නිර්මාණය ප‍්‍රථමයෙන්ම කියවන් යද්දී ඇගවුම් කළේ හංස විලක් සිනමා පටයේ තේමාවයි.
එම සිනමා පටයේ තැනින් තැනින් මතු වී මා මනසේ සිත්තම් වූ සිතුවම් කොලාජ් ක‍්‍රමයකට පිරිද්දී මට දැනුනේ මෙ කවිය එහි කිදී ගිය ලෙසකි.

හංස විලක් සිනමා පටයේ මුඛ්‍ය තේමාව එම සිනමාපට‍ය බිහිවන නොහොත් ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ ඒ කාලවකවානුවේ නාගරික පවුල නමැති ඒකකය සමාජ පෙරලිය සමග මුහුණ දෙන අධ්‍යාත්මික බිද වැටීමේ එක්තරා මනෝමූලික කියවීමකි.
හංස විලක් සිනමා පටය ගැන මා මෑත යුගයේ හරවත් විචාරයක් කියවා ඇත්තේ ලන්ඩන් සගරාවෙනි. එයද මෙහි සදහන් කළ මනාය.

එය අන්තර්ජාලයේ ති‍්‍රමාන අඩවියේ ති‍්‍රමාන අඩවියේ සැරිසරන්නකුට කියවා ගත හැකිය.

එම සිනමා පටය ගැන මගේ දැනීමෙන් වුවද එතරම් කෙටි හැදින්වීමක් ප‍්‍රමාණවත් නොවූවද මෙ කවිය පිලිබද මගේ අදහස් ගොනු කරගන්නට ඒ ප‍්‍රමාණවත් යැයි උපකල්පනය කරමි.

ගිනියම් මද්දහනෙන් ඉටිපහන් එලි දැල්වෙන පේ‍්‍රමණීය හැන්දෑවක් ද නොවන කාල නිර්මිතයක කුඩා අවන්හලකට රිංගා ගත් නීත්‍යානුකූලව ගිවිස නොගත් නොහොත් ලියවිල්ලකින් තොරව කායික ඇසුරකට පිලිපන් යුවලක ගේ සිතුමන් වල පුරැෂත්වය අවිනිශ්චිත දෘශ්ඨියකින් මෙම කවියට අනුභූති වී ඇත.

මෙහිදී මා උදක්ම පූර්වයෙන් සදහන් කළ උපනතියේ පුරැෂත්වය අවිනිශ්චිත දෘශ්ඨිය යනුවෙන් දැක්වූයේ කුමක් ද යන්න කේන්ද‍්‍ර කරගෙන මෙය විනිසන්නට පෙළඹෙමි.

මෙම කවියේ පූර්වභාගය පුරැෂ හෝ ස්තී‍්‍ර කවර හෝ දෘශ්ඨියකින් ලියැවී ඇත.
එය නපුංසක දෘශ්ඨියක් යැයි කීව ද වරදක් නැතිය.


දෙවන කොටසේ දී ලිංගික කී‍්‍රඩාව මහා සංද්ධවනියක් ලෙස රෑ ගන්වා ඇත්තේ පුරැෂ කේන්දී‍්‍රයව ය.
සරා ගී සර නින්නාද දී හඩ හඩා පවුරැ නමැති මානසික බාධාවන් මත්තේ අනුරතියට නොමැති සිතකින් කය සතපවන්නේ ස්ති‍්‍රය බැද දමා ඇති වික්ටෝරියානු බැමි මැද්දේය.


එය පුරැෂයාට සංද්ධවනියකි. ගැහැණියට කාම මෝලේ තැලීමකි.
සන්තර්පණය අපූරැ වන්නේ ද පුරැෂයාටමය. විලෝමය ගැහැණිය උපශාන්තය. මෙ ගැන කිසිවක් එළිපිට නොකියයි.


රාගී පරමාස්වාදය ට පසු පශ්චාත්තාය යනුවෙන් දැක්වෙන රමණ කෙඩෙත්තුව ද අයිති වන්නේ පුරැෂයාටමය. ගැහැණියට ඉදහිටය, එය රහසකි.
රමණ කෙඩෙත්තුව කෙසේ වෙතත් එක්තරා හින්දි චිත‍්‍රපටයක සිංහල උපසිරැසි යෙදුමක මා සිත් ගත් ‍කාම මෝලෙන් තැලී ගිය ස්ති‍්‍රය ගැන කෙරැනු ස්ති‍්‍ර ප‍්‍රකාෂය මට මෙහි මතක් වෙයි.

කෙසේ වුවද මෙ පශ්චත්තාපයන් අපරව එළඹෙන නිද‍්‍රා ආශක්ත පුරැෂ කේන්දී‍්‍රය සුව සහනය විදි සිත ඇහැරී අවුල්ව ගිය හිසින් සයනය‍ දෙස බැලිය යුත්තේ පුරැෂයා ය.

එසේ නම් පුරැෂයාට මුදුව මතක් කර දෙන්නේ ගැහැණිය විය යුතුය.

නොඑසේ නම් මෙ පරමාශ්වාදයෙ ගිලී සුපසන් නින්දක හුන් ගැහැණියට පිරිමියා විසින් මතක් කළ මුදුවක් විය යුතුය.

මෙ දෙකින් කොයික දැයි විනිසන්නට මෙ කවිය අපට ප‍්‍රමාණවත් තොරතුරැ නොසපයන වග පැහැදිලිය.

කවිය ලියැවුනු පුරැෂත්වය ඉක්මවන මෙ අන්තර්ගතය කෙරෙන් මතු වන මෙ ද්වන්ධාත්මය මෙ කවියේ ඇති සුවිශේෂය ලෙස මම දකිමි.

යථාව නම් ගැහැණිය හෝ පිරිමියා යන දෙදෙනාම එක ලෙසම මුදු අමතක කරන්නේ මෙ රාගී පරමාශ්වාදය හමුවෙ බවයි.

ඉදින් ගැහැණිය පමණක් වෙසාව යැයි හංවඩු ගහන මෙ අපේ සමාජයට ගැසූ කනේ පහරක් මෙ කවියේ යටි පෙලේ සැගැවී තිබීම අපගේ පරමාශ්වාදයට හේතු වෙ.

--ඩෝසන් ප‍්‍රීති

0 කුළිය: