Sunday, April 19, 2009

තිස්ස අබේසේකර

අප අතරින් වෙන්ව ගිය තිස්ස අබේසේකරයන් ගේ 'අයාලේ ගිය සිතක සටහන්' කෘතියෙන් උපුටා ගත් පහත රචනය ඔහුගේ විචක්ෂණ නුවණ පිලිබඳ කරනු ලබන සම්භාවනාවක් ලෙස මෙහි සියල්ලන්ගේ කියැවීමට පළ කරමි.


අකුරින් රූපයට

අප ගේ මෙ යුගය කෙළවර වීමට කලින් මළපොතේ අකුරක් නොදන්නා පණ්ඩිතයින් අපට හමු වනු ඇතැයි කලා හා ජනමාධ්‍ය පිළිබඳ සමකාලීන බුද්ධිමතුන් අතර විශිෂ්ටතමයකු වන ජෝර්ජ් ස්ටයිනර් පැවසූයේ මීට වසර පහළොවකට පමණ පෙර දීය.

පසුගිය ශතවර්ෂය පුරා ඇගපතට නොදැනී සිදු වුණ හා තවමත් සිදු වෙමින් පවතින මහා විපර්යාසයක මූලික හරය ස්ටයිනර් ගේ කියමන කදිමට හකුළා දක්වයි. එනම් දැනුම ලබා ගැනීමෙ දැනුම බෙදා හදා ගැනීමෙ හා දැනුම ගබඩා කර තැබීමෙ ප‍්‍රධාන උපකරණය වශයෙන් භාෂාව දැරූ ඒකාධිකාරය කෙමෙන් බිඳ වැටෙන්නට වූ වගයි. ඒ කටයුත්ත ඉටු කර ගැනීමෙ දී අද භාෂා ඥානය තරමට ම රූපඥානය ද වැදගත් වී ඇත. තව නොබෝ කලකින් දැනුමෙ දොරගුළු විවෘත කර ගැනීමෙ ප‍්‍රධාන යතුර සාක්ෂරතාව නොවනු ඇත. මිනිසා බහතෝරන්නට වූ දා පටන් කල්පකාලාන්තරයක් මුළුල්ලේ දැනුමට, බිණුමට විනෝදයට හා වින්දනයට ප‍්‍රධාන වාහකය වූ අක්ෂරය අභිභවා අද රූපය මතු වෙමින් පවතියි. මෙය එසේ මෙසේ පෙරළියක් නොවෙ. මිනිසා ලොව පහළ වූයේ කවදාද එදා මෙදා වෙන් කරන අනාදිමත් කාලයක් මුළුල්ලේ සිදු නොවූ මහා පෙරළියකි. හැම දෙයක්ම උඩු යටිකුරු කරන්නා වූ සංක‍්‍රාන්තියකි. එහි තරම අපට තවමත් සම්පූර්ණයෙන්ම තේරුම් ගිහින් නැතුවා සේය. මෙ ගැන බොහෝ පොතපත දැනටමත් ලියවී ඇත. තවත් බොහෝ පොතපත ඉදිරියට ද ලියවෙනු ඇත.

මගේ ඉහත සඳහන් කියමන තුළ ම ඇත්තේ පරස්පර බවකි. දැනුමෙ සන්නිවෙදනයේ ප‍්‍රධාන වාහකය අකුර ලෙස ඉදිරියට නොපවතී නම් මෙ ප‍්‍රශ්නය පිළිබඳ අදහස් උදහස් මතිමතාන්තර පොතින්පතින් පළවන්නේ කෙසේ ද? එතුළ ඇත්තේ ද ඉංග‍්‍රීසියෙන් VISUAL LITERACY නම් යෙදුමෙ ඇති පරස්පරයමයි. LITERACY , LITERATE යන ඉංග‍්‍රීසි පද හැදී ඇත්තේ අක්ෂරයෙ ඇති අනුත්තර බව පදනම් කොට ගෙන ය. 'මළ පොතේ අකුරක් නොදත් එකා' මෝඩයකු වන්නේ ඒ නිසාය. ඉංග‍්‍රීසියේන් LITERATAE යනුවෙන් හඳුන්වන්නේ ලියන්න කියවන්න පුළුවන් එකාය. ILLITERATE යනු මුකුත් නොදන්නා මෝඩයා ය. LITERACY යනු සාක්ෂරතාවය යි. ලියන්න කියවන්න පුළුවන් කමයි. අපි කරුණු කාරණා දැන ගන්නේ ද දැනුමට වඩා ගන්නේ ඇසූ පිරූ ඇත්තන් වන්නේ පොතපත කියවීමෙනි. පොතපත කියන්නට අකුරු ඉගෙන ගන්නට ඔනෑය.

'අල්ලට සිගාවත් රස නැති කැවිලි කකා
වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල්ගිය රෙදි වැරලි ඇඳ දැලිකුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා'

'වදන් කවි පොත' එසේ අපට කියන්නේ අකුරෙ ඇති මහත් ඵල මහානිසංසයේ මහිමය ගැනයි. තව ද

වෙවැල් කොටු නාරං සියඹලා අතු
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලියා අතු
මෙවැනි ඉපල් මගෙ දෑසට නොපෑ යුතු
පමා නොවී එමි අකුරට මෙයින් මතු

යනු කී හෙයින්, අකුර වනාහි බොහෝ දුෂ්කර ක‍්‍රියාවන් හි යෙදෙමින් අත්තකිලමථානු යෝගය පුරමින් ළගා විය යුතු බෝධියක් විය.

මෙ තත්ත්වය අද නොපවතී.

තවමත් හෝඩියේ අකුරු නො දන්නා අවුරුදු දෙකේ දරුවා 'බුෂ්' කවරෙක් දැයි හඳුනයි. ඔහු ව ඒ දරුවා හඳුන්වන්නේ හඩකිනි. ඒ හඩ අකුරුවලට පෙරළා සිංහලයෙන් ලියුවොත් අකුරු දෙකකි. ඉංග‍්‍රීසියෙන් ලියුවොත් අකුරු හතරකි. වෙනත් භාෂාවලින් අකුරු ගණන කොපමණදැයි එ් භාෂා දන්නෝ දනිති. එහෙත් මොන භාෂාවෙන් කියූවත් 'බුෂ්' යනු එක ම හඩකි. එකම රූපයකි. අපි බහතෝරන්නේ ද වචන තෙපලන්නේ ද අකුරු ඉගෙන ගන්නට පෙරය.

මා ඉහත සඳහන් කළ දරුවා බුෂ් ගැන දැන ගත්තේ අකුරු මගින් නොවේ. රූපයක් හා ඒ සමග ඈඳුණු ශබ්දයක් ඔස්සේය. ඒ දරුවාට සාක්ෂරතාවයක් නැත. එහෙත් රූපඥාණය ඇත. එය එ් දරුවා උත්පත්තියෙන් ම ලබන හැකියාවකි. සාක්ෂරතාව අප 'අල්ලට සිගාවත් රස නැති කැවිලි කකා' යනා දී වශයෙන් අනන්ත වූ දුක් කම්කටොලු විඳිමින් ප‍්‍රගුණ කර ගත යුත්තකි. උපතින්ම අන්ධයකු නො වන්නේ නම් ඔහුට හෝ ඇයට පෙනීම ඇත. මුළු ජීව ලෝකයම දකියි. ඒ පෙනුම ඔපමට්ටම් කර ගෙන වඩාත් හොඳින් ලෝකය දැකීමට හොඳ දෙයින් නරක දෙය උචිත දෙයින් අනුචිත දේ වෙන් කර හඳුනා ගැනීමට, විවිධ වූ වස්තූන් අතර ඇති එකමුතු ව තේරුම් ගැනීමට අපට පුළුවන. රූපඥානය යනුවෙන් අප අදහස් කළේ එයයි.

චලන චිත‍්‍රය ඇත්තේ මෙන්න මෙතැනය.
සන්නිවෙදනය මිනිසා උපතින් ලබන ප‍්‍රකෘති ශක්තියක් හා යා කළේ චලන චිත‍්‍රය යි.

භාෂා ඥානයෙන් හීන වූ බැවින් තෝල්ස්තෝයි ගේ නවකතාවක් රස විඳිය නොහැකි වූවන්ට ඒ රසය මඳක් හෝ ස්පර්ශ කිරීමට අවස්ථාව සලසා දුන්නේ චලන චිත‍්‍රයයි. මුදල් නැති නිසා දඹදිව වන්දනාවෙ යන්නට බැරි උපාසකම්මලා ට බුද්ධගයාව සියැසින් දැක ගැනීමට පුළුවන් වූයේ චලන චිත‍්‍රය නිසා ය. 'ලෝක ගම්මානය' ,'ගෝලීයකරණය' යනාදී ප‍්‍රවණතාවන්ට පිටුපසින් ඇත්තේ ද චලන චිත‍්‍රයේ මහත් ඵල මහානිසංසයයි. චලන චිත‍්‍රය වනාහි නවීන මිනිසා විසින් සොයා ගන්නා ලද ප‍්‍රබලතම උපකරණය බැව් ලෙනින් පැවසුවෙ ද මෙ නිසාම විය යුතුය.

සන්නිවෙදනයේ මුල්ම වාහකය වූයේ මිනිස් කටහඩයි. එය ඇසෙන තෙක් මානයෙන් පිට යැවීමට අවශ්‍ය වූ විට එක් එක් හඩ එක් එක් හැඩ ගත් සංඥා බවට පත් කළ මිනිසා ඒවා තල්පතක ලියා ඔහු ගේ කටහඩ පොව්වන ඉමෙන් ඔබ්බට ඇරියේය. අකුරු බවට පත් වූයේ ඒ සංඥාවයි. හැම අකුරක්ම කිසි යම් වස්තුවක් හෝ හඩක් හෝ නියෝජනය කරයි. එහෙත් ප‍්‍රශ්නයක් පැන නැගුණි. එක ම වස්තුව එක ම හඩට යොදන අකුරු කලාපයෙන් කලාපය රටින් රට වෙනස් වන්නට පටන් ගත්තේ ය. එවිට දේශ දේශාන්තර සන්නිවෙදනය ඇන හිටියේ ය. එක් දේශයක වර්ධනය වූ දැනුම තවත් දේශයකට සන්නිවෙදනය වීමෙ දී භාෂාව හරස් විය. දැනුම නිදහසේ සංසරණය නොවීය. එක් කලාපයක දැනුම අනෙක් කලාපයන්ට වඩා දියුණු වූ නොදියුණු කලාපයක් යටපත් කර ගැනීමට දියුණු කලාපයන්ට හැකි විය. යුරෝපාධිකාරය බිහි වූයේ එලෙසය. ඉංග‍්‍රීසි බස 'කඩුවක්' වූයේ එලෙසය. තව ද සකු මගධ ලතින් ග‍්‍රීක ආදි පොදු ජන ව්‍යහාරයෙන් ඈත් වූ මළ භාෂා තුළ ශිල්ප ඥානය හා ශාස්ත‍්‍ර ඥානය 'සගවා' තැබීමට පඩුවන් පෙලඹුණේ එතුළින් තම අධිකාරී බලය රැක ගැනීමට ය. බමුණු කුලයන් බිහි වූයේ එසේය. ශිල්ප හැදෑරීම 'අල්ලට සිගාවත් රස නැති කැවිලි කකා' යනාදි වශයෙන් කළ යුතු දුෂ්කර ක‍්‍රියාවක් කරන ලද්දේ දැනුම තමන් අත බලපරාක‍්‍රමයෙන් වැජඹීමට ගිජු වූ බමුණු කුලයන් හෝ අධිකාරී පන්තීන් විසිනි. මෙ ඒකාධිකාරයෙන් මිදීම සඳහා මිනිසා ගෙන ගිය පරිශ‍්‍රමයේ ව්‍යායාමයේ අග‍්‍රඵලය වනාහි චලන චිත‍්‍රයයි. දැනුම නිදහසේ සංසරණය වීමට පදනම සකස් කරන ලද්දේ චලන චිත‍්‍රය විසිනි. භාෂාව අභිභවා ගොස් සියලු ජාතීන්ට පොදු ප‍්‍රකෘති මිනිස් ශක්තියක පිහිටා දැනුමට රිසිසේ ගමන් කිරීමට පුළූවන් නවීන සේද මාවත අහසේ පාවෙන සන්නිවෙදන චන්ද‍්‍රිකා ඔස්සේ දසත විහිදෙන චලන චිත‍්‍රයයි.

අයාලේ ගිය සිතක සටහන්
තිස්ස අබේසේකර

'කාව්‍ය රසය තුළින් අප සත්‍ය අවබෝධ කර ගන්නේ වස්තූන් කපා කොටා ඒවායේ ස්වභාවය තේරුම් ගන්නට උත්සාහ කරන්නා වූ චිකිත්සකයකු ලෙස නොවෙ. භාවනානුයෝගීව සත්‍යය සමස්ථයක් ලෙස ස්පර්ශ කරන්නා වූ සාධු සිත් ඇත්තකු මෙනි.'

අයාලේ ගිය සිතක සටහන් පෙරවදනින්
තිස්ස අබේසේකර


තිස්ස, ඔබට සුභ රාත‍්‍රියක්!

3 කුළිය:

චින්තක said...

"...තිස්ස අබේසේකරයාණනි, ඔබට මොක් සුව!!..." . ලිපියක් මේ මොහොතේම පළ කිරීම ගැන තුති ඔබට!!

Palitha said...

ජනප්‍රිය වේදිකාවේ හිටපු සැබෑම උගත් මනුස්සයෙක්. තිස්ස අබේසේකර , කේමදාස මාස්ටර් ලා නැතිවෙනකොට මිනිස්සුන්ගේ ඔළුව පළල් කරන්න පුළුවන් මිනිස්සු වේදිකාවේ නැතිවෙනවා. දැන් වේදිකාව උඩ ඉදලා කෑගහන්න මෝඩයින්ට තවත් ඉඩකඩ ලැබෙනවා. කොහොම වුනත් සිනමාවේ පළල් බවට තිස්සගේ දායකත්වය අමරණීයයි.

Koombiya said...

Palitha kiyana eka hari.
Me paramparawe oluwak saha hadawathak thibba ewun eka ekaa marila yanawa.
Samahara ewun husma iwara welaa. samahara ewun husma ganiminma marila gihin.
Me space eka piduru saha punnaku walin purawana ekata challenge karana eka thamayi me marila yana ewun wenuwen apita kala haki awamaya..

DOSAge awissilla watinne ema aruthen...