Friday, November 14, 2008

කර්තෘ අඥාතයි කාව්‍ය සංග‍්‍රහය-ඊ එම් ඩී උපාලි

මෙතනින් මාරු වෙනු 1983
පියාඹන අස්සයා 1985
එව බලව 1998
චර පුරුෂ 2000
චෙරිමල් යාය 2000
වන තාරාවී 2006
බෝනික්කිගේ සෙල්ලං ගේ 2008

ඒ සියල්ල වේදිකා නාට්‍ය පිටපත්ය. හොඳින් කණට හුරුය. දෙකක් පමණක් තවම නිෂ්පාදනය වී නැත්තේය...

මුල් දෙකම ස්වතන්ත‍්‍රයි.
තෙවැන්න අනුවර්තනයකි.
සිවුවැන්න පරිවර්තනයකි. මුල් නිර්මාණය නිකොලායි ගොගොල්ගේය.
ඊළගට ඇත්තේ ඇන්ටන් චෙකොව් ගේ නිර්මාණයේ වෙදිකා නාට්‍ය පරිවර්තනයයි.
වෙදිකාවෙ සිහසුනේ සදාකාලික රැුඳිවිහෙන්රික් ඉබ්සන් ගේ සුප‍්‍රසිද්ධ නාට්‍ය පිටපත් හතරෙන් දෙකකි අවසානයේ පරිවර්තිත ව ඇත්තේ.

1996 දී
තුන්සිත් රටා මැයෙන් කාව්‍ය සංග‍්‍රහයක් ද

2005 දී
දඹරන් පිළිමය නමැති යොවුන් නවකතාව ද

2007 දී
ළය විරේකය නමැති නව කතාව ද
කළ හෙතෙම

2008 දී
කර්තෘ අඥාත වී ඇති හෙයිනි මේ හෙලි දරව්ව...
මේ කර්තෘ අඥාතයි කාව්‍ය සංග‍්‍රහයෙන් උපුටා ගත්කවියකි.

අලු

අඩ සිය වසක
රොඩු බොඩු
වදන් වරණ රෙක්කයෙන්
ඇවිස්සුවෙමි
එකතු කළෙමි
එක තැනකට
පිළිවෙළකට

දැන් ඉතින්
ගිනි තබමු
එකතු කළ
එ රොඩු බොඩු

තෙමෙ
අලු වී යද්දී
අවට
අලු කරනු වස්

ඒ කවියාගේ පෙරවදනයි.

මෙ ප‍්‍රථම කවයි

හෙවණැල්ල

වැසි වස්සන ඇලි ඇතු දී බමුණන්ට
ආයෙමි වංකගිරි පාරමි සපුරන්ට
රුව ඇති දූ පුතුන් පිදුවත් බුදුවන්ට
ප‍්‍රාණසරි බිසෝ නම් බෑ දන්දෙන්ට

කිරි එරුණලු සඳමහ මුත්තණු ළයට
දෙදරුන් බරට රන් දුන්නලු ජූජකට
නුඹේ බරට රත‍්‍රන් මුලු රටෙත් නැත
මා හිස ගිය ද නුඹෙ හිත බෑ දන් දෙන්ට

තෙමා වැටුණි කිඳුරග නෙත් සඳගිරියේ
දමා කුමරි වැඩියෙද කිසි අත් බවයේ
අදරින් පැතු එ බුදු බැව් මහද බැබළියේ
එද හෙවණැල්ල මට දන් දිය හැකි ද පියේ ?

ඊ එම් ඩී උපාලි

චන්ද‍්‍ර කුමාර වික‍්‍රමරත්න කවියා

අවසර සකි සඳ - චන්ද‍්‍රකුමාර වික‍්‍රමරත්නට


චන්දරෙ
මම ශීතකරණය ඇරියා
චන්දරෙ
මම හමස් පෙට්ටිය ඇද්දා
මම කවි පොතක් ගහන්න යනවා
මට උඹව මතක් වුනා
උඹ මළවුන්ගේ ලෝකෙ ද?
එහෙනම් උඹ පණ පිටින්
චන්දරෙ
දැන් මෙක මිනී කාමරයක්
අධි ශීතකරණයකටත් වැඩිය ශීතලයි
උණුහුම පොදක් නෑ
හාල්පාරු වෙලා සේරම
මිනිස්සු මිනිස්සු එක්ක කතා කරන්නේ නෑ
මූණ බලන් නෑ
බස් වල ගල් ගිලල වගේ
මූණට මූණ බලන් නෑ
නැග්ග ගමන් නිදා ගන්නව
උඹ එදා පිලි නොගත්තට
අද උඹ ආවොත් නං
සාංදෘෂ්ටිකවාදේ පිලිගන්නව සිකුරුයි

චන්දරෙ
මම කවි පොතක් ගහනවා
කවි කියන්නේ
මොනව ද චන්දරෙ

මතක ද
අපි ඒ දවස් වල හම්බණාම
කුරුටු ගාපුවා කියෙව්වා එකිනෙකාට
සමහරු උඹව යුගයේ කවියා කළා
උඹ එහෙම හිතුවෙ නැති වග
දන්නවා මං හොඳටම
චන්දරෙ
අපි ට තරගයක් තිබුන් නෑ
උඹ ලියපුව ද හරි
මං ලියපුව ද හරි
එහෙම බෑ චන්දරෙ
කවියෝ වෙන්න
කවියෝ වෙන්න නං
හිතන්න ඔනෑ
මං තමයි ඊළග සේකර
කී දෙනෙක් උන්න ද චන්දරෙ එහෙම
ආගිය අතක් ආතක් පාතක් නෑ

චන්දරෙ
උඹ තාමත් සින්දු කියනවා ද බස් වල?
ජෝතිපාලගෙ සිංදු කවදාවත් කිව්වෙ නැති
චන්දරෙ
ඔබ ගැනම මා ලියනා ඒ කවිය
ඔබ හටම අද දිනේ නොවැටහෙන බව දනිමි
ඒත්
ලෝකය මීට වඩා සුන්දර වන
අනාගතේ යම් දවසක
ඔබ එය ආදරයෙන් කියවන බව දනිමියි සැක හැර
නුඹම හැදු
කවුරුවත කවදාවත් නාහපු
සිංදු කීව චන්දරෙ
දන්නවාද
පශ්චාත් නූතන තත්වය මෝරලා
සහස් වස එනවා
දැන් කතාව ගෝලීයකරණය ගැන
උඹ දන්නවා ද අන්තර්ජාලය?

චන්දරෙ
මතක ද
අපි ඉල්ලුවෙ රුපියලයි නැත්නම් දෙකයි
ඒත් දැන් හුගාක් වෙනස් චන්දරෙ
එක ප්ලේන්ටිය ගහලා
බි‍්‍රස්ටල් එක බීලා
මතක ද?
මේ කාලේ චන්දරෙලා ගැන මං මුකුත් දන්නෙ
නෑ චන්දරෙ
උනුත් මං ගැන මුකුත් දන්නෙ නැතුව ඇති
චන්දරෙ උඹ කොහෙද ?
මළවුන්ගෙ ලෝකෙ ද?
උඹ ට ලීනක්කවත් හම්බුනා ද?

තිසාහාමිත් මැරුණා
මට කවියක් ලියන්න හිතුනා
ඒත්ඒ කවිය
රෙන්න බරක් නැති වෙන්නැ හේ නැති වුණා
විකුණන හැටි දැක්කම
රාජිනිත් මැරුණා
ඒත් එහෙම්මයි
චන්දරෙ
උඹ මැරුණයි කියලා
දැන ගත්තෙ නැති එක හොඳා
මෙහෙම නෙමේ හෝල් සේල් විකුණාවි
ඒත් චන්දරෙ
මිනිහෙක් උන්නයි කියල දන්නෙත් දැන් අපි
මැරුණාම
මිනිය ලෝකෙටම වික්කාම
ඉතිංමරණය ගැන දැන ගන්න එක
වැදගත් නේද?
අපි ඒ තරමට ම කුණුවෙලා චන්දරෙ
ඒත් මෙ මළ බද්ධෙයි
අ ඩස්සියයි
ඊට වඩා හොඳයි

චන්දරෙ

චන්දරෙ
ඉන්නවා නම් කොහේ හරි
ලියුමක්....
ඒත් චන්දරෙ

උඹට වගේම
අයිඩෙන්ටිය මිසක
ඇඩ‍්‍රස් නෑ තාම මටත්
කියාපන් උඹ කොහෙද
මහ කැලේ හේනක් කොටාන
ගෑණියෙක් එක්ක
ඉන්නවා ද චන්දරෙ?
පුංචි කාලේ ඉඳන්
උඹ ඉල්ලූ ආදරය
ලැබුණා ද උඹට?
තුන් වෙල වරදින් නැද්ද උඹට දැන්වත්?
චන්දරෙ
යුගයේ කවියා කියා කුරුසයක
ඇණ ගසා තියෙද්දිත්
ආදරය පොදක් ඉල්ලුව
නුඹෙ අවිහිංසක ඇස්
ගොම්මන් මන්දාරම මැදින් දිදුලනවා මට
පේනවා

චන්දරෙ
මට සමාවෙයන්
මම කවි පොතක් ගහනවා
මොකටද කියලා මං දන්නේ නෑ
හුග කාලෙකට කලින් ලියන එක අතෑරපු
ඔහේ ලියවෙච්ච කවි
හෙට
මිල කරලා තියේවි රාක්කවල
විකුණන්න
මතක ද උඹ පොත් සීයක් විකුණලා දෙන්න බාර ගත්ත
කවදාවත් ගැහුවෙ නැති මගේ කවි පොත?
ඒත් චන්දරෙ
මෙ ඒ කවි පොත නං නෙමෙයි

කේ කේ සමන් කුමාර

මෙ කවිය සර්පයාගෙ කවි පොතේ එනම් නගා මැරූ අල නිර්මාණ සංග‍්‍රහයේ පෙරවදනින් පසුව හමුවන පූර්විකාමය කවියයි. චන්ද‍්‍රකුමාර වික‍්‍රමරත්න 80 දශකයේ ජනතාවාදී කවියෙකි යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ සංස්කෘතික ක‍්‍රියාකාරීන් විසින් යුගයේ කවියා සහ අපේ මැක්සිම් ගෝර්කි වශයෙන් ඔහු නම් පටබැඳි වගත් සිය කෘතියේ අටුවාව කොටසේ විස්තර සටහන් කර ඇත.

චූලානන්ද සමරනායකයන් විසින් පරිවර්තනය කරන ලද අයි ලැව්රෙට්සිකි ගේ චෙ චරිතාපදානය කෘතියේ පෙරවදනේ නැවත චන්ද‍්‍රකුමාර වික‍්‍රමරත්න කවියා හමුවන්නේ මෙ කවියත් සමගය.


ගුවන් තලාවෙ ගීතය


අලුත් තෘණ ගොබ මතට

පිනි කඳුලු පොද වැටෙන

තද සීත ගනඳුරෙ

අලුයමෙ මල් පිපෙන

තුන් පරෙවි තටු බිඳී

රුධිර දහරා සැලින

නිදි බරිත මිහිමඩල

කම්පිතව සසලවිනි


ශතවර්ෂ ගණනක් මුලුල්ලේ

කෝටි ගණනක් හදවත් ගැඹුරෙ

වෙදනා බිජුවටින්

උපන්නේ වී ඔවුන්

කැපවීමෙන් පරිත්‍යාගයෙන්

උතුම් මව්බිමෙ නිදහස පතා

ගෙවෙන හැම දවසක්ම දුක්බරය

දවසකට ඉවසන්න බැරි තරම් සීතලය

දවසකට මහා ගිනි උණුසුම්ය

පඳුරු දමමින් වැඩෙන අසත්‍යය

දේශයම රෝගී දුක් බවින් පුරවාය

හැමදාම මේ දුක ඉවසන්න බැරිවාය


නිසල වා ගැබ දෙබෑ කරගෙන

උණ්ඩ ඉගිලුන අලුයමෙ

සත්‍යයේ රතු පරෙවි පැටවුන්

මිහිතලය මත වැතිරුණි

මියදුනේ උන් දරුවනේ

මව් බිමේ නිදහස වෙනුවෙනි

ඒ ලෙයින් සුපිපෙනා හිරු හෙට

නුඹලාගේමය සැබැවිනි

කඳුලු හුරු නැති රුදු කුලී හිත්

නිකුත් කළ ඒ කුරිරු අණටා

පොකුරු වෙඩි තැබූ ගුවන් මිතුරනි

අපේ සිත්වල නැතේ විරසා

ඉකුත් රැය ගණ අඳුරු නම් හෙට

අරුණ රන්වන් රැසින් දිලෙනා

පරෙවියන් අද වැතිරුනත් බිම

දහස් ගණනින් නැවත ඉපදී

රණ බිමෙ පෙරමුණට එන්නා

චන්ද‍්‍ර කුමාර වික‍්‍රමරත්න


1987 වසරෙ දී ආත්මාරක්ෂාව සඳහා වුව ද ප‍්‍රතිප‍්‍රහාර එල්ල නොකොට කටුනායක කඳවුරෙදී දිවි පිදූ වීරවරයින් තිදෙනා වෙනුවෙනි





Thursday, November 13, 2008

දෙවැනි යාමයේ කතාව

දෙවැනි යාමයේ කතාව

දරුවන් බිහි කළ පසුව එන
රාත‍්‍රී කාලවල
හුරු පුරුදු නිර්වසත‍්‍රභාවයෙහි
තෘප්තිමත් නොවී ඔබ
සොයන්නෙහිය
මගේ නොකිලිටි රූ සපුව

පෘථුල සිරුරත්
ප‍්‍රසව ඉරි කුරුටු ඇති උදරයත්
බොහෝ පිලිකුල්ය දැන් ඔබට
අද හෝ හෙටක
නැත්නම් මතු කවරදාක හෝ
මගේ මෙ සිරුර වෙනස් නොවෙතියි
කියන්නෙහි ඔබ
නිහඩතාවයේ තැනි තලා මත
වැළලී තිබෙන මගේ හඩ
මුමුණයි තමන් තුලම හිඳ
ඉතින් ඇත්තයි
මගේ ඇග වාගේ ද ඔබෙ ඔය ඇග ?

විවෘතයි!
පුරසාරම් දෙසමින්
විවෘතව තිබෙ එය බාහිරට!!!

මීට පෙර
කොහේ හෝ කාට හෝ
ඔබෙ දරුවන් ඉපදී ඇති
ඉතින් සලකුණු නැතැයි ඒ ගැන
ආඩම්බර විය හැක ඔබට

මා කුමක් කරන්න ද ?
යටහත් පහත්ව
අවනතව සිටිනවා මෙන් ඔබට
මෙ ප‍්‍රසව ඉරි
පහසුවෙන් ලේසියෙන්
යථා තතවෙට නොඑයි
කපා අලවන්නත්
මගේ ඇග කඩදාසියක් නොවෙයි

ඔබටත් වඩා දරුණු ලෙස
දෙ‍්‍රා්හිකම් කර තිබෙ
සොබාදම් දියත මට
ඔබෙනුයි ඇරඹුනේ
මගේ පැරදුමෙ පළමු අවධිය

පළමු යාමෙට වඩා
දරුණුයි
සිහින වැඩි වන දෙවන යාමය

නිහඩව නිමග්නව
බිතුසිතුවමෙහි සිටි
කොටියා
දෙවන යාමෙ තමයි
වාඩි වී මගේ ඉහ ඉද්දර
තියුණු ඇසකින් බලා සිටියේ
මගේ සියොලග


සල්මා


ඉන්දියානු යොවුන් කිවිඳියකි. මුස්ලිම් ජාතික කාන්තාවක වූ ඇය සිය කවියෙන් සංස්කෘතික සීමා ඉක්මවන මතවාදයක් පළ කරයි. ස්තී‍්‍ර විමුක්තිය ඇගේ කවියෙන් ස්වර නැගෙයි.

ඔරු මාලෙයුම් ඉන්නෙරු මාලෙයුම්
සැඳැවක් සහ තව සැඳෑවක්

ඇගේ එකම කවි පොතයි. එහි වු කවියක් නිලාර් කාසිම් විසින් පරිවර්තනය කර ඔහුගේ සහෝදර පියාපත් කවිසරණියේ අන්තර්ගත කර ඇත්තේ තවත් බොහෝ එබඳු විවිධ කවියන්ගේ නිර්මාණ ද දෙමලින් සිංහලට පරිවර්තනය කරමිනි.

Wednesday, November 12, 2008

අමු මස් කෑල්ලෙ කතාව

අමු මස් කෑල්ලෙ කතාව

හිතමු අපි අමු මස් කෑල්ලක් අනුභව කරන්නට යෙදුනේ යැයි.වඩාත් ජුගුප්සාජනක උදාහරණය නම් අපි පණ පිටින් ජීවියෙක් ගිල දැම්මා යයි සිතමු. දැන් අපගේ ආමාෂය මෙ ආහාරය ජීර්ණය කර ගැනීමෙ ව්‍යාපෘතිය අරඹයි. මෙහිදී ජීවය සහිත ගොදුර සහ ජීවය සහිත ආමාෂය යන දෙකෙන් ගොදුර පමණක් ජීර්ණය කර ගැනීමෙ අවස්ථාව හමු වෙ. එය අපගේ සුලභ අත්දැකීමයි. ඉතින් කුමක් ජීරණය වන්නේ දැයි තීරණය වන්නේ කෙසේ දැයි යන ගැටලුව වෙත ආමාෂය ගමන් කරයි. ඇත්තටම වෙන්නේ මොකද්ද

1 ජීවය සහිත ගොදුර ජීරණය වීම
2 ජීවය සහිත ආමාෂය ජීරණය වීම
3 ජීවය සහිත ගොදුර සහ ජීවය සහිත ආමාෂය යන දෙකම ජීරණය වීම
4 කිසිවක් ජීරණය නොවීම

මොහොතකට අපි අපේ මොළය ආමාෂය සමග සමපාත කරමු.
මෙහිදී ආහාර යනු මතවාද යි.
සොබාදහම යයි අප නාමකරණය කල දෙය තුල සිදුවන්නේ ආමාෂය විසින් ගොදුර ජීරණය කිරීමයි.
අප විසින් කතිකාවට ලක් කරන බොහෝ දේ ද මෙබඳුම තීරකයන් හරහා ගමන් කරවන්නට සිදු වන්නේය.

එහිදී බොහෝ විට ආමාෂය බෙරා ගෙන මතවාද ජීරණය කර ගැනීමෙ වගකීම කියවන්නන්ටය...

කල්පනා ලෝකය

කල්පනා ලෝකය

මගේ හිත තුල

කැරලි ගසන
නන්නාඳුනනයන්
පිරිසක් විසින්
සහමුලින්
වනසා



ලද්දෙන්
කල්පනා ලෝකයක්

මෙතන නැත...

Tuesday, November 11, 2008

තුෂාරි ගෙ කවියක්...සඳ පායා

සඳ
පායා
(rea) කළුවරට
සොයයි
සඳ එළියක් !

- තුෂාරි පි‍්‍රයංගිකා-

මෙම නිර්මාණය ගැන ඉතා කෙටියෙන් හෝ යමක් ලිවිය යුතු වන්නේ මා කලාතුරකින් අහම්බෙන් රස විඳින්නට යොමු වූ අතිශය ගුප්ත වූ යම් දෙයක් මෙම නිර්මාණයේ ගැබ්ව ඇතැයි මට දැනෙන හෙයිනි.

කල්පනාලෝකයේ එක් පරිච්ඡේදයක මෙසේ දැක්වෙ.

බොහෝ විට කවියා වර්ණනා කරන සිදුවීම් ඇත්ත ව ශයෙන් සිදු වූයේ කෙසේ දැයි ඔහු නොදනී. ගුත්තිල පඩිතුමා හා මූසිලයා ද අතර වූ වීණා වාදය කෙසේ සිදු කරන ලද දැයි වෑත්තෑවෙ හිමියන් දැන සිටියේ නැත. උන්වහන්සේට එය දැන ගන්ට ලැබුනේ ආරංචි මාත‍්‍රයෙන්ය එනම් ජාතක පොතෙහි කියවෙන ප‍්‍රවෘත්තියෙන්ය. ඒ වර්ණනාව කියවන පාඨකයා වීණා වාදනය සිදු වූයේ වෑත්තෑවෙ හිමියන් කියන සැටියෙන් ද නැතහොත් වෙන සැටියකින් දැයි නොසිතයි. වීණා වාදනය සැබවිනුත් සිදු වූයේ එසේ යැයි ඔහු අදහයි.

- වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද‍්‍ර

මෙ කවියේ එන සුලභ රූපකය වන සඳ අඳුරෙ පායා තම ආලෝකය නැවත සොයා යන්නේ කෙලෙස දැයි කවියා නොදනියි. එය අපි දු නොදනිමු. එහෙත් කවියක ඇති වෙනස ද මේම වෙ. එය අප දන්නා භෙෘතිකය ඉක්මවා යන පාරභෙෘතිකයන් කරා පාඨක මනස රැුගෙන යාමට බල කරයි. නොහොත් අණ කරයි.

දෙවනුව

Jacques Derrida took an hermetic view of language. Words refer to other words, not to things or thoughts. His quarrel was with 'logocentrism', that assumption (as he saw it) that we have an idea in our minds which our writing or speaking attempts to express. That is not at the case. No one possesses the full significance of their words. Texts in some sense write themselves: i.e. are independent of an author or his intentions.

source: http://www.poetrymagic.co.uk/literary-theory/derrida.html

ස්වාභාවධර්මය තුල වු අස්තිර ලෝකයත් පාරභෘතික වූ මිනිසා නිර්මාණය කර ගත් කල්පනාලෝකයත් ගැන පසුවට ලියමි.