Friday, March 25, 2011

ගංගා ගැන මගේ මතකය

ගංගා ගැන මගේ මතකය

මා ඉතා කුඩා කල මගේ අම්මා සහ අක්කා සමග නිල්වලා ගඟ, මහානාම පාලමෙන් තරණය කර ඇස්කේ සිනමා ශාලාවේ සිනමා පට නරඹන්නට ගිය හැටි මට සිහි වේ. සැඩ සුළං- මාතලං- සිකුරුලියා- කොළඹ සන්නිය යනාදී සිනමා පට මා නැරඹූවේ පියරු ඉලූ මුහුණින්ය; කන් දෙපසින් තැඹිලි තෙල් බේරෙන බුරුසු කොණ්ඩයෙන්ය; අල්පෙනෙත්තකින් ඇමිණු ත්‍රිකෝණාකාර ලෙස නැමූ ලේන්සුවක් කමිස සාක්කුවෙ එල්ලගෙනය; කළු පාටින් පොලිෂ් කළ සපත්තු කුට්ටමක් පැළඳගෙනය; මේ සියල්ල මගේ සිරුරේ දවටා අම්මා මා බෑරක් කැඳවා යන්නට දරන උත්සාහය මට ඉමහත් වදයක් විය. අවසානයේ අක්කා ගේ ද උපකාරයෙන් මා සූදානම් කර අවසන් වන්නේ බෑඟිරි ගසමින් හඩනා මා වෙත නොයෙක් පොරොන්දු දෙමිනි. ඒ පොරොන්දු අතර රටකජු ගොට්ටක් ඇත්තේය; "පාලමේ ප්‍රශ්නයට" නියත පිළිතුරක් දෙන බවට පොරොන්දුවක් ද ඇත්තේය.

මගේ ඇඳුම් ආයිත්තම් සැරසිලි අවසන් වූ පසු අම්මා ද අක්කාද හැඳ පැළඳ ගන්නා තුරු මට කුෂන් පුටුවක ලැග වැතිර හඩමින් සිටින්නට අවසර ලැබේ. අපේ අම්මා අපව සිනමා ශාලාවට ගෙන යන්නේ එසේ සරසා ගෙනය. අම්මා සහ අක්කා ඇවිදින වේගයෙන් ඇවිදින්නට අපහසු මා හට සමහර විට දැනෙන්නේ මා පුවක් කොලයක තබා ඇදගෙන යන සෙල්ලමක මෙන් අම්මාගේ සිරුරට කොක්කකින් එල්ලා ඇදගෙන යන්නා සේය. කෙසේ හෝ මා මාතර නිල්වලා ගංගාවේ පාලම උඩින් ඇවිද යද්දී මට දැනෙන්නේ අහසේ පියඹා යන කුරුල්ලෙකුගේ උද්දාමයකි; මායාකාරී දසුන් පෙළකට නිරාවරණය වීමකි. මන්ද යත් මගේ ඇස් මට්ටමින් පාලමේ සිමෙන්ති පොලු අතරින් ඉපැරණි නටබුන් යකඩ පාලම සැන්දෑවේ හිරු රැස් කාගෙන බැබලෙන නිල්වලා වතුරෙන් මතුව ජරපත් අඟුරු පැහැ රාක්ෂයෙකු මෙන් මගේ දකුණු පසින් දිස්වන බැවිනි. මා මහානාම පාලමෙන් එතෙර මෙතෙර යන හැම වාරයකදීම අම්මාගෙන් අසා අතිශය අතෘප්තියට පත් වන එකම එක පැණයක් තිබුණි. එයට පිළිගත හැකි පිළිතුරක් ලබා දීමට අම්මා දින වකවානු රහිතව පොරොන්දු වන්නීය. මේ පාලම හරහා යන සෑම ගමනකදීම පොරොන්දු පරිදි මම අම්මාගෙන් ඒ පැණය අසමි. එනම් සිනමා ශාලාව වෙත යන ගමනේ දී දුටු එම ජරපත් රාක්ෂ වේෂයෙන් යුතු යකඩ මළකඩ පාලම අප චිත්‍රපටය නරඹා රාත්‍රියේ එද්දී ගං පතුලේ ගිලී යන්නේ මන්දැයි යන පැණය යි. හවස හයයි තිහේ සිනමා වාරය අවසානයේ රාත්‍රී අටට පමණ අම්මාගේ අතේ එල්ලී මහානාම පාලමේ සිමෙන්ති අත්වැට මගේ දකුණු පසින් පවත්වා ගෙන නැවතත් ගමන් කරද්දී ඉපැරණි පාලම ඇත්තේ පාලමේ අනෙක් පස බැව් මට නොවැටහේ.නොපෙනේ. රාත්‍රී අටට පමණ පාලමේ තැනින් තැන දැල්වෙන කහ පැහැති මළානික ලයිට් කණුවලින් ගිලිහෙන ආලෝකයේ ගිලී ගොස් ඇති ගැඹුරු ඝණ අන්ධකාර ගඟ මතුපිට අවකාශය, මුළු ලොවම වසා ගත් කළු කුඩයක් දිග හැරියාක් මෙන් දිස් වීම මේ සියළු භයංකර දේ ඇස්පනා පිට මවා සත්‍ය වසංකරන්නට අනුබල දේ. අනිත් අතට මාගේ තරමේ හැටියට, මට පාලම මහා විශාල පළලකින් දැනෙනා බැවින් මගේ දකුණු අතට සාපේක්ෂව මනසේ පිහිටුවා ගත් පරණ කළු යකඩ පාලම අනෙක් පසින් සිටීම වටහා ගැනුමට වඩා එම පාලම ගඟේ ගිලී ඇතැයි සිතීම මට පහසුවකි. මට අනුව එය නිවැරදිය. නමුත් අම්මා මගේ ප්‍රශ්නය ට පිළිතුරු දී වෙහෙස වන්නී අවසානයේ පවසන්නේ "අනේ ගොං පැටියෝ අර පැත්තේ පාලම තියෙන්නේ" යනුවෙනි. එය මට ඒ කාලේ කොහොමටවත් පිළිගැනීමට අවශ්‍ය නොවීය. මට දැන ගැනීමට අවශ්‍ය පරණ පාලම රාත්‍රියේ ගිලී ගොස් නැවත සැන්දෑවට මතුව ඒමේ අභිරහස් යාන්ත්‍රණය පමණි.

මේ පාලම් පළහිලව්ව මෙතැනින් නොනිමේ. පරණ පාලම ගඟ පතුලේ ගිලී යන්නේ හැන්දෑවට හිරු අහසේ කෙළවරින් ගිලී යන්නා සේම යැයි මම සිතුවෙමි. මෙය හිරු බැස යාම හා සමගාමී බැවින් මගේ මනසට සැහැල්ලුවකි. නමුත් මේ ගිලී යාම ගඟ සහ එහි ගැඹුර පිළිබඳ මා තුළ ඇති කළේ විශ්මයකි. බියකි. කුඩා කල මා නිතර ඇසු කතා අතර මා වඩාත් උද්‍යෝගයට පත් කළේ ගෝනි බිල්ලන් ගැන කතාය. කරවල වාඩිවල වැඩ පිණිස කොලුගැටයන් රැගෙන යන්නට නගරයට එන ගෝනි බිල්ලන් ගැන අසා මට තිත්ත වී තිබුනෙන් මා නිරන්තරයෙන් බලා සිටියේ එවැන්නෙක් පැමිණ මා අරං යන්නේ කවරදාදැයි සිතින් මවා ගනිමිනි. මගේ සිතේ සිටි ගෝනි බිල්ලා කළුපාට සීනි ගොට්ටක් වැනි තොප්පියකින් මුහුණ ආවරණය කර ගෙන සිටියේය. ඒ කතන්දර පොතක සිටි මායාකාර මිනිසකුගේ රුවකින් මා නිමවා ගත් රූපයකි. සැබැවින්ම ගෝනිබිල්ලෙකු දුටු දිනෙක එම චිත්ත රූපයට සමු දීමට නියමිතව තිබුණි. නිතර මා බිය පත් කරවන දෑ කියන මහලු මාටිං අයියා, නොහඳුනන අයෙකු මා වෙත කැඳවා විත් කීවේ ඔහු බිල්ලෙකු බවත් පොල්තෙල් ගා මාවද ගිල දැමීමට ඔහු සූදානම් බවත්ය. මා මාටිං අයියාගෙන් රහසේ විමසන්නේ ඔහු ගෝනි බිල්ලෙකු නම් ඔහුගේ ගෝනිය කොහිදැයි කියාය. එවිට ඔහු ආගන්තුකයාගේ බඩ පෙන්වා මේ තමයි ගෝනිය යැයි පවසන්නේ ය. මා නරක ළමයෙකු වුවහොත් නොවරදවා ඊළඟ සුමානේ ආගන්තුකයා පැමිණ මා පොල්තෙලේ පොඟවා ගිල දමන බව මාටිං අයියා මට කීවේ ඉමහත් බැරෑරුම් කමකිනි. ගිල දැමීම පිළිබඳ කිසිදු බියක් මට නොවීය. එනමුත් නැවත මා එළියට ගැනීමේ ක්‍රියාවලිය ගැන මට නොයෙක් සැක සංකා තිබුණි. කෙලෙසකවත් පස්ස පැත්තෙන් නම් ඒමට මගේ සූදානමක් නොවීය. මා නැවත වැමෑරිය යුත්තේ ද කටින්ම බව මගේ දැඩි ස්ථාවරය විය. මේ සියල්ල මට සත්‍ය දේවල් විය. එහෙයින් ගංගාවට පරණ පාලම ගිල දැමිය හැකි වීම මට පුදුමයක් නොවීය.

ගංගාවකට පාලමක් ගිල දැමිය හැකි නම් එහි ගැඹුර කොතරම් විය යුතුදැයි මම සිතුවෙමි. එය මහ පොලවේ නොපෙනෙන- මිනිසෙකුට නොසෙවිය හැකි ගැඹුරින් යුත් ප්‍රපාතයක අග ඇති තවත් ලෝකයක් දක්වා වතුර අරං යන්නා වූ මහා පැතැලි ලිඳක් යැයි මම මනසින් මවාගෙන සිටියෙමි. අපායට වතුර ගෙන යන්නේ මාතර මහ නගර සබාවේ බටවලින් නොව මහානාම පාලම යටින් ගලා හැලෙන නිල්වලා නදියෙන් විය යුතුයැයි සිතන්නට මේ දත්ත මට ප්‍රමාණවත් විය. කලකට පසු හොඳ නරක භේදයකින් තොරව මිනිසුන් අපායට යැවීමට නිල්වලා ගඟේ දිය දහර උදව් වූ හැටි මට මතකය. ඒ අසූ ගණන්වල අගදීය. එකල මා ද ගැටවරයෙකි.

මා කුඩා කල දැක ඇති ළිං පවා අතිශය ගැඹුරු විය. පෙඳ පාසි තෙත බරිත විවිධ පැළෑටි පඳුරු සිලින්ඩරාකාර පස් බිත්තියේ වැවුනු අඳුරු කුහරයක් වන් ආච්චිලැයි ගෙදර ළිඳ පතුල පෙනෙන්නේ ටික් බෝලයක වපසරියෙනි. එම ළිඳට මාසෙකට පමණ වරක් මා එබී බලන්නේ පුරුද්දක් ලෙස මා නඩත්තු කළ එම ගැඹුර පිළිබඳ බිය පවත්වා ගැනීමේ චේතනාවෙනි. බාගවිට ආච්චිලැයි ගෙදර ලිඳෙන් අපායේ වදකයන් මතුවිය හැකියැයි සිතා සිටියෙන් එම පරීක්ෂා කිරීම් රහසේ සිදු කරන්නට මා තීරණය කර තිබුණේ එවැන්නෙක් දුටුවොත් සිතුවමකට නගා ගැනුමට ප්‍රමාණවත් තරම් වෙලාවක් ඔහු දෙස බලා මනසේ සටහන් කරගත යුතුය යන තිර අදිටනිනි. එකල ගුරුසේවයෙන් විශ්‍රාමික සීයා මා හට නිතර පවසන්නේ මනසින් දේවල් මවාගෙන සිතුවමට නගන ආකාරය ගැන පුහුණු කළ යුතු උපක්‍රම ගැන නිසා මේ අභ්‍යාසය ද මට ඉමහත් වැදගත් විය. සීයාගේ උපදෙස් පරිදි අහසේ වළාකුළු දෙස බලා සිටි දිනෙක මා දුටු දේවල් තාත්තාට කීමෙන් මා ලද එකම දේ සති අන්තයේ ආච්චිලැයි ගෙදර යාමෙන් මාගේ ඔලුව නරක් විය හැකි බවට අම්මාට අවවාදයක් දෙනු දැකුම පමණි. තාත්තාට රහසින් චිත්‍ර කර්ම උපදෙස් මා සීයාගෙන් ලබා ගත යුතුයැයි එදින මම උදක්ම තීරණය කළෙමි. සීයා පැට්‍රල් ලාම්පුවේ ආලෝකයෙන් අතැඟිලි හසුරුවා එහි සෙවණැලි ආශ්‍ර යෙන් බිත්ති මත කළ මැජික් සංදර්ශන නිසාවෙන් ඔහු ගැන අතිශය පැහැදීමක් මා වෙත තිබුණි. ඊටත් වඩා මා ප්‍රිය කළේ සීයා හැන්දෑවට හොඳට රා බී ආච්චිගේ "බොඩියක්" ඇඳගෙන අමුඩය පිටින් ගෙමිදුලේ නටමින් "මගෙ රත්තරං හෙලේනා" සිංදුව ගායනා කරනු දැකුමටය. එම ගීතයේ "කවුද" යන කොටස සීයා අධිරංගනයෙන් මහේශාක්‍ය විලාශයක් පා මුමුණන විට මා අත්පුඩි තලා කොක්සන් පා සිනාසෙනු දකින ආච්චි කේන්තියෙන් නලියන හැටි මට අඳුරේ පෙනේ. කෙසේ වුවත් මා සිතා සිටියේ මගේ සියළු ප්‍රශ්නවලට පිළිතුරු සීයා ළඟ ඇතැයි කියාය. සීයා සතුව පැවති "මාස්ටර් වීවර්" නම් වූ ත්‍රිමාන ඡායාරූප නරඹන යන්ත්‍රය මා අත පත් වූයේ සීයාගේ සුවච කීකරු ගෝලයකු ලෙස මාව විශ්වාස කරන්නට පෙළඹුනු යම් දිනෙකය. එම බයිනොකියුලරයක් වන් උපකරණයෙන් මා දුටු ත්‍රිමාන රූප සැබෑ ලෝකයේ මා දකින කඳු- සිඛර- ගංගාවලට වඩා මනස්කාන්ත විය. ඒ රූප අතර නයගරා ඇල්ලේ රූපයක් ද වූ බැව් මට මතකය. මා සීයාගේ ඇසුර දුටුවේ ඉන්ද්‍රජාලිකයෙකුගේ අත්වැසිභාවයක් ලබන්නා සේය. සීයාගේ චිත්‍රකර්ම උපදෙස් නිසාවෙන් ආච්චිලැයි ගෙදර ළිං පතුල මට පෙනුණේ බිම් කුහරයේ වූ යක්ෂ විමානයකට පැතිරුණ ජලයෙන් වැසී ගිය රහස් දොරටුවක් ලෙසිනි.

මා සිතා සිටි තරමට වඩා මහ පොලව ගැඹුරු විය යුතු බැව් මම ඒ දවස්වල මහානාම පාලමෙන් එගොඩ මෙගොඩ යද්දී කල්පනා කළෙමි. අපායද ඇත්තේ කතන්දර වල එන තරම් පොලව පලා ගොස් ස්වාභාවිකව වැටෙන්නට නියමිත තරම් කිට්ටුවක නොවේ යැයි මම සාක්ෂාත් කරගත්තෙමි. අපායට යාමට වුවද දක්ෂ පිනුම් කරුවකු විය යුතුයැයි ද ඉතා ඉහළ උසකින් පනිද්දී සමබරව දෙපතුල් පොළවේ තබා ගන්නට නිසි පුහුණුවක් නොලද්දොත් අපායට යන ගමනේ ද කිසිදු වැඩක් නොවන්නේ යැයි සිතූ මම නිතර පුටුවලින් මේසවලින් බිමට පැන එම දක්ෂතාව පුහුණු කරන්නට ද කාලය මිඩංගු කළෙමි. ඒ දවස්වල මට දේවදත්ත, බුදුහාමුදුරුවන්ට වඩා වීරයෙක් විය. මන්ද යත් ඔහු යහතින් අපායට ගිය බැව් වෙසක් තොරණ්වල කතාන්දරවලින් අසා තිබුණ බැවිනි. දුෂ්කර භයංකර තැනකට මිනිසෙකු තම කැමැත්තෙන් යාම "වීරත්වයක්" යැයි එකල මට සිතුණි. මට ඒ කාලයේ අපාය සියැසින් දැක ගැනීමේ වුවමනාව දැඩිව තිබුනේ වෙසක් කාලයට පෙන්නූ කෘත්‍රිම අපායවල් මගේ චිත්තාභ්‍යන්තරය කම්පනය කරවන්නට තරම් ප්‍රමාණවත් නොවූ බැවිනි. බියකරු සිහින දැකීමේ වුවමනාව කොතරම් වී ද යත් සීයා සමග රාත්‍රියේ පන්සිල් ගැනීම මග හැරීමට කළ හැකි සියල්ල මම කළෙමි.

මේ අයුරින් ගංගාවක් දකිද්දී මා සිතේ ඇතිවන එහි ගැඹුර සහ ගං පතුල පිළිබඳ කල්පිතයන් මගේ මනසේ දැඩි රේඛා ඇඳ හමාරය. දැනුදු ගංගාවක් මතුපිට පාලමක් තරණය කරන විට මගේ මනසේ සවිඥානික සිතුවිලිවලට රහසින් ඇඳෙන්නේ එහි ගං පතුල පිළිබඳ කුඩා කල මා මනසින් මවා ගත් සිතුවම්මය. වයසින් මුහුකුරා ගොස් ගංගාවල් සහ ඒවායේ හරස් කැපුම් පිළිබඳ කොතරම් භූ ගෝලීය සහ ඉංජිනේරුමය මොඩලයන් මගේ මනසේ පැලපදියම් වුවද මේ ඉපැරණි මතකයන් විසින් නිමවා ඇති ගුප්ත චිත්‍රාවලිය මා මනස පසුබිමේ චලන චිත්‍ර මවන්නේ අනියත- අවිනිශ්චිත බියක් මා තුළ ජනිත කරවමිනි. මේ ඇතිවන ගුප්ත බිය කවරේදැයි සොයා අතීතය කරා මනසින් කරන ගමනේ ද හිස්තැන් -රික්තක නැත්තේ නොවේ.

ඊජිප්තුවේ නයිල් ගංගාව උඩින් වැටී ඇති පළල් පාලමෙන් එගොඩට ඇවිද යද්දී සිතේ දැවටුනේ ද ඒ සිතුවම්මය.


කාල ගං තීරයෙහි
පහළට මිසක
ගමනක් නැත
ඉහළ කඳු සිඛර වෙත නැවත

අවසිහියෙන් විටෙක
හමු වෙයි ඉහළ ගං මිටියාවත
නොරැඳෙයි මොහොතක් පමණ
බිඳෙයි සිහිනෙන් ඇවිදුම- දිය රළ ගැටෙන විට පා මත

සිහියෙන් බලා සිටිනා සඳ
ගංගා ගලයි පා අක්වක් හැඩ රුව
බොල් පත්- පිණි කැට රූටන රුක් අත් මත
රැගෙන යන රොඩු බොරඩු මෝය කට වෙත

අවසඟ ජීවිතයේ පරාජිත කවන්ද සැකිලි
හෙට්ටු වී ශ්‍රමයේ විඩාපත් නිල් මිණි
බිඳී ගිය පෙම් සිහින කිරිගරුඩ රවුම් ගල් කැටි
තැලී සුමටව පොසිල වනු පිණිස භූ ගැබ දැවටී

අවසිහි ලද සැණෙක සිහි ජීවිතය කෙළවර
දකියි පළමු දිය බිඳිති සිපින මහ සිඛර තුඟු සිරස
ආකාශ මහ තල මතින් වෑහෙන දෙව්දුනු ස්පර්ශ කර
දීප්තියෙන් බබලන
හිරු සදිසි අනන්ත පිණි බිඳිති බල මුළු කැල

ප්‍රේමයේ දාහයෙන්
සංතෘප්තියේ සෞම්‍ය බවින්
මෘදු වූ
අනන්ත පිණි බිඳිති...
කාලයේ හැරවුම් ලක්ෂ්‍යවල
දැනුදු සෙමෙර සලමින්
මද මදව දිස්න දෙන
බැලූ විට සැඟැවෙන!

කිසිවෙකුත් ඇස ගැටුනද
නොහඳුනන
සිහි නිසා පසිඳුරන් නොමග දුර ගෙන යන
ගමන නොදැනම ගමනේ යෙදෙන
කාල ගං තීරයේ
රොන්මඩව
ගතු කියන සිහි සහ සිහින දුක්බර!

03/2011

ප.ලි.

මෙහි සඳහන් කළ මාස්ටර් වීවර් උපකරණය ගැන මම අන්තර්ජාලයේ කළ සොයා බැලීමේ දී හමු වූයේ එහි නම වීව් මාස්ටර් බවයි. මට සීයා එම උපකරණයට කී නමින් මතකයේ තිබුණ අයුරින් මෙහි සඳහන් කළෙමි. මා මෙම උපකරණය 1977 දී පමණ දුටුවාට පසු කවර කලෙකවත් නැවත දුටුවේ නැත. දැන් මෙය වෙළඳ පොලේ දරුවන්ගේ සෙල්ලම් බඩුවක් ලෙස විකුණන්නට ඇති බැව් දැන ගතිමි. සීයා ඒ කාලයේ හැටියට මුල් ගුරුවරයෙකු ලෙස විශ්‍රාම ලද්දෙකි. එකල මුල් ගුරුවරයා යනු එක් අතෙකින් සියළු විශයයන් උගැන්වීමෙහි සමතෙකි. අනෙක් අතට පාසැලේ ප්‍රධානියා ය. මා ගණිතයට ඇලුම් කරන්නට ගන්නේ ද සීයාගේ පෙළඹවීමෙනි. ඔහු ගණිත ප්‍ර හේලිකා සම්භාරයක් දැන සිටි අතර මට ඒ සියල්ල ඔහු සමග විසඳන්නට සිදුවූයේ 83-88 කාල වකවානුවේදීය. 1988 දී සීයා අප අතරින් වියෝ විය. ඔහුගේ නම වින්සන්ට් කොටවිලය.

ඉහත රූපයේ දක්වා ඇත්තේ මා දුටු වීව් මාස්ටර් උපකරණය මය.

1 කුළිය:

kaviya said...

"සුන්දර අතීත මතකයන් සමග ලියා ඇති මෙම ලිපිය දැනුමක්ද ලබාදේ අය්යා සදහන් කල උපකරනය ඉතා අගනේය.මම එය සොයමි"