Monday, January 10, 2011

කවිය දිව්‍යමය ප්‍රචණ්ඩත්වයේ තවත් මානයක-දකුණු කුරු දිව් කව්!

දකුණු කුරු දිව් කව්
ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය

සංස්කරණය
රසික සූරියආරච්චි
හෙන්රි කුමාරප්පෙරුම


ඇබොරිජින්ස්ලා කවි තුළ හැඟවුම්කරණය කරන යථාර්ථය

දකුණු කුරු දිව් වසන ලාංකික කවියෝ එහි මුල් පදිංචිකරුවන් කෙරෙහි ඉමහත් කරුණාවකින් සහ හෘදයාංගම දැක්මකින් ඔවුනගේ ඉරණම කවි කරන්න නොමසුරු වෙති. මේ සැබැවින්ම කුමන අවිඥානික ප්‍රකාශනයක් ද?

වසර හැට දහස් ගණනක් මෙරට තුල
ඇබොරිජිනි නමින් හඳුනන මිනිස් කැල
දඩයම් කර කමින් බුදිමින් වනෙහි පල
විසු‍වෝ පොලෝ තලයට නොම කර අපල

පිටුව 2-by Editors

රන් රුවන් පබලු මිණි
මිදි ඇපල් පල දැරිණි
ඇබොරිජිනි හඩ මැකිණී
සුදු දනන්ගෙන පිරුණි

පිටුව 5-by Editors

ආදිම වැසියනගේ වත ගොත ඇසුනු සැනේ
පීදුනු සිතැඟි විය දුක්බරව ඇස කොනේ
සාරය අනුන් සතුයෙන් එ දන දින දිනේ
පෑරෙන හදිනි දිවි මග ගෙවෙත තැන තැනේ

පිටුව 6-by Ubayasiri Wijayananda Wickrema

දුටු දුටුවන්ගේ හදවත් උණුවන ලෙස ට
වේදනා බරව නෙත නැගි කඳුළු කැට
තම වර්ගයාගෙන් සිදුවූ ගැන ගැහැට
සමාව අයැදුවා මේ අය ඉදිරිපිට

පිටුව 10 -ආදිවාසික ළමුන් පැහැර ගැනීම by Senehelatha Rathnayake

ආදිම වැසියනගෙ ජීවන මග පාදා
රළු දිවි පෙවෙත හොබවති එහි නැත බාදා
සේවා සැමට යයි නම් එ‍කලෙස සාදා
නොසතුට කිමද තුට ළං වෙයි සැප පාදා

පිටුව 17-by Henry Kumarapperuma

සත්‍ය වශයෙන්ම ඕස්ට්‍රේලියාවේ වාසයට යන ලාංකිකයන් පළමුවෙන් අත් දකින ඔවුනගේ පහළ ජීවන මට්ටම ගැන ඔවුනට ඇති එකම සැනසිල්ල ඇබොරිජින්වරුය. මෙය සවිඥානිකව ප්‍රත්‍යක්ෂණය වී දෙවනුව අවිඥානික ෆැන්ටසිය නිර්මාණ වීමට පෙළඹෙන ප්‍රාථමික සාධකය යි. දෙවනුවද ලාංකිකයන් කෙසේ හෝ රැකියා අවස්ථා උදා කරගෙන පිළිපන් ජීවි‍තයේ නිමක් නැති පීඩාවන් සමනය කර ගන්නා ආර්ථික ක්‍රියාවලිය තුළ තමන්ට වඩා පහලින් සිටින එකුදු මිනිස් කණ්ඩායමක පැවැත්මක් තහවුරු කරන්නේ ද මේ ඇබොරිජින්වරුමය. මේ තමන්ට වඩා දුෂ්කර ජීවිත ගත කරන ගෝත්‍රික ලක්ෂණ විදහා දක්වන නොදියුණු ජන කොටසක් වන ඇබොරිජින් ජන කොටස් දෙස බලා තමන් අත්දකින සාපේක්ෂ හොඳ ඉරණම ගැන සතුටු වීමකි. එය ඔවුන් අත්විඳින්නේ අවිඥානික ෆැන්ටසියක් ලෙස වෙස් ගන්වා ය. ඇබොරිජින්වරු ඕස්ට්‍රේලියාවේ නොවූයේ නම් ඔවුනගේ තැන ගන්නට මානසිකව සංවිධානයවන්නට සිදුවන්නේ ලාංකිකයන් වැනි දුප්පත් නොදියුණු රටවලින් එහි ඇදී ගොස් සිටිනා අයටමය. මන්ද යත් තමාගේ ඉරණම සසඳා බලා ගැනීමට තමන්ට වඩා පහලින් කිසිවෙකු නොපවතින තාක් තමන්ට විඳවන්නට සිදුවන්නේ සමාජ සංස්ථාව පතුලේම මණ්ඩි ලෙස සංශුද්ධ වූ තරමට සාපේක්ෂව අහස්ගත වූ මහා ‍අනේකත්වයේ පරිපූර්ණ අණ පමණකි. සැබැවින්ම ඇබොරිජින්වරු ගත කරන ජීවිතය ගැන ලාංකිකයන්ට ඇත්තේ අවිඥානික සතුටකි. ඇබොරිජින්වරු ලාංකිකයන්ගේ ගෞරවය ආරක්ෂා කර දෙති. ඒ වෙනුවට ලාංකිකයෝ ඔවුන් වෙනුවෙන් කිඹුල් කඳුලු සලති. ඔවුහු දුක් නොවින්දේ නම් ලාංකිකයාට ප්‍රමෝදය ජනනය වන යථාර්ථයක් මතුකර ගැනීමේ ෆැන්ටසි තිර කඩක් ඕස්ට්‍රේලියාවේදී හමු නොවන්නේය. අප වටහා ගත යුත්තේ මේ ව්‍යාජ කෘත්‍රිම ප්‍රෝඩාව නොව යථාර්ථය තුළ ඇබොරිජින්වරුන්ටත් ව‍ඩා අපේ ලාංකිකයෝ ගෝත්‍රික බවය.

කඳු හැපීම

දකුණු කුරු දිව් වැණුම් කවි තුළ අපට නිතරම අත්දකින්නට ලැබෙන්නේ කවියන් විසින් මනෝමය චාරිකාවලට සහෘදයන් කැඳවා ඔවුහු නිබඳවම කඳුමත හප්පමින් කරනු ලබන අලංකාරෝත්තමවාදී වචන ක්‍රීඩාවයි. කන්දක් ගැන සඳහනක් නැති කවියක් සොයා ගැනීම දුෂ්කර වන තරමටම මේ වැණුම් කවි තුළ කඳු ඇත්තේය. මෙම ස්වභාවික වර්ණනා වල නාම පද ලාංකික නාමපද වලින් ද ලෙහෙසියෙන් ප්‍රතිස්ථාපන කළ හැකි බැවින් එහි ඕස්ට්‍රේලියානු සාරය යැයි දෙයක් සොයා ගත නොහැකිය. එනමුත් මේ කවි දිගින් දිගටම ලියැවෙන බැව් ස්ථිරය.

නිම්නය ඇත ඇදී යන්න
මහ බෙදුමකි සිකර ගොන්න
දිය දෝතක් නුදුටු තැන්න
අහස පොලොව සිඹින වැන්න

පිටුව 11 by Editors

මනහර උයන් ගැවසුන වතු මලින් සැදී
පැහැසර නිහඩ බව දිවියෙහි පහස විඳී
සුමිහිර ගෙනෙන මදු මීවිත පෙරයි මිදී
පලතුර ගමන යයි මුලු ලොව රසය දිදී

කුල්මත් කරන මිදි ‍රස ලොව දෙතොල් සිපී
කල් යල් බලා වට වැසි ගං ඉවුරු සිපී
නිල් කඳුකරය පිස එන මද නලෙහි හැපී
මල් ගොමු සලිත වෙයි මනහර ලෙසිනි පිපී

අතහැර "මරේ" හිම "ඩාලිං" සොයුරි දැකී
දෙනියර දොඩම් "පීචස් ප්ලම්" රසය රැකී
එනුවර මැදින් බිඳිනා ගඟ ටොරන්ස් ඉකී
දියවර මතින් මැවු සිරියකි දකිනු සකී

පිටුව 13-by Henry Kumarapperuma

සිව් වට පවුරු බැඳි මනරම් කඳු පෙලකී
දියවට වැව් පොකුණු ගලනා සිසිලස කී
කදිමට ගොඩ නැඟුනු මංමාවත් රැසකී
මිහිබට සුරපුරකි මෙය තව්තිසාවකී

පිටුව 14-by Jayaprakash Upasena

ලාංකික ඕස්ට්‍රේලියානුවාට මිනිස් ආත්මය ට වඩා භෞතික ලෝකයේ ජ්‍යාමිතිය නිතර කාව්‍ය ප්‍රස්තුත බවට පත්වීම දූපත් මානසිකත්වයේ සීමා විසින් ඇති කළ සංවෘත බැව් අතිවිශාල අවකාශීය විවෘත භාවයක් තුළ දී හමුවන පුපුරා යාමේ අස්ථායී මොහොතයි. මොවුන් සියල්ලටම මේ ‍මොහොත පසු කර යාම ක්ෂතිමය අත්දැකීම් රාශියකට තම ආත්මය එලිදරව් වීමේ වේදනාත්මක සනතුෂ්ටිය හෙවත් ප්‍රමෝදය නිර්මාණය කරයි. මේ කවියන් ට මිනිස් විෂය හමුවන්නේ කඳු ගංගා විල් පොකුණු හිම පලතුරු කුරුල්ලන් සියල්ල පසු කළ අහවර වූ විටය. මිනිස් ජීවිතය ස්පර්ශ කරන කවි අල්පයක් ඇත්තේ යැයි සැලකිය හැකි තරමට මෙම කවි ධ්‍රැවීකරණය වී ඇත්තේ ජ්‍යාමිතික වශයෙන් සිදුව ඇති දෘශ්ටිමය ප්‍රසාරණයන් අවකාශයන් සහ ඒවායේ සංගත රිද්ම විසින් ජනනය කළ ගොඩයාට මැජික් යන සංකල්පයයි. ඇත්ත වශයෙන්ම විශාල හැම දෙයක්ම ඉදිරියේ නොදරුවන් මෙන් ඒවායේ දිග පළල උස වචනවලට පෙරලගන්න තටමන කවි වලින් මේ බහුතරයක් කවි අවර්ණ වී ඇත්තේය. ඔවුහු අවංකව වචන හිඟ වීමෙන් මේ වර්ණනා සීමා කරගනිති. මේ විශාල මංමාවත් ගොඩනැගිලි කඳු ශිඛර මේ ආකාරයෙන් විශ්මය නිර්මාණය කරමින් වචන සොයා වෙහෙසෙන්නේ මන්දැයි විමසූ විට හමු වන්නේ මේ කවියන් තුළ පවතින දූපතක ලද චූල අත්දැකීම් විසින් නිමැවූ අවිඥානයේ හිස් තැන් වසා සූචනය කර ගැනීමට විශය ලෝකයෙන් මනසට ප්‍රක්ෂේප කරගත් මහ අනේකත්වය පිළිබඳ අදහස් ජාලයයි. ඕස්ට්‍රේලියානු පොළවේ රන් රේඛා මෙන් ඇඳී ඇති මහා මාර්ග හෝ අහසේ ගෑවෙන වීදුරු ක්ලැඩින් වලින් වැසී ගිය දැවැන්ත කුළුණුමය ගොඩනැගිලි හෝ අද්‍යතන නගරාංලකාරයේ කැඩපත් බඳු පිරිසිදු පිළිවෙල ලත් වනෝද්‍යාන ආදියට පිටුපා ඡායාරූප ගත නොවන්නේ නම් ඔවුන් පවතින්නේ නැත. පසුබිම විසින් ඔවුන් පවත්වා ගනී. ඔවුන්ගේ ජීවිතයේ සංස්කෘතික පදනම භෞතික පසුබිම පමණි. මේ හේතුවෙන් කවි තුළ හමුවන්නේ ඕස්ට්‍රේලියාවේ පසුබිම පමණි. කවියන් එහි ගිලී දියවී නැති වී ඇත. එහෙයින් ඔවුනට හදිසියේම ලාංකික සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කර ගැනීමේ යුටෝපීය අවශ්‍යතාවයෙන් පීඩාවට පත් වන්නට සිදු වේ. මේ පීඩාවම ඔවුනගේ ආශාවන් සංවිධානය කරන බලවේගයයි.

භෞතික පාරාදීසයේ වැළපෙන අධ්‍යාත්මික මළ කඳන්

දකුණු කුරු දිව් කව් පොතේ ප්‍රහසනාත්මක විරුද්ධභාසයක් හමු වේ. වැනුම් ඔස්සේ ඕස්ට්‍රේලියාවේ අපූර්වත්වය වචන හරහා වර්ණනා විෂය අතික්‍රමණය කරමින් පින්තාරු කරන ලාංකික කවියෝම නැවත වරක් ඔවුනගේ දුර්දසාසම්පන්න විගාමික ජීවිතය ගැන අඩෝවැඩියාවන් සංක්‍රමණික සිතුවිලි අස්සේ වගුරුවති. පාරාදීසයකට අවතීර්ණව හිඳිය ද ‍ඔවුන් විඳින්නේ අකම්පාලයන් ය. මේ කුමන කරුමයක් දැයි කිසිවෙකුත් සංඥා නොකරති. මෙතැන හට ගන්නා කරුමය ලෙස යථ සහ යථාර්ථය අතර පැල්ම තුළ ඔවුහු තම ෆැන්ටසි ලෝකයේ ඛණ්ඩාංක නිවැරදිව ලකුණු කර ගනිති. ඕස්ට්‍රේලියාවේ සරණ සොයා එහි ගොස් තැන්පත් වූවන්ට ඇත්තේ ෆැන්ටසි ලෝකයක් බැව් මේ පැල්ම වසා දමන්නට ඔවුහු යොදන සියළු උත්සාහයන් තුළින් යලි යලිත් ඉස්මත්තට මතුව එයි. ෆැන්ටසි ලෝකයක ජීවත් වීම කරුමයකි. ලාංකිකයා අත්දකින එම කරුම ප්‍රමෝදය නිවැරදි ලෙසම සමපාත වන්නේ 1999 මැට්රික්ස් සිනමා පටයේ සිහින ලෝකවල දිය වෙමින් තම ශක්තිය මහා අනෙකා වෙත අවිඥානිකව උරා ගන්නට සලස්වපු ඒ සිස්ටම් එකටය. ඒ ගෙවන කරුමයේ යථාර්ථවත් වචන ප්‍රබන්ධ සංක්‍රමණික සිතුවිලි ඔස්සේ සිංහල පාඨකයා වෙත ගෙන ඒම හුදු ප්‍රමෝදයේම වෙස් මුහුණක් පමණි.

බුදුන් වැඳ කවි ලියන මේ යථාර්ථය කුමක් ද?

දැන් මම අංශක එකසිය අසූවක් කරකැවී වෙනත් දිසාවකට ගමන් අරඹමි. දකුණු කුරු දිව් කව් පොත වචනාර්ථ ඔස්සේ කෘත්‍රිම සහ හදිසි සිංහල බෞද්ධත්වයකින් ඔජ වැඩී ඇති ඉසව්වයි ඒ මගේ ගමනාන්තය. මේ හදිසිය කොතරම් ද යත් එය සියවස් ගණනක් පසුපසට කාල උමගකින් ගොස් හනි හනික උපයා ගත් පෞරාණික ආඛ්‍යානයකින් බෞද්ධ ස්පර්ශයකින් සංස්කෘත කාව්‍ය ආකෘතියකින් කවි පබඳන්නට ඔවුන් පෙළඹේ. මෙහි හාස්‍යජනක අන්තය නම් ඕස්ට්‍රේලියාවේ දැවැන්ත ධනේෂ්වර ආර්ථික සහ තාක්ෂණික ලෝකයේ පරිභෝජනවාදී සංස්කෘතික විශ්වයේ දැවැන්ත මකුළු දැලේ පැටලී ජීවත්වන අතරවාරයේ මේ හදිසි ව්‍යාපෘතියට තමන්ව කැඳවා ගන්නට දරන පටිසෝතගාමී ඇණවුමයි. මෙය අප වටහා ගත යුත්තේ කෙළෙසද? සරලව නැවත එම කුතුහලය සැකසුවොත් ඇයි ඕස්ට්‍රේලියානු ලාංකිකයන්ට‍ සිංහල මහා සම්ප්‍රදායික ලක්ෂණ කාවද්දා හනිකට කවි පොතක් කරන්නට හිතෙන්නේ? 

මෙය දේශපාලනික අර්ථයක් ගන්නේ විකට ඇඳුම් තරගයක ස්වරූපයකිනි. 

"අනේ ලංකාවේ දුක් විඳින සිංහල කවි ලියන නොලියන සහෝදරවරුනි. අපි අපේ අතිරික්ත ප්‍රමෝදය ඕස්ට්‍රේලියාවේ දී අත්කරගෙන ඇත්තෙමු. ඉතිං අපේ ප්‍රමෝදය නසන්නට විනෝදය කඩන්නට මෙහි එන්නට එපා. අපි එවන්නම් අපේ ප්‍රමෝදය මුද්‍රණය කරලා. මොකද අපි ලංකාවට නොඑන්නේද අපටම මෙහිදී නිර්මාණය කරගත හැකි ලාංකික සංස්කෘතියක් අප විසින්ම නිපදවා ගන්නා හෙයිනි. එහෙයින් මේ කවි කියවා බලන්න. පාරාදීසයේ මළ කඳන් සේ අප පැවතුන ද අපට එය විනෝදයකි. එය බිඳින්නට ඔබ මෙහි නොඑනු මැනවි. මහා සම්ප්‍රදාය මෙන්ම චූල සම්ප්‍රදායද අප විසින් මෙහි නිර්මාණය කරමින් සිටිනා බැවින් අපට අප මෙහිදී හමු වේ. තව දුරටත් ලංකාවේ භෞතික ජීවිතයේ අතොරක් නැති හිංසනයට වඩා මේ විඳින මහා පරිමාණ ධනේෂ්වර ජ්‍යාමිතික වස්තු තුළ අපේකම අපි නිපදවමින් ගත කරන කාලය විසින් අපව හුරුබුහුටි ස්මාට් සමාජ කොටසක් බවට පත්වෙමින් ඇත. ඇත්තටම අපි ලංකාවේදී ගත කරනවට වඩා සංස්කෘතිකය මෙහේ ඉන්දැද්දී. මේ අපේ සංස්කෘතික ජීවිතයේ තත්වය පිළිබඳ ප්‍රකාශනයකි. කරුණාකර මේ කවි විශ්වාස කරන්න." 

මේ ඒ හදිසි ඇණවුමේ මානවීය වචනවල පෙළයි. ඕස්ට්‍රේලියානු ලාංකිකයන්ගේ අවිඥානික ප්‍රකාශනය යි.

එක් අතකින් දකුණු කුරු දිවයින "මිහි පිට දේව උයනෙකි අහසින් වැටුණු " කියන ඕස්ට්‍රේලියානු ලාංකික කවියා අනෙක් අතට "අප කවුරුදැයි අපටම පහදා දේවා" යනුවෙන් ලියන්නේ මේ තත්වය නිසාවෙනි.

"සන්නස"ට කවි ලියූ අයද මෙහි වෙති. එනමුත් "සන්නස" කතෘ කවියෙක් නොවෙයි.

දැන් නැවතත් අංශක අනූවකින් හැරී වෙනත් ඉසව්වකට යමි. මේ ඉසව්ව ටිකක් ජුගුප්සාජනක සිතුවිලි මවන භයංකර මානුෂික සම්බන්ධතා පිළිබඳ නාස් කඩා යන දුර්ගන්ධයකින් යුතු පෙදෙසකි. දකුණු කුරු දිව් කව් පොතේ කවි සපයා ඇති සමහර අය ඕස්ට්‍රේලියාවේ සිංහල කියවන අය අතර ප්‍රචලිත සන්නස සාහිත්‍ය සඟරාවේ ද කවි ලියා පළ කළ අයම වෙති. ඒ බැව් කිවිවර තතු යටතේ පෙළ ගස්වා ඇති සටහන් අතර සඳහන් වේ. සන්නස සාහිත්‍ය සඟරාවේ ප්‍රමුඛ වැඩ කොටසක් කරන්නේ ජගත් ජේ එදිරිසිංහ කවියා ය. ඔහු සක්‍රිය නිර්මාණශීලි ඕස්ට්‍රේලියානු දහරාවේ දැනුවත්ව මග හැර යා නොහැකි පුද්ගලයෙකි. නමුත් දකුණු කුරු දිව් කව් පොතේ එක වර්ග අඟලක් ඔහුගේ කවියකින් වැසී නැත. මෙය පළමු වටයේදීම මා විශ්මයට පත් කළ නිරීක්ෂණයකි. අනෙක් අතට සංක්‍රමණික දුක්ඛ පීඩා කවි කිරීමේ කුසලතාවයෙන් අගතැන්පත් ප්‍රවීණ කිවිවර සුනිල් ගෝවින්න ගේ එකදු කවියක් වත් මෙම ‍ඓතිහාසික අවස්ථාවට දායක කරගෙන නොමැති බැව් දක්නට ලැබුණි. මා දන්නා පරිදි රසික සූරියආරච්චි සහ මොවුන් දෙපල අඹ යහලුවන් මෙන් එකල බූන්දියේ ඕස්ට්‍රේලියානු කවියන් නියෝජනය කරමින් වැජඹෙනු මා දැක ඇත. මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ ද රසික සහ ඔවුන් අතර සාහිත්‍යමය නිර්මාණාත්මක ගනුදෙනුවක් සවිඥානිකව තිබූ බැව්ය. අනෙක් අතට පසුගිය වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන අලකලංචියේදී බූන්දිය සුනිල් ගෝවින්නයන්ට එරෙහිව සංවිධානාත්මකව ප්‍රහාර එල්ල කරද්දී කිසියම් අවස්ථාවක එම අතරමැදි වීම සමථයකට පත් කරන්නට නොබියව ඉදිරිපත් වූයේ ද රසික සූරියආරච්චිමය. එනමුත් මෙම ගොඩගේ සම්මාන අලකලංචියෙන් තම කීර්ති නාමය හානි කරගන්නට සුනිල් ගෝවින්නයන් අවිඥානිකව සැරසෙන්නට මාසයකට පමණ පෙරය දකුණු කුරු දිව් කව් පොත මුද්‍රණයට සංවිධානය වන්නේ. එනයින් ඒවා අතර සම්බන්ධයක් ද නොපෙනේ. කෙසේ වුවද සුනිල් ඕස්ට්‍රේලියාව නියෝජනය කරන සිංහල සහ ඉංගිරිසි බසින් කාව්‍යකරණයේ යෙදෙන්නකු බැව් ප්‍රකටය. ඔහු ගොඩගේ සම්මාන නාටකයේ විශිෂ්ටතම කවියා යැයි කැලිබර් වීම අනුමත කිරීමක් මගේ නොමැත. ජගත් ජේ එදිරිසිංහද කාලාන්තරයක් අඛණ්ඩව නිර්මාණකරනයේ යෙදීමෙන් අවංකව සිය කීර්තිය උපයා ගත් ඔසී රට කිවියෙකි. සයිබරයේ වඩාත් ප්‍රචලිත මේ දෙදෙනා ද මග හැර ඕස්ට්‍රේලියානු සිංහල කවි පොතක් සංස්කරණය කරමින් එක්කෝ රසික සූරියආරච්චි කර ඇත්තේ අභියෝගාත්මක ප්‍රචණ්ඩ ආස්ථානයක් තුළ ඔවුන් මකා දැමීමකි. නොඑසේ නම් සම සංස්කාරක හෙන්රි ගේ අතරමැදි වීමකින් හටගත් වැසිය නොහැකි අගාධයකි. හෙන්රි ගේ කවි පංති දහතුනකට ඉඩ ලද තැන කවියන් දෙදෙනකුගෙ කවි දෙකකට ඉඩ මග හැරී යාම අතාත්විකය. මේ දේශපාලන පසමිතුරුභාවය මතු වීමක් නම් මා හට කීමට ඇත්තේ කරුණාකර බුදුන් වැඳ කවි ලියා අපිව ගොනාට ඇන්දවීමෙන් වලකින ලෙසය. මන්ද යත් බුදුන් සිහිකර කවි පොත් අච්චු ගසා ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වය වසා දමා ගන්නා පරණ ක්‍රම 2011ට අදාල නැති බැවිනි. මේ ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. 74 පිටුවේ පහළින් මුද්‍රණය කර ඇති හෑල්ල උපුටා දක්වා ප්‍රහසනාත්මක හේතු ඉදිරිපත් නොවේ යැයි උදක්ම කල්පනය කරමි. මෙම කෘතිය සම්පාදනය කොට මුද්‍රණය කිරීම අතිශය හදිසියේ කළ වැඩක් නිසාවෙන් මේ කවියන් දෙපළ මගහැරී ඇතැයි මම උපකල්පනය නොකරමි. එබඳු පිළිතුරකට සංවිධානය කළ හැකි "අදිසි හදිසිය" කුමක්දැයි මගේ සංකේතීකරණ විශ්වය තුළ සංකල්පීය කර වටහා ගත නොහැකි බැවිනි.

කවිය දිව්‍යමය ප්‍රචණ්ඩත්වයේ තවත් මානයක හැසිරෙන හැටි සාධනය කරන මේ අපූරු ඓතිහාසික කවි පොත දැන් පොත් කඩවල රාක්කවල තණ්හා -රති -රඟා සඟවා භාවනා කරනු ඇත.

විශේෂ ස්තුතිය:
මේ කාව්‍ය සංග්‍රහය මා නිවසට තැපැල් කර එවූ රසික සූරියආරච්චිට හදපිරි ස්තුතිය පුද කරමි. 
උපුටා ගත් කවි වල කතෘවරුන් සැමට මාගෙ ස්තුතිය.

4 කුළිය:

Sinuwara Hasuna said...

මුලින්ම ඩෝසන් ට ස්තුතියි විචාර ලිපියට.

ඩෝසන් පිලිතුරක් බලාපොරොත්තු වෙන පැණයට පිලිතුරක් දෙන්නම්. මේ පිලිතුර මගින් ඩෝසන් ගේ විචාරයේ ඇති අනෙක් බහුතරයක් කරුණු ඔහු විසින් පදනම් කරගෙන ඇති ඩෝසන් මත වල වැරදි ඇතොත් ඒවා වටහා ගන්නට මෙය කියවන සැමට හැකිවෙනු ඇතැයි මා අවංකවම සිතනවා.

දකුණු කුරු දිව් කව් යනු –-ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහලෙන් ලියවුණු කවි පොතක්. මේ පොත සැකසීමේ අරමුණ වුනේ පැරණි සිංහල සඳැස් විරිත් වලින් අප වසන රට පිළිබඳව විස්තර කරන්නයි. මෙහිදී, රටේ ඉතිහාසය, භූ විෂමතා, නගර පරිසර වර්ණනා, සමාජය පිළිබඳ තොරතුරු ඇතුලත්වන පරිදි සැකිල්ලක් සකසා, ඕස්ට්‍රේලියානු සිංහල ජනමාධ්‍ය හරහා අප කළ ඉල්ලීමට පිලිතුරු ලෙස ලැබුණු කවි වලින් අවශ්‍ය පරිදි කවි තෝරා ගත්තා. මෙහිදී ජගත් එදිරිසිංහ සන්නස තුලිනුත්, ඔහු ඒ දිනවල සම්බන්ධව සිටි තිසර ගුවන් විදුලිය තුලිනුත් අනුග්‍රහය දැක්වූ බව ස්තුති පූර්වකව සඳහන් කරනවා.

Continued/-

Sinuwara Hasuna said...

මේ පොත ඕස්ට්‍රේලියාවේ වසන සිංහල කවීන් ගේ කවි එකතුවක් නොවේ. මෙය ඕස්ට්‍රේලියාව පිළිබඳ කවි පොතක්, එයට බොහෝ පිරිසක් දායක වී තිබෙනවා. එපමණයි. මෙයට අප දන්නා පුද්ගලයින් ගේ නම් ගම් මොනවාද සහ අපේ දැනහැඳුණම්කම් කවරාකාරයේ ද යන්න කිසිසේත්ම අදාල වුනේ නැහැ.

මේ පොත සැකසීමේ දී, අපට ලැබූ කවි පන්ති, මේ පොතේ ආකෘතියට ගැලපූ විට සමහර තැන්වල හිඩැස් ඉතුරු වුණා. එක් උදාහරණයක් ලෙස අපට මෙල්බර්න් නගර වර්ණනාවක් ලැබුනේ නෑ. හෙන්රි කුමාරප්පෙරුම නමැති වියත් කවියා ඒ සඳහා කවි ලිව්වා. ඔහු ගේ කවි බහුලව ඇත්තේ එනිසායි.

මේ නගර වර්ණනාවල කඳු, ගස්, ගංගා ගැන සඳහන් වෙන්නේ, ඒ නගරවල කඳු, ගස්, ගංගා තිබෙන නිසා මිස අන් කිසි කරුණක් නිසා නොවේ. අපට අවශ්‍ය වූයේ සකිසඳ පෙනේ සමනොල ගිර නැගෙනහිර ආකාරයෙන් කඳු ගැන ලියන්නයි. මේ පොතේ කවි සැලළිහිණි සංදේශය හා සසඳන්න හැකියාවක් නැති බව සත්‍යයක්. මේවා ආධුනික කවි. නමුත් එය අපේ හැකියාවේ ප්‍රශ්ණයක් මිස අරමුණේ විහිළුවක් නොවෙයි.

Continued/-

Sinuwara Hasuna said...

අපේ අරමුණ වුනේ, මුලින් කී පරිදි, සම්ප්‍රදායානූකූල සිංහල මහා කාව්‍ය ලක්‍ෂණ රැගත්, සංදේශ කාව්‍ය, මාලා කාව්‍ය ආකාරයේ, කෘතියක් කරන්නයි. බුදුන් පුදන කවිය ලීවේත් ඒ අරමුණෙන්. නමුත් බිහිවී ඇත්තේ කොළඹ යුගයේ අපේ ගම, මගේ රට, සැන්දෑව ආකාරයේ පොතක් නම්, එය ද අපේ හැකියාවේ ප්‍රශ්ණයක් පමණයි.

ඇබොරිජිනිවරුන් සහ ඕස්ට්‍රේලියන් සිංහලුන් සම්බන්ධයෙන් සහ තවත් මට නොතේරෙන ෆැන්ටසි කාරණයක් සම්බන්ධයෙන් ලියා ඇති දේ ගැන මට කියන්නට ඇත්තේ අප අතරම වෙසෙන සිංහල සමහරුනට මෙන්ම ඩෝසන් ට ද අප වෙසෙන ඕස්ට්‍රේලියානු පරිසරය/සමාජය ගැන ඇති දැනුම වර්ධනය කරගැනීමට ඇති ඉඩ කඩ ඉතා විශාල බවයි. අඩු තරමේ 1968 ජනමත විචාරණය, මාබෝ, රෙඩ්ෆර්න් කතාව සහ 2008 සොරි ප්‍රකාශය ගැනවත් කියවා බලන්න.

දකුණු කුරු දිව් කව් - මිල රුපියල් 200. දයාවංශ ජයකොඩි පොත් හලෙන් ලබාගත හැකිය.

ස්තුතියි.

රසික සුරියආරච්චි

ඩෝසන් said...

ප්‍රතිචාරයට ස්තුතියි.

පෞද්ගලිකව සිය අවංක අදහස් ලියා එවු සුනිල් ගෝවින්නටත් ජගත් ජේ එදිරිසිංහටත් ස්තුති පුදමි.

ලිපියේ ප්‍රශ්න කිරීම්වලට ලක්වූ තිදෙනාම සිය අවංක අධ්‍යාශයන් හෙළිදරව් කර ඇති බැවින් මාගේ කුතුහලය සාර්ථකව සංසිඳී ඇත. සුනිල් හෝ ජගත් කවි ලියන්නට මැලි වීම හෝ ලියූ කවි ප්‍රතික්ෂේප වීම මගේ අවධාරණයෙන් පිට බැවින් මෙය සවිඥානිකව හෝ සිදුවූ ප්‍රචණ්ඩමය ක්‍රියාකාරිත්වයකැයි මා කළ චෝදනාව ප්‍රසිද්ධියේ ඉල්ලා අස්කර ගනිමි. එනමුත් අවිඥානික ක්‍රියාකාරිත්වය පැහැර යා නොහැකි බැවින් එම තතු ශේෂ වේ.