Monday, December 27, 2010

රචින්ත ජයවර්ධනගේ ඡායාරූපකරණයේ දඟ වැඩ

කලකට පෙර මවිසින් රචින්ත ජයවර්ධනගේ ඡායාරූපකරණයේ දඟ වැඩ ගැන සටහනක් තබා ඇත. මේ එහිම තවත් එක් කෙටි දිගුවකි. 

ඔහුගේ බ්ලොග් අඩවියේ ඡායාරූප වැඩබිමේ එල්ලා තිබූ ඵලකයන් රාශියක් හා වියමන්ගත වූ ඔහුගේ අදහස් කියැවීමෙන් මවිසින් ලියා තැබූ කොමෙන්ටුව මෙහි සටහන් කරන්නට තීරණය ‍කළේ ඔහුගේ අභිප්‍රාය වඩවඩාත් කුළුගැන්වීමට මෙහි එන යන අයද පොළඹවා ගැනීමටය. 

ඡායාරූපයක අන්තර්ගත වන්නේ ආලෝක වියමනක් යැයි කීවද එය කිසියම් කතෘකාරකයකු අතින් වියෙන්නේ ද නැති පැරක්ඩොක්සීය වියමනකි. මන්ද යත් කැමරාවෙන් පිටත වස්තු සිය ආකෘතිමය සම්බන්ධතා ඇති කරගන්නේ ඡායාරූප තහඩුව මතදී පමණක් බැවිනි. එසේ නැත්නම් වියන්නේ කවුද යනාදී වශයෙන් ප්‍රශ්න කළ විට පිළිතුරු අවිෂය වන්නා වූ කතෘ අඥාත වන්නා වූ ද ක්‍රියාවලියකි. කැමරාව එල්ලයට ගෙන එහි සමෝධානීය කෝණයේ ආලෝක ව්‍යූහය සහ ෂටරයේ වේගය පරිපාලනය කිරීම යනුම වියමනේ තත්වය පිළිබඳ තීරකයන් වීම වුවද එය කතෘත්වය නොවේ. කතෘත්වය නිෂේධනය වීමක් ද නොවේ. එම හේතුව නිසාවෙන්ම එහි පැරඩොක්සීය බව ජනනය වෙයි. ඡායාරූපයක කතෘත්වය හෝ නිර්මාණාත්මක කතෘභාවය වාච්‍යාර්ථයෙන් පැරඩොක්සීය වන්නේ එලෙසය. ඡායාරූපය ඵලකය මත ප්‍රතිබිම්බගත වන වස්තූන්ගේ ආකෘතිමය සම්බන්ධතා ඇති කරගන්නේ කතෘත්වයකින් තොරවය යන්න විවාදාත්මක එළඹුමකි. මෙය පැහැදිලි කරගත හැකි හොඳම උදාහරණය මෙම ඡායාරූප අතරින් ම ගත හැකිය. ගුවන්යානාව සහ විදුලි රැහැන සමපාත වී ඇති ඡායාරූපයේ එම සමෝධානිත ආකාරය නැවත පරීක්ෂා කිරීමෙන් එම කරුණ වටහා ගත හැකිය. බාතියානු විශ්වයක් තුළ ඡායාරූපශිල්පියාගේ භාවයන් ඡායරූපයේ රාමුව කෝණය ආලෝකකරණයේ සීමාවන් විසින් කැමරාක්‍රියාකරුගේ සීමාවන් සටහන් වීමක් ලෙසත් එය අත්කර ගන්නා මොහොත යනුම ඔහු විසින් ප්‍රේක්ෂකයා විශ්මයට පත් කරවන තත්වය ඝණීභූත කිරීමක් ලෙස ද වටහා ගත හැකිය. මේ ගැන වඩාත් නිරවුල් කියැවීමකට රෝලන්ඩ් බාත්ගේ කැමරා ලුසිඩා පොත් පිංච හදාරන්නට රචින්තට යෝජනා කරමි. මා මෙය මීට පෙරද කීප වතාවක් සිහිකැඳවා ඇති බැව් මතකය. ඡායාරූපකරණයේ සංඥා භාවිතාව ගැන ඔහු ලියූ දාර්ශනික ඉදිරිපත් කිරීම් විශ්මිතය. රසවත්ය.

මෙබඳු විසම්මුතික වියමන් විසින් කාලය සහ අවකාශයේ ඛණ්ඩාංක නිරීක්ෂකයාගේ අවිඥානය තුළ සංකේතීය සහ පරිකල්පනීය බොරෝමීය වළලු එකිනෙකින් ඇද දමන්නට තරම් සැහැසි වේ යැයි මට සිතේ. මන්ද යත් විදුලි කේබලයක් මත ගුවන් යානයක් දැකීම විදුලි කම්බියක් මත කපුටකු වසා සිටීමට වඩා වෙනස් සංඥා අප තුළ ගොඩනගන බැවිනි. එබඳු ඡායාරූපයක් අපව එහි ත්‍රිමාන අවකාශය නැවත මනස තුළ ගොඩනංවා එහි කාල අවකාශීය සැකැස්ම මනසින් චිත්‍රණය කර මනස් පරීක්ෂණයකට [thought experiment] යොමු කරවයි. එම පරීක්ෂාව අවිඥානිකව සිදු වන තරමටම අප මේ ඡායාරූප විෂය වෙත හීලෑ කිරීමට රචින්තගේ මෙබඳු උත්සාහයන් නිරන්තරයෙන් ඵලදායි වන බැව් මගේ වැටහීමයි.

1 කුළිය:

මුචලින්ද said...

බොහෝමත්ම ස්තූතියි ලොකු අයියේ මේ දිරිදීමට! ඒ වගේම මේකත් එක්ක හම්බෙච්ච මූලාශ්‍ර වලටත්, නොතේරුනු සමහරක් වචන නිසා හොයන්න ඇති කරපු කුතුහලයටත්. දැනටමත් ඒ වචන Google කලා කියලා මතක් කරන්න කැමතියි. පොතත් පුලුවන් ඉක්මනින් හොයාගන්නම්! ස්තූතියි ගොඩක්!