Tuesday, July 20, 2010

කැමරාව පින්සලක් දක්වා...

කැමරාව පින්සලක් දක්වා...



රචින්තගේ මේ ඡායාරූප කීපය මා වෙත රැගෙන ආවේ කැමරාව පින්සලකට පරිණාමය කරවීමේ යාන්ත්‍රණය ජය ගන්නා එක්තරා නිමේෂයක් ලෙසිනි. එම නිමේෂය සැබැවින්ම කුමක්දැයි නොදන්නා තැනකින් ආරම්භ කර දන්නා තැනක් දක්වා රැගෙන යාමට දරන උත්සාහයකි‍ මේ.

නිර්මාණකරණයේදී සිදුවන සියල්ල ලිවීම්ය. ආලෝකයෙන් ලිවීම එක්කෝ ඡායාරූප ලෙස හෝ සිනමා පට හෝ විඩියෝ පට දක්වා පැතිරී යයි. ශබ්දයෙන් ලිවීම හඩ පට තැටි ගත ශබ්ද හෝ වර්තමානයේ වෙනත් නොයෙක් තාක්ෂණික විද්‍යුත් ක්‍රමවේදයන් ය. රස නහර සන්තර්පනය වන ආහාර වට්ටෝරු පයුරුපාසන ජිව්හාමය අත්දැකීම් පුළුල් කරනු ඇත. විවිධාකාර ගන්ධයන් ප්‍ර‍ශස්ත ලෙස මුහුන්කරනය කිරීමේ ක්‍රම වේද ඔස්සේ පෙර නොවූ විරූ සුවඳ ස්වභාවයෙන්ද කෘත්‍රිමවද සකසා ගැනීම අනුසාරයෙන් එම සංඥා හැසිරවීම ද අතිශය පෞරාණික ශාස්ත්‍රයකි. ඇරෝමා තෙරපි යනුවෙන්ද වෙස් ගෙන කඩසාප්පු වල පිරී ඇති නොයෙකුත් කුප්පි වල අන්තර්ගත වන තෙල් සුවඳ කුඩු ඒවායේ නොයෙකුත් උද්දීපනයන් හේතුවෙන් මිනිස් සංජානන අවකාශය ප්‍රසාරණය කරයි. ස්පර්ශයෙන් ලිවීම් ද ඇති බව සම්භාහනාගාරයක දී අත්විඳිය හැකිය. ඒවා අතිශය කාමෝද්දීපනයෙන් අවසන් විය හැකි ඇපොතිකරමය වන්නා වූ භෞතවේදයන් හරහා යෝග ක්‍රම දක්වා වුවද පැතිර යයි.

ලිවීම් ක්‍රම කුමන උපකරණ සහ මාධ්‍යන් විසින් හෝ වෙනස් වුවද සිය ලිවීම අවසන් කොට සිය පාරිභෝගිකයා ගේ සංවේදනා විශ්වය සොයා ගන්නා අන්තයේදී විවිධ සීමාවන් තනා ගනී. උදාහරණයක් ලෙස ගීතයක් හෝ කවියක් නැවත නැවත හඩනගා කියවීමෙන් ප්‍රතිනිශ්පාදනය කරගැනීමට බාධාවක් නැත. කුරුල්ලකුගේ හඩක් එවැනි ලෙස නැවත නැවත ස්වභාධර්මය තුළ ඇසීමේ ඉඩ අවස්ථා විරලය. ඒවා පටිගත කරගත හොත් හෝ තැටිගත කර‍ගතහොත් හෝ ඒවා නැවත ඇසීමේ අවස්ථාව මිනිසාට ලැබේ. සූර්යග්‍රහණ අවස්ථාවක දී සිදුවන දේ ඒ මොහොතට පමණක් සීමා වේ. එය නැවත දැකිය නොහැකිය. ප්‍රතිවාදනය කළ නොහැකිය. ඒවා දෘශ්‍යමය තාක්ෂණයන් උපයෝගී කරගෙන නැවත තිර මත දැකිය හැකි වුවද නැවත අහසේ දැකිය නොහැකිය. ඒ ආකාරයෙන් ගත් විට මුඛය මගින් නැවතත් ප්‍රතිනිශ්පාදනය කළ හැකි දෙයක් ඇසට නැවත නිපදවා ගත නොහැකිය. ඒ සඳහා කිසියම් තාක්ෂණික අතරමැදි වීමක් අවශ්‍යම වේ. එනයින් සියළු ලියැවෙන දේ අපට ප්‍රතිනිශ්පාදනය කළ නොහැකිය. එකම ගඟකට දෙවරක් බැසිය නොහැකිය යනාදී වූ දාර්ශනික අදහසක් වුවද මේ සත්‍යයම නැවත වර නගයි. නමුත් මා අදහස් කළේ ශබ්ධය සහ ආලෝකය මිනිස් විෂය තුළ මුව සහ ඇස ආශ්‍රයෙන් යලි දේවල් උපදවා ගැනීමේ හැකියාව නමැති බාධකය තුළදී ඇස දුර්වල උපකරණයක් වීමේ අභාග්‍යය පෙන්වා දීමටය. මුවින් නොයෙක්‍ දේ ඕනැතරම් වාර ගණනක් උච්චාරණය කර නැවත ඇසිය හැකිය. නැවත විඳිය හැකිය. නමුත් ඇස එතරම් භාග්‍යසම්පන්න නොවේ.

රචින්තගේ මේ ඡායාරූප මා මනසේ ඇති කළේ ද ඇස සිය භෞතික සීමාවන් පරයා නැගී සිටින්නට දැරූ උත්සාහයේ තවත් ස්ථානගත වීමක් ලෙසිනි. වස්තු මත පතිත වන ආලෝකය නැවත ලිවීමේ ඉතිහාසය මිනිසා මෙතුවක් නිපදවා ගත් කාර්මික කලාවේ අග්‍රඵලය වන සිනමා කලාව තුළ නැවතී ඇත. ඇසට වැටෙන ආලෝක ලපයක් එහි දෘෂ්ටිවිතානය මත ජීවත් වන තත්ක්ෂණයේ ආයු කාලයේ දිගෙන් තීරණය වන සිනමා කලාවේ ගතික සිද්ධාන්ත විසින් මිනිස් ඇසේ දුර්වලතා‍වයෙන් උපරිම ප්‍රයෝජන ගෙන අප විස්මිත ලෝකයක් කරා පරිකල්පනීයව කැඳවා යන්නට සමත් වේ. යාන්ත්‍රික ඡායාරූප ශිල්පයේ මූලාරම්භය ද එම සිද්ධාන්තයට පණ පෙව් ආලෝකයේ රසායනික ඵලය ලෙස දැක්විය හැකිය. ආලෝකය පතිත වූ විට අක්ෂි කාචය ඔස්සේ උඩුයටිකුරු වී දෘෂ්ටිවිතානය මත නාභිගත වී එම පටලයේ ඇති කේතු සහ යෂ්ටි සෛල විසින් නිපදවන රසායනික සංඥා මොළය කරා යන ගමනින් රූප සංවේදනය ලබන මිනිසා එම දෘෂ්ටිවිතානය වෙනුවට ආලෝකය පතනයෙන් සිය රසායනික හැඩරුව වෙනස් කර ගන්නා ද්‍රව්‍ය ප්ලාස්ටික් පටලයක තවරා එමත නාභිගත වන ආලෝක රටා අඳුරු කාමරයකදී විශාලනය කරගැනීමෙන් උපදවා ගන්නා ඡායාරූප දක්වා සංවර්ධනය කරගත්තේ ඇසේ සටහන් වන රූ මනසේ තැන්පත් වුවද නැවත එය විදහා අනෙකෙකු සමග බෙදා ගැනීමේ අවස්ථාවක් නොමැති වීමේ අඩුව පුරවා ගනු පිණිසමය. ශබ්දය උදෙසා වූ ප්‍රතිනිශ්පාදනමය හැකියාව ආලෝකය උදෙසා දිගු කර ගැනීමේ අවශ්‍යතාවය උදෙසාය.

ඡායාරූප ශිල්පයත් සිනමා කලාවත් එකාබද්ධ වූ සහසංයුජ සම්බන්ධයේ තවත් පිම්මක් පැනීමේ වරය මැට්රික්ස් සිනමා පටයේ උණ්ඩ කාල විපර්යාස‍ය සමගින් නව උත්පත්තියක් ලබයි. මිනිස් ඇසට විෂය වන සීමාව නොයෙකුත් භෞතික පරාමීතින් හේතුවෙන් පැන නගියි. ආලෝකයේ සංඛ්‍යාතය නිසාවෙන් ඒවායේ වර්ණ නම් වූ සංවේදනය උපදියි. ශබ්දයේ සංඛ්‍යාතයන් හේතුවෙන් සප්ත ස්වර උපදින්නාක් මෙන්ම මූලික ආලෝක වර්ණ සප්තකය ද සංඛ්‍යාතයේ විෂමත්වයත් ඒවායේ ආරෝහණයත් නිසාවෙන් උපදියි. මිනිස් ඇස උපකරණමය සීමාවන් තුළ සලකා බැලූ විට ආලෝකයේ සංඛ්‍යාත දෘශ්‍ය පරාසය තුළ පමණක් අපට සංවේදන නිපදවා ලීමට සකස් වී ඇත. එම හැකියාව පවා වස්තුවල නිවුටෝනීය චලිත සීමාවන් තුළ ඇසේ ප්‍රතිබිම්බ නිර්මාණය වන සීඝ්‍රතාවය හෝ රේට්ටුව මත රඳා පවතී. වේගයෙන් කරකවන හෝ චලනය වන දෙයක් අපට නොපෙනී යාමේ හේතුවද මෙයයි. වේගයෙන් කැරකෙන පංකාවක සමස්ථ දෙයක් මිස ඒවායේ තටු වෙන වෙනම නොපෙනීම ‍මීට අයත් වේ. ඊට ප්‍රධාන හේතුව ඇසට යමක් හඳුනා ගැනීමට එම ප්‍රතිබිම්බය සමග ගත කරන්නට අවම කාලයක් අවශ්‍ය වීමයි. එම අවම කාලය ඉක්මවා යන කිසිවක් අපට නොපෙනේ. නමුත් කැමරාවකට එම අවම කාලය තුළ සිදුවන දේ සටහන් කරගත හැකිය. ඒ මන්ද යත් එම සූක්ෂම කාලය තුළ ප්ලාස්ටික් පටලය මත ඇති රසායනික ද්‍රව්‍ය වෙනස් කිරීමට තරම් ප්‍රමාණවත් ආලෝක ශක්ති ප්‍රමාණයක් එන්නේ නම් එම කාලය කුඩා වන තරමට එන ශක්ති ප්‍රමාණය කිසියම් අවමයකට වඩා ඉහලින් පවත්වා ගන්නට හැකි නම් එම පටලය මත එම සියුම් ආලෝකය පවා නිවැරදිව සටහන් වේ.

අතිශය වේගවත් දේ ඡායාරූපගත කරගැනීමේ ශිල්පීය ක්‍රම තුළ වන තාක්ෂණික බාධාව වන්නේ කාලයෙන් අතිශය සියුම් කැටියක් හසුකර ගැනීමේ හැකියාවෙන් යුත් යාන්ත්‍රික දොරටු පාලනය කර ගැනීමයි. තත්පරයෙන් දාහෙන් පංගුවකදී දොරක් ඇර වසන්නට පුළුවන් නම් එම සියුම් කාලය තුළ සිදුවූ වෙඩි උණ්ඩයක අවකාශීය පිහිටුමේ තොරතුරු පටලයක් මත සටහන් කරගැනීමට හැකිවේ. තත්පරයට මීටර් අටසීය ඉක්මවා යන ප්‍රවේගයකින් යුත් වෙඩි උණ්ඩයක් සෙන්ටි මී‍ටරයක් යාමට ගන්නා කාලය තත්පරයෙන් ලක්ෂ්‍යයෙන් පංගු කීපයකි. එම ක්ෂුද්‍ර කාලය තුළ ආලෝකය කැමරා පටලයේ බිත්තිය මතට පතිත වීම පාලනය කරන ෂටරයේ ඇරීම සහ වැසීම පවත්වා ගත හැක්කේ නම් වෙඩි උණ්ඩය සෙන්ටි මීටරයක් තුළ අවකාශයේ හඹායන පථය පටලයක් මතුපිට සටහන් කරගත හැකිය. නමුත් ප්‍රායෝගික ලෝකයේ තත්පරයෙන් ලක්ෂ්‍යයෙන් පංගුව ලං විය නොහැකි බාධාවකි. සාමාන්‍ය කැමරා විසින් අත්කර ගත් එම කාලය තත්පරයෙන් දාහෙන් පංගුවක් හෝ එක්දාස්පන්සිය පංගුවක් හෝ වන්නා වූ විශාල අගයකි. එනයින් බුලට් ටයිම් නම් වූ වෝනර් සහෝදරයන් අත පත් වූ මැට්රික්ස් සිනමා පටයේ භාවිතා කරන්නට යෙදුනු රූප පටලගත කිරීමේ තාක්ෂණය මේ සීමාවන් අභිබවනය කිරීමේ ශක්‍යතාවය පවත්වා ගැනීම මිනිස් හැකියාවන් තුළ ක්වොන්ටම් පිම්මක් ලෙස දැක්වීම වරදක් නොවේ. කාලය මැනීම යනු වෙනස් දෙයකි. එය පරමාණු ඔරලෝසුවලින් ඉසියුම්ව මැන ගැනීමට මිනිසා හැකියාව දියුණු කර ඇති නමුත් අතිශය ක්ෂුද්‍ර කාල ප්‍රාන්තරයකදී කිසියම් භෞතික කටයුත්තක් ඉටු කිරීම පරිගනක චිප ඇතුලෙ විද්‍යුත් සංඥා ආකාරයෙන් ඉටු කරගැනීමට සමත් වුවද භෞතික සීමාව එලෙසම පවතී. එනම් දොරක් ඇර වැසීමට තවමත් තත්පරයෙන් දාහෙන් පංගුවක් හෝ එක්දහස් පන්සීය පංගුවක් හෝ අවම වශයෙන් වුවමනා වීම ජය ගත නොහැකි කඩුල්ලක් සේ රැඳේ. අතිශය වේගයෙන් සිදුවන සංසිද්ධි ඡායාරූප ගත කිරීමේ කලාව සාමාන්‍ය කැමරා සමගින් සහමුලින්ම බිඳී ගිය කලාවකි. වෙඩි උණ්ඩයක චලිතය රූප රාමුවලට හසුකර ගැනීම එක ළඟ තැබූ කැමරා විශාල සංඛ්‍යාවක් ඒවායේ ෂටරයන් ඇරී වැසෙන රේට්ටුව අතිශය කුඩා මොහොතකින් ක්‍රියාත්මක කිරීම හෝ අතිශය සියුම් පාලිත තත්වයන් යටතේ ආරෝහණය කරන්නාවූ ස්විචයන් ශ්‍රේණියක් ක්‍රියාත්මක කිරීමෙන් යනාදී වශයෙන් මේ තාක්ෂණ ඔස්සේ ජය ගෙන ඇත්තේය. මැට්රික්ස් සිනමා පටයේ එක්තරා සටන් ජවනිකාවක දී පුද්ගලයෙකු අහසට පැන පාදයෙන් තවෙකෙකුට පහර දීමේ අවස්ථාවක් රූපගත කර ඇත්තේ සාමාන්‍ය සිනමා කැමරාවකින් නොවේ. එය එලෙස රූප ගත කරන්නට වුයේ නම් තත්පරයෙන් පංගු කීපයක් ඇතුලත ‍එම කැමරාව එම දසුන වටා අර්ධවෘතාකාර පථයක චලනය කිරීමට සිදුවන්නේය. එනමුත් එවැනි බර අධික කැමරාවක් වෘත්තාකාර පථයක වෙඩි උණ්ඩයක චලිත වේගයට ආසන්න වශයෙන් සමාන වේගයක චලනය කිරීම ප්‍රායෝගික නොවන දෙයකි. එම අවස්ථාවේ දී සාමාන්‍ය සිනේ කැමරාව වෙනුවට ඔවුන් කරන්නේ එම නිරූපිතය අන්තර්ගත අවකාශය කේන්ද්‍ර කොටගත් වෘතාකාර පථයක සාමාන්‍ය කැමරා විශාල ප්‍රමාණයක් අටවා ඒවා යේ ෂ‍ටර ඇරී වැසීම කාලයේ ආරෝහණ පිළිවෙලට ඉතා සියුම් පියවර ඔස්සේ විවර කරමින් ඡායා සටහන් ලබා ගැනීමයි. පසුව චිත්‍රාගාරයකදී එකලස් කරනු ලබන එම රූප රාමු සාමාන්‍ය ධාවක යන්ත්‍රයක දී ධාවනය කර ලබා ගන්නා ස්ලෝ මෝෂන් රූපාවලිය නැවත සිනමා පටයකට ගැනීමයි. මෙම ක්‍රම වේදයේදී එක් එක් රූප රාමු අතර ගිලිහෙන අතරමැදි රූපරාමු නිර්මාණය කරගැනීමට සන්නිකර්ශන දර්ශන මැවීමේ හැකියාව ඇති පරිගනක වැඩසටහන් භාවිතා කර අඩු වූ හිස්තැන් හෝ රූපණයන් හි සන්තතික බව හෝ සුමට බව රැක ගැනීමට භාවිත වේ.

මේ සියලු ලෝක තාක්ෂණික සීමාවන් පිම්මේ පැන යද්දී රචින්ත ජයවර්ධන ආලෝකයෙන් ලියමින් සිටියි.

ඔහුගේ ශිල්පයේ දී කැමරා රාශියක් පෙල ගස්වා නැත‍. ෂටරයන් ප්‍රෝග්‍රෑම් කර නැත. කොටින්ම බුලට් ටයිම් යාන්ත්‍රණයක් ඇත්තේම නැත‍. ඔහුගේ කටයුත්ත මේ සියලු දේ අභිබවා යන්නකි.

සිත්තරකු පින්සල හසුරුවා යමක් කැන්වසය තුළ සටහන් කරන්නා සේම රචින්ත සිය කැමරාව පින්සලක් මෙන් චලනය කර සිය කැමරා පටලය මත ආලෝක සටහනක් වියමනක් කරයි. මේ මා එබඳු කලාවක දුටු යථාර්ථවත් සලකුණක පළමු අවස්ථාවයි.

මෙහිදී මා කලින් කී පරිදි ආලෝක‍යේ චලිතය පටලගත කරගැනීමේ තාක්ෂණය උඩු යටිකුරු වෙයි. එනම් වස්තුව එක තැනක රැඳෙද්දී එනම් විශය පවතිද්දී උපකරණය හැසිරීමකට ලක් වෙයි. හරියටම කීවොත් අත‍ මත වූ පින්සල එකම තැනක තබා කැන්වසය ඉස්සීමෙන් පැද්දීමෙන් හෝ කරකැවීමෙන් චිත්‍රයක් ඇඳීමේ උඩුයටිකුරු වූ තාක්ෂණික අත්දැකීමකි. වරක් මා නැරඹූ අමරදේවයන්ගේ සංගීත උළෙලක දී මා දුටුවේ වයලීනයේ බෝව එක තැන තබා වයලීනය අධික වේගයෙන් එහා මෙහා කරමින් අතිශය සංකීර්ණ රාග තාලයක් මීයට පිම්බා සේ තූෂ්නිම්භූත වූ සරසවි ශ්‍රවණාගාරයකට ප්‍රාතිහාර්යමය ලෙස නාදරටා මවමින් සිටි අයුරුයි.

මම රචින්තට සුභ පතමි. එමග ගත්තවුන්ට ද ධෛර්යය පතමි.

5 කුළිය:

මුචලින්ද said...

බොහෝමත්ම පිං අයියේ! මගේ පුංචි පුංචි වැඩ වලට ලොකු තල්ලුවක් දුන්නට!

හෂිත said...

I was observing Rachintha for his talent. I wish I had his eye for light..!

අනුෂ්ක තිලකරත්න said...

අතිශයින්ම චමත්කාරයි

Indranatha Thenuwara said...

රචින්තගේ නිර්මාණ දැකීමෙන් ප්‍රකම්පනය වූ ඔබගේ සංවේදී, නිර්මාණ ගවේෂී සිත, සයිබර් අවකාශය තුළ රචනා කළ ලියැවිල්ල මහත් ආහ්ලාද​යෙන් යුක්තව කියැවීමි. ඉන් ඔබ රචින්තට පමණක් නොව අපට ද නිර්මාණ කරණයේ යෙදෙන්නටැයි කියමින් නිද්‍රාශීලී අප ද අවදි කරවයි..මේ ලියමනට පාදක වූ රචින්තට ද, එම ලියැවිල්ල ලියා පළ කළ ඔබට ද හිස නමා ගෞරව කරමි...!! ඒ අපව ද අවදි කරවන නිසාවෙනි...!!!!

Anonymous said...

@ඉන්ද්‍රනාත

රචින්ත කුඩා දරුවෙකි. වැඩිහිටියන් වශයෙන් අප සතු වගකීමක් ඉටු කරන්නට ලැබූ අවස්ථාවක් ලෙස මේ කෙටි ලියැවිල්ල සලකමි. එමෙන්ම එම ලිපිය කියවා ඔබ විසින් දක්වා ඇති අදහස් ද ශීර්ෂ ප්‍රණාමයෙන් අගය කරමි. ඒ නිහතමානිත්වයට ගරු කරමි.

මේ ලිපිය අලළා මා ලද මේ සුවිශේෂී හෘදයංගම ප්‍රතිචාරය ඔබ වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීනයකුගෙන් වීම, මා ද ආනන්දයකට පත් කළ බව මෙලෙස සටහන් කරන්නට කැමැත්තෙමි.

Dawson Preethi