Saturday, January 1, 2011

කලාව තුළ සැඟවුන දිව්‍යමය ප්‍රචණ්ඩත්වය

එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ලලිත සමය නවකතාව වර්තමාන ලංකාවේ සංගීත කර්මාන්ත ක්ෂේත්‍රය මිනිස් විෂයේ ව්‍යුත්පන්නයක් ලෙස විසංයෝජනාත්මක කියැවීමකට ලක් කර ඇත. ලාංකීය සංගීතය තුළ පමණක් නොව විශ්ව සංගීත කලා කර්මාන්ත සයුර තුළ මතුපිට පවතින මිනිස් හැඟුම් ආලෝලන‍යේ සුමුදු රළ රැල යටින් දිව යන ප්‍රචණ්ඩත්වයේ දිව්‍යමය තරංගමය මානය එරික්ගේ අවිඥානය තුළින් ලිවීමක් බවට හරවා ප්‍රබන්ධයක ස්වරූපයෙන් අප වෙත පැමිණ ඇත.

එරික් ගේ "චිත්‍ර කලාව සහ විචාරය" කෘතිය තුළින් ඔහු විදාරණය කරනු ලබන මානව චිත්‍ර කලාවේ විසංයෝජනාත්මක ප්‍රවේශයේ න්‍යායික කොටස අතහැර ලලිත සමය යනුම ආනුභවික සූත්‍රගත දැනුම් සම්භාරයක හෝ අනුභූතික දැනුමක ප්‍රකාශනයක් ලෙස නැවත වරක් ලාංකීය නවකතා කාල රේඛාවේ ස්ථානගත කරගත හැකිය.

එරික්ගේ "චිත්‍ර කලාව සහ විචාරය" කෘතියේ පෝල් ක්ලී (1879-1940) ගැන වන සඳහනකින් එරික්-ලලිත සමය-සංගීතය-චිත්‍ර ශිල්පය-වෝල්ටර් බෙන්ජමින්-ස්ලාවෝ ජිජැක්-දිව්‍යමය ප්‍රචණ්ඩත්වය යන දාම ප්‍රතික්‍රියාව අවුලුවා ගන්නට සුදුසු උත්ප්‍රේරණයක් ලැබේ.

උපුටනය ඇරඹුම


ක්ලීගේ කලාව තුළ පවත්නා සංගීතරූපී සෞන්දර්ය අහඹුවක් නොවේ. ඔහුගේ කලා ජීවිතයේ ආරම්භය සංගීතය සමඟ ආබද්ධ වී තිබිණ. සංගීත ආචාර්යවරයකුගේ පුත් රුවනක් වූ ඔහු සත් හැවිරිදි වියේ දී වයිලීනය වාදනය කළේය. ඔහු ස්වකීය ළමා කාලය විස්තර ‍කළේ මිනිය නොහැකි තරම් උස් වූ නමුත් පාමුල රහිත කඳු ශිඛර ලෙසිනි. ඔහුගේ සංගීත හැකියාව කොයි තරම් වී ද යත් බර්න් සිම්පනි ඔචෙස්ට්‍රාව විසින් ළමා ක්ලී ආදේශක වයිලීන වාදකයකු ලෙස යොද ගැනිණි. ද්වීතීය අධ්‍යාපනය අවසන් කළ හෙතෙම චිත්‍ර කලාව හැදෑරීම සඳහා මුළු කාලය කැප කළේය. ජර්මනියේ මියුනිච් අකඩමියේ චිත්‍ර කලාව හැදෑරූ හෙතෙම ගුරුවරුන්ගේ ගතානුගතිකභාවය ගැන කලකිරී ඉන් ඉවත් විය. ජර්මානු පෙරටුගාමී කලා ප්‍රකාශනයෝ ඔහු ආවේශ ගැන්වූහ. චිත්‍ර කලාව හැදෑරූ සමයේ ද ඔහු සංගීත ශාලා සොයා ගියේය. ජර්මානු රොමෑන්ටික මහා සංගීතඥ රිචර්ඩ් වාග්නර් ද ස්ට්‍රවුස් හා මෝට්සාට් බඳු ඔස්ත්‍රියානු සංගීතඥයින් ද ඔහුගේ සිත් ගති.

උපුටනය අවසන් චිත්‍ර කලාව සහ විචාරය පිටු 283-284

පෝල් ක්ලීගේ මෙම සංගීතමය ආභාෂිත වූ චිත්‍ර ශිල්පයේ එක්තරා සුසමාදර්ශී පරිවර්තනයක සළකුණු රැගත් සුවිශේෂී චිත්‍රයක් ගැන බෙන්ජමින් වෝල්ටර් මෙසේ සඳහන් කොට ඇත.

උපුටනය ඇරඹුම


In his ninth thesis in the essay “Theses on the Philosophy of History,” Walter Benjamin, who owned the painting for many years, describes:


"A Klee painting named Angelus Novus shows an angel looking as though he is about to move away from something he is fixedly contemplating. His eyes are staring, his mouth is open, his wings are spread. This is how one pictures the angel of history. His face is turned toward the past. Where we perceive a chain of events, he sees one single catastrophe which keeps piling wreckage upon wreckage and hurls it in front of his feet. The angel would like to stay, awaken the dead, and make whole what has been smashed. But a storm is blowing from Paradise; it has got caught in his wings with such violence that the angel can no longer close them. The storm irresistibly propels him into the future to which his back is turned, while the pile of debris before him grows skyward. This storm is what we call progress."


උපුටනය අවසන් wiki quote here 

"ඉතිහාසය නම් වූ සුරදූතයාගේ දෙනෙත් අතීතය දෙසට යොමු වී ඇත්තේය. අතීතය යන සිදුවීම් දාමයක ප්‍රත්‍යක්ෂමය අබලි ද්‍රව්‍ය ලෙස අප ග්‍රහණය කරගන්නා දේ අතර මහා විනාශකාරී සිදුවීමක් දෙස ඔහු ‍අවධානය යොමු කරද්දී ඒ අබලි ද්‍රව්‍ය ඔහුගේ දෙපා මුල කැලැත්තෙමින් කුනාටුවක් ලෙස ගොඩ ගැසෙයි. සුරදූතයාට මරණයෙන් නැගිට එහිම රැඳෙන්නට ආශා කළ ද පාරාදීසයෙන් හමා එන මේ කුනාටුවේ ප්‍රචණ්ඩත්වය අභිමුව සිය විහිදූ අත් තටු ගර්හිතව නිසල වෙයි. මේ ප්‍රචණ්ඩ කුණාටුව විසින් ඔහුව අනාගතය වෙත රැගෙන යන්නේ ඔහුගේ සම්මුඛ නොවූ පාර්ශවය‍ හේතුවෙන් ඔහුගේ දෙපාමුල ගොඩ ගැසෙන අතීත අබලි අහසේ මායිම තෙක්ම ගොඩනැගෙන අතරමය. මේ කුනාටුව ට අපි 'සාර්ථකත්වය' යැයි කියමු."

වෝල්ටර් බෙන්ජමින්ගේ මෙම විකේතනය කේන්ද්‍රීය කොට ජිජැක් එහි අභ්‍යන්තර මානය තව දුරටත් විකේතනය කරයි.

මෙම "ඇන්ජලස් නොවුස්" සිත්තමේ සුරදූතයාගේ ම්ලේච්ඡ අතරමැදි වීම ජිජැක් දකින්නේ දිව්‍යමය ප්‍රචණ්ඩත්වයේ පිළිබිඹුවක් නොවන්නේ ද යනුවෙනි.

උපුටනය ඇරඹුම

And what if divine violence is the wild intervention of this angel? Seeing the pile of debris which grows skyward , this wrecking of injustices , from time to time he strikes back to restore the balance, to enact a revenge for the destructive impact of "progress". Couldnt the entire history of humanity be seen as a growing normalisation of injustice , entailing the nameless and faceless suffering of millions? Somewhere, in the sphere of the "divine" , perhaps these injustices are are not forgotten. They accumulated , the wrongs are registered , the tension grows more and more unbearable , till divine violence explode in a retaliatory destructive rage.

උපුටනය අවසන් Violence-Slavoj Zizek

සිතුවමක සංගීතයක සැඟව පවතින්නා වූ මෙම දිව්‍යමය ප්‍රචණ්ඩත්‍වයේ මානය ලාංකීය වාග් කෝෂය තුළ හෝ අවිඥානය තුළ විදාරණය කර ගැනුමට අපි මෙතැන් සිට වෙහෙසෙමු.


මව් කුසකින් නයි පැටවකු උපදින්නට පුළුවන් දැයි මම ගලිගමුවේ ඤාණදීප හිමියන්ගෙන් විමසුවෙමි.


“පුළුවන්. පෙර අකුසල් නිසාත්, සාප කිරීම් නිසාත් ඒ වගේ අද්භූත උත්පත්ති සිදුවෙන්න පුළුවන්. බුද්ධ දේශනාවේත් සඳහන් වෙනවා. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන ක‍්‍රම හතරෙන්ම නාගයන් උපදින බව සංයුක්ත නිකායයේ සඳහන් වෙනවා.
ඒ වගේම මීට අවුරුදු පණහකට පමණ පෙර ලංකාවේ එක්තරා කාන්තාවකට යක් පැටවෙක් උපන් සිද්ධිය ප‍්‍රසිද්ධ කතාවක්. යක්ෂයෙක් වගේ හැඩරුව ඇතිව රෝම පිරුණු ශරීරයකින් ඉපැදුණු මේ අද්භූත යක් පැටවා බලාගෙන සිටියදී උස් මහත්වී කුස්සියට දුවගෙන ගොස් ලිප් ගල මත වාඩි වුණාලු.


ගෙදර අය මෝල් ගහකින් ගසා මරා දමා තියෙනවා. ඒක ප‍්‍රසිද්ධ කතාවක්. පාප කර්ම විපාක අනුව එවැනි දේ සිදු වෙනවා” යි උන්වහන්සේ පැවැසූහ.


මේ උපුටනය මා සොයා ගත්තේ 2008 වසරේ අගෝස්තු මස සිළුමිණ පුවත්පතේ මතුගම මහින්ද විජේතිලකගේ සංවාද සටහනකිනි. මීට වසර පණහකට පමණ පෙර සිදුවූයේ යැයි සඳහන් මේ සිදුවීම හුදු කල්පිත ප්‍රබන්ධයක් හෝ කටකතාවක් හෝ වූයේ යැයි උපකල්පනය කළ ද එබන්දක් සමාජය විසින් නැවත නැවතත් කාලාන්තරයක් තිස‍්සේ වරනැගීමට තුඩු දුන් සාක්ෂියක් ලෙස ගත හැකි යමක් අද පවා ලාංකීය සංස්කෘතික කතිකාව තුළින් සොයා ගත හැකිය.

සමාජයක අවිඥානය ගොඩ නගන දැනුම යනුම එම සමාජය විසින් භුක්ති විඳින නිර්මාණය කරන කතිකාමය විශ්වය යි. ප්‍රධාන වශයෙන් සාහිත්‍යය කලාව දේශපාලනික මතවාද සහ ආගමික මිථ්‍යා අන්තර්ගත කතිකා විශ්වය යි. මේ කතිකා විශ්වය යනුම දේශපාලන ආර්ථික සමාජයීය හෝ විද්‍යාත්මක ලෙස ද නැවත ගත හැකිය. මාක්ස්වාදය හෝ ජාතිවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ ෆැසිස්ට්වාදය යනුම ද ඒ දේශපාලන කතිකා තුළ නිර්මාණය වන චූල කතිකාවන් ලෙස ගත හැකිය. මෙම චූල කතිකා බලය නමැති සාධක මතින් මහා කතිකා බවට රූපාන්තරණය වීමේ විභවයෙන් යුක්තයැයි කීමේ දෝශයක් නැත. මේ සියළු කතිකා සමස්ත සමාජ විඥානය තුළ විවිධ ස්වරූප සහ ප්‍රමාණ ඔස්සේ තැන්පත් ව අවිඥානිකව ක්‍රියාත්මක වෙමින් පවතී. එනමුත් මේ සියල්ලේ සාමුහික ක්‍රියාකාරිත්වය ඒ කිසිවක් එහි සංශුද්ධතාවයෙන් ක්‍රියාත්මක නොවීම පවත්වා ගන්නා බැවින් එය නැවතත් දෘශ්ටිවාදය ලෙස හඳුන්වා දිය හැකිය.

දැන් අපි මේ යක්ෂ පැටියා දෙසට වෙනත් දිසාවකින් ගමන් කරමු.

ලංකාවට බයිල නමැති ගායන සංස්කෘතිය ස්ථාපනය කරන්නට පුරෝගාමී වූ වොලී බැස්ටියන් ශ්‍රී ලංකා පොලිසියේ එවකට රථවාහන අංශයේ‍ සේවාවේ නියුතු වූ පොලිස් නිලධරයෙකි. ඔහු එකල අතිශය ජනප්‍රිය පුද්ගලයෙකි. ඔහුගේ ගායනා ලාංකීය ගීත ක්ෂේත්‍රයට ඇතුළුවන යුගය පණහ සහ හැටේ දශකය යැයි කීමේ වරදක් නැත්තේය. එම බයිල ගීත බොහොමයක පදමාලා ඔහු අතින්ම රචනය වී ඇත්තේය.

යක්ෂ පැටියෙකු උපත ලබා ඇවිද යාම වැනි මිථ්‍යාමය සිදුවීමකට ඊළඟට අත්විය හැකි ඉරණම නැවත අපට හමු වන්නේ වොලී බැස්ටියන් විසින් රචනා කොට ගායනා කළ වර්තමානයේ පවා ප්‍රචලිත හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක නම් වූ බයිලා ගීතය යි. මේ ගීතය ඔහු අතින් ලියැවීමේ දී එම ලියන මොහොත පිළිබඳ ඔහු ස්ථානගත කරගන්නා අවිඥානය විසින් එහි පද පෙලත් රිද්මයත් ගොඩනැංවී ඇති බැව් පැහැදිලිය.

වොලී බැස්ටියන් කොළඹ පොලීසියක රාජකාරී කිරීම නිසාවෙන් ඔහු අතපත් වන සමාජීය කතිකාවන් එකලට සාපේක්ෂව වඩාත් නූතන විය යුතුය. බොහෝ විට දේශපාලනික හෝ සමාජයීය හෝ අතිශය අප්‍රකට හෝ රහසිගත කාරණා පවා ඔහුගේ සවනට වැකෙන්නට බොහෝ ඉඩකඩ ඇත්තේ ‍ඔහු පොලීසියේ රාජකාරී කරන්නෙකු වීමෙන් ඔහු ලබන සමාජීය ඇසුර නිසා යැයි උපකල්පනය කිරීමේ ද අසාධාරණයක් නොමැතිය. මේ සියළු සාධක සසඳා බලද්දී ඔහු අතින් ලියැවුනු යක්ෂ පැටියාගේ ගීත කතාවේ ප්‍රබන්ධාත්මක කොටස විසින් සංකේතීකරණය කරනු ලබන සමාජීය විෂය ක්ෂේත්‍රය අනාවරණය කරගන්නට උත්සාහ කරමු.


හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක
කොල්ලො රැලක් වටකරගෙන ගැහුව බෙල් එක
කොල්ලො කෙල්ලො වටකරගෙන බබි ආච්චිව මැද තියගෙන
කොල්ලො කෙල්ලො උඩ පැන පැන ගැහුව බෙල් එක

බබයියාට යන්ට වෙලා වින්නඹු ගේක
දුන්න ගෙනත් බබි ආච්චිගේ බයිසිකල් එක
කොල්ලො කෙල්ලො මෙය පැදලා ‍රෝද දෙකත් බකල් වෙලා
වැටුනා බබයියා පැද ගෙන ගොසින් අගලට

පුලුටු කැවිලා බබි ආච්චි දත් මිටි කන්නේ
දිස්ටි වැහිලා බබි ආච්චි ලෙඩින් දෙවියනේ
බබයියා නම් හරි නාකියි‍‍‍‍ බබි ආච්චි හැට දෙකකි
බබි ආච්චි ලෙඩින් දෙළොස් මසක් ගත වුනේ

බබි ආච්චි බබයියා‍ට මෙහෙම කියන්නේ
මේ විදියට කල් ඇරියොත් වැඩ වරදින්නේ
දෙ‍ළොස් මසක් ගත වෙද්දි බඩේ දරුවා ලොකු වෙද්දී
මේකට අපි දෙහි කැපුවොත් වස් දොස් යන්නේ

කට්ටඩි රාළව බබයියා ගෙදර කැඳෙව්වා
බෙර ගහලා දෙහි කපලා යකුන් නැටෙව්වා
බබි ආච්චි පරල වෙලා නටයි ගෙදර හූ කියලා
කට්ටඩියා අර බඩදරු අම්මා නැටෙව්වා

කට්ටඩියා මතුරයි පන්දමක් වන වන
බබි ආච්චිගේ බඩ රිදෙනා මර හඩ දෙන්නා
බෙර කරුවා බෙර ගසති යක්ස මූණු දා නටතී
රෑ ජාමෙට හූ හඩකින් දරුවා උපන්නා

හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක
කොල්ලො රැලක් වටකරගෙන ගැහුව බෙල් එක
කොල්ලො කෙල්ලො වටකරගෙන බබි ආච්චිව මැද තියගෙන
කොල්ලො කෙල්ලො උඩ පැන පැන ගැහුව බෙල් එක

දරුවා දැකල වින්නඹු තැන මැරිල වැටෙද්දී
මරුවා වගේ දරුවා කුස්සියට වැටිච්චී
යක්ස දරුවා හිනා වෙලා ලිප් ගල් තුන උඩ නැගලා
අග්ගල ගුලි ඉල්ලුවාම මම බයවෙච්චී

කට්ට කලුයි දත් හතරයි යක්ස පැටියගේ
හරි රතට රතුයි හිස බොකුටුයි දිව දිගයි උගේ
යක්ස දරුගේ ආරන්චී මුළු ගමේම පැතිරෙච්චි
කොල්ලො කෙල්ලො පිරිල ගෙදර කෝලමක් වගේ

රාළහාමි කෙනෙක් එතෙන්ට දුවගෙන ආවා
අතේ තිබුණු තුවක්කුවෙන් එල්‍ලෙ කෙරෙව්වා
හෙණ වෙඩිල්ල පිපිරෙද්දී යක්ෂ ‍ඔලුව කුඩුවෙද්දී
බබි ආච්චි යක්ස බයෙන් කැලේට දිව්වා

මෝඩ කම් කරයි බඩදරු අපේ අම්මලා
යක්ෂ නැටුම් බලි තොවිල් සොයං බලබලා
පුළුටු කකා රෑ ජාමේ නොයන් බඩ දරු අම්මේ
ගියොත් වෙන්නේ හරි විපතයි යක්කු බෝවෙලා

වොලී බැස්ටියන්

පණහේ දශකයේ දී ලංකාවේ ජන මනසට සෙමෙන් නමුත් ක්‍රමයෙන් කාන්දු වෙමින් පැවති ප්‍රචණ්ඩත්වයේ නව ස්වරූපය පිළිබඳ නව කතිකාව යනුම එක්තරා අතකින් පණස්තුනේ හර්තාලය වැනි ප්‍රසිද්ධ එළිපිට සිදු වූ නූතන සමාජ විප්ලවකාරී කැළඹුම් ඔස්සේ ද අනෙක් අතට නැගී ගෙන එන කොමියුනිස්ට් ව්‍යාපාරවල අභ්‍යන්තර රහසිගත ව්‍යාපෘති හරහා ද සමාජයට නූතනත්වයේ යක්ෂයා ක්‍රමයෙන් ආරූඨ වෙමින් පැවතීම ලෙස වටහා ගත හැකිය. ලාංකීය ඉතිහාසය තුළ පවත්වා ගෙන එනු ලබන සම්ප්‍රදායික ප්‍රචණ්ඩත්වයේ ස්වරූප රාජ්‍යත්වය හා බැඳී ඇත්තේ වුවද උත්තරාරෝපිත බටහිර බලය හරහා නැවත අත්දකින නූතන ප්‍රචණ්ඩත්වයේ වෙනස් ස්වරූප මාදිලි ලාංකීය සමාජය අත්විඳින්නේ සෘජුවම සමාජවාදී දේශපාලන ප්‍රවාහයේ බලපෑමෙන් යැයි මම උපකල්පනය කරමි. කෙටියෙන් පැවසුවොත් සමාජය තුළ විප්ලවය යන වචනය කාල අක්ෂයේ ස්ථානගත වන්නේ මෙම බටහිර මාක්ස්වාදී කතිකාව තුළිනි.

මෙබඳු සමාජයේ සිතුවිලි දහරාවට යටින් සෙමෙන් වර්ධනය වී එන නූතන ප්‍රචණ්ඩත්වය අවිඥානික ලෙස ප්‍රකාශ වීම් එකල සිදු වූයේ නම් ඒ එක්තරා විදියක සංකේතීය ප්‍රකාශනයන් ය. එබඳු සංකේතීය අවිඥානික ප්‍රකාශයක් බවට ඉහත යක්ෂ පැටියාගේ උපත සහ ඔහුගේ මිථ්‍යාමය ක්ෂණික නැගීම සහ ඇවිද යාමද සැලකිය හැකිය. මෙම ලක්ෂ්‍යයේදී වැදගත් වන්නේ එබඳු යක්ෂ පැටියෙකුගේ යථාර්ථමය පැවැත්ම නොව එය කතිකාව තුළ අත්කර ගන්නා සුවිශේෂී ස්ථානය යි. වෛද්‍ය විද්‍යාත්මකව ස්වරූපයෙන් විකෘති දරුවකු උපත ලැබීමේ අවම අහඹුතාවයක් පැවතිය ද එබන්දෙක් උපන් සැණින් ඇවිද ගොස් ලිප්ගල් මත වාඩි වීමක් යථාර්ථය තුළ බලාපොරොත්තු විය නොහැකිය. මේ ඇවිද යාමේ සංකේතීය ප්‍රබන්ධය එබඳු කිසියම් සිදුවීමකට අතින් එකතු කරන ලද කොටසයි. ‍එම අතින් එකතු කළ කොටස ගන්නා වූ හැඩය රඳා පවතින්නේ සමූහික ජන විඥානය මත පමණක්ය යන්න ද එලෙසම පැහැදිලිය.


වොලී බැස්ටියන් මෙම ගීතය රචනා කරන අවදිය 1959ට පෙර යැයි සළකා බැලූවිට මෙහි සංකේතීකරණය වන බබි ආච්චි යනු හුදෙක්ම කල්පිත චරිතයක් බැව් පැහැදිලිය. ඒ චරිතය සඳහා ආදේශ වීමේ කිසිදු ස්ත්‍රී චරිතයක් එම මොහොතේ සමාජය විසින් නිපදවා නැත. සමාජය විසින් නිපදවා තිබූ සංකේතීය චරිතය වන්නේ යක්ෂ දරුවා පමණි. එයින් කතිකාමය අවකාශය පුරවන්නට වොලී විසින් නිපද වූ සංකේතීය බබි ආච්චිත් බබයියාත් යනුම යක්ෂ දරුවාගේ පෝෂණ මාධ්‍යයයි. නමුත් 1959ට පසු අවදියේ දී බැස්ටියන් විසින් මෙම ගීතය රචනා කළේ නම් එහි සංකේතීය අවකාශය සිරිමා බණ්ඩරණායක චරිතයෙන් පිරී යන්නට බොහෝ ඉඩකඩක් ඇත්තේය. ඒ මක්නිසාද යත් 1959 දී අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනය ට ලක්වීමත් සමග ඇතිවන දේශපාලන කතිකාව තුළ සිරිමා මැතිණිය පෙරටුවට ගෙන ඒමේ මොහොතයි. එබන්දක් ගීතයට පද අමුණන වොලීගේ අවිඥානය තුළින් මෙහෙය වන්නේ නැති බැවින් ගීතයේ අවසන් පද පේලියට එද්දී එහි වාච්‍යාර්ථය හුදු මිථ්‍යාමය තැනකින් කෙළවර කරන්නට වොලී සමත් වෙයි. එසේ නොවන්නේ නම් සම්පූර්ණ සංකේතීය විශ්වය වෙනස් වෙයි. මා සොයා දැනගත් පරිදි මේ ගීතය වොලී බැස්ටියන් තැටිගත කරන‍්නේ 1950 දශකයේ මුල් අවදියේ දීයි. * සමහර විට 53 හර්තාලයෙන් පසුව ලියැවූනේ නම් එහි සංකේතීය ප්‍රකාශනය වඩාත් තැති ගන්වන සුළුය.

අනෙක් අතට තුවක්කුවක් විසින් යක්ෂ පැටියකු විනාෂ කළ යුතුය යන හැඟවුම්කරණය යථාව හමුවන්නේ 1959 යැයි කිසිවෙකුටත් තර්ක කළ හැකි යුටෝපියානු විශ්වයක් ද මේ ගීතයේ අන්තර්ගත විය හැකිය. අගමැති බණ්ඩාරනායක යක්ෂයෙකු ලෙස ස්ථානගත වන දේශපාලනික කතිකාවක බීජය ඒ තුළින් මතු වූවා යැයි ද තර්කයක් ගෙන ආ හැකිය. තල්දූවේ සෝමාරාම විසින් රිවොල්වරයෙන් වෙඩිතබා මරා දමන්නේ ඒ යක්ෂ පැටියා විය හැකිය. මේ ගතිකයන් සොයා යාම සමාජ විඥානය තුළ ක්‍රියාත්මක ජනප්‍රියවාදී ප්‍රචණ්ඩත්වයේ යථාර්ථයේ ඛණ්ඩාංක සංවිධානය කරන බලවේග මොනවාදැයි සොයා යාමේ ගවේෂණයේ ආරම්භයයි.

එසේ නොවූයේ නම් එම අවස්ථාවේ පැවැතිය හැකි අවිඥානික ක්‍රියාදාමය හුදෙක් නැග එන්නා වූ ඒකාධිපතිවාදී රාජ්‍ය තන්ත්‍රය පිළිබඳව සමාජය තුළ පැතිරී යන මිථ්‍යා විශ්වාස හේතුවෙන් එහි නාශක බලවේගය ලෙස සන්නද්ධ වෙමින් පැවති කොමියුනිස්ට් ක්‍රමය පිළිබඳ සංඥාවයි. එහිදී විය හැකි ලෙසම පොලිස් නිලධාරියෙකුගේ අවිඥානික විසඳුම මේ ගීතයේ රිද්මානුකූලව ලියැවී ඇත.

මේ ගීතයේ ඊළඟ ඉරණම විමසා බැලීමට අපට කාල අක්ෂයේ පිම්මක් පැනීමට සිදු වෙයි. ඒ හැත්තෑ එකේ කැරැල්ලට පසුබිම් වූ හැට ගණන්වල සමාජ විඥානයේ පැති කඩවල් ය. මේ අවදියේ දී එක්සත් ජාතික පක්ෂය විසින් තිරගත කරන්නට යන ඒකාධිපති ආණ්ඩුවක් ගැන ජනතා විමුක්ති පෙරමුණ ගෙන යන්නා වූ කතිකාව සමාජ ගත වෙමින් පැවතුමත් ක්ෂණිකව 71 කැරැල්ල නිත්‍ය ලෙසම සමාප්තියකට ගෙන එන සිරිමා ආණ්ඩුව එය කැරැල්ලටම අනුගත ක්‍රමයකින් සමතලා කරද්දී ඇති වන සමාජ විඥානයේ පෙරලියයි. ඒ වන විට වොලී බැස්ටියන්ගෙන් ගීතය මැක්ස්වෙල් මෙන්ඩිස්ට හුවමාරු වන අතර එය හුදෙක්ම මෙ‍ම ඓතිහාසික සිදුවීම් ඔස්සේ ඊට අනුරූප සවිඥානික වෙනස් කම් කරගෙන ඇති බැව් පහත පදමාලාව නිරීක්ෂණය කළ විට පැහැදිලි වේ.


හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක
කොල්ලො රැලක් වටකරගෙන ගැහුව බෙල් එක
කොල්ලො කෙල්ලො වටකරගෙන බබි ආච්චිව මැද තියගෙන
කොල්ලො කෙල්ලො උඩ පැන පැන ගැහුව බෙල් එක

බබි ආච්චිට පුලුටු කැවිලා මේක අසන්න
දිස්ටි වැටිලා බබි ආච්චි ලෙඩින් දෙයියනේ
බබයියා නම් හරි නාකියි‍‍‍‍ බබි ආච්චිට හැට දෙකකි
බබි ආච්චි ලෙඩින් දෙළොස් මසක් ගත වුනේ

කට්ටඩි රාළව බබයියා ගෙදර කැඳෙව්වා
බෙර ගසලා දෙහි කපලා යකුන් කැඳෙව්වා
බබි ආච්චි පරල වෙලා නැටුව ගෙදර හූ කියලා
කට්ටඩියා අර බඩදරු අම්මා නැටෙව්වා

අල්ලපු ගෙදර ජොසි නෝනත් ආවේස වෙච්චි
තොවිලෙ බලං හිටපු ගෙදර කරකොට මැංචි
උන්‍ දෙන්නත් පරල වුනා බලං හිටපු මෙමට හිනා
නටල නටල හම්බත් වී බිමට වැටෙද්දි

කට්ටඩියා මතුරයි පන්දමක් වන වනා
බබි ආච්චිගේ බඩ රිදෙනවා මර හඩ දෙන්නා
බෙර කරුවෝ බෙර ගසති යක්ස මූණ බැඳ නටතී
රෑ ජාමෙට හූ හඩකින් දරුවා උපන්නා

හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක
කොල්ලො රැලක් වටකරගෙන ගැහුව බෙල් එක
කොල්ලො කෙල්ලො වටකරගෙන බබි ආච්චිව මැද තියගෙන
කොල්ලො කෙල්ලො උඩ පැන පැන ගැහුව බෙල් එක

දරුවා දැකල වින්නඹු තැන මැරිල වැටෙද්දී
මරුවා වගේ දරුවා කුස්සියට පලච්චී
යක්ස දරුවා හිනා වෙලා ලිප් ගල් තුන උඩ නැගලා
අග්ගල ගුලි ඉල්ලුවහම මම බයවෙච්චී

කට්ට කලුයි දත් හතරයි යක්ස පැටියගේ
ඇස් රතට රතුයි හිස බොකුටුයි දිව දිගයි උගේ
යක්ස දරුගේ ආරන්චී මුළු ගමේම පැතිරෙච්චි
කොල්ලො කෙල්ලො පිරිල ගෙදර කෝලමක් වගේ

බබි ආච්චිගේ පූස් පැටියා දුම උඩ ඇත්තේ
බබියියාගේ බලු කුක්කා නිදි ලිප් බොක්කේ
යක්ස දරුවා මුං අල්ලලා දෙකට කඩල ලේ බිව්වා
බබයියා බය වෙලා දිව්වා තව නැහැ ආවේ

රාළහාමි කෙනෙක් එතන දුවගෙන ආවා
අතේ තිබුණු තුවක්කුව එල්ල කෙරෙව්වා
හෙණ වෙඩිල්ල පිපිරෙද්දී යක්ෂ ‍ඔලුව ගැලවෙද්දී
බබි ආච්චිගේ කතන්දරේ නුඹලට කිව්වා

හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක
කොල්ලො රැලක් වටකරගෙන ගැහුව බෙල් එක
කොල්ලො කෙල්ලො වටකරගෙන බබි ආච්චිව මැද තියගෙන
කොල්ලො කෙල්ලො උඩ පැන පැන ගැහුව බෙල් එක

මැක්‍ස්වෙල් මෙන්ඩිස්

මෙම ගීතය විසින් දේශපාලන කතිකාව තුළ ඇති කරන පැල්ම වඩාත් පැහැදිලි වන්නේ එය පශ්චාත් කැරලි මර්දිත සමයේදී සභාග ආණ්ඩුව විසින් තහනමට ලක් කරන විටයි. ඒ ආසන්න වශයෙන් 1974 දීය. **

මෙම අවස්ථාව වන විට ගීතයේ බබි ආච්චි සංකේතීකරණය යථාර්ථයක් වන ආදේශක චරිතය දේශපාලනික කතිකා විශ්වය විසින් නිවැරදිව නිපදවා ඇති හෙයින් එය තහනමට ලක් වෙයි.

ගීතයක් තුළින් සංකේතීකරණය වන ප්‍රචණ්ඩත්වයේ ව්‍යූහයන් එය ජනප්‍රිය වන තරමටම ඉහළ යන ආකාරය පෙන්වා දීමට මේ කදිම නිදර්ශකයක් ලෙස පෙනී යන්නේ මේ බඳු ජනප්‍රිය ගීත අදත් බොහෝ සමාජ කණ්ඩායම් තුළ අවිඥානය සංවිධානය කරමින් සිටිනා බැවිනි.



ආශ්‍රීත ග්‍රන්ථ වෙබ් අඩවි

1. ලලිත සමය එරික් ඉලයප්ආරච්චි 2010
2. චිත්‍ර කලාව සහ විචාරය එරික් ඉලයප්ආරච්චි තෙවන මුද්‍රණය 2003 ප්‍ර.මු. 1995
2. ජනතා විමුක්ති පෙරමුණ 1969-1989 ඒ සී අලස් 2001
3. N.M. Perera Birth Centenary Publication 2006 Edited by Prof. Colvin Goonaratna
4.Violence-Slavoj Zizek 2008
5. වොලී බැස්ටියන්ගේ තොරතුරු අන්තර්ගත වෑම්පයර් ‍‍බ්ලොග් අඩවියේ සටහන
6. සිළුමිණ පුවත්පතේ සංවාදය ඇතුළත් වෙබ් අඩවිය
7. විකීපීඩියාව


විශේෂ ස්තුතිය:

මෙම ලිපිය සම්පාදනය කිරීමට ඇවැසි තොරතුරු සොයා නොමසුරු ලෙස සිය කාලය වැය කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගීත ඉතිහාස පොත් විමර්ශනය කරන්නට පොත් සාප්පු ගානේ රස්තියාදු වෙමින් ද එරික් ඉලයප්ආරච්චි සහ ගුවන් විදුලියේ සනත් මෛත්‍රීපාල* යන මහත්වරුන් සම්බන්ධ කරමින් වොලී බැස්ටියන්ගේ ගීතයේ පටිගත කාලවකවාණු හැකිතාක් නිවැරදිව සොයා දීම වෙනුවෙන්ද ගයා රම්‍ය අල්විස් සහ ධම්මික බණ්ඩාර** මහත්වරු සම්බන්ධ කරගනිමින් ගීතයේ ඓතිහාසික තොරතුරු තහවුරු කරමින්ද හෂිත අබේවර්ධන විසින් කළ දායකත්වයට හදපිරි ස්තුතිය පිරිනැමේ. එම කටයුතු සඳහා තම කාලය වැය කළ එම සියළු දෙනාටද ස්තුතිවන්ත වෙමි. මැක්ස‍්වෙල් මෙන්ඩිස් මහතාගේ ගීතයේ ‍පසුබිම් තොරතුරු සැපයූ ප්‍රසාද් වීරසේකර සහෘදයාටද නොවක් තුති.

1 කුළිය:

මුචලින්ද said...

දැනගන්න හොයන්න විඳින්න කැමතිම මාතෘකාවක්!