උදෑසනම සංචාරක කුරුළු ඊමේලයන් ලගින මගේ කුඩා ගූගල් තිප්පලේ මේ කවි කිරිල්ලිය ලැගහුන්නෙන් ඇය මලක් සේ හෘදයාංගමව දෝතට වඩා මෙහි ගෙන ආවෙමි. සුවහසක් දනන් මන් තුළ සැරිසරන ආලයේ ප්‍රේමයේ නුරාවේ නටබුන් වංකගිරි මාළිගයේ පාළු කාමර සඳලුතලා උස් කුළුණු රහසිගත කාමර අස්සෙන් ඇවිද යන හුදෙකලා සිතැත්තී දකින මරණයේ ඇටසැකිලි සිය දිවි නසාගත් ප්‍රේමණීයයන්ගේ ගෙළ වැළ ලා ගත් අඳුරු කාමර මෙන්ම නුරාගී ඉඟිබිඟි වැකී ගොස් භූතාත්ම බවට පත්වූ සනාතන ප්‍රේම වස්තු අතරින් පෙරී ආ මේ කවි මකරන්දය මෙසේ ඔබ වෙත පාමි.
සුභද්‍රාගේ භද්‍ර වචන මෙසේ සතපා තබමි.
ඒ තුළ කාල වර්ණ ඡවි කළණියගේ තැවුල නිදි නොබිඳ ඒ සිහිනයේම රඳවා ඇවිද යන්නට ආරාධනා කරමි.
රනින් රන් හදැත්තී
සුලු කළිඟු කුමාරිය
කතාවේ තරමටම රුවැත්තී
රන් රුවක රනට දිලිසුනා නම්
රන් හදක් නොවුනාද රුවැත්තී
පහන් පෑ රුවක් නැති සිඟන්නී
රැය පහන් වන තුරා
මං තනිව ජීවිතය යදින්නී
දරා නූපුර බරණ
අරා මුඳු මල් යහන
සිද්ද පත්තිනි දේව බිසව්නේ
විද්ද මල්සර දුන්න
හර්ද මස තුළ කිමිද
බින්ද සිල් කමා නොකෙරුව මැනේ
සිත පුරා පිං පිරූ කන්‍යාව
වත පුරා පෙම දැරූ ලීලාව
දිව්ර දිව්රා කීව බව සැබැයි
නොබලනා බව ඇහැක්
පිරිමි ඇහැකට ඇහැක්
නොසිතනා බව සිතක්
පිරිමි සිතකට සිතක්
ඇයිද මේ මල’සුනම පරවෙලා
නැද්ද රන් හදැත්තී ඉපදිලා
විනම් හද දව දවා
සඟව සඟවා දැවෙන ගින්දරා
පළිගසා කුමට මගෙ බිසව්නේ
කියන් මට නොසඟවා
හදන් මේ සිඟන සිත
වීද නුඹටත් රහස් බිසව්නේ
සුභද්‍රා ජයසුන්දර
1 කුළිය:
කියවූ සැනින් අවබෝධ වූ දේ ටිකයි. ඒත් මුහුණේ පැත්තක්ම හිරිවැටුනා. හරිම සංවේදී, කලාත්මක, ව්‍යංගය ඉතා සූක්ෂ්මතාවකින් යොදාගත් නිර්මාණයක්. ඒවගේම රාත්‍රිය තනිව ගතකරනා රෑ මනමාලියකගේ සිඟන සැමියෙකුගේ හිතට නැගෙන සිතුවිලි සමුදායක්. ඒ තුළින් "ඈය" ගැන අලුත් ආකාරයකින් බැලීමට ගත් උත්සාහයක් - අනේ මට තේරෙන විදියට - දෙපාර තුන්පාර කියවනකොට මහ විසල් අර්ථ මතුවෙනවා...දැඩි වේදනාවක්, කම්පනයක් ඈතිවෙනවා. හරිම සංයමයකින්, කලාත්මකව කරන වැළපීමක්, යාදින්නක්... අප කවුරැත් දන්නා සුලභ ප්‍රස්තුතයක් නවමු අකාරයකින් ... මෙය එවූ ඩෝසන් සොයුරාට ද ස්තූතියි. සුභද්‍රා හොඳ කිවිඳියක්...
Post a Comment