Saturday, October 9, 2010

නන්දන වීරසිංහගේ 'රැය කරා ගමන' ප්‍රශස්ත කාව්‍ය ග්‍රන්ථයක් නොවන්නේ ඇයි?


නන්දන වීරසිංහගේ 'රැය කරා ගමන' ප්‍රශස්ත කාව්‍ය ග්‍රන්ථයක් නොවන්නේ ඇයි?


කලකට පසුව නන්දන වීරසිංහ පළ කළ නවතම කාව්‍ය සංග්‍රහය මා අත පත්වූයේ නොහිම් සතුටේ ආලෝක දහරා මැද්දේය. නන්දන වීරසිංහ ගෙ කාව්‍ය භාවිතාව අතිශය වශයෙන් මා සිත පිරිමැද ඇතියෙන් මා රස විඳි සුභාවිත කාව්‍ය යනු නන්දන සුරතින් වැගිරෙන කාව්‍යමය තීන්ත උල්පතෙන් ගලා එන ඒ කවිදිය දහරේ එක්තරා වක්වූ ස්ථානයක උපන් සිඟිති ජලාශයක ගිලී ජලක්‍රීඩාවේ යෙදීමක් ලෙස මේ සතුටු අවස්ථාව මගේ සිතේ ඇඳෙයි.

කවිය යනු කිමැයි විවාදාභිමුඛ තරුණ පරම්පරාව හැරී බැලිය යුතු කවිකම් වෙතොත් ඒ අතර නන්දන වීරසිංහගේ කාව්‍යකරණය ශික්ෂාවෙන් පැහැදුල් ඉන්ද්‍රඛීලයක් මෙන් තැන්පත් ගතින් සැදී පැහැදී වැඩසිටින අරණක් සේ දිස් වනු නොඅනුමානය. මේ තේජාන්විත කවි අරණ්‍ය සේනාසනයේ ඇවිද ගොස් නිවුනු සිතින් මේ සටහන තබමි.

වන මැද ගමන

වන මැදින් පා ගමනින්
මයිල විසි තිස් ගණන් ගෙවුවෙමු
එහෙත් තව ගමනක් පමණි මේ
කවට මිතුරන් සමඟ සපැමිණි

බෑවුමෙක රහසේ පිපී ගිය
මල් මතෙහි විමතියක් යම් කිසි
තිබිණි දැයි විමසනු ව කල් නැති
ගමන් සගයන් නඟා හිස් රැවු
නොනැවැතී රැය කරා ගමනෙහි

උදා වාතලයෙහි පැතිර ගිය
නිහැඩියාවෙහි මත් ව හුන් කඳු
සොලවමින් හදිසියේ පැන නැඟි
සිනා කිකිණිය සොයා යන මෙන්
කල් අවසර කිසිත් නැති

දිගත දිග මනිනා වලාකුළු
වසත් උලෙළක් පවත්වන මුදු
නොදැන දිව යන පිරිස පසුපස
අනු ව යන්‍ නෙක් වීමි සැණෙකින

සහස් වස් ගෙවු වනස්පතියන්
තුඟු උදාරම් කයින් තවමත්
මේ ගැජුම් හෙණ අකුණු ඉවසන
මහා විමැසුම් මුද්‍රාවෙකින්
හිඳින විස්මය දකිනු කල් නැති

ගියත් එකඟව මඳක් පසුපස
තනි ව ගමනක් තිබේ මට යළි

'වන මැද ගමන' කාව්‍ය 'රැය කරා ගමන' කාව්‍ය සංග්‍රහයේ පළමුවැනි කවිය යි. මේ කව නන්දන ඉදිරිපත් කරන්නේ ඔහුගේම ජීවන වෘන්දය පිළිබඳ සර්වප්‍රකාර වූ දැක්ම යැයි මට සිතේ. එය මිනිස් දිවියේ ඇති ගුප්තමය ශුභාරංචිය හකුළා දවටා ‍අප වෙත ගෙන එන දිව්‍ය දූතයෙකු සේ විටෙක සිත තුළ දහසක් සිතුවිලි ජනිත කරයි. සකලවිධ ව්‍යාධියෙන් පරිපීඩිත සමාජ ව්‍යුහය තුළ අපගේ ගමන් සියල්ලේ අරුත එක මිටින් ගෙන විදහන කැපූ මිණක් සේ මට දැනෙයි. ජීවිතයේ මයිල විසිතිස් ගණනක් පැමිණ ඇති මේ සහෘදාත්මක ගමනේ තව යා යුතු ඉසව් මග හසර ගැන ඉංගිතයන් රැගත් මෙ කව අපව වෙනස් මානයක ඇති ලම්බක සමාන්තර මංපෙත් හි දෙපා යොමන්නට සිතැඟි පෙළඹ වන්නේ යැයි මට එහි ඇති කවි මං සළකුණු ඔස්සේ දැනෙයි. දැවැන්ත ප්‍රතිරූපධාරීන් තුඟු උදාරම් කයින් නැගී හිඳ යම් සේ කඳු පංතීන් ඉහළ අහස් කුස නැගි මේඝ ගර්ජනා හෙණ අකුණු ඉවසමින් සිටින සමාධි මුද්‍රාගත ජීවනය ම විස්මයක් ලෙස ගෙන තමන් තුළ වන ගමන ගවේෂණය ට යොමු වීමේ අධ්‍යාශය ‍මීටත් වඩා රසින් කිව හැකි භාෂා ව්‍යායාමයක් මා කවර දිනෙක යළි ලබන්න ද?

මහඟු නිධහනකින් මා ලද මිණක් මෙන් මේ කාව්‍ය සංග්‍රහය මාගේ හදවතේ මම පැළැඳ ගත්තෙමි.

එක කවියකින් ලොව ඝණදුරු නිවුයේ යැයි සිතුනෙන් දහසක් අනෙක් තරු සඳු පසුබා නොයන්නේ යම් සේද අනෙකුත් කවි පුංජයන් ගැන ආශ්වාදනක විඳුම් සටහන් ලිවීමෙන් මා දුබල ව වැහැර යනු ඇතැයි සිතෙන තරමට ඒවායේ කාව්‍ය සුපේශලත්වය මා පමණ ඉක්මවයි.

ඉතිං නන්දන වීරසිංහගේ රැය කරා ගමන ප්‍රශස්ත කාව්‍ය සංග්‍රහයක් නොවන්නේ ඇයිදැයි සිතීමේ ව්‍යායාමයෙන් මම සමුගනිමි.


නන්දන වීරසිංහගේ කවි මග සැතපුම් කණු

ගිං ‍ගඟේ විලාපය- 1984
කිරි සුවඳැති රාත්‍රිය- 1990 රාජ්‍ය සම්මාන
සත්‍යකාම නම් වෙමි- 1994 රාජ්‍ය සම්මාන
ගිරග- 1998 රාජ්‍ය සම්මාන, ස්වාධීන සාහිත්‍ය සම්මාන
මහත් සඳ පිණි බිඳෙක- 2002 රාජ්‍ය සම්මාන, විද්‍යෝදය සම්මාන
චන්ද්‍ර බිම්බ- 2005 ගොඩගේ සම්මාන, 2005 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ ප්‍රශස්ත කෘති නි‍ර්දේශය.
සමස්ත කාව්‍ය නිර්මාණ කාර්යය වෙනුවෙන් 2000 වසරේ බුන්කා සම්මානය

1 කුළිය:

Anonymous said...

නන්දන වීරසිංහයන්ගේ "රැයකරා ගමන" කෘතියෙහි එන පළමු පැදිපෙළවන "වන මැද ගමන" ඔබ විඳ ඈති ආකාරය හරිම අපූරුයි. එය අපගේ දෑස් අරවන පැදි පෙළක් වන්නාහාම,විශිෂ්ට විචාරයක්. මං වැඩිය කවි පොත් කියවා නැහැ සේකරයන්ගේ "ප්‍රබුද්ධ" හා රත්නේගේ පළමු කෘතිය "බිය නොවන් අයියන්ඩී" හැර. මං ඊළඟ වතාවේ ලංකාවට පැමිණි සැණින් මේ කෘති අරගෙන කියවනවා. ස්තූතියි ඔබට අපේ ඥාණ මණ්ඩලයට ආලෝක ධාරාවක් එව්වාට.....
විපුල