Monday, July 20, 2009

සූරිය කාන්තා


සූරිය කාන්තා
”තරුණයා...! නුඹ විසින් දේවත්වයකින් සැලකිය යුතු කරඩුවක බහා පුද දුන් නොඉදුල් ආලය... අවමානයක් බවට පත් වීම කෙසේ නම් භුක්ති විද ගන්නෙම් ද...? අනෙක... නිමක් නැති පුරුෂ ඇසුරට ගිජු වූ ඇයගේ රතී රසය නුඹ වැන්නෙකුට තරම් වේද...? තුන් කල් ළගා කර ගත යුතු නැති... මෙවන් ස්ත‍්‍රීහු කිසිදු පෙම්වතෙකුට... කිසිදු ස්වාමිපුරුෂයෙකුට අනිවාර්යය අපකීර්තිය හා අභාග්‍යය ළගා නොකරන්නේ ද... ? එපමණක් ද... ? තරුණයා...! මේ දේ හොඳ හැටි... සිත තුළට ගනින්... මේ ලෝකයෙහි මිනිසුන් අතරේ අත්හැර දැමීමට නොහැකි කරදරකාරී පුරුදු දෙකක් තියෙනවා...එකක් පිරිමින්ගේ සූදුව...අනෙක ගෑණුන්ගේ වේසකම...”

ගුණරත්න වික‍්‍රමගේ-පළමු හාදුව-ගිනි කූර කෙටි කතා සංග‍්‍රහය

”එක්ස් කියුස් මී කවුද සිල්වියා කියන්නේ?”


”මම තමයි සිල්වියා -එච් ආර් ඇසිස්ටන්ට් -කරුණාකරල මෙතනින් වාඩි වෙන්න ”


සිල්වියා මට මුණගැහෙන්නේ මා රැකියාවට පැමිණි පළමු දිනයේම මගේ පෞද්ගලික ලිපිගොණුව සකස් කරන්නට ඇයට සිදුවූ නිසාය.

කාර්යාලයේ නවීනතම පරිඝණක උපාංග අතර දිලිසෙන වීදුරු ක්‍යුබිකල් අස්සෙන් ඇය කඩිසරව ගමන් කරයි.

ඇගේ සියුමැලි සිරුරේ පාණ්ඩු පැහැයත් කෙසඟබවත් මගේ සිත් ගත්තෙන් ඇයට දුටුමතින් පෙමින් බැඳී ඇගේ පසුපසින් වැටී හුන් මා සිතුවිලි දෛවයේ තවත් කඩඉමකට මාව රැගෙන යන්නට හරිමින් මෙ රැකියා මාරුව ගැන චිත්ත ප‍්‍රීතියෙන් පිනා යමින් උන්නෙමි.

ඈ පිලිපීන ජාතික කෙල්ලක් වුවද මට ඈ පෙනෙන්නේ පී‍්‍රටි සින්ටා සේය.
ඇ ගතින් මොකද්දෝ අමුතු නුහුරු සුවඳක් විහිදේ .
ඈ මා පසු කර යන හැම විටෙකම ඒ සුවඳ මා කිති කවයි .
ඒ සුවඳ අතීතයේ කිසියම් කාලවකවානුවක් සිහිකරයි- ඒ කුමක්දැයි මට පැහැදිලිව නොහැ‍ඟෙයි.
මා තුල කස්තුරි සුවඳ ගැන සිතිවිලි යලි යලි ඉපදේ -ඒත් මෙබදු සුවඳකැයි මට සිතෙයි.

ඒ මේ සුවඳ විය යුතුමයි.

888888

මගේ අතීතයේ මා සිතින් පෙම් බැඳි සියල්ලන් කෙසඟ කෙල්ලන්ය.
සිහින් ඇඟපත ඇතියවුන් කෙරෙහි මගේ ආකර්ෂණය කවදා කවර ආකාරයකින් හිත තුල රෝපණය වී දැයි මට සිහි කළ නොහේ.
කුඩා පියයුරු වැසීගිය ඇගේ කහ පැහැති බ්ලවුසය මතුපිට කිසිදු ස්ත‍්‍රී බවක් නොරැඳුනි.
එනමුදු එම දැකුම මසිත පුබුදුවයි .
මම ස්වාභාවික ජීව විද්‍යාවට ප‍්‍රතිපක්ෂ ජීවියකුදැයි මට මෙබදු සියලු අවස්ථාවන්හිදි සිතේ.
දරුවන් වැදීමට හැදීමට උපතින් ලද ඝණ පිරිපුන් පියයුරු මඩලින් ද පුළුල් උකුලින් ද යුත් පුෂ්ටිමත් කතුන් කෙරෙහි මා සිත ඇදී නොයන්නේ කවර හේතුවක් නිසාදැයි මට නොතෙරේ.

වෙළදපොළ ආර්ථිකය විසින් ඔසොවා තබන ලද ස්ලිම් බොඩි සංස්කෘතියේ ගොදුරක් බවට මා පත් වී ඇති වගත් මගේ මනසේ ආශාවන් ප්ලේබෝයි සඟරාවල ව්‍යාජ අප්සරාවන් විසින් පැහැරගෙන ඇති වගත් මට කවුදෝ සරදමට කී වගක් මතකයේ රැඳී ඇත.

දිගු කේෂකලාපයක් හෝ ළපනොමවන් සඳවත පරදන මුහුණක් හෝ ඇයට නොවීය.
ඇය කොටින්ම කවියක් නොවීය -ගීතයක් නොවීය- සිත්තමක් නොවීය-පිලිරුවක් නොවීය.
කිසිම කාම රසෝත්දීපනයෙහි සමත් ශරීරාංගයක් ඇය වෙත නොවීය.
සකල කලාවටම හෙන ගැහී අත පය කැඞී ගිය මහ මුහුදේ ගැඹුරු අගාධයකින් මතුව ආ වීනස් ප්‍රතිමාවකට මම ලොබින් බැඳෙමින් සිටිමි.

එනමුදු ඈ කාර්යශූරය -කඩිසරය -දල්වාගත් මුවින් සිනහ සලමින් සිය රාජකාරි කළාය .
සරුංගලයක් වැනි සැහැල්ලුවකින් ඈ කාර්යාලය පුරා ටෝර්නාඩෝවක් මෙන් ලහි ලහියේ කැරකෙමින් ගිනි සිළුවකින් මෙන් බැබලවීය.
ඒ ගිනි සිලෙන් උපන් මගේ පේ‍්‍රම දාහයෙන් මා දැවී යන්නාක් මෙන් මට හැගුනි.

ප‍්‍රථම දිනයක නොසිදු විිය යුතු බොහෝ දේ මෙ ප‍්‍රථම දිනයේ සිදු වීම මට අහ්ලාදයකි.
තව කාලය බොහෝ සේ ඉතිරි වී ඇත්තේ මගේ ඉතිරි ජීවිතයේ පළමු දිනය අදයැයි මට ඒත්තු ගන්වමිනි.
මගේ පරාජිත පේ‍්‍රමාලිංගන ලෝකයට නව විජයග‍්‍රහණයක මග ලකුණු වැටෙමින් ඇති වග මට දැනේ.
ඇයගේ තුනී ලෑලි සිරුරේ මොකද්දෝ දෙයක් සැඟව ඇත.

එය සොයා මසිත වෙහෙසෙයි.

888888

සිල්වියා බැඳල ද?

නෑ ඇයි ?

නිකං ඇහුවෙ

ඔයාට ආයෙම ඉන්ක‍්‍රිමන්ට් එකක් - ඇවිල්ලා දවස් කීයද -අම්මා-- ඔයා නම් මෙතන ලොක්කෙක් වෙනවා ළගදීම

ඇය සුමුදු දසන් පා සිනාසේ -ඈ ලස්සනය

ආ මම දන්නේ නෑනේ- මම නම් මුකුත් ඉල්ලුවෙ නැහැ...

ආ මට කියන්න අමතක වුනා- මෙවා මට කියන්න තහනම් -ඒත් ඔයාට කියන්න හිතුනා -ඔයාට ලියුමක් ලැබෙයි- එතකන් ඉන්න සද්ද නැතිව...

කමක් නැහැ- ගොඩක් ස්තුතියි සිල්වියා-මට කවුරුවත් නැහැ ඔවා කියන්න.

888888

සිල්වියා සහ මම කිට්ටු වුනා හිතූ තරම් අපහසුවකින් තොරවම.
ප‍්‍රථම දිනයේම ඇගේ නෙත සිත සොරා ගන්නට මට හැකි විය.
මම ඇයට එදා හවසම පෙන්ඩන්ට් එකක් තෑගි කළෙමි.
එය මිලදී ගන්නට මට හවස් වරුවෙ කාර්යාලයෙන් පැන ගොස් පැය බාගයක් සාප්පු ගානේ රස්තියාදු වන්නට සිදු විය.
ඇය නැවත හමු වන්නට ඇගේ කාර්යාලයට යන්නට රියැදුරකු සොයා ගන්නට සිදුවීමෙන් ඔහු ඉදිරියේ රාජකාරි බැරෑරුම් බවක් මවා ගෙන ඉන්නට සිදුවීම හැරුණු කොට චිත්තාභ්‍යන්තරය ප‍්‍රමෝදයෙන් ඉපිලෙමින් පැවතිනි.
මෙ සීඝ‍්‍රගාමී පෙම් වෘතය ඇයට දරා ගත නොහැකි තරම් විය.

ඇය වික්ෂිප්ත වන්නී තුටු සිතින් එය භාර ගැනීම ප‍්‍රතික්ෂේප කළාය.

ඇගේ ජංගම දුරකතන අංකය ලබා ගැනීමට ඒ වියදම ප‍්‍රමාණවත් වීය.

කෙසේ හෝ ඇය වැඩ ඇරී යන අවස්ථාවේ පෙන්ඩන්ටුව ඇගේ අත් බෑගය තුලට දමාගන්නට හැකි වූයේ අප දෙදෙනාටම රාජකාරි හමාර කර යන්නට ගමන් පහසුව සලසා තිබුනේ එකම රථයක හේතුවෙනි.

ඇය උපතින් බුද්ධිමත් වීමත් තීක්ෂණ වීමත් මම උපතින්ම කාන්තාවන් එසේ නොවේ යැයි සිතන්නට පුරුදු වීමත් හේතුවෙන් මට බොහෝ වියදම් ද ඇයට බොහෝ ආදායම් ද මෙ ඇසුරින් උපත ලද බව නිශ්චිතය.

ඊට ප‍්‍රතිදාන වශයෙන් ඇය සියළු කල්හිම මට ඇගේ ආහාරයෙන් කුමන හෝ කොටසක් ලැබෙන්නට සැලැස්සුවාය.
සමහර විට පාං පෙත්තකින් භාගයක් රැගෙන කාර්යාල සහායකයා මවෙත පැමිණේ.
එනමුදු ඇය එය එවන්නේ මවිසින් තෑගි දුන් ස්වර්ණාභරණයක් දමා දුන් කුඩා බෑගයකය.
කාර්යාල සහායකයා පාං පෙත්ත මවෙත ගෙනෙන්නේ දියමන්තියක් ගෙනෙන්නා වූ පරෙස්සමිනි.

ඉඳහිට ආයතනයේ ආරක්ෂක සේවයේ නියුතු තලතුනා මිනිසෙක් ඇයට යෝජනා ගෙනෙන බව ඇය මට දුරකතනයෙන් පවසා සිනා සේ.
ඇය දිනාගන්න තරම් සුන්දර වස්තුවක් දැයි සමහරු පවසන බව මම දනිමි.
මා පමණක් දන්නා පේ‍්‍රමනීය ලිංගික විද්‍යාවක් තුල ඇය ක්ලියෝපැට්රා මෙන් බබලන්නීය.
අනිත් අයට ඇය නිකම්ම සිල්වියාය. කෙට්ටු සිල්වියා ය.

මා දකින සුන්දර ගැහැණිය වෙනකෙකු සුන්දර ලෙස නොදැකීම මගේ ජීවිතය සරල කරන්නට හේතු වන්නේ යැයි මට සිතේ.
එනමුදු සිල්වියා ගැන මගේ ප්‍රේමය හුදු භෞතික සිරුර ඉක්මවා යන්නක් බව මම නිතර මෙණෙහි කරන්නට වීමි.

කාටත් අවශ්‍ය වන තාලයේ කෙල්ලක් මට අවශ්‍ය නැත.
කාටත් ඔන නැති කෙල්ලක් මගේම කරගැනීම මගේ නිස්කලංක ජීවිතයට පහසුවකි.
නැත්නම් සැක සංකා මෙන්ම ඇය පරිස්සම් කිරීමෙ මෙහෙයුම් දියත් කරන්නට වීම මගේ නිදහස විනාෂ කරන්නේ යැයි මට සිතේ.

ගැහැණියක් පිරිමියකුගෙන් බලාපොරොත්තුවන්නේ ආදරය සහ ආරක්ෂාව බව මම අදහමි.
ඒ සෑම දෙයක්ම මා ලඟ නොඅඩුව ඇත.

අපි බොහෝ ඉක්මනින් පෙම්වතුන් වුනා.

888888

අපි පෙමින් වෙලුනු ගිවිසුම් දිනය ඉතාම කෙටි ඇසුරකින් උදා වුනා.
එහෙම දවසක් ගැන ඇය සිහින මවන බව මම දැන සිටියෙන් ඊට කල් ඇතුව සූදානම් වීමට මා උත්සුක වුනා.
අපි දෙන්නම රාජකාරි අවසන්ව රාත‍්‍රී භෝජන ශාලාවක දී මතු අනාගතය උදෙසා පේ‍්‍රමයෙන් වෙළෙන කැදැල්ලකට පියඹා යන නිශ්චිත වැඩපිලිවෙලක් සහිත සමාජානුගත ප‍්‍රමිතීන් අනුව යමින් පෙම්වතුන් බවට පත් වුනෙමු.
ඈ මා වෙත යොමු කළ බොහෝ ප‍්‍රශ්ණ සාර්ථකව පිලිතුරු සපයන්නට හැකි වීමෙන් ද
මට ඈ සම්බන්ධව කිසිදු ප‍්‍රශ්ණයක් මතු නොවීම ද හේතුවෙන් සියල්ල සිහිනයක් මෙන් සුමටව සිදු විය.

ඇය දසවතාවක් පමණ ඇසූ පැණයක් මගේ සිතේ ගැඹුරට කා වැදුනි.

ඔයා ඇයි මාවම තෝරා ගත්තේ ?

ඒ ප‍්‍රශ්ණයේ ඉතිරි ටික බොහෝ විට - මම ලස්සනත් නැහැ -මට ලොකු පඩියක් ඇත්තෙත් නැහැ -මන්දා මම ඔයා තරම් ඉගෙන ගෙනත් නැහැ-මට තේරෙන්නේ නැහැ ඔයා ඇයි මා ගැන මෙ තරම් උනන්දු කියලා...

මම ඇයට කීවේ, ඒ කිසිවක් මා ගැහැණියකගෙන් බලාපොරොත්තු නොවූ වගත් වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීමක් විසින් මා මෙහෙය වනු ලබන බවත්, සිත බැදුනේ නම් ගණිකාවක වුවද මා විවාහ කරගන්නට නොපසුබට වන බවත්ය.

මම ඒ අවස්ථාවලදී ප‍්‍රකාෂ කරන දේවල් ගැන මට කිසිදු නිනව්වක් නැත.

එනමුදු ඇගේ දෙනෙත් දීප්තියෙන් බැබලෙන අයුරින් පවත්වා ගැනීම උදෙසා සෑම වදනක්ම නොමසුරු ලෙස හසුරුවා ගන්නට මම උත්සාහ කළෙමි.

වරෙක මම ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලරා - කොලරා කාලේ ආලේ පොත ඇයට තෑගි දුන්නෙමි.
ඈ වෙනුවෙන් අවුරුදු දෙසීයක් වුව ද කල් බලන්නට මම සූදානම් බව ද කීවෙමි.
ඈ දෑස් ලොකු කරගත්තාය.

ඇය කිසිම දිනෙක ලතින් ඇමරිකානු සාහිත්‍යය කියවා තිබ්බේ නැත.

සිල්වියා වෙනුවෙන් තවත් ෆ්ලොරෙන්තීනෝ අරීසා කෙනෙක් උපද්දවන්නට තරම් අකාරුණික නොවන ලෙස ඇයට පහදා දීමෙන් පසු ඇය කෙදිනකවත් ෆර්මිනා දාසා කෙනෙක් නොවන්නට දිවුරා පොරොන්දු විය.

එනමුදු උර්බිනෝ කෙනෙක් ගැන හාංකවිසියක් මට නොවීය.

කෙසේ හෝ ඇයගේ විශ්වාසය තහවුරු කරගැන්ම මගේ එකම අදිටන විය.

සිල්වියා මදෙස කිසිවක් නොකියා දල්වා ගත් දෙනෙතින් බලා සිටින්නට විය.

ඔයා ගණිකාවක් වුනත් බදින්න ද හිටියේ ?

ඔව්, මම කැමතියි එහෙම කෙනෙක් උනත් බැඳලා එයාගේ ජීවිතේ වෙනස් කරන්න ලැබෙනව නම්- මට ගැහැණියකගේ පිරිසිදුකම කියන්නේ භෞතික දෙයක් නොවෙයි -ඒක අධ්‍යාත්මික දෙයක්.

ඔයා හරිම හොඳ කෙනෙක් -ඔයා හරිම පුදුම කෙනෙක් -ඔයා ගොඩක් වටින මනුෂ්‍යයෙක්-ඔයා... ඔයා... ඔයා...

ඉන් පසු අපි වෙන කවරදාටත් වඩා තෑගි බෝග හුවමාරු කරගත්තෙමු.

ඈ වසන නිවෙසේ වෙසෙන ඇගේ මිතුරු මිතුරියන්ට රාත‍්‍රී භෝජන සංග‍්‍රයක් ද පවත්වා අපි දෙදෙනාම ඔවුනොවුන්ගේ මිත‍්‍ර සන්තවයන් හදුනා ගත්තෙමු.

නොබෝ දිනකින් සති අන්තයක අවන්හලක රාත‍්‍රී භෝජනය අවසන් කළ අපි නගරයේ අවහිර බාධාවකින් තොර ලැගුම් හලකට වැදී දින දෙකක අඛණ්ඩ මධුසමයක් අවසන් කර අනාගතය ගැන බොහෝ සුභ සිහින මැව්වෙමු.

සිල්වියා වන් -සිල්වියා ටූ- සිල්වියා ත‍්‍රී වශයෙන් අපි සිහින දූවරුන් තිදෙනෙක් ගැන ප‍්‍රථමයෙන්ම සිතන්නටත් ප‍්‍රීති වන්නටත් පටන් ගත්තේ ඒ දවස්වලමය.

ඇගේ කෙසඟ සිරුර සිල්වියා වන්වලින් හෙම්බත් වනු ඇතැයි මට අනන්ත වාරයක් සිතුනේය.

888888

රාජකාරි ඇරඹුමට පෙර සහ අවසන් කර ඇයත් මමත් අප නිවෙස් වෙත රැගෙන යන වෑන් රිය තුල ගෙවෙන පැය තුන අපගේ දෛනික හමුව සිදුවන කාලපරිච්ඡේද දෙක විය.

උදෑසන එකිනෙකාට තුරුලුව වැඩට ඒමත් හැන්දෑවේ එකිනෙකාට තුරුළුව වැඩ අවසන් කර ගෙවල්වල යෑමත් බොහෝ සෙයින් දෙදෙනාගේම ජීවන සංතෘප්තියට හේතු විය.

ඇය මවෙත යොමුවන්නට පෙර පෙම් සබදතාවයකින් වෙන් වී ඇත්තේ මීට මාස හත අටකට පෙරය.
ඒ පෙම් පුවත වසර දහයක් තිස්සේ පැවත ආවකි.
දැන් ඒවායේ මතකයන්වත් ඈ තුල නොවන වග මට දැනේ.

ඇගේ කලින් පෙම්වතා ඇගේ හොදම යෙහෙලියක හා පැවැති රහස් සම්බන්ධතාවයක් හේතුවෙන් ගැබ් ගෙන දරුවකු ද සමගින් හුදකලා වීමත් සමග සියල්ල හෙලිදරව් වීමෙන් ඇගේ හොදම මිතුරිය වෙනුවෙන් ඇගේ පෙම්වතා පරිත්‍යාග කරන්නට ඇය තීරණය කලෙන් ඈ ද මෙසේ හුදකලා වී ඇත්තේය.

මා හමුවීමත් මගේ බලවත් පෙරැත්තයත් හේතුවෙන් ඇය මා හා බැදෙන්නට තීරණය කරන්නී ඉමහත් සංකාවෙනි.

ඇය මා වෙනුවෙන් මෙ ලොව ජනිතව ඇති වග ඇයට ඒත්තු ගන්වන්නට මට හැකි වී ඇත.
ඇය ද ඇගේ ජීවිතයේ අරමුණ මෙතුවක් කල් නොලද බවත් මා ලද්දෙන් සියළු සිහිනයන් වෙත තටු ලැබී ඇති වගත් ඈ මට කොඳුරයි.

ඇගේ අනාගතය සංතුෂ්ටිදායක සැබෑවක් කිරීමෙ පරම චේතනාවෙන් මැඩුනු මා හට ඇයට පිළිසරණක් වීමටත් හැකි වීම ඇගේ අමන්දානන්දයට හේතු විය.
ඇයට අලුත් සිහින- මට අලුත් පහස- අපි දෙදෙනාම නැවුම් ලොවකට වැදුනෙමු.

ඇගේ ප‍්‍රථම පේ‍්‍රමයේ නටබුන් අතරින් ඈ කිසි දිනෙක කිසිවකු නොපැතූ වග එකහෙළාම කියන්නී ඇගේ සිත මෙළෙක් වීමට බලපෑ මගේ ඉඟිබිඟි නොවන්නට ඇය හුදෙකලා ජීවිතය තෝරා ගන්නීය.

දේව නිර්මාණය සම්පූර්ණය. මම දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් ජීවත් විය යුතු වගට තිරසාරව සිතන්නට පටන් ගති.

888888

අපි එකට වාසය නොකරන හේතුවෙන් රාතී‍්‍ර භෝජනය ගැනීමෙ අවස්ථාව පමණක් අපට රොමැන්තික ලෙස ගත කරන්නට ලැබෙන එකම අවස්ථාව බව මම ඇයට පහදා දී තිබුනෙන් රාත‍්‍රී භෝජනය ඉතාමත් වැදගත් අවස්ථාව ලෙස ඇය ද සලකන්නට විය.

සිල්වියා අද අපි කොහෙන් ද රාත‍්‍රී කෑම ගන්නේ ?- වෙනද නොයන තැනකට යන්න ඕන...

මම උදෑසනම ඇයට මතක් කරන්නේ අපගේ හැන්දෑව ගෙවී යන විදිය කල් ඇතුව සැළසුම් කරන්නටය.

අපි අද මරිනා එකට යමු- මම කවදාවත් එතනට ගිහින් නැහැ- ටිකක් ගණන් වැඩියිලු ඒත් අදට විතරනේ -අනික හරිම රොමැන්ටික් ලු එතන...

ඇය දුරකතනයෙන් විකසිත වෙයි.

හරි අපි අද මරිනා යමු.

සිල්වියා ගේ කැමැත්තක් ඉටු කිරීමෙන් මම ඉමහත් තෘප්තියක් ලද්දෙමි.
ඈ බොහෝ ආසා කරන දේ මිළ අධිකය -සුඛෝපභෝගීය- එනමුදු ඇය වෙනුවෙන් නොකලහැකි දෙයක් මා වෙත නැත.

ඇයට ඇවසි වන්නේ අතීත තුවාල ඉක්මනින් සුව කරගැනීමෙ ශාන්ති කර්මයයි.
මම ඒ සදහා උපරිමයෙන් ඇයට උපකාර කරමි.
ඇය අතීතාවලියෙන් මිදෙන්නට අලුත් තැන් සොයන්නීය.
අලුත් ආහාර පාන- අවන්හල් සහ එළිමහන් සොයන්නීය.
ඇයට සියල්ල මා සමග අලුතෙන් පටන් ගැනීමෙ ආශාවක් ඇත්තේය.

අපි අප දෙදෙනා ගැනම කතා කරමින් මාස හතරක් ගත කළෙමු.

ඒ කාලය තුල අප විසින් පසු බිම් ලෙස තබා ගත් ඡායාරූපයකට හසු නොවූ ගොඩනැගිල්ලක් හෝ අවන්හලක් හෝ වතුර මලක් හෝ වාස්තු විද්‍යාත්මක අනිභිබවනීය නිර්මාණයක් නගරය තුල ඉතිරි නොවුනි.
අපි ප‍්‍රථමයෙන් හදුනාගත යුත්තේ අපි අපිම වග ඉදුරාම අවබෝධ කර සිටියෙමු.

ඇගේ ප‍්‍රථම ප්‍රෙමයේ මංසන්ධි සියල්ලේම නොසගවා- විවෘතවම -සෘජුවම අපි දෙදෙනම අතිනත් පටලගෙන ඇවිද ගොස් දැක- දැන සියළු රහස් -අවුල් නිරවුල් කර ගත්තෙමු.

මගේ ප‍්‍රථම විවාහයේ සියලු අක්වක් වූ තැන්හි සිල්වියා සමග කතාබහ කොට අහවර කර දමන්නට හැකි වීම ද එලෙසම වීය.

උර්බිනෝ අපේ ජීවිත වලට ගැටගැහෙන්නේ කොතනින්දැයි විපිලිසර වන්නට මා පටන් ගත්තේ ඉන් පසුවය.

කෙසේ නමුදු අප දෙදෙනාම එකිනෙකා කෙරෙහි අවංකාදරයකට පසුබිම් සදාගත්තෙමු.

අපට තවත් රහස් නොවුනෙන් අපි නුදුරේදීම එකම වහලක් යට වාසයට සැළසුම් කෙරුවෙමු.

මගේ ජංගම දුරකතනයේ වූ සියලුම ගණිකාවන්ගේ දුරකතන අංක මකා දැමුවෙමි.
මනෝරි ගැන පුවත ද ඉඩ ලද අවස්ථාවක කියා දැමීමෙන් ළය සැහැල්ලු කරගතිමි.

ඇයට මා ආශ්චර්යයක් වූයේ මා සියලු පවත් නොවලහා ඇයට කීමෙන් මා තුල වූ අවංක අධ්‍යාශය එලිදරව් කළ බැවිනි.
ඇය ද ඇගේ පවත් මා වෙත පවසා පාපොච්චාරණය කරන්නට වන්නේ තරගයකට වැදි අසරුවන් දෙදෙනකු මෙනි.

ඇය ගත කළ අවුරුදු දහයක කාලය තුල තෙවරක් ගැබ් ගෙන ඇති වගත් ඒ තෙවරම ඔවුන් සාකච්ඡා කර ගබ්සා කළ වගත් ඒ සෑම අවස්ථාවකම විවාහ වීමෙ අවශ්‍යතාව ඇය මතු කළ ද දෛවෝපගත ලෙස එය වැලැකුනු බවත්,
ඒ දෛවෝපගත හේතුව දැන් ඇය දන්නා බව පවසත්ම මසිත ඔකඳ වේ.

මා විවාහ වූ දිනේ සිට දරුවකු පැතූ වගත් එය අවුරුදු හතක් තුලම ඉටු නොවුනෙන් දික්කසාද වූ වගත් නීතියෙන් සර්වසම්පූර්ණයෙන්ම වෙන්වී මා නිදහස් තනිකඩයෙකු බවත් එකිනෙකාට විස්තර කිරීමෙන් අපට තවත් එකිනෙකාගෙන් වසන් වූ අතීතයක් නොමැති බව තහවුරු විය.

එමෙන්ම මගේ පැවැත්මෙ හේතුව ද මම දන්නේ දැන් බව ඇයට පැවසීමි.

එක දිනක්, මට හරියටම මතක නැති ලුසී නම් වූ ගණිකාව විසින් එවන ලද කෙටි පණිවුඩය සිල්වියා සමග රාත‍්‍රී භෝජනය ගන්නා අතර හඩ නගමින් දිස් වූයෙන් ඇයට නැවත අරාබි නිසොල්ලාසය තරම් කතා කීමෙන් එම විචිකිච්චාව ද මුලිනුපුටා දමන්නට සමත් වීම මගේ ජයග‍්‍රහණයකි.

සත්‍ය වශයෙන්ම ගණිකාවන් ඔනම කෙනෙකුට එවන්නේ අයි මිස් යූ කියාය.

එය එතරම් බරපතල කාරණයක් නොවන වග මිහිපිට ස්වාමියෙක් සිය බිරියට පැහැදිලි කොට ඇත්නම් ඒ මා පමණක් විය යුතුය.
මම වුවද තවමත් ස්වාමි තත්වයේ නොවේ.
ඇයට මේ එකදු දෙයක් වත් දරාගන්නට නොහැකි තරම් විශාල දේවල් නොවීම මගේ සතුටට හේතු විය.

වැඩි කාලයක් අප අතරින් කාලය ගලා යන්නට මත්තෙන්---ඇය අනපේක්ෂිත ලෙස මගේ පෙම් දැහැනින් මැකී ගොස් දින දෙකකට පසු යථා පරිදි උදෑසනක සිය සුපුරුදු රියට ගොඩ වන ස්ථානයෙන් මතු විය.

මම ඇයව මා අසලින් හිදුවා ගතිමි.
අප එකට වාඩි වී පැමිණීම රාජකාරි ස්ථානයේ කිසිවකුටත් අමුත්තක් නොවීය.

ඇයි හදිසියේ දවස් දෙකක් මට කෝල් එකක් වත් දුන්නේ නැත්තේ? මම කෝල් කලා විසි තිස් සැරයක් ,ෆෝන් එකත් ඔ්ෆ් කරලා...?

මම ලෙඩ වුනා...

ඉතිං මට කියන්න එපැයි -මම මොනවා හරි කරනවා නේ -මට හරිම පුදුමයි ඔයා එක පාරටම සද්ද නොකර දවස් දෙක තුනක් ගත කළාම- මට ඇත්ත කියන්න සිල්වියා...

සිල්වියා කල්පනාවට වැටෙයි -ඇගේ දෙනෙත් සෝබරය -කියා ගන්නට බැරි යමක් ඇගේ මුහුණේ සටහන් ව ඇත- මට ඇගේ මුහුණ කියවිය හැකිය.

ඔයා ට කියන්නම ඕන දෙයක් සිද්ධ වුනා -නමුත් මට මෙක කෝල් කරල කියන්න බය හිතුන නිසායි මම අද වෙනකම් හිටියේ.

මොනවා මොකද්ද ඒ? මොකුත් ප‍්‍රශ්ණයක් ද?

ඔව් පෙරෙදා ටෝනි හදිසියේම මාව සොයං ආවා!

නෑහ්!?! ඉතිං මොකද වුනේ?

එයා ඇවිත් කීවා අපි බඳින්න ඔන කියලා...

මොනවා?

ඔවු එයා පල්ලියෙ කට්ටියත් එක්කමයි ආවෙ- එයා පල්ලියෙදි පිළි අරං එයා අතින් වැරැුද්දක් වුනා කියලා.

ඉතිං පල්ලියේ අය මොකද කියන්නේ?

පල්ලියේ අය සමාව දීලා ...

එතකොට අර දරුවා?

ඒක තමයි ඒ දරුවා නඩත්තු කරන්න වියදම දෙන්න පොරොන්දු වෙලා...

ඒක හරියන්නේ නැහැනේ ...දරුවෙකුට තාත්තා කෙනෙක් ඔන නේ...?

ඔව් ඒක ඇත්ත. නමුත් පල්ලිය කියන්නේ එයාගේ කැමැත්තට ඉඩ දෙන්න ඔන කියලා.

බැඳලා නැති නිසා එයා කසාද බන්දවන්නයි ඔන- ඒක තමයි හරි දේ...

ඔව් ඒක තමයි හරි දේ ...නමුත් ටෝනි කැමති නැහැ එයාව බදින්න...

ඒක හරිම පුදුම දෙයක්නේ ? එයා දරුවෙක් හදා ගත්තේ එයාට අකමැති නිසාද ?

ඒකත් ඇත්ත... නමුත් ටෝනි කියන්නේ ඒක වැරදීමක් කියලා- ඒ දෙන්න අතර ගැලපීමක් නැහැ කියලා...

ඔව් වැරදීමක් වෙන්නැති- ඒත් ඒක එක රැයකින් -දවසකින් වෙච්ච දෙයක් වෙන්න බැහැනේ ? -නොගැලපෙනව නම් ඒව දැනුම් තේරුම් ගන්න ඔන දේවල් වෙන්න කලින් නේ ?

ඔව් ටෝනි එයා එක්ක එකට ජීවත් වෙලා තියෙනවා- එහේ- මා එක්කල සම්බන්ධෙන් ඉන්න සමාන්තර කාලෙම -අනේ මම ඒ මොකුත් දැනං හිටියේ නැහැනේ -මම ටෝනි විශ්වාස කලා සෑහෙන්න.

ඉතිං දැං මොකද වෙන්න යන්නේ ?-එයා ඔයාගේ විශ්වාසයත් බින්දා - දැං?

අපේ අම්මලා කැමති මම ටෝනි බදිනවට- ඒ අය ටෝනිව දන්නවනේ ගොඩක් කාලෙක ඉදලා...

ඒ කියන්නේ ?

ඒ කියන්නේ ඒ අය කැමති නැහැ ඔයා බදිනවට - ටෝනි හොද හෝ නරක වුනත් ඒ අය එයාට කැමතියි එයා අපේ කෙනෙක් නිසා

මම කීවෙ කලින්ම -මම ආගම මාරු කරන්නම්...

ඒත් ඒ අය කසාද බදින්න ආගම මාරු කරනවට කැමති නැහැ නේ...හරිම අවුලක් අනේ...

ඒක යකාගේ කතාවක් නේ -මම ඔයාව බදින්න ඔන නිසා නොවේ නම් ආගම මාරු කරන්නේ නැහැ තමයි කවදාවත් !!!

ඒක ඇත්ත... නමුත් එහෙනම් ආගම මාරු කරල අවුරුදු දෙක තුනක් යනකම් අපිට බදින්න වෙන්නේ නැහැ -ඒ අයට දැන ගන්න ඔන ඔයා ඇත්තටම මට ආදරේද කියලා..

පුදුම වැඩක් ඒක!

ඔව්... අනිත් අතින් පල්ලිය කැමතිත් නැහැ!!

පල්ලියට බම්බු ගහන්න කියන්න... ඔයා පල්ලියට ඔන දේද කරන්නේ ?

අනේ එහෙම කියන්න එපා -මම අසරණයි -මෙක මගේ ෆේත් එක!

ටෝනි එදා ඇවිල්ලා එදාම ගියාද?

නැහැ

එයා කොහෙද නතර වුනේ ?

මගේ කාමරේ...

මොනවා???

ඔව්

එයා නිදාගත්තේ ...?

මගේ ඇ‍ඳේ ...

මොනවා සිල්වියා?!?

ඔව්

එයා ඔයා එක්ක ... ද ?

ඔවු !

මේක මහ විසාල අවුලක් සිල්වියා!

මට එයාට බැහැ කියන්න බැහැ නේ- මම කියන්න පුලුවන් තරමක් කීවා -එයා අතින් වරදක් වුන නිසා මම වෙන්වුනා මිසක් එයා නරක කෙනෙක් නොවෙයි නේ -මම එයාට ආදරේ නැහැ ඒත් ඒ දැන් නේ-මම ආදරෙන් හිටියා නේ එයා එක්ක -නමුත් මට එයාව ප‍්‍රතික්ෂේප කරන්න බැහැ -අපි අවුරුදු දහයක් ආදරය කළා- අවුරුදු දෙකක් එක කාමරේ ජීවත් වුනා නේ ...

ආදරේ නැත්නම් කොහොම ද ? මන්දා කොහොම ද ළමයෝ ලිංගිකව හැසිරෙන්නේ ?

මම දන්නේ නැහැ- මම ඒකට කැමති නැහැ -නමුත් එයාට ඕන මාව ප්‍රෙග්නන්ට් කරලා එයාට බැදගන්න!

මෙක මහ අවුලක් සිල්වියා- මට පිස්සු වගේ-අනිත් අතට ඔයාට ඔන මගෙන් ප්‍රෙග්නන්ට් වෙන්න-මෙහෙම ගියොත් කාගෙන් ප්‍රෙග්නන්ට් වෙයිද කියලා දෙයියො තමයි දන්නේ!

ඉතිං මම මොනවා කරන්න ද ඔයා කියන්න -අනේ මාව තේරුම් ගන්න- මම හිතලා කරන දෙයක් නොවෙයි මෙ-මම කැමති ඔයාගෙන් ප්‍රෙග්නන්ට් වෙන්න...

මට තේරෙන්නේ නෑ-ඔයා එයාව එලව ගන්න එපැයි -ඇයි ඔයා මට ආදරේ නැද්ද ?

මම ඔයාට ආදරෙයි- ඒත් මට ටෝනිව එහෙම එලවන්න බැහැ නේ -ඔයා තේරුම් ගන්න- එයා ගොඩක් අප්සට් එකෙන් ඉන්නේ -එයා අපේ ගෙදරට ඔයා ගැනයි අපි ගැනයි සේරම කියලා -අපේ අම්මා ලෙඩ වෙලා -ඒ අය කැමති නැහැ මම ඔයා වගේ ආගමින් ජාතියෙන් පිට කෙනෙක් බදිනවට -තාත්තා කීවා කෝල් කරල පණ නහගන්නවා කියලා කසාද බැදපු කෙනෙක් බැන්දොත්...

ඉතිං මම ඩිවෝස් වෙලානේ ඉන්නේ -කසාද බැදපු කෙනෙක් වෙන්නේ කොහොම ද ?

ඒක ඇත්ත- ඒත් ඒ අය හිතන්නේ වෙන විදියකටනේ- මම මොනව කරන්නද...මට ඒ අයට කියන්න බැහැ ඔයා නැතිව මට ජීවත් වෙන්න බැහැ කියලා. ඒ අය නාකියි. ඔයාට තේරෙනව ද? මට ඒ අයගේ හිත් නරක් කරන්න බැහැ...

හොඳයි අපි මෙ සම්බන්ධය නතර කරමු -මට වෙන කරන්න දෙයකුත් නැහැ-මට මෙවා දරාගන්නත් බැහැ -මම හීනෙන් වත් හිතන්නේ නැහැ මම ආදරය කරන කෙල්ල වෙන එකෙක් එක්ක නිදා ගන්නවා කියලා- මට මෙක දරන්න බැහැ

මට ඔයා කියන දේ තේරෙනවා- ඒත් මම අවංකවම මෙ දේවල් කීවෙ ඔයාගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තුවෙන් නම් නොවෙයි.

මට බැහැ තවත් මෙ සිද්ධි වල කොටස් කාරයෙක් වෙන්න- මට බැහැ මම ඔයාට ආදරය කරනවා තමයි- මට ඔයා කොහොමත් එකයි- ඒත් තව මිනිහෙක් ඔයා පස්සේ වැටිලා මේ විදියට ජීවිතේ නාස්ති කරගන්න හදනවා නම් මට බැහැ ඒකේ පංගුකාරයෙක් වෙන්න...

හොඳයි... සමහර විට දරුවගේ අම්මා නඩු දාන්න ඉඩක් තියෙනවා ටෝනිට විරුද්ධව එහෙම වුනොත් එයාට මාව බදින්න වෙන්නේ නැහැ.

මම දන්නේ නැහැ- ඔවා කෙරෙන්න තව කාලයක් යනවා- ඒ අතරතුරත් ටෝනි එයාගේ බලය පාවිච්චි කරලා ඔයාව තුරුලට ගන්නවා- ඒක මට දරාගන්න බැහැ.

මම බලන්නම් එයාව නතර කරන්න- ඒත් මට මගේ අම්මා තාත්තා නතර කරගන්න බැහැ -ඒ අය ටෝනිට කියල තියෙන්නේ මාව බලාගන්න කියලා...

දෙයියන්නාන්සෙගෙ නාමෙට මෙ කතාව නතර කරමු දැං- මට මෙ සේරම එපා වෙලා ඉන්නේ!!!

මම ටෝනිට කීවා ඔයා මට ගොඩක් ආදරෙයි කියලා -එයා ඒක විශ්වාස කරන්නේ නැහැ!

බම්බු ගහගන්න කියන්න ටෝනි ට!

අනේ මම බොරු කාරියක් වෙනවා -දැං මට ඔයත් මෙහෙම කළොත් ටෝනි ගෙදරට කියාවි මම ඔයාට රැවටුනා කියලා!

මම දන්නේ නැහැ සිල්වියා-මම දන්නේ නැහැ -මම මොනව කරන්න ද කියලා- ඇත්තටම ඔයාට මාව ඔනෙද කියලවත් මට තේරෙන්නේ නැහැ සිල්වියා!!!

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති
20072009


11 කුළිය:

Koombiya said...

Not a comment....

1. මම ඇයට කීවේ, ඒ කිසිවක් මා ගැහැණියකගෙන් බලාපොරොත්තු නොවූ වගත් වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීමක් විසින් මා මෙහෙය වනු ලබන බවත්, සිත බැදුනේ නම් ගණිකාවක වුවද මා විවාහ කරගන්නට නොපසුබට වන බවත්ය.

2. හොඳයි අපි මෙ සම්බන්ධය නතර කරමු -මට වෙන කරන්න දෙයකුත් නැහැ-මට මෙවා දරාගන්නත් බැහැ -මම හීනෙන් වත් හිතන්නේ නැහැ මම ආදරය කරන කෙල්ල වෙන එකෙක් එක්ක නිදා ගන්නවා කියලා- මට මෙක දරන්න බැහැ

AJ said...

code gahana assema meka kiyewwa..

aadare andai kiyana kiyamanata tawath udaharayakda kiyalath hitenawa...

katawe mula patan gatta widiyath mama kematie. minissu sooduwa atarinne naa... genu wesakama atarinne naa...

10yrz luv karapu silviyata tony amataka kireema practical nati wedak. 3 parak pregnant wela, abortion karagena tiyenne etana a aadare tibba PIRISIDUKAMA gena prashnayak kiyalai mata hitenne...

a wagema maasa 6k silviyawa aasharaya karapu pudgalaya silviyage hema deyakma iwasa daragena sitinneth ohuge tiyena weradi nisa kiyalai mata hitenne..

demapiyange madihathweem nisa kerena deegath nokerenawa kiyanne mekata tama...

antimata hithata gata uthu kaarane mekai...

"onewata wada kisima kenekuta awanka nowanna" :D

Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා said...

හ්ම්... මෙහෙම දේවල් වෙන්න පුළුවන් හැබෑවටම.
ඒත් එහෙම වෙන්නෙ කොහොමද කියන එක නම් ප්‍රශ්නයක්.
මේකෙ හැටියට නම්, සිල්වියා ටෝනිට ආදරේ කරපු එක නතර කරලා තිබිලා නැහැ කියලයි හිතෙන්නේ. වෙන විකල්පයක් නැති කමට අමතක කරලා ඉන්න වුණ නිසා වෙච්ච ඈත් වීමක්..

මිනිස්සු හිත් රවට ගන්න හැටි, අනිත් අයවත් රවටන හැටි වගේ දෙයක් තමයි මේ කෙටිකතාව ඇතුළෙ පේන්නේ.

රසවත් ව ගලාගෙන යනවා කතාව.ඒත් අවසානය මහා ඛේදවාචකයක්..°

ඩෝසන් said...

කියවපු, අදහස් දක්වපු කාටත් ස්තුතියි.

Unknown said...

Dowsa.
Excellent.
"MAGE" yaluwekge athdakeemak wage.:D

LishWish said...

පල්ලියට දෙමාපියනුත්.., කතා නායක තැනට මමත් කතානායිකා තැනට මා අහිමි පෙමත්..,ටෝනිට අහිමි පෙම තුල හොල්මන් කල පරන ආදරයත් ආදේශ කර..., අන් සියලු දේ මකා දැමූ සඳ..., විරාජමාන වන්නේ මා ආදර කතාවයි..
ලැබීම් නොලැබීම් අතරේ දෝලනය වන මා ජීවිතය තුලින් අහිමි පෙම ගැන බඹුන් වඩමින් මේ ගෙවන තත්පරයේත් මා නොමැරෙන නිසා හුස්ම ගනිමි.

[ඔබ කෙටි කතාව මා නෙතට කඳුලු උනන තරමට හැඟුම්බරයි., ලස්සනයි...]

ඩෝසන් said...

ඔබගේ සංවේදී අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි lishwish.

Sankha said...

හරිම මානුෂීයයි...
පොඩි පර්යේෂනයක් කරලා තියෙනවා මෙහෙම,කාන්තාවන්ගෙන් අහල තියෙනවා තමනගේ පෙම්වතා හෝ ස්වාමි පුරුෂයා තමන් ගැන හිතමින් වෙනත් කෙනෙක් හා ලිංගිකව එකතු වෙනවටද කැමති එහෙම නැත්තං තමන් සමග ලිංගිකව එකතු වෙමින් වෙනත් කෙනෙක් ගැන හිතනවට කැමති කියලා. එතනදි වැඩි ප්‍රතිශතයක් කියල තියෙන්නේ තමන් ගැන හිතමින් වෙනත් කෙනෙක් එක්ක ලිංගිකව එකතු වුනාට කමක් නැහැ කියලායි. මේ ප්‍රශ්නයම පිරිමින්ගෙන් ඇහුවම පිරිමි කියලා තියෙන්නේ වෙන පිරිමියෙක් ගැන හිතුවත් තමන් සමග ලිංගික එකතු වීමට වැඩි කැමැත්තක් ඇතිබවයි. මනෝවිශ්ලේෂනයේ මේ තත්ත්වයේ හේතුව මට මතක නැති වුනත් මේ කතාවේත් මේ ගතිගුණ(තවත් ගොඩාක් ගති එක්ක)තියෙනවා කියලා මට හිතෙනවා.භාෂා විලාසයත් හරි සරලයි.

Mahesh M said...

Meka kiyewwa.......maara flow ekak thiyenawa kathawa dige.....kathawe hema thenama live bawak thiyenawa......Dawsa bhasha hondata eheta mehata nawana bawath denuna....

Eth mata hithune samanya pirimiyaga.......paapochcharanyak widhata.....me wage siddin iwara wenne.......sampradayikawa pirimiya pora weewen.........ekata Dawsa th ahu unada kiyala hithuna.......katahwa purama thibuna Silvia ge aadaraneeya bawa echcra lesiyen kudu karala daanna puluwanda?

Kathawa iwara una thenin neme eeta godak kalin iwara kalanam...........eka appooru sundara kathawak widhata ...sanwedi wenna thibuna.......

Koomby ge comment eka matath denichcha deyak.....mama hithenne
1. Pirimiyage Prakashaya
2. Pirimiyage Yatharthaya...

Meka Dawson uwamanawen demme neththam..eka Dawson praksahaya saha yatharthaya wenawa

ඩෝසන් said...

පාලිත සහ මහේෂ් , ගොඩක් ස්තුතියි ඔබ‍ දෙප‍ලගේම අදහස් වලට.

පිරිමින්ගේ යථාව මෙන්ම ගැහැණුන්ගේ යථාව ද එලි දරව් කරගන්නට දුෂ්කර සංකීර්තාවලින් ගහණ බැව් මගේ විශ්වාසය යි.

එනයින් පුරැෂෝත්තම සහ ඊට ප්‍රතිපක්ෂ ස්ථානගත වීමෙන් බැහැර වන්නට මම උත්සාහ කළෙමි. එය එතරම් සාර්ථක වී නැතැයි මට සිතෙන්නේ මහේෂ් ගේ විග්‍රහය කියවීමෙනි.

නැවතත් කාටත් තුති කියවීමෙන් අදහස් දැක්වීමෙන් කාලය මිඩංගු කිරීම ගැන.
:)

ඩෝසන් said...

a comment received by email from Mr. Samara Wijesinghe:

සූරියකාන්ත

ඔබ කතාව කියන්න පටන් ගන්නෙම තීන්දුව ප‍්‍රකාශ කරල ඉවර වෙලා. තීන්දුවට සාධාරණයක් ඉෂ්ට කරන එක තමයි කතාවෙ අරමුණ. මම හිතන්නෙ මේක පේ‍්‍රම කතාවක්. එ් කියන්නෙ පේ‍්‍රමය පිලිබඳ කතාවක්. එ් නිසා මම මැදිහත් වෙන්ඩ කැමතියි.

පේ‍්‍රමය කියන්නෙ ඉංග‍්‍රීසියෙන් ‘ලව්’ කියන එකට සමාන දෙයක්. ලව් කියන එකේ මුලූ පදාසයම ආවරණය වුණේ නැතත් එ්කෙ සෑහෙන ප‍්‍රමාණයක් ආවරණය වෙනවා. කරුණාකර එ් කීමට එකඟ වෙන්න. කරුණාකර පේ‍්‍රමය ‘ස්ටිල්’ එකක් විදියට දකින්න එපා. ‘මූවි’ එකක් විදියට දකින්න. ‘ස්ටැටික්’ දෙයක් විදියට දකින්න එපා. ‘ඩයිනමික්’ දෙයක් විදියට දකින්න. පේ‍්‍රමය ඉපදෙනවා, පැහෙනවා, ඉදෙනවා, නරක්වෙනවා. ඉතාමත් ස්වාභාවිකයි. පැහෙන්න ඉදෙන්න දෙන්නෙ නැතිව කුරුවලූ කර ගන්න එපා. එ්ක පව් වැඩක්. මම දැකල තියෙනවා කුරුවලූ වෙච්ච එ්වා. ඔහේ ඉතින් තියෙනවා.

ලව් කියන එකේ ඇතුළු අර්තයේ, එක්කෙනෙක් එක්කෙනෙකුට, එක්කෙනෙක් කීපදෙනෙකුට, කීපදෙනෙක් එක්කෙනෙකුට එකවර කීපදෙනකුට ආදී වශයෙන් සම්බන්ද වීමේ ‘පර්ම්‍යුටේෂන්ස් ඇන්ඞ් කොම්බිනේෂන්ස්’ තියෙනවා. සෑම කොම්බිනේෂන් එකක්ම රියල්.

ඉතින් අර ගෑනු ළමයාට වෙනස් වෙන්න අවසර දුන්නෙ නැත්තෙ ඇයි? වෙනස් වෙන කෙනෙකුට වෙනස් වෙන්න ඉඩ දෙන්නෙ නැත්තෙ ඇයි? වෙනස් වෙන එක අපරාදයක් නෙවේ. අපරාදයක් වෙන්නෙ වෙනස් වෙන්න නොදී ‘ෆ‍්‍රීස්’ කරන එක.

මම මේ පිටත ඉඳගෙන ධර්මය දේශනා කරනවා. මම දන්නවා ඇතුළෙ ඉන්න කෙනාට ධර්මය පිළිපදින්න අමාරුයි කියල. මම හරියටම දන්නෙ නෑ හරි දේ මොකක් ද කියල, හරි නැති දේ මොකක් ද කියල. එ්ත් අපි වැඩිහිටියො නෙ. අපට වැරදි දේවල් කරන්න පුලූවන්. මම හිතන්නෙ මිනිස්සුන්ගෙ ළමා කාලය අවුරුදු දෙසීයකට විතර ඉස්සර ගෙවිල ඉවරයි කියල. දැන් වැඩිහිටියො විදියට හැසිරුනාට කමක් නෑ කියල.

මට කතාව හරියට තේරුණේ නැතිවා වෙන්නත් පුලූවන්. එ්ත් අලූත් තත්ත්වය අනුව නො තේරෙන දේවල් ගැන වුණත් ලියන්න පුලූවන් නෙ.


සමර
2009-08-02