Wednesday, March 25, 2009

ක්වොන්ටම් ලෝකය -2009 මාර්තු 25

ක්වොන්ටම් පිමි

අද බොහෝ ලිපි ලේඛනවල දක්නට ඇති යෙදුමකි ක්වොන්ටම් පිම්ම.

එහෙම යොදන්නේ යම්කිසි තත්වයක පැවතුනු දෙයක් හිටිවනම ඊට වඩා වෙනස් මට්ටමකට පොලා පනින අවස්ථාවක් නිරූපනය කිරීමටයි. ඇත්තටම ක්වොන්ටම් පිම්මක් යනු කුමන දෙයක් දැයි වටහා ගන්නට ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාවට මදක් අවධානය යොමු කරන්නට මට සිතුනේ අපගේ ක්වොන්ටම් ලෝකය පිලිබද ලිපි පෙලේ ප‍්‍රවෙශයෙන් මතුවට එම සාකච්ඡාව ඉදිරියට ගැනීමද සිතේ තබාගෙනය.

දැන් මෙ සුලබ ක්වොන්ටම් පිම්ම නැමැති රූපකය සිය ලේඛනයන් තුල නිර්මාණශීලී ලෙස භාවිතා කරන දීප්ති කුමාර ගුණරත්නයන්ගේ වියමනක් අවධානයට යොමු කරමි.

ගාමිණී විජේතුංග මට දෙවන වරට හමු වූයේ 1995 පමණ කාලයේය. ඔහු මට හමුවන විට ෆීනික්ස් දැන්වීම් ආයතනයේ පිටපත් ලියන්නකු ලෙස සේවය කළේය. ගාමිණී විජේතුංග මට 83-85 යුගයේ හමුවූයේ දෙසතිය පුවත් සගරාවෙ ප‍්‍රධාන කතෘ හැටියටය. එවකට මට ඔහු වීරයෙක් කීවාට වරදක් නැත. ලංකාවෙ නූතනවාදී ලෝකය තුළ අවසාන දශකය වූයේ 80 දශකයයි. නූතනත්වයේ පූර්ණ පිපිරීම ලංකාවෙ සටහන් වූයේ 89 වසරෙ රෝහණ විජේවීර කනත්ත පසුපස දොරටුව ළග වෙඩි තබා මරා දැමීමෙන්ය. බොහෝ දෙනා කිසිදු ආකාරයකින් වටහා නොගත්තත් ඉහත මරණය නූතනවාදී ව්‍යාපෘතියේ ගිනිය නොහැකි ප‍්‍රතිරූප විශාල ගණනකගේ අවසානය සටහන් කළේය. මෙය දැන් සිට අතීතයට ප‍්‍රක්ෂේපණය කරන්නේ නම් ඉහත සියළු නූතන ප‍්‍රතිරූප ඒ බව පිළිගනු ඇත. විජේවීරගේ මරණය ලාංකීය දේශපාලන-ආර්ථිකයේ ක්වොන්ටම් පිම්මක් නිර්මාණය කළේය. ලංකාවෙ වෙළඳ ප‍්‍රාග්ධනයට විජෙවීරගෙ මරණයෙන් පසු රාජ්‍ය බලය ලැබිණ. මෙය කෙතරම් තීරණාත්මක වෙනසක් බිහි කළේ ද යත් කොළඹ දිස්ත‍්‍රික්කයේ සිටි එවකට මුදල් ලේකම්වරයා 90 දශකය මුලදී මංගල සමරවීරගේ දේශපාලන උපදේශකයා කළේය. වෙළඳ ප‍්‍රාග්ධනයට රාජ්‍ය බලය ලැබී පවතිද්දීම ලංකාවෙ නියොජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විශාල විපර්යාසයක් සිදුවිය. ඡන්දදායක-දායිකාවගේ මනස විකාර කරවමින් පොදු පෙරමුණ නමින් දේශපාලන සංවිධානයක් බිහි විය.

1993 දී ජයග‍්‍රහණය කළ දේශපාලන ව්‍යාපාරය වූයේ එයයි. පොදු පෙරමුණ ආණ්ඩුව බලයට පත් වූ වහාම එක්වරම සියලු දෙනා දේශපාලනය අත හැරියේ ය. සියළු දෙනා දේශපාලනය අත හැරියේ සියලු දෑ දැන් ජනතාව අතේ පවතින නිසාය. UNP ය ප‍්‍රජාතාන්ත‍්‍රික කිරීම, මාධ්‍ය ප‍්‍රජාතාන්ත‍්‍රික කිරීම, සමාජය හිංසාහරණය කිරීම වැනි මෙකී නොකී බොහෝ දේශපාලන ක‍්‍රියාකාරිත්වයන් සියලු දෙනා චන්ද‍්‍රිකා-මංගල -එස් බී ට‍්‍රිබලෙන් බලාපොරොත්තු විය. නමුත් පිළිතුරු හැටියට සමාජයට ලැබුණේ සුසන්ති ජයසිංහ විකාරය, සනත් ගුණතිලක විකාරය, රොනී පීරිස් විකාරය වැනි විකාර සංකීර්ණයකි. එපමණක් නොව 94-96 කාලය යනු ලංකාවෙ වඩාත්ම වෙගවත් වානිජකරණය ඇරඹි යුගය යි. සමාජ ගැටළුවලට පුද්ගලික විසඳුම් [බැද්දගාන සංජීවගෙන් සමාජ ගැටළුවලට උත්තර දීම] සහ මුදල් අන් සියල්ලට වඩා වැදගත් බව තහවුරු වූයේ ද 94-96 යුගයේ ය. මෙ යුගයේ දී පෙරමුණු දේශපාලකයන් යනු එරියස් සමග ජොනි වෝකර් විස්කි සමග රාත‍්‍රී 2 වෙනකං බොරු කයිවාරු කෙලීමයි. ඔවුන් කිසිවක් නොකරන බව කිහිපදෙනෙක් දැන සිටි අතර එය එතරම් වැදගත් සාධකයක් වූයේ නැත. කොටින්ම එක වාක්‍යයකට ඉහත සියල්ල ගොනු කළ හැක. පොදු මහජනතාවගේ අපේක්ෂාවන් පරිපූර්ණ ලෙස අදේශපාලනික කිරීම සිදු වූයේ 94-96 යුගයේ ය.

දීප්ති කුමාර ගුණරත්න
ගාමිණී විජේතුංගගේ ආත්මයේ දරාගත නොහැකි සැහැල්ලුව
ලන්ඩන් සගරාව 2002 අපේ‍්‍රල් මැයි කලාපය පිටු අංක 4-5

[උපුටනය සහ අවධාරණය කර්තෘ විසිනි]


ලාංකීය රූපවාහිනි මාධ්‍ය තුල ද ක්වොන්ටම් පිම්මක් පැන ගත් සිරස ලාංකීය සංස්කෘතිය වහුකරණය කිරීමෙ ව්‍යාපෘතිය උත්කර්ෂයට නංවා ඇත්තේ පෙර නොවූ විරූ අයුරකිනි. ඒ කි‍්‍රයාදාමය දම්වැල් න්‍යායෙන් ඉදිරියට සීඝ‍්‍රව ඇදී යද්දී අමුතුම ආකාරයේ 'විකාර' සමාජගත කරන්නට සමත් වී ද ඇත්තේය. එහි අවසන් නොවන මහ විකාර තුල නවතම විකාරය සුසාර දිනාල් විකාරය විය හැකිය.

වර්තමාන ලාංකීය දේශපාලනික-ආර්ථික ව්‍යුහය, දීප්ති 2002 දී විග‍්‍රහ කළ ආකාරයේම නොවුනත් වෙනස් ආකාරයක ක්වොන්ටම් පිම්මක් අභියස බැවින්, අප සියල්ලන් ඇස් කන් ඇතුළු නව දොරම විවෘත කරන් ඉන්නා ප්‍රෙක්ෂකයන් පිරිසක් බවට පත් වී ඇත්තේ කුමන ස්වරූපවල අලුත් විකාර මෙ සන්දර්භයට ඇතුළු වන්නට අනාගතයේ දොරපළු ඇරෙවිදැයි සිතමිනි.

ක්වොන්ටම් පිම්ම ගැන මාධ්‍ය අවකාෂය තුල ප‍්‍රථම වතාවට සාකච්ඡා වෙන්නේ විද්‍යාත්මක පසුබිමකින් නොවෙ. නොඑසේ නම් අද අප භාවිතා කරන ප‍්‍රචාරාත්මක භාවිතාව ගොඩ නැගෙන්නේ භොතික විද්‍යා පදනමකින් නොවෙ. මන්ද යත් බ‍්‍රිතාන්‍යයේ කේම්බ‍්‍රිජි විශ්වවිද්‍යාලය තුල උපපරමාණුක අංශු හදාරණ විද්වතුන් ක්වොන්ටම් යන වදන භාවිත කලේ එහි සංශුද්ධ භොතික අදහසින් පමණක් වීම නිසා එය පොදු පරිශීලනයෙන් දුරස් වචනයක්ව පැවතීම ඊට හේතුවයි.
එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මුල බි‍්‍රතාන්‍යයේ බිහිවෙන කල්ට් සංගීත කණ්ඩායමක් නිසාවෙනි ක්වොන්ටම් පිම්ම පාරිභාෂික ශබ්ධ මාලාවට මහා පරිමාණයෙන් ඇතුලු වන්නේ. ඔවුන් තමන්ගේ සංගීත කණ්ඩායම හඳුන්වා ගැනීමට ක්වොන්ටම් ජම්ප් [Quantum Jump] යන්න භාවිතා කිරීම හේතුවෙන් එය එසේ සංගීත ක්ෂෙත‍්‍රය හරහා මාධ්‍ය ලෝකයට අවතීර්ණ වෙයි. එම සමකාලීන භොතික විද්‍යා පර්යේෂණ ක්ෂේත‍්‍රය තුල උප පරමාණුක අංශු පිලිබඳ විශේෂයෙන් ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය වැඩිවීමෙදී එය සන්තතිකව නැත්නම් ක‍්‍රමාණුකූලව වැඩි වීමකට එරෙහිව එක්තරා අගයක සිට ශක්තිය වැඩි වෙවී යද්දී අසන්තතික ව කිසියම් වෙනස් අගයක් කරා පොලා පැනීම නිරීක්ෂණය කරන්නට හැකි වීම සම්භාව්‍ය භොතික විද්‍යාවෙ ගණිතමය පසුබිම තුල විග‍්‍රහ කළ නොහැකි විය. සම්භාව්‍ය භොතික විද්‍යාවෙ ද එවැනි නිරීක්ෂණ නැතුවා නොවෙ. ඒ විලයනයේ ගුප්ත තාපය වැනි නිරීක්ෂණයන්ය. නමුත් එම සංසිද්ධි ද තාපගති විද්‍යා ක්ෂේත‍්‍රය තුල යම් පමණකට විග‍්‍රහ කරගෙන තිබුන නිසාවෙන් එම පැහැදිලි කිරීම් වලංගු නොවන මෙම ශක්ති විපර්යාස වටහා ගැනීමට වාදයක අවශ්‍යතාව මතු වූයෙන් ක්වොන්ටම් යාන්ති‍්‍රකයේ තිඹිරි ගෙය නිර්මාණය විය.

ක්වොන්ටම් යාන්ත‍්‍රික හැදෑරීම යනු ඇසට නොපෙනෙන පරමාණුක උප පරමාණුක අංශුවල ගතිගුණ සෙවීමෙ ගණිත ක‍්‍රමය හැදෑරීමයි. ඇසට නොපෙනෙන අංශු යනු අපට අන්වීක්ෂයක ආධාරයෙන් පවා දැකිය නොහැකි පදාර්ථයේ මූලික අංශුය. පරමාණුක අංශු සඳහා සාමාන්‍ය ගණිත ක‍්‍රම අදාල නොවීම හේතුවෙන් වෙනම ගණිත ක‍්‍රමයක් ඒ සඳහා භාවිතා කරන්නට සිදුවී ඇත. මෙහිදී මා සාමාන්‍ය ගණිත ක‍්‍රම ලෙස හඳුනා ගන්නේ නිවුටෝනියානු භෙතික විද්‍යා ගණිත ආකෘතිය යි. ඒ අපේ සම්භාව්‍ය භෙතික විද්‍යාව ගොඩනැගී ඇති පදනමයි. නිවුටෝනියානු යාන්ත‍්‍ර විද්‍යාව වස්තුවක ස්කන්ධය එහි අවස්තිථිය ගැන විද්‍යාවක් ගොඩ නගයි. එහි මූලික හරය කිසියම් භෙතික ගුණ දන්නා වස්තුවක චලිතය සිදුවන්නා වූ පථය සොයා ගැනීමට උපකාරී වීමයි. එහි දී අංශුවෙ ස්කන්ධය එහි පිහිටුම සහ එහි වෙගය දන්නේ නම් ඒ අනුසාරයෙන් කාලයට සාපේක්ෂ එහි පිහිටුම් සහ ශක්ති වෙනස් වීම් පෙරයීම් කිරීමට අවශ්‍ය සමීකරණ ගොඩනගා ගැනීමට එනම් එම අංශුවෙ භෙතික අවස්ථා ගණනය කර ගැනීමට අවශ්‍ය ෙෙසද්ධාන්තික පසුබිම සපයා දීම නිවුටොනියානු යාන්ත‍්‍රිකය විසින් ඉටු කරයි.


ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාවක උපත සිදුවන්නට ගොඩනැගුනු පරිසරය ද විමසා බැලීම වටී. නිවුටෝනියානු යාන්ත‍්‍රිකය විසින් පහදා නොදුන් භෙතික සංසිද්ධීන් කීපයක් නිරීක්ෂණය කරන්නට වීම ඊට බලපෑ ප‍්‍රධානම හේතුවයි. එම අවස්ථා කීපය අපි සංක්ෂ්ප්තව සලකා බලමු.

1. කලු වස්තුවල විකිරණතාව
2. ප‍්‍රකාෂ විද්‍යුත් ආචරණය
3. පරමාණුවල ශක්ති විමොචනය


මීට තවත් නිරීක්ෂණ කීපයක් ද ඇතත් මෙ එක එකක් ගැන සරලව වටහා ගන්නට අපි ඉදිරියේදී උත්සාහ කරමු.
ආලෝකය ක්වොන්ටම් යාන්ත‍්‍රණයේ මහ කණුවක් වන සැටි ද චමත්කාරයෙන් පිරි කතාවකි. කුතුහලය දල්වා එය රඳවා ගනු පිණිසය ඒ සඳහන.

ධනවාදයේ තෙවැනි කාර්තුවෙ අධිපති සංස්කෘතික තර්කනය වනූයේ පශචාත්-නූතනවාදය යි. පශ්චාත්-නූතන "රාජ්‍යය" විආකෘතික ක‍්‍රමයකි. මෙම රාජ්‍ය ආකෘතිය තුළ නිශ්පාදනය වන 'ආශාව' සාමුහික අනන්‍යතාවයකින් පරිපූර්ණ නොවෙ. සමාජ නිෂ්පාදනය තවදුරටත් ප‍්‍රතිවිරෝධතා ජනනය නොකරන්නේ [එනම් ඓතිහාසික ආඛ්‍යානයක ඊළග පියවර ලෙස හෝ මනොමූලික සරලරෙඛීයව ලෙස හෝ] එය "සැබෑවට -පෙනෙන -මිථ්‍යාවක ආකෘතිය" අත්පත් කරගෙන ඇති නිසාය. මෙ නිසා සිදුවන්නේ මිනිසා පුද්ගලභාවය නම් අණුක තත්වයෙන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වැනි උප-පරමාණුක අංශු බවට පත් වී කාල අවකාශය තුළ නව පිහිටීම් සලකුණු කිරීමයි. මිනිසුන් අතර වෙනස්කම් මෙ අනුව තවදුරටත් භොතික නොවන අතර ඒවා ප‍්‍රභන්ධාර්ථයන්ය.

දීප්ති කුමාර ගුණරත්න
ගාමිණී විජේතුංගගේ ආත්මයේ දරාගත නොහැකි සැහැල්ලුව
ලන්ඩන් සගරාව 2002 අපේ‍්‍රල් මැයි කලාපය පිටු අංක 4-5

[උපුටනය සහ අවධාරණය කර්තෘ විසිනි]

යලිත් අපි රාම රාවණා යුධ පිටියේ අලුත්ම තත්වය මහැදුරු සුනිලුන් ගේ ප‍්‍රතිකථිත දෙමළ රාමායණයෙන් කියවා ගනිමු. මෙ යුධ කි‍්‍රයාදාමය තුල ද ක්වොන්ටීකරණය වූ ශිල්පෝපක‍්‍රම මතුකර ගැනීමට ඉදිරියේදී වෑයම් කරමු.

ලක්ෂ්මණගේ ප‍්‍රහාරයකින් ඉන්ද‍්‍රජිත්හු ද රණබිමෙහි නටහ. ප‍්‍රිය පුත‍්‍රයාගේ මරණය ගැන ඇසූ රාවණ වියරුවෙන් කෑ ගැසීය. "මෙ සියළු ව්‍යසනයන්ට මුල් වූ සැතිරිය සීතා දැන් මෙ මොහොතේ දී ම මරා දමන්නෙමැ"යි රාවණ වෙදනාවෙන් කඳුළු වැගුරුවමින් දිවුළේය. රාජ්‍ය අනුශාසකයන් බොහෝ දෙනා ඔහුගේ අදහස අනුමත නොකළහ. "කාන්තාවක ඝාතනය කිරීම ඔබ වන් රජකුට තරම් නොවෙ. ඔබගේ කෝපය යොමු විය යුත්තේ රාම-ලක්ෂ්මණ දෙදෙනා වෙත ය. ඉතිරිව සිටින සේනා යළි සංවිධානය කොට ඔවුනට එරෙහිව මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කරන්න. අනතුරුව සීතා අත්පත් කර ගන්න. ඔබට ඊට ශක්තිය තිබෙ. සන්නාහ සන්නද්ධ ව වහා පෙරමුණ ගන්නැ"යි රාජ්‍ය අනුශාසකයෝ කීහ.

දෙමළ රාමායණය
නව වන උල්ලාසය රාම-රාවණ සටන
ප‍්‍රතිකථනය මහාචාර්ය සුනිල් ආරියරත්න

[උපුටනය සහ අවධාරණය කර්තෘ විසිනි]


සටහනක්:

භොතික විද්‍යාව සහ ගණිතය අපට අපගේ සීමාවන් උගන්වයි. අපගේ සිතීමෙ දිග පළල තීරණය කරයි. නිම් වළලු පුළුල් කරයි. එනමුත් සත්‍යය සෙවීම යනු අප විසින් හඹා යනු ලබන කෙදිනක හෝ හමුවන දෙයක් යැයි අනුමාන කරමින් දිගින් දිගට ඇදී යන ගමනකි. සත්‍ය ඇත යනුවෙන් විශ්වාස කරන්නන්ද සත්‍යය කියා දෙයක් නොමැත යනුවෙන් විශ්වාස කරන්නන්ද මෙලොව වෙසෙති. ඒ දෙගොල්ලන්ම එදිනෙදා ජීවිතය පහසු කර ගනු විනා අපහසු කරගැනීමෙ ක‍්‍රම නොසොයති. එබැවින් විද්‍යාව හැදෑරීම මෙ අවස්ථාවෙ ජීවිතය ලෝකය වටහා ගන්නට දරන උත්සාහයක් මිස විද්‍යාව තුල සියල්ල විග‍්‍රහ වෙය යන්නක් හෝ එය පරමත්වයට නැංවීමක් ද නොවෙ. ක්වොන්ටම් යාන්ත‍්‍රිකය ද විද්‍යාවකි.


The idea of eternal return is a mysterious one, and Nietzsche has often perplexed other philosophers with it: to think that everything recurs as we once experienced it, and that the recurrence itself recurs ad infinitum! What does this mad myth signify?

The Unbearable Lightness Of Being
Milan Kundera


graphics source

7 කුළිය:

Dinithi Pavithra said...

Great Post!!!!!!!!!!
Well Done!!!!!!!

Unknown said...

Kiyala wedak ne niyamai when next part

Koombiya said...

Kiyewuwa ada paandara. Maru machan. Wena wena wada walata polaa paninne nathuwa karunakarala digatama nokadawa liyapan meka.
Awashya aya [mamath athuluwa] awashya dewal igena ganiyi.

නලින් (Boman) said...

හරිම වටිනා ලිපියක්. ස්තූතියි.
දිගටම කියවන්න බලාපොරොත්තුව ඉන්නවා.

AJ said...

niyamai machan............

mamath me igena gannawa umbagen..... :)

Anonymous said...

keep it up.......Ela post..

Kanch said...

කමිමැලි කම අමතක කරලා කියෙවිවා... හරිම අපුරු සටහනක් ...:D