Sunday, March 21, 2010

ජනක මහබෙල්ලනගේ "රංචු"

ජනක මහබෙල්ලනගේ සංයුක්ත කවියක් කියවන්න ලැබුනා ඔහුගේ අලුත්ම කවි පොතෙන්. ඒ "කම්මුල් පහර" (2009) කවි/සංයුක්ත කවි පොතයි.

මෙහි මා අවධානය යොමු කළ සංයුක්ත කවිය "රංචු".


මේ නිරූපනය වන්නේ මිනිස් වර්ගයා රංචු ගැසෙන ආකාරයයි. සමහර රංචු විශාලය. කේන්ද්‍රීය ය. තවත් සමහර රංචු ක්ෂුද්‍රය. විසිරී ඇත. එක් තැනක "ර" කේන්ද්‍ර වද්දී තවත් තැනක "ං" කේන්ද්‍ර වන අතර තවත් තැනක කේන්ද්‍රය වන්නේ "චු" යන්නයි. මේ සියල්ල හඟවන්නේ විවිධ කේන්ද්‍රයන් පවා එකිනෙකින් වෙනස් බවය.

සමස්ත රංචු ද මොකද්දෝ දෙයකට කේන්ද්‍රීය බව සංයුක්ත කවියෙන් මට පෙනෙයි. ඒ හරියට සූර්යා කේන්ද්‍ර කර ගත් ග්‍රහ රංචුව තවත් එවැනිම පද්ධතියක් වූ ගැලැක්සියේ තවත් දේ සමග රංචු ගසමින් එම ගැලැක්සි ද තවත් ඊට වඩා අති විශාල වූ පද්ධතියක කුඩා කොටස් බවට පත්වී ඒ තුල රංචු ගැසීමද යනාදී වශයෙන් එකිනෙක තුල වඩ වඩාත් කුඩා වෙමින් රංචු ගැසී ඉන්නා සෙයකි.

දෙවනුව මා පෙළ ගස්වා ඇත්තේ අද උදෑසන ගෙදර බිත්තියක කූඹින් රංචු ගැසී සිටිනා අකාරය ය. එය මිනිස් රංචු ගැසීම සංකේතිකරණය වූ අයුරට වඩා වෙනස් අයුරකින් සිදු වී ඇති බව බැලු බැල්මට ‍මට පෙනුනි. මන්ද යත් ඔවුන් රංචු ගැසී සිටියේ ඔවුනගේ පොදු ගමන් පථය දිගට කුඩා කණ්ඩායම් වශයෙනි. හරියටම ගංගාධාරයක මිනිස් ශිෂ්ටාචාරය ගොඩ නැගී තිබූ පරිද්දෙන්ම ඔවුන් සිය ගමන් මග දිගේ තැන් තැන්වල ජනපද ආකාර වූ කුඩා රංචු ගැසීම්වල ට යොමු වී තිබුනි.

මහබෙල්ලන ගේ සංකල්පීය මිනිස් රංචු ගැසීමේ ස්වරූපයත් සැබෑ ලොව කුහුඹුවන්ගේ යථාර්ථවත් රංචු ගැසී‍මත් එක තැන් කොට මා තබන්නේ එය එකිනෙක කඩා බිඳ ගන්නා සැටි මට දැනෙන්නා‍ සේම හෝ ඊට ප්‍රතිපක්ශ ලෙස හෝ ඔබට ද දැනෙන්නට යැයි විශ්වාස කරමි.

කූඹින් රේඛීයව ගමන් කරති. අක්වක් මගක වුව ඔවුන් එකිනෙකා අනුගමනය කරති. රංචු සංයුක්ත කවියෙ නිරූපිත සංකල්පීය -සංකේතීය රංචු ඊට ප්‍රතිපක්ෂව කිසියම් එකෙකු වෙත කේන්ද්‍රීය වෙති. මෙවැනි කේන්ද්‍රයෝද විවිධ සාන්ද්‍රණ තුල විවිධ දුරින් පිහිටයි. මිනිසාගේ භෞතික පිහිටුම් මෙන්ම ඔවුන්ගේ අධ්‍යාත්මික පිහිටුම් ද එකිනෙකින් කේන්ද්‍රීය ව වෙනස් වෙයි. රංචු සංයුක්ත කවිය මේ බොහෝ දෑ මතුපිටට ගෙන එන්නට තැත් දරයි.

කම්මුල් පහර නම් දී ඇත්තේ දීප්ති කුමාර ගුණරත්නට යැයි මට සිතේ. ඒ කවි පොතේ පස්වැනි කවියෙනි. බෙල්ලන සහ දීප්ති ඔවුනොවුන් එකිනෙකාගේ පඨිත තුල සටන් කරගන්නා අයුරු අපට අරුමයක් නොවේ. මේ සටන් වලින් අපට යමක් ශේෂ වෙමින් පවතින බව පමණක් මෙහි සටහන් කරනු කැමැ‍ත්තෙමි.


ප.ලි.
සාකච්ඡා කළ යුතු තවත් අතිශය වැදගත් සංයුක්ත කවි රාශියක් අජිත් තිලකසේනගේ "රැලි සුලි" (1991) සංයුක්ත කවි පොතේ වෙයි.

Saturday, March 20, 2010

රෝස මලට කී ජීවන කවිය


රෝස මලට කී ජීවන කවිය

"ජීවිතයේ කිසිම දෙයක්
තවමත් මම නොදන්නෙමිය"
කියමින් සුළඟට පැද්දුනු
රෝස මලක් මා අභියස

මා කුමක් කිව යුතුද?

සරසවියේ ගත කළ
මහ විසාල කාලයටම
උගෙන නැත පිළිතුරක්
මේ පැනයට දෙන්න

කළු ලෑලි සුදු ලෑලි
ප්‍රොජෙක්ටර පින්තූර
බිත්තිවල එල්ල ගෙන
ගුරුවරුන් කියා දුන්
පාඩමක දේශනයක
නැත කොහේවත් කියැවි
ජීවිතය ගැන සඳහනක්
ඒ ගැන කටුම කටු සටහනක්?

ඒ පැනය අතැරී ඇත
ඒ පැනය මගැරී ඇත

කීවෙමි ජීවිතය
"හර්මිෂියන්" බව

ජීවිතය උඩුයටිකුරු කර
නැවත ප්‍රතිබද්ධය ගත් විට
එය ජීවිතයටම සමාන විය යුතු බව
මම නොපැකිලව කීවෙමි

ඇයට ජීවිතය දැන ගැනීමට
පහසු ක්‍රමයක් ඇවැසි බව
කීවෙන් මළානිකව
විඩාබර දෑසින්

සුළං රැලි පවන් රැලි
වෙනස්වන තෙතමන ආර්ද්‍රතා
පරිසරයෙන් ඈ නටුවෙන් මුදා
ගෙනැවිත් තැබුවෙමි
විනිවිද වීදුරු කැටයම් මල්වැල්
පින්තාරු කළ නූස් වූ
පුංචි වීදුරු බඳුනක් නිවෙස කොට
මන්දාලෝකය ඇති මා යහන් ගැබ

ඈ දැන් නිතිපතා
මගේ පාඩම් අසා සිටී
වෙනදා නොතිබුනු ජීවයක් සුවඳක්
මා හිස් යහන් ගැබ අරා ඉඳී

ඊ ඒ ඩෝසන් ප්‍රීති
2010/03

Monday, March 1, 2010

පංචායුධය


පංචායුධය

මම මගේ පොඩි එකාගේ පංචායුධය ගලවලා වැසිකිළියට දැම්මා
-චන්දො-ගලගෙදර
-රාවය SMS තීරුව-2010 පෙබරවාරි 28 වැනිදා ඉරිදා

සකියනි තෙප ගලවා විසි කරන්නට ගත්තොත්
පංචායුධය
වැනි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක පැවතුම් සංකේත
අනාදීමත් අතීතෙන් අනාගතයට දායාද වුන
කුමකින් කුමක් වන්නේ දැයි
මොහොතකට සිහි කැඳවුව මැන

පේරැස් මුදුව මා යැයි
ඔටුන්න මා යැයි
ලක්දිව මා යැයි
මහ පොළොව මා යැයි
විශ්වයම මා යැයි
කී විගස නිරිඳා හෝ
හැර යන්න ද කල්පනාව‍ මේ දෙපා යට රැඳුනු
පොලෝ කඩ පළු ගසා?
ඉහ උඩින් බැබැලෙන කිරි මුහුද අනන්තය
සක්වල දෙබෑ කර?

සඟ රැස් මා යැයි
සද්ධර්මය මා යැයි
තෙදබල රැඳි තුඟු බුදු කය ද
මා යැයි කියා ගතොත් නිරිඳා හෝ
වැසිකිළි වළට පෙරළම් ද අති උතුම් බුදු කය?

ඊ ඒ ඩෝසන් ප්‍රීති
2010/03

Thursday, February 25, 2010

සිතිවිලි රක්ෂිත වනය


සිතිවිලි රක්ෂිත වනය

අවසන් රුකත්
මහ පොලව බදා ඇද වැටුනු විට
අසංඛ්‍ය දූලි වළා රැලි නැගි නැගී
දෑස් කුහර ගුලි කර පුළුස්සා

සතා සීපාවා සැරි අභිරුචි කල්පනා ලෝකා
තුඟු කඳු පාමුල නැගි ඝණ හරිත පදපත්‍ර ජාලා
යටිවියන් උඩුවියන් සැරි සර සියුම් ජල සීරා
අනේක කුහුඹු කදෝපැණි සිතිවිලි සිහින රූරා පෙරා
ලූ මෘග සංවර්ෂා අනන්ත කාලාවසානා

දැඩි රුදු බිමකි හිස් කෙම් බිමකි අද
සෝදා පාළුව ගිය පාංශු නිපාතාදි වැල්ලේ රැලි සුළි පාරා
සිතිවිලි වනය කිසිවෙකුත් ඇතුළු වනු නැති
දිවා රැය නොමැති භින්න වූ රේඛා

පාණ්ඩු පැහැ පොලෝ තලයකි රූ ගත් දූර සහරා
ඇද වැටි දිරා ගිය රුක් කඳින් වැසී ගිය වියලි පෟෂ්ඨා
තැනකි නැති තෙතමන ජල අංශු මුසු ලවණා
නැගෙන්නට හෝ බිම් මලක් වැනි ශුෂ්ක භෞම සාධක බාධා

දැව කඳන් එකල පැටවුනි ද
පිට දේශ දේශාන්තර
මුලිනුපුටා හරිත වන රාජා

තැනින් තැන ගොදුරු ඉව ලැදි
සිංහ කොටි වලස් සේනා
පයට පෑගෙන බිම්පලස් වී හම ගැසී නගන ඝෝෂා

ඉහ වහා ගිය දෘඨතර ශක්ති බන්ධන ලීලා
පෑ ගොර බිරම් ඇත් ගජබ ගිජිදුන් සේනා
දල පැහැර ඇන වැළලුවේ භූ ගර්භ බොල් කවචා

ඉතිරිව ඇත රක්ෂිතය මන්දස්මිතය විදුලි වැට වටලා
ඇතුළු වන්නට ඇවැසිය කහවණු පතුරු මුද්‍රිත සංඥා
අවසර පත්‍ර නේකා

තැන තැන වවා ඇත
පයිනස් ළපලු කැක්ටස් පිටින් ගේනා
සිතිවිලි වලට නැත ‍දේශ සීමා මායිම් රේඛා

තිස්ස රජු වුවද හිරබත්
කමින් ඉනු ඇත මෑනුවොත්
ඊ වෙතට අද මුව සේනා

ධර්මධාරීන් පිට දී සිටී
ලෝ කුහර දියවී උණුව
දැවෙනා කුහර ගිනි කඳු මුදුනා...

මිහිඳු සැරසී මිලිටරි ඇඳුමෙන්
රකී සුන් වන පෙත
වෙස් ගෙන උයන්පල්ලා!

ඩෝසන් ප්‍රීති
2010/02

Wednesday, February 24, 2010

ආදරණිය ප්‍රගීත් අන්කල්- [Ruwandi Neranjala | රුවන්දි නෙරංජලා ]










ආදරණිය ප්‍රගීත් අන්කල්,

ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත 'ලංකාදිප' පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්ඛෙන්. ඔබ ඒ ලිපිය එව්වේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඔබ පළමුවරට පැහැරගෙන ගොස් නිදහස් කළ පසුවයි. අවුරුදු විස්සකින් පසු පළමු වතාවට-

-මම ප්‍රගීත් අන්කල්ට ලියන්න පෙළඹුණේ ඒ සිදුවීම විසින් මා තුළ ඇති කළ කම්පනයයි. අවුරුදු විස්සක් කොයි තරම් දිගු කාලයක්ද?

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය බවට ඒ අගොස්තුවේදී පුවත් පළ වී තිබුණත් ඔබ මා කුඩාකළ දැන සිටි ප්‍රගීත් අන්කල් යැයි මට එක්වරම නොසිතුනේ ළමා විය ගැන මගේ මතකය දුබල නිසා විය හැකියි. ඒත් ඔබේ පින්තුරයක් අහම්ඛෙන් දැක්කාම මට ඔබ කවුදැයි යන වග මතක් වූයේ ඔබේ රුව මගේ ළමාවිය ගැන ඉතිරිව ඇති මතක කැබැලිති අතර විසි වසක් නොනැසී තිබූ නිසායි. ඔබට කතා කළ යුතුයැයි කියන හැඟීමෙන් දින කිහිපයක් තැවුල් විඳි මම අසීරුවෙන් ඔබේ දුරකතන අංකය සොයාගත්දා කොයිතරම් සතුටු වූවාද? ඔබට ලියූ පළමු ඊ මේල් පණිවුඩය මම ලිව්වේ වේදනාබර සතුටකින්. ඔබ විඳි දුක් ගැහැට ගැන ඇසීමෙන් හටගත් වේදනාව යටකොට ළමා වියේ මා දැන සිටි 'ප්‍රගීත් අන්කල්'ට විසි වසරකින් පසු ලියන්නට ඉඩ ලැබීම සතුට කොයිතරම්ද?

ඒත්, නැවතත් ඔබ අතුරුදහන් ප්‍රගීත් අන්කල්!

මේ ලියන මොහොත වනවිට ඔබ ගැන තොරතුරක් නැතිව හරියටම දින 30ක්. ඔබ ගැන සිත නිවෙන පුවතක් දැකීමේ නොමැඩිය හැකි ආශාව මේ දවස් මුළුල්ලේ මා හැර නොයා රැඳෙන්නේ මගේ ළමා කාලය පිළිබඳ ඇති ප්‍රීතිමත් මතකයන් අතර ඔබ අදත් ජීවමාන නිසායි. ඔබ ලියා තිබුණා වගේම මම අද, මගේ තාත්තාගේ ඔබ වැනි ආදරණීය මිතුරන්ගේ සෙනෙහස විඳ හැදී වැඩුණු ඒ පුංචි දැරිය නොවේ. සමාජය ගැන දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක්. නමුත් දෙවෙනි වතාවේත් අතුරුදහන් වූ ඔබ ගැන යමක් කරන්නට අපි කිසිවෙකු සමත් වී නැහැ. ප්‍රගීත් අන්කල් මට ලියූ වචන මතකද? අද තියන භීෂණකාරීත්වය ගැනත්, ඔබ වැන්නන්ගේ අවදානම් ඉරණම් ගැනත් ඒ ලියූ හැම වචනයක්ම මට කට පාඩම් වන තරම් මම ඔබේ ලියුම කියවා තිඛෙනවා. නමුත් නැවතත් ඔබව පැහැරගෙන යන තුරුත්, ඉන් පසුත් අපට කළ හැකිව ඇති දේ කොයිතරම් අල්පද?

ප්‍රගීත් අන්කල්, මම ළමා කාලයේදී අත් දුටු අතීත භීෂණයට වඩා අද භීෂණකාරීත්වය වෙනස් කියා ඔබ ලියා තිබූණා මතකද? ඔබ නිදහස්ව ආ දවස්වල ලියූ ඒ වචනවල බැරෑරුම්කම මට දැනෙන්නේ දැන්. මගේ ජිවිතයේ අඳුරුතම කාලය වූ 88-89 සමයේ මාත් - අක්කාත් පණ පිටින් මළවුන් බවට පෙරළු භීෂණයෙන් මට කිසි කලක ගැළවුමක් ලැඛෙතැයි මම හිතන්නේ නැහැ. නමුත් විසි අවුරුද්දකට කලින් ජනතා විමුක්ති පෙරමුණෙන් ඝාතනය කළ ප්‍රතිපත්ති ගරුක මිනිසෙකු වූ මගේ තාත්තා ගැන මතකයෙන් පෑරෙන අපේ ජීවිත සුවපත් කරන්නට උදව් කළ ප්‍රගීත් අන්කල් වැනි ආදරණීය කාරුණික මිනිසුන්ට විසි අවුරුද්දකට පසුවත් ලංකාව අනාරක‍ෂිත තැනක් වන්නේ ඇයි?

ඒ අතීත ළමා කාලයේ මතකය තවමත් සිහිනයන් වගේ. ප්‍රගීත් අන්කල් අපේ ගෙදරට එන්නේ 80 වැඩ වර්ජනයෙන් පස්සේ. සාලයේ වාඩිවී තාත්තා එක්ක දොඩමළු වන සිහින් සිරුරක් ඇති ඒ ප්‍රගීත් අන්කල් මට තවමත් මතකයි. අපි ඉගෙනගත් ඌව කරඳගොල්ලේ පුංචි ඉස්කෝලයට පුස්තකාලයක් හදන්න තාත්තා එක්ක මහන්සි වුණු ඒ දවස් අන්කල්ට මතකද? ඉස්කෝලේ ළමයින්ට බුදුන් වඳින්නට කියා අපේ ගෙදර ඉස්සරහ තියාගෙන අන්කල්ගේ අතින් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාවට අදත් ඒ ඉස්කෝලයේ දරුවන් වඳිනවා ඇති. නොදන්නා දුර ඈත ගමක, නොදන්නා මිනිසුන්ගේ දරුවන්ට වඳින්නට රෑ දවල් වෙහෙස වී ඒ බුදු පිළිමය අඹන්නට අන්කල් මහන්සි වූ දවස්වල මගේ තාත්තා ඒ අසළට වී බලා ඉන්නා විදිය මේ ලියන මොහොතෙත් මගේ හිතේ දුක්බර රූපයක් වී ඇෙඳනවා. විසි අවුරුද්දකට පසුව පවා ඒ දුප්පත් ඉස්කෝලයේ පියස්ස යටට එකතු වෙන දරුවන්ට වඳින්නට බුදු පිළිමයක් නෙලු නොදන්නා මිනිසා කොළඹ වීදියක හිටි ගමන් අතුරුදහන් වූ බව කරඳගොල්ලේ දරුවන් කෙසේ නම් දැනගන්නද?

ආදරණීය ප්‍රගීත් අන්කල්,

කිසිදාක අමතක නොවෙන ඒ අඳුරු අතීතය මැද දිලෙන පහන් ආලෝකයක් වැනි ඔබේ මනුෂ්‍යත්වය ගැන මේ ලියූ සියල්ලට වඩා අමතක නොවෙන තවත් දෙයක් මම ලියන්නම්. තාත්තා මුහුණ දුන් රුදුරු මරණයෙන් පසුව භීතියෙන් තැතිගත් නෑ හිත මිතුරන් බොහෝ අය අපේ තාත්තාගේ අළු පවා තියා ගන්න බිය වුණු කාලයක් ඒ. කුඩාවියේ සිටි අක්කාට හෝ මට තාත්තාගේ අවසන් මොහොත පවා දකින්නට ඉඩක් ලැබුණේ නැහැ. අපි උස් මහත් වී වැඩිහිටියන් වූ දවසක අපට දෙන්නට අපේ තාත්තාගේ අළු ළඟ තබාගෙන පරිස්සම් කර දෙන්නට තරම් හදවතක් හා ධෛර්යයක් තිබුණේ ඔබට බව මම දැනගත්තේ ගොඩාක් පසු කාලයකයි. නමුත් ඒ භීෂණයේ කුණාටුවෙන් බිඳී විසිරුණු කැදැල්ලකින් විසිව තැනින් තැන හැදී වැඩුණු අක්කාත්, මමත් ඔබ හමුවන්නට ප්‍රමාද වූ නිසා, ඔබ ඉතා ගෞරවණීය විදියට මගේ තාත්තාගේ අළු කැලණි ගෙඟ පා කළ බවත් මම දැනගත්තේ ඒ කාලයේදීයි. කොළඹ වීදියක මහ රැයක අතුරුදහන් වූයේ ඒ තරම් උතුම් මනුෂ්‍යත්වයෙන් හෙබි දුර්ලභ මිනිසෙකු බව මිනිස් තෙතමනයක් නොදැනෙන සමාජයකට කියා තේරුම් කර දෙන්නට මට කවදා නම් පුළුවන් වේවිද ප්‍රගීත් අන්කල්?

ආදරණීය ප්‍රගීත් අන්කල්,

මගේ තාත්තා එනතුරු මග බලා ඉන්න තිබුණා නම් ජීවිතය කෙළවර වන තුරුම අපේක‍ෂා අත් නොහැර මට බලා ඉන්න හයිය තිබුණා. භීෂකයින්ගේ දෑතින් විකෘති කළ මගේ තාත්තාගේ කෙසඟ සිරුර ඒ බලාපොරොත්තු මගෙන් උදුරා දැමුවා. ඒත් ප්‍රගීත් අන්කල් නැවත එන බවට අද මගේ විශ්වාසය ශක්තිමත්. කිසි දවසක දැක නැති අන්කල්ගේ පවුලේ අය සමග අන්කල් නැවත එනතුරු බලා ඉඳින මිනිසුන් අතර මමත් රැඳී ඉන්නේ ඒ නිසායි. ඒ ආ දවසක සන්සුන් සිතින් අන්කල් මේ ලිපිය කියවන බව මට විශ්වාසයි. නැවත පෙරළා එන්නට ප්‍රගීත් අන්කල්ට ශක්තියක් වෙන්නේ අපි හැමෝම තුළ ඇවිළෙන ඒ විශ්වාසයයි.

මට ලෝකයක් තරම් ආදරය කළ මගේ තාත්තාගේ අවසන් අළු බඳුන අපි වෙනුවෙන් රැකගන්නට හදවතක් තිබූ ඔබ මගේ තාත්තාගේ ආදරය විසින්ම රැකදෙන බව මට ඒකාන්තයි.

මම, නන්දේගේ දුව

Ruwandi Neranjala රුවන්දි නෙරංජලා


Sunday, February 7, 2010

මහා අහසේ සැණකෙලියයි

පිනි බිඳෙන් බිඳ
මල් පෙති අග සිට
පැන යන දඟලන
උදෑසනයි

හිරැ රැස් සයුරේ
ගිලී කිඳී යන
මහා අහසේ
සැණකෙලියයි

වැට වට ගැට පිච්චා
සුසුවඳ ගලා
අරුණෝදයේ හිරු රැස්
කෙඳිති පෙරී උන්මාදනී

සෑම හිරු රැස් කෙඳිත්තකම
යෞවනයේ ජීවය උතුරන
මුළු ධරණී තලයම සම ලෙස
වැට මායිම් පිස ගෙන සිප ගෙන

බඹරුන් අහසට පැන
රඟ දෙන ගුම් නද විසිරුන
මල් උයනය
ගං තෙර අසබඩ

බඹරුන් ඔහොමය
කවදත් රඟ දෙන
මල් පෙති දුටුව ද
වෙනසක් කොහි වෙද

බඹරුන් එකිනෙක
මල් පෙති මතුපිට
පැන යන දඟලන
වසන්තයයි

සඳු ද අහස මැද බලා හිඳී

නිසල වී නම් ගං තෙර කුමකට
රැලිති නගා එනු මැන ඉවුරට
එයයි සොඳුරු සදාකාලෙට
මල් පෙති ඔබ මග බලා සිටී

ඩෝසන් ප්‍රීති
070210