ජනක මහබෙල්ලනගේ "රංචු"

ජනක මහබෙල්ලනගේ සංයුක්ත කවියක් කියවන්න ලැබුනා ඔහුගේ අලුත්ම කවි පොතෙන්. ඒ "කම්මුල් පහර" (2009) කවි/සංයුක්ත කවි පොතයි.

මෙහි මා අවධානය යොමු කළ සංයුක්ත කවිය "රංචු".


මේ නිරූපනය වන්නේ මිනිස් වර්ගයා රංචු ගැසෙන ආකාරයයි. සමහර රංචු විශාලය. කේන්ද්‍රීය ය. තවත් සමහර රංචු ක්ෂුද්‍රය. විසිරී ඇත. එක් තැනක "ර" කේන්ද්‍ර වද්දී තවත් තැනක "ං" කේන්ද්‍ර වන අතර තවත් තැනක කේන්ද්‍රය වන්නේ "චු" යන්නයි. මේ සියල්ල හඟවන්නේ විවිධ කේන්ද්‍රයන් පවා එකිනෙකින් වෙනස් බවය.

සමස්ත රංචු ද මොකද්දෝ දෙයකට කේන්ද්‍රීය බව සංයුක්ත කවියෙන් මට පෙනෙයි. ඒ හරියට සූර්යා කේන්ද්‍ර කර ගත් ග්‍රහ රංචුව තවත් එවැනිම පද්ධතියක් වූ ගැලැක්සියේ තවත් දේ සමග රංචු ගසමින් එම ගැලැක්සි ද තවත් ඊට වඩා අති විශාල වූ පද්ධතියක කුඩා කොටස් බවට පත්වී ඒ තුල රංචු ගැසීමද යනාදී වශයෙන් එකිනෙක තුල වඩ වඩාත් කුඩා වෙමින් රංචු ගැසී ඉන්නා සෙයකි.

දෙවනුව මා පෙළ ගස්වා ඇත්තේ අද උදෑසන ගෙදර බිත්තියක කූඹින් රංචු ගැසී සිටිනා අකාරය ය. එය මිනිස් රංචු ගැසීම සංකේතිකරණය වූ අයුරට වඩා වෙනස් අයුරකින් සිදු වී ඇති බව බැලු බැල්මට ‍මට පෙනුනි. මන්ද යත් ඔවුන් රංචු ගැසී සිටියේ ඔවුනගේ පොදු ගමන් පථය දිගට කුඩා කණ්ඩායම් වශයෙනි. හරියටම ගංගාධාරයක මිනිස් ශිෂ්ටාචාරය ගොඩ නැගී තිබූ පරිද්දෙන්ම ඔවුන් සිය ගමන් මග දිගේ තැන් තැන්වල ජනපද ආකාර වූ කුඩා රංචු ගැසීම්වල ට යොමු වී තිබුනි.

මහබෙල්ලන ගේ සංකල්පීය මිනිස් රංචු ගැසීමේ ස්වරූපයත් සැබෑ ලොව කුහුඹුවන්ගේ යථාර්ථවත් රංචු ගැසී‍මත් එක තැන් කොට මා තබන්නේ එය එකිනෙක කඩා බිඳ ගන්නා සැටි මට දැනෙන්නා‍ සේම හෝ ඊට ප්‍රතිපක්ශ ලෙස හෝ ඔබට ද දැනෙන්නට යැයි විශ්වාස කරමි.

කූඹින් රේඛීයව ගමන් කරති. අක්වක් මගක වුව ඔවුන් එකිනෙකා අනුගමනය කරති. රංචු සංයුක්ත කවියෙ නිරූපිත සංකල්පීය -සංකේතීය රංචු ඊට ප්‍රතිපක්ෂව කිසියම් එකෙකු වෙත කේන්ද්‍රීය වෙති. මෙවැනි කේන්ද්‍රයෝද විවිධ සාන්ද්‍රණ තුල විවිධ දුරින් පිහිටයි. මිනිසාගේ භෞතික පිහිටුම් මෙන්ම ඔවුන්ගේ අධ්‍යාත්මික පිහිටුම් ද එකිනෙකින් කේන්ද්‍රීය ව වෙනස් වෙයි. රංචු සංයුක්ත කවිය මේ බොහෝ දෑ මතුපිටට ගෙන එන්නට තැත් දරයි.

කම්මුල් පහර නම් දී ඇත්තේ දීප්ති කුමාර ගුණරත්නට යැයි මට සිතේ. ඒ කවි පොතේ පස්වැනි කවියෙනි. බෙල්ලන සහ දීප්ති ඔවුනොවුන් එකිනෙකාගේ පඨිත තුල සටන් කරගන්නා අයුරු අපට අරුමයක් නොවේ. මේ සටන් වලින් අපට යමක් ශේෂ වෙමින් පවතින බව පමණක් මෙහි සටහන් කරනු කැමැ‍ත්තෙමි.


ප.ලි.
සාකච්ඡා කළ යුතු තවත් අතිශය වැදගත් සංයුක්ත කවි රාශියක් අජිත් තිලකසේනගේ "රැලි සුලි" (1991) සංයුක්ත කවි පොතේ වෙයි.

Comments

Anandawardhana said…
බොහොම අගේ ඇති කියවීමක්. ස්තුතියි!
DawsonP said…
බොහොම ස්තුතියි ආනන්දවර්ධන!
Raven said…
මේ පොත මම සති කිහිපයකට උඩදි සරසවියෙන් ගත්තා. රංචු කවිය ගැන මම හිතාගෙන උන් අදහස යම් ප්‍රමාණයකට නිවැරදියි කියල හිතුන මේ විස්තරය කියවල.තවත් දේ දැනගත්ත. බොහොම ස්තූතිවන්ත වෙනවා මේ ලිපියට.

දීප්ති කුමාර ගුණරත්න නමට කවියක් පබැදල තිබ්බ නෙලුම සහ මඩ ඇසුරෙන් මට මතක විදිහට.

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්