Wednesday, January 27, 2010

මහා පිරමිඩය සූදානම්ය

සරසපු වේදිකාවේ ඔබේ සුරත ඇති
වහ කෝප්පය මට
උත්සවාකාරයෙන් දිය හැකිය

මගේ අතින් ඔබට ද
වහ කෝප්පය ඒ අයුරින්ම
උත්සවාකාරයෙන් ලබා ගත හැකිය

කිසිවෙකුත් වස බොනු යැයි නොපවසනු ඇති
විධානය නොදෙනු ඇති
කැමැත්තෙන් බොනු මිසක
මිනිසුන් හෘදය සංවේදි වී ඇති බැවිනි

මිනිසුන්ම විෂ පානය යෙහෙකැයි
තීරණය කර ඇති වැඩි කැමැත්තෙන්
ඉතිං
අපිට හළහල විෂ ප්‍රමෝදයෙන් යුතුව
පානය කළ හැකිය...

තව මදක් ඉදිරියෙන් අඩි තුනක් ගැඹුරට
ජීවිතය වෙනුවෙන්
ස්මාරකයක් ඉදි නොවන
බිම් කඩක් ඇත

එමත විශ්වයේ ප්‍රමුදිත වදන් ලියා තබා ඇත
මියෙන ආත්මයට සුව පත් කරන්නට
කිසිවෙකුත් හාරා එලියට නොගනු ඇත
හළාහල විෂ ගැල්වුන මමියකැයි කියනු ඇත

පරමාදිපත්‍යයේ නාමයෙන් කිසිවෙකුත්
මේ විෂ ගොඩගනු නොමැත කිසි‍දින
දැනුත් පාරාවෝ රජ පවුල
වැළලී සිටියි පොළව යට

එනමුත් ලොවම මවිත වන
මහා පිරමිඩය මතුපිට ඇත
මිනිසුන් ඒ සොහොන බලන්නට
දැනුදු යති එති එරටට

අපි රජවරුන් නොවුනද
රජ සැප විදිමින් යහතින්
භූගත වන්නට තීරණය කර ඇත
පාරාවොන්ට දන් දී සියල්ල
ඉතිං ඉහලට ඔසොවා ජය පැන් ලෙස
බීපල්ලා වහ!

මහා පිරමිඩය සූදානම්ය
තොප සියල්ලන් මත
නැගී ගොඩ නැගෙන්නට!

ඊ ඒ ඩෝසන් ප්‍රීති
270110

Sunday, January 17, 2010

සේකර සේකර සේකර!

සේකර සේකර සේකර !

මම නුඹව සොයමි
ලොකු හදිස්සියක්!

කොහෙද තිබ්බෙ
අන්තිමටම හෙට ඉරක් පායයි?
ඇඳේ අයිනෙද
ගෙයි මුල්ලෙද
නැත්නම් කොට්ටෙ යටද
රාක්කෙම ද
මතක නෑ මතක නෑ අයියෝ සේකර!

මට මේ පොත් මතක් වෙන්නෙත්
සේකර සමරුව ලං වෙද්දිමයි
මොනව හරි ලියල දාලා
සේකර නුඹ අනුස්මරණය කරන්න
කවි ටිකක් ඔබලා ඔබලා පල් හෑල්ලක් ලියලා
අත සෝදන් දුවන්ට
බලු පොරයට

මේ සේකරල අත්වල තවරන්
කොහොමද දෙයියනේ මේ බිස්නස් කරන්නේ
විකිණෙන්නෙත් සුපිරිසිදු රාත්තලටමයි
සේකර නොදැක්ක වගේ හිටහන්

කොහෙද තිබ්බේ අන්තිමටම සක්වා ලිහිණි?
දෙයියනේ මේ ඊයෙත් දැක්කා මේසෙ උඩ
කවදද අන්තිමට නොමියෙමි කියෙව්වේ
ඔව් ගිය සතියෙ හොඳට මතකයි
පහුගිය දාම යව්දිව් මතක් වුනා
මිනී පෙට්ටි මුදලාලිත්

කවි අස්සෙන් ව‍ටපිටාවේ
හිදැස් ඇතුලෙ මළකුණු

ඡන්දෙකුත් තියෙනවා සේකර
මේ දවස්වල ලක ලෑස්ති වෙන
ඒකයි සේරමල මරා ගන්නේ
සේරමල පරාද වෙන ඡන්දයක් මේක සේකර
අපි ඔක්කොම පරාදයි සේකර

ඒත් මම රහසක් කියන්නම්

මමත් පොඩි ගාණක් සොයා ගත්තා
විනාඩි බාගෙක බොරුවක් කියලා ටී වී එකට
සේකර
මේව මහ බලු වැඩ
ඇත්තටම බල්ලොවත් නොකරන වැඩ
කරන්න දෙයක් නැහැ සේකර
මේක පශ්චාත් නූතන සංස්කෘතික තර්කණය!
රෙද්ද!!!

හුංගම මළ ගෙදරත් රිංගා ගෙන යව්දිව්ලා

*පිරෙන්ඩ එපා මෙතන
කරුණාකර අයින් වෙන්ඩ
අඩා දොඩා වැලපී දැන් පලක් නොමැත
මරණය කොයි කාටත් උරුම දෙයක්

දෙයියනේ මරණය
නොමියෙමි කාලෙට වඩා
දැං ලාබයි සේකර!

අදත් ඇහුවා ඔන්න
මරා දමලා ආණමඩුවේ
කොයි පැත්තේ වුනත්
මිනිස් ජීවිත ලඹ දෙන පොළවට

සේකර
අපි
පණ පිටින්
මැරිලා ඇතුලින්
"නුඹ මැරිලත් පණ පිටින්"
ඔව් වොව් එහෙම කියලා
උඹව උඩදාලා අපි සුවෙන් ඉන්නවා සේකර
ආයෙම වැටෙන තුරු ඊළඟ ජනවාරියට!

ඊ ඒ ඩෝසන් ප්‍රීති
160110
*මහගම සේකරගේ නොමියෙමි කාව්‍යයෙන් උපුටනයකි.

Friday, January 15, 2010

වලයාකාරය සූර්යග්‍රහණය නොහොත් පැරදුන චන්ද්‍රා


නගරය බිහිදොර
යෝධ කටවුට් අහස සිඹ සිඹ

වසන්නට දෝ හෝ හිරු
කාඩ්බෝඩ් දෑත් අහසට දිගු වුන

නගර මාවත් පටු මං පෙත්
කටවුට් සෙවණැලි වලින් අඳුර විහිදුන

චන්ද්‍රා ද සිහිසුන්ව සපැමිණ
මේ සුනඛ තරගයට අද දින

විලියෙන් ඇඹරී වසා සූරිය අඩලය
බැස ගියේ පරාජිතව ද රැඳී හෝරා කීපය?
කටවුට් වලට පැරදුන දුර්වල චන්ද්‍ර වංකය
ආයේ කවදා දකිමුද පූර්ණ සූර්යග්‍රහණය?

සූර්යයා වැසී යන්නට තරම් අහස උස කටවුට් නැගි දෙරණ ඉහලින් චන්ද්‍රයා ද සිය ගමන් පථයෙන් සපැමිණ සූර්යයා වසා දමන්නට හැකි දැයි බලා අසමත්ව මුසුප්පුවැ අහස් කුසින් මිදී ගිය හැටි නිමිති විය.

ඊ ඒ ඩෝසන් ප්‍රීති
150110

Thursday, January 14, 2010

ලන්ඩන් වගෙද හුංගම


ලන්ඩන් කවියක් ඇවිත් තටු විදා
මොනිටරේ හැපි හැපි ලතැවුනා
හිම කෙඳිති දිය සැඟවු
කඳුළු ලෙස වැගිරුනා

පැරණි කිවිඳුන්ගේ ශෛලමය ප්‍රතිමාව
නුඹ මෙන්ම ගැහි ගැහී හීතලේ හිම වැසී
වේදනාභරිතව ඇනී ගත සියුම් කටු තුඩු
සීතල තියුණු හිමමය ඇල්පෙනෙති වැනි

මුමුණන අලුත් කවියක්...

එනමුදු කොතරම් ලං වුවත්
නුඹටවත් නො ඇසෙන
නියොන් දත් ලන්තෑරුම් නියවන
ලන්ඩන් සීතලේ

දැල්වී අඟුරු
සපැමිණි පතලකින් ලෝ පතුල
උදුනකින් වෑස්සෙන
රන් පැහැති රශ්මි ගිනි දළු
අතරින් වැගිරුන ශෝකයේ උණුසුමින්
දුක්භරිත හදවතේ දැල්වූනේ නිල් දැල්ල
අධික තාපයෙන් රක්ත තප්තව

ලෝකයේ උස් මිටි කම් තව ඇද්ද?

ජනේලෙන් පිටතට

විසිකරන නුඹේ ඇස්...

නොදුටු තැන් ‍‍‍
නොවිඳි රස
නොනැගි මුදුන්
නොනිදි සයනයන්
නිදිනොවැදි ලඳුන්
තව කොතරම් ඉතිරි ද?

කොයි තරම් වෙනස් ද ලන්ඩන් අහස?
සුළඟෙත් ඇතිය විටමින්
නොදැනේ ද
කිලිපොලන සිරුරට?

උත්තරාර්ධ ගෝලය ද මේ?
තරු වුනත් ලස්සනයි වටකුරුයි
වෙනස් වගෙයි
ඇඹිලිපිටි අහසේ තිබ්බට වඩා

සිතමි මම ‍
නුඹගේ ඇස්වල තැවරුන
නොනිමි ‍ඒ කවි රාව

ආකාහේ කෙළවරක
කිසිදාක ‍
යළි නොඑන ලෙස
මළ හිරු ද
සිය රැස් දහරේ
මන්ද දීප්තියෙන් ගිලී
මළානිකව දිලෙන අයුරු
මරු දැක දැක ක්ෂිතිජ ඉම...
කොළඹ අහස වාගෙම ද?
හමනව ද කඩල සුවඳ මුසු දූවිලි හුළං පොද

ලන්ඩන් කවිය
තී නිසා
දුටිමි මම නුඹේ ඇස්වල
හිම කැටිති ලෙස මිදී ගිය
උණුසුම් කඳුළු බිඳු
ඒ මළානික හිරු එළියේ...

ලන්ඩන් වගෙද හුංගම
නර බිල්ලකුත් අරං දන්නව ද නුඹ?
හීතල නිසා නුඹෙ සිත
නොපවසමි තව විස්තර

ලන්ඩනය දුක්බරද ඔතරම්ම?

උත්තර අරන් එන බව දනිමි
අහස් ගැබ පලා හෙට අනිද්දට නුඹ

ඊ ඒ ඩෝසන් ප්‍රීති
140110

හෂිත අබේවර්ධන ගේ ලන්ඩන් කවියක් නිමිති වුනි.

Thursday, January 7, 2010

'රාජාලි පියාපත' සයිබර් අවකාශයෙන් කාව්‍යාවකාශයට

'රාජාලි පියාපත' සයිබර් අවකාශයෙන් කාව්‍යාවකාශයට
ජනවාරි 09 - සවස 3:00 ට



ජගත් ජේ එදිරිසිංහ ගේ දෙවන කාව්‍ය සංග්‍රහය 'රාජාලි පියාපත', 'ඉස්කෝලෙ කාලෙ' යොවුන් නවකතාව සහ 'තාරකා විජිතය' නවකතාව දොරට වැඩීමේ උළෙල ජනවාරි 9 වන සෙනසුරාදා සවස 3:00 ට කොළඹ 7 නිදහස් මාවතේ අංක 14 දරන තැන පිහිටි ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

"නූතන කාව්‍යකරණයේ සයිබර් අනන්‍යතාවේ දේශපාලනිකය" මැයෙන් කේ කේ සමන් කුමාර සහ "ජගත් ගේ කවි මග පිළිබඳ විමසුමක්" මැයෙන් රවි සිරිවර්ධන දෙසුම් පවත්වති.

සන්නස www.sannasas.net පුවත්පතේ උපදේශක සංස්කාරකවරයා වන ජගත් මෙයට පෙර "කන්ද උඩ මාළිගාව" කෙටිකතා සංග්‍රහයත් "සිසිරයේ පිපුණ මල " කාව්‍ය සංග්‍රහයත් "අසුර අඩවිය" හා "ගිම්හාන සුළඟ" නවකතාත් "අන්තර්ජාලයට පියවර" තාක්ෂණ සංග්‍රහයත් පාඨකයනට පුද කර ඇත. අන්තර්ජාලයට එක්වූ ප්‍රථම සිංහල සාහිත්‍ය සංග්‍රහය වන කැටපත් පවුර www.ketapathpawra.com ජගත් ගේ තවත් සාහිත්‍ය මෙහෙවරකි.

ජගත් ගේ පොත් එළි දැක්වීමේ උළෙල බූන්දියේ අපි සහ කැටපත් පවුර එක්ව සංවිධානය කරයි. වැඩි විස්තර දැනගැනීම සඳහා 071 4488498 දුරකතන අංකයෙන් අමිල සී. අමතන්න.

Saturday, December 19, 2009

දඩයමේ යද්දී



දඩයමේ යද්දී
මුකලාන වල
මහ රාත්තිරියේ
විදුලි පන්දම ඉහත්තාවෙන් අල්ලන්
ඇඟෙන් එලියට අත දිග ඇරන්
අනිත් අතින් කෙවිටක් අරන්
කෙවිටෙන් මග පහර පහර යන හැටි
දඩයම හුරු අයට
කියන්නට ඕන නැත

මුකලානේ සතා සරුපයා පැන්නත්
පනින්නේ එලියට!
එලිය දිහාට
ආලෝක පුල්ලියට
ආලෝකය සොයමින් තමයි
සතා සරුපයත් ඝණ අන්ධකාරේ ඉන්නේ
උන් එලියට බය හින්දයි
ඒක ඉලක්ක කරලම පනින්නේ

ඒ හින්දා ඉස්සරහට කරන් පන්දම අල්ලන්
දඩයමේ නොවෙයි
නිකමටවත් මුකලානේ නොයන්
රාත්‍රියේ...

ඊ ඒ ඩෝසන් ප්‍රීති
191209