Saturday, May 22, 2010

බන්දුල ජයවීර 'තෝරාගත් කෘති' නිර්මාණ සංග්‍රහය




මා මිතුරු කිවි, පියන්කාරගේ බන්දුල ජයවීරයන් අනේක දුක් ගැහැට විඳ 'කවි පොතක්' පළ කොට ඇත. ඔහු අද මා හමුවන්නට පැමිණියේ ඔහුගේ 'අතීතකාමයෙන්' පසු මුද්‍රණද්වාරයෙන් පිට වූ 'තෝරාගත් කෘති' නම් වූ සිය නිර්මාණ සංග්‍රහයද සමගිනි.



2006 වසරේ සිට 'ගොඩගේ කාව්‍ය සහ ගීත ව්‍යාපෘතියේ' ප්‍රකාශනය සඳහා ගොඩගේ ව්‍යාපෘතිය විසින් තෝරාගත් මේ කෘතිය, ඉන් පසුව පොතක් ලෙස එලිදක්වන්නට වසර හතරක් ගත වූයේ මන්දැයි මම නොදනිමි. ඔහු ද එය තත්වාකාරයෙන් නොදනී. එනමුත් දැං එය පොත් රාක්කවලට පැමිණ ඇතිවා විය යුතුය. කෙසේ වුවත් කිසිදා පරණ නොවන කවි සැමදා සියතින් අකුරු ඇමිණෙන බන්දුලගේ සුරත මම සිප ගනිමි.

ඔහුගේ නිර්මාණ දිවියට සුභ පතමි!

මේ කෙටි සටහන ඔහුගේ 'තොරාගත් කෘති' ගැන විචාරයක් ලිවීමේ අදහසකින් නොවේ. ඔබ සියල්ලන්ට ද ඔහුගේ කවි පොත ඔහු වෙනුවෙන් මා දෝතින් පුදන්නටය.
කවිපොතේ අන්තර්ගතය යුග යුග වලට බෙදී ඇත. පිකාසෝගේ චිත්‍ර යුගවලට බෙදුවා සේම නිල් යුගය, රෝස යුගය හෝ ඝණික යුගයාකාරයෙන් බන්දුලගේ කවිද අතීතකාමී,පශ්චාත් අතීතකාමී,පශ්චාත් නූතන, පශ්චාත්- පශ්චාත් නූතන යනාදි වශයෙන් උත්ප්‍රාසවත් ආකාරයකින් බෙදා වෙන්කොට ඇත. එම යුග නිරූපණය වන කවි කිහිපයක් උපුටා දක්වමි.

අතීතකාමී යුගය- හත්වැනි කවිය-දහඅට පිටුව

මාළුවා වෙතටයි

ම නො කා මග හරින්නේ නම්
මාව කාපන් මාළුවෝ
නිරාහාරව මළත් දියඹෙන්
යන සිතක් නැත මාළුවෝ

දුකින් මළ මනු හද මාංශය
රස බලාපන් මාළුවෝ
මිතුරු රෑනක් එක්ක ඇවිදින්
මාව කාපන් මාළුවෝ

ඇමත් කාගෙන මාත් ඇදගෙන
මූදු පත්ලට මාළුවෝ
ගියත් නුඹ නම් අත් හරින්නට
හිතෙන්නෑමයි මාළුවෝ

සටහන: 'මහල්ලා සහ මුහුද' ලියා මගේ අන්තවාදී ප්‍රේම සිහිනයට දිරිය හා සවිය දුන් අර්නස්ට් හෙමිංවේ ස්තුතියි!

පශ්චාත් අතීතකාමී යුගය-දහනවය කවිය-තිස්හතර පිටුව

පෙම් පිම්ම

ඳ මත
ආම්ස්ට්‍රෝං තැබුවේ
දෙපය යි!
මා තැබුවේ
දෙතොලයි!!


සිරකරුගේ කවිය!

ක්මනට සෙනසුරාදා එන්න!
සතියේ දවස් නීරසයි එන්න!!
කන්තෝරු හිරගෙදර දුක් විඳින
සිතට සිහිලසක් අරගෙන එන්න

ජීවිතය පැය අටක් නො වන වග
දින දෙකක් දිවි ගෙවා දැනගන්න
රළු කටුක දවස් පහ විසුණු කර
ඇවිත් යන්නට වුණත් ඔබ එන්න

දූපතක ගෙවී යනමුත් දවස
ජිවිතය මහාද්වීපයක් බව
හතරවට මූදු වෙරළෙන් එපිට
ලෝකයක් තිබෙන බව දත යුතුය

පඩියකින් පඩියකට පනින විට
හැමදා ම කොන්ද කැඩුණැයි හඩන
ණය බරින් පෙළෙන දිවි ගිම් නිවන
මෙඟක් කොහි හෝ තිබිය යුතු නොවෙද?

සඳුදාට ඇස් අරින උදෑසන
ගෙවූ දෙ දින සිහිනයක් දැයි හඟින
දින පහක් විය ගඟට ගෙල පුදන
දෙපා-අම්බරු සකිය! පිබිදෙන්න!!

පශ්චාත් නූතන යුගය-විසිහත කවිය-හතලිස් අට පිටුව

පටු වචන හා විසල් ජීවිතය

ලොකු පුතා
'ලොකු පුතා' වූයේ
පොඩි පුතා
ඉපදුණ පසුවයි
පොඩි පුතා
'පොඩි පුතා' වූයේ
ලොකු පුතා
එවකටත්
ඉපැදී සිටි නිසයි
උපතින්ම කිසිවෙකුත්
ලොකු නොවී
පොඩිත් නොවී!
වදන් ලෝකය
මිනිස් සිරුරත
‍යොදන බලයෙන්
එහා ඇත්තේ
වචනයෙන්
ලියා හෝ කියා
අවසන් නො වෙන
සැබෑ ආදරයයි
සැබෑ ජීවිතයයි
ආදරය වචනයකි
වචනයට වැඩි යමකි!
හැඟුම් ලෝකය
වචනයට ගෙනා සැණ
ජීවිතය (ආදරය)
කූඩුවක සිරවෙයි



පශ්චාත් පශ්චාත් නූතන යුගය-විසිඅට කවිය-පනහ පිටුව

හිස්ටීරියාවෙන් සයිකෝසියාවට

මාක්ස්, එංගල්ස්
ෆ්‍රොයිඩ්, ෆූකෝ
ලකාන්, ඩෙරීඩා
කොටා දියකර
බී, එයින් මත් වී
වනා කගපත හතරතේ
'පිටිය සුද්ධයි'
(Ground Clear)
කියා තුටු වී
කුටියකට වැද...

"මමයි ලෝකය
මම වගේ වෙනු!
සකල සාහිත
කලා ලෝකය
මගේ අණසක
අනුව යා යුතු!"
(ට්‍රොට්ස්කි ගැන අමතක වුණාව ද)
ඈත නොම වූ
දිනෙක "දහසක්
මල් පිපේවයි
මත ගැටේවයි"


කියූ මුවගින්
"එක ම මල මම"
කියා මළ පැන!
වහසි දොඩනා
කුටියකට වැද
ස්වයං වින්දනයේ
වුණේ කිම්දැයි
අසන ලොව වෙත
බුරා පැන
පිළිතුරු දෙමින්
"මට වුණේ කිම්දැයි
‍දැනගන්ට තොපි
සතුටු නම්...
මා සොයාගෙන
මාගේ ගෙදරට
තොපි වරෙව්
(මෙන්න ලිපිනය)
මගේ අභිමානය
එයයි!"

"පෙම් ලොව දී දුටු ඔහු ම ද මේ!
ඔහුට ද මා අන්ධ වු‍ණේ!!"

'හිස්ටීරියාවෙන් සයිකෝසියාවට' කවිය ගැන කෙටි‍ සටහනක් තැබිය යුතුමය. මට මෙය කියවූ ගමන් දැනුනේ 'ඇල්ජීරීයාවෙන් ආසියාවට' වැනි හැඟුමකි. ජනක මහබෙල්ලන මෙන්ම බන්දුල ජයවීරද දීප්ති කුමාර ගුණරත්නට කවියකින් ඇන දමා ඇති බව පෙනේ. ඔවුන්ගේ කෘති තුල එක කවියක් දීප්ති වෙනුවෙන් වෙන්වීම දැන් දැන් සම්ප්‍රදායක් බවට පත් වී ඇතැයි මට සිතේ.


Saturday, May 15, 2010

පැනොරාමාව


ගිය අවුරුද්දේ
මම "පැනොරාමාව*" ගැන කවි ලීවෙමි
ඇත්තටම ලීවේ එක කවියකි
එයද ලීවා නොව ලියැවුනකි.

හිතේ තිබ්බ කවි එහෙම්ම ගිල ගත්තෙමි
කිසිදිනෙක අකුරු නොවන්නට සිර ‍කළෙමි

මේ අවුරුද්ද මට නොදන්වාම
මැයි මාසය මතකයෙන් ලිහා හැර දමා
ඉබාගා‍තේ යවා ඇත, හිස් ශූන්‍යතාවයක් මැද
ඊජිප්තු පිරමිඩය හැදුනේද නැත පැනොරාමාව මැද!
ඒ වෙනුවට සොහොන් කොත් ඉදිව ඇත
එදා පැනොරාමාවට නොඇසුනු හංස ගීතිකා ගැයූ
සුවහසක් ප්‍රේමවන්තයෝ
සමරන්නට

පැනොරාමාවේ මතකයන් මෙන්ම
ඒවා මතින්ද ඇදී යයි යාන්ත්‍රික ගිජිඳුන්
දවා හළු කරමින් මතකය

කාලය කොතරම් නපුරුද [කාගෙන් හෝ ඇසිය යුතුය ]
එනමුත් ඒ නොවේ "සොඳුරිය "
පැනොරාමාවම තවත් අනෙක් බොහෝ දේ මෙන්ම
සිහිනයක් පමණය

පැනොරාමාවෙ මතකයන් නින්නාද දෙයි
මනැස තුළ ඈතින් එන දුම්රියක් සේ
පැනොරාමාවෙ බිත්ති අඩ අඳුරේ අදත් ඇති
පන් තොප්පි ලූ කෙල්ලන් කොල්ලන්
අදත් රෑට ගී ගයනවා ඇති ලෙලවා ගිටාර
පද්දා ඉඟසුඟ; නලවා කෙහෙරැලි සුළඟට
ස්වර රාව රැව් දෙනවා ඇති ආලෝක අඳුර අතර
අඳුර දිස්න දෙන වට තිර අතරින් පාව යන වාෂ්ප දුම් අතර
අදත් රෑට ගී ගයනවා ඇති ලෙලවා ගිටාර
පන් තොප්පි ලූ කෙල්ලන් කොල්ලන්

"රුක් අත්තන මල මුදුනේ**
බඹරු නටන හැන්දෑවේ "

අදත් මා වැනිම හුදෙකලා හිතක්
තනි රකිනවා ඇති බීර වීදුරුවකට
පෙමින් බැඳී ගිටාර තතකට
කැරකෙන නිල් නෙත් බැල්මකට


* පැනොරාමාව ඩුබායි නගරයේ පිහිටි ශ්‍රී ලාංකික අවන්හලකි.

** නන්දා මාලිනිගේ එම ගීතයේ කොටසක්.

ඊ ඒ ඩෝසන් ප්‍රීති
05/2010

Monday, May 10, 2010

සෙල්මුවා ප්‍රතිමාව


සෙල්මුවා ප්‍රතිමාව
වෙඩරු මෙන් තලා
මතු කරන
ගල්වඩුවා

ගල් කටුව සුකොමලව
රූරා මතුපිට ශෛලමය
පණ පොවයි සෘෂි රුවට
නෙත් තියයි මංගල්ලෙට

දනෝ වැටෙති දණින් සිරිපතුල
නොහැඟ
නොදැන
මිනිසෙකු දෑත් එය නිමැවූ බව!


ඩෝසන් ප්‍රීති
05/2010

Tuesday, April 27, 2010

සාධු ජනරාව ගී ප්‍රසංගය

සාධු ජනරාව ගී ප්‍රසංගය


පැට්‍රික් ප්‍රනාන්දු සහෝදරයාගේ නිවස
ඉදිකිරීමට ආධාර පිණිස
ජයතිලක බණ්ඩාරගේ
සාධු ජනරාව ගී ප්‍රසංගය

අප්‍රේල් 26 වන සදුදා
සවස 3.30 ට
රාජගිරිය මොන්ලාර් ආයතනයේ
රැස්වීම් ශාලාවේ දී පැවැත්වේ.

මේ සඳහා ආධාර වශයෙන් ටිකට් පතක් ගෙන රු.500/- ක් හෝ ඊට වැඩි මුදලක් ලබා දී (රු..............) මෙම කටයුත්තට දායක වන ලෙස සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.
රංජිත් දිසානායක (කලූ රංජි)
ප්‍රේමපාල හේවාබටගේ

(මොන්ලාර් ආයතනයට ගමන් මාර්ගය - රාජගිරිය හන්දියේ සිට බොරැල්ල දෙසට යන විට මැතිවරණ කාර්යාලය පසු වී හෝටල් පාසල අසලින් වම් අතට ඇති 4 වන පටුමගේ මීටර් 200 ක් පමණ පැමිණි විට මොන්ලාර් ආයතනය හමු වේ.)
පැට්‍රික් ප්‍රනාන්දු සහෝදරයා ඔබ අප කවුරුත් දන්නා පරිදි පාසැල් වියේදීම 1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ වී නිදහස ලැබීමෙන් පසු ද තම පුද්ගලික ජීවිතයේ අභිලාෂ පසෙකලා සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රගතිශීලී සමාජ දේශපාලන කටයුතුවල පූර්ණකාලීන ලෙස නිරත වන
පුද්ගලයෙකි. පොදු සමාජ අරගලයක් පැන නැගුනේ කොතැනකද ඔහු අනිවාර්යයෙන්ම එහි දක්නට ලැඛෙනු ඇත. නැතහොත් තවත් විටෙක සමාජ අසාධාරණයට එරෙහිව පොදු ජන අරගලයට මුල පුරන්නට ඔහු කටයුතු කරන්නේය. එවන් අවස්ථාවලදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් ඔහු ජීවිත අවදානම පවා නොතැකුවේය. එහි දී ඔහු කිසිවිටෙකත් තම පුද්ගලික ලාභ ප්‍රයෝජන නොතැකුවේය.
අද දක්වාම කිසිවිටෙකත් තම සමාජ දේශපාලන අරගලය අත් නොහැරි පැට්‍රික් සහෝදරයා තම බිරිඳ සහ දරු දෙදෙනා සමග ජීවත් වූයේ රාජගිරිය ප්‍රදේශයේ පර්චස් දෙකහාමාරක කුඩා බිම් කොටසක තනාගත් තාවකාලික කුඩා නිවසකය. වසර 15 ක පමණ කාලයක් ඔහු එහි ජීවත්වුවද කිසිවිටෙකත් තම සමාජ දේශාපාලන කටයුතු අත්හැර දමා නිවසක් තනා ගැනීමට කටයුතු නොකළේය. එහෙත් එම නිවසේ වහලය දිරාපත් වී කඩා වැටීමට ආසන්න වීමත්, ගැහැණු දරුවන් දෙදෙනෙකු
සමග තවදුරටත් එම නිවසේ වාසය කිරීම අසීරුවීමත් නිසා එම කුඩා ඉඩමේම නව නිවසක් ඉදිකර ගැනීමට පැට්‍රික් සහ ඔහුගේ බිරිඳ තීරණය කළහ. එහෙත් නිශ්චිත ආදායම් මාර්ගයක් හෝ නොමැතිව එවන් කටයුතුත්තක් කරගැනීමට යන විශාල මුදල සොයා ගැනීමට ඔහුට මගක් නොවීය. ඒ අතර ඔහු දන්නා හඳුනන කිහිප දෙනෙක් ඔහුට ආධාර උපකාර කිරීමට ඉරිපත් විය. එහෙත් එය ප්‍රමාණවත් නොවන නිසා අප මැදිහත් වී පැට්‍රික් ප්‍රනාන්දු සහෝදරයාගේ නිවස ඉදිකිරීමට සමාජ දේශපාලන හිතමිතුරන්ගෙන් ආධාර එකතු කිරීමට කටයුතු කළේය. එම ආධාර මුදලින් මේ වන විට නිවසේ ඉදිකිරීම් කටයුතු අඩක් නිමකර ඇත. එම ඉදිකිරීම් අවසන් කිරීම සඳහා තවත් මුදල් වැය වන අතර ඒ සඳහා ද ආධාර එකතු කිරීමට අප තීරණය කළෙමු. ඒ සඳහා තවත් එක් පියවරක් ලෙස ජනතා කලාකරුවෙකු වන ජයතිලක බණ්ඩාර සහෝදරයා තම ගී ප්‍රසංගයක් පැවැත්වීමට එකඟ විය. ඒ සඳහා ටිකට් පතක් මිල දී ගෙන මෙම සද් කාර්යය සඳහා ඔබත් දායක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
රංජිත් දිසානායක
ප්‍රේමපාල හේවාබටගේ

Monday, April 19, 2010

අපි තමයි නියම කාටූන් චරිත


අපි තමයි නියම කාටූන් චරිත
උඩින්ම ඉන්න මහා භූතයා
පින්සල හරවද්දි
අපි වැටෙනවා කඩදාසි උඩට
බොග වගේ
පාන්දර

කැමති තැන් ඝණ කරල
කැමති තැන් සිහින් කරල
කැමති තැන් කෙස් දමල
කැමති තැන් පාට කරල

අපි තමයි නියම කාටූන් චරිත
වැටෙන්නෙම උඩින්
පින්සල ගසද්දිම
අපි ඇඳෙනවා
කඩදාසි පතුරු උඩ
බොග වගේ
පාන්දර

අතට දුන් දෙයක් ගෙන
ගී ගයා නට නට
තොරණ් සරසන රූප රාමු සේ
අපිදු ඉමු ඒ තැන්වලට වී
අපි තමයි ‍ඒ ශ්‍රේෂ්ඨ කාටූන් චරිත
වැටෙන්නෙම උඩින්
කඩදාසි පතුරු උඩ
බොග වගේ
පාන්දර

ඕනැම පසුබිමක
අතට දුන් දෙයක් ගෙන
රඟ රඟා නර්තන තාලයට
පුවත් පතක හිස් ඉඩක් වසා ගත්
වෙළඳ දැන්වීමක් ඔබන්නට බැරි ඉඩක්
ආතුරව කළු සුදෙන්
අපිදු ඉමු ඒ තැන්වලට වී

කැමති අඟ පසඟ පිහිටුවල
කැමති තැන් මකල අනල
කැමති තැන් උඩුයටිකුරු කරල
කැමති වචන මුවට දීල

අපි තමයි නියම කාටූන් චරිත
උඩින්ම ඉන්න මහා භූතයා
පින්සල හරවද්දි
අපි වැටෙනවා කඩදාසි උඩට
බොග වගේ
පාන්දර


ඩෝසන් ප්‍රීති
04/2010

Wednesday, April 7, 2010

වාෂ්ප වන කළු කුහරයකට මම ඇද ‍වැටෙමි


වාෂ්ප වන කළු කුහරයකට මම ඇද ‍වැටෙමි

නුඹයි ක්ෂිතිජය
කළු කුහර වාටිය
ලිස්සා යමි පතුලට
ආපසු‍ නොඑන්නට

උරාගත් වචනය
නැවත වමාරන්නට
නොහැකි ගුරුත්වය
පතුලේ සැඟව මම

වාෂ්ප වන දිනක කුහරය
මා‍ගේ වචන ද අතුරුදන් වනු ඇත
ශක්ති සංස්ථිති නියමය දෙදරන
කළු කුහර බහිරවය; මම ඔතැන!

‍ඊ ඒ ඩෝසන් ප්‍රීති
04/2010