Wednesday, June 14, 2017

Swiss Army Man: misreadings

Swiss Army Man චිත්‍රපටය ගොඩනැගෙන්නේ හෑන්ක් (Hank) නැමති තරුණයා වටාය. ඔහු දෛනිකව ගමන්ගන්නා බස්රථයට තරුණියක ගොඩ වන අතර ඇය කෙරෙහි හට ගන්නා ආශාව හේතුවෙන් ඇයගේ ඡායාරූප එකතු කර ගැනීමට සිය ස්මාර්ට් දුරකතනය පාවිච්චි කරන අතරම ඇයගේ සමාජ ජාලා ප්‍රොෆයිලයේ ද ඇති ඇගේ පෞද්ගලික ජීවිතයට අදාළ පින්තූර ද එකතු කරමින් ඇයට නොදැනී රහසේ ෆැන්ටසිමය ආදරයක පැටලී සිටියි. මෙම ඒකපාර්ශවික ප්‍රේමය ගැන විශාල වශයෙන් මානසික ශ්‍රමය වගුරා වෙහෙසට පත්වන හෙතෙම ජීවිතයේ නිශ්ඵලත්වය සහ තම ආදරය ප්‍රකාශ කරගැනීමේ නොහැකියාව වැනි හේතුකාරණා විශාල ප්‍රමාණයකින් කැළඹී ජීවිතය කෙරෙහි කලකිරී  එම තරුණියගේ වාසස්ථානය ආසන්නයේ ම වන මුහුදු තීරයකට පැමිණ සිය දිවිනසා ගැනීමට සූදානම් වෙයි. මෙසේ ජීවිතය විනාශ කරගැනීමට දියඹට මුහුණලා පිහිටි උස් ගල් කුළක මුදුනත ඇමිණූ කඹයක කෙළවර සිය ගෙල අමුණා පොළවට ආසන්න මිටි අයිස් පෙට්ටියක දෙපා රුවා ගෙන වෙරළ දෙස සිය නෙත් දල්වා කිසියම් ආවර්ජනාත්මක සිහියක සිටිද්දී අහඹු ලෙස ඔහුගේ දසුනට හසුවන්නේ වෙරළට ගසා ආ සිරුරකි. දුර සිට දකින ඔහුට දැනෙන්නේ එය ජීවත්වන සෙයකි. ඔහු වහා සිය දිවිනසා ගැනීමේ ප්‍රයත්නය පසෙකලා එම සිරුර වෙත පැමිණේ.

"මැරෙමි"යි තීරණය කරන්නෙකුට තවත් සියදිවි නසාගත් අයුරක බාහිර ස්වරූපයක් සහිත අයෙකුගේ සිරුරක් හමු වීමෙන් ජීවිතාශාව යලි උපන්නේ දැයි කුතුහලයක් ද උපදවමින් කතාව ඇරඹෙයි.

ඉන්පසු මෙම සිරුර සමග කරන ගනුදෙනුවෙන් හෑන්ක් සිය පැරණි ලෝකයෙන් පලා ගොස් අලුත් ලොවක් සොයා යන ගමනේ ප්‍රතිඵලයක් ලෙස නැවතත් සිය පැරණි ලෝකයට අලුත් මිනිසෙකු සේ අවතීර්ණ වන ආකාරයෙන් සිනමා පටය අවසන් වේ.

මෙම සමස්තය විවිධාකාර දෘශ්ටිවාදාත්මක රාමූන් ඔස්සේ සංකල්පීයකරණය කළ හැකිය.

ලැකානියානු ව්‍යවහාරයට අනුව සියදිවි නසා ගැනීම යනු මිනිස් ක්‍රියාවන් අතර එකම සර්ව සාර්ථක ක්‍රියාව ලෙස හඳුනා ගැනේ. [suicide is the only completely successful act (Lacan, 1973a:667)] සවිඥානික උපකල්පනයක් වන අවිඥානයේ මරණ අධ්‍යාශය මෙන්ම සවිඥානයේ ද සමසහභාගීත්වයෙන් ක්‍රියාත්මක කළ හැකි එකම ක්‍රියාව එය බැවිනි. සියළු ප්‍රාණීන් හැසිරීම්වල යෙදෙන අතර මිනිසා පමණක් ක්‍රියාවන් හි යෙදේ. එනයින් ලැකානියානු සන්දර්භයේ දි සවිඥානිකව කරනු ලබන ක්‍රියාවක් සංකේතීය (symbolic) වේ. හැසිරීමකට වඩා ක්‍රියාවක් වෙනස් වන්නේ එය කිසියම් වගවීමකට යටත් බැවිනි. එනයින් සංකේතීය ක්‍රියාවක් යම් සේ අවිඥානික ව්‍යුහයකට සවිඥානිකව සහබාගි විය හැක්කේ මරණ අධ්‍යාශය හමුවේ පමණි. අනෙකුත් අවිඥානික පෙළැඹුම් කිසිවක් සවිඥානිකව ක්‍රියාත්මක කළ හැක්කේ නොවේ. එනයින් සිනමා පටයේ හෑන්ක් අභිමුඛ වන්නේ පැළුනු නොඑසේ නම් බෙදුනු මිනිස් ආත්මයකට අත්කර ගත හැකි පරිපූර්ණ වගවීමට අයත් සංකේතීය ක්‍රියාවේ යෙදීමය. එනම් දිවිතොර කර ගැනීමටය. ඔහු එමගින් පීලි පන්වන මේ අදිසි මැදිහත්වීම කුමක් ද?

එක් අයුරකින් පැරණි ලෝකයේ සිය පරිකල්පනීය පෙම්වතිය අත්කර ගත නොහැකි පීඩාව නිසා මරණය තෝරා ගැනීම තිසීසය (thesis) ලෙසත් හෑන්ක්ට හමුවෙන මළ සිරුර එසේත් නැත්නම් සොම්බිය ඇන්ටිතිසීසයක් (antithesis) ලෙසත් ඔහු අවසානයේ අත්කර ගන්නා නව දැනුම සින්තීසිසය (synthesis)  බවටත් හෙගලියානු දයලෙක්තිකයට අනුව හඳුනාගත හැකිය.
තවත් අයුරකින් සිරුර සමග කරන ගනුදෙනුව හෑන්ක් තමාගේම අවිඥානය සමග කරන ස්වාත්මීය ගනුදෙනුවක් ලෙස සළකා අවසානයේ එම ගැටුම නිරාකරණය වී පැරණි ලෝකය වෙත පසුආවර්තිතව පැමිණෙන්නෙකු ලෙසද දැකිය හැකිය.

ඉතා කුඩා පරිමාණවලින් ගත්තද ඉතා විශාල ප්‍රමාණයක විග්‍රහ විශ්ලේෂණවලට ඉඩකඩ ඇති හාස්‍යෝත්පාදක කෘතියකට එහා ගිය දාර්ශනික කෘතියක් ලෙස මෙම සිනමා කෘතිය වටහා ගත හැකිය.

සිනමා පටයේ සමස්තය හසුරුවන යටිපෙලක් නිර්මානය කරවන සියුම් හීයක් ඇත. එනම් මෙම මිය ගිය සිරුර සිය ජරාවට පත්වන කාබනික ආවරණය තුළින් නිපදවෙන සියලුම වාතය හඩ නගමින් පිට වීමේ නාදය යි. මළ සිරුරේ ගුද වාතය යි. සාමාන්‍ය ව්‍යවහාරයෙන් කීවොත් මළකඳෙන් පඩ යාමයි. එම ශබ්දය යි. මුලින්ම මළකඳක් ලෙස හමුවන මෙම සිරුර නොමළ මළකඳක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වන අතර කිසියම් අවස්ථාවක දී එය ජීවිතය හෝ මරණය යන අන්ත දෙක අතර දෝලනය වන ද්විමය තත්ත්වයන් එකවර සත්‍ය වන අවස්ථාවකට පත් වේ.  එය දෝලනය වීමකටත් වඩා අයත් වන්නේ එම තත්ත්ව දෙකම එක විට පවත්නා වස්තුවක් බවට පත්වීමේ ගතිකයකටයි. එය යථාර්ථ අත්දැකීමට ඔබ්බෙන් වන අධියථාර්ථමය අවස්ථාවකි.

හෑන්ක් මෙම සිරුරට නමක් තබයි. එනම් මැනි යන්නයි. සිනමාපටයේ සත්‍යයන්ට අනුව මැනි යන නම මළ-නොමළ සිරුරේ ජීව නාමය බවට පත් වෙයි. මැනි යන්න මිනිසෙකු මෙනි යන ඉංග්‍රිසි අරුතෙන් බිඳෙන්නක ද විය හැකිය. මෑන් කෙනෙකු වැනි යන අදහසින් මැනි යන්න අප වටහා ගන්නට තැත් කළ ද එය එමැනුවෙල් යන්නෙහි කෙටි ආකාරය බැව් බටහිර පුද්ගල නාමකරණයේ ඉතිහාස සටහන්වලින් උපුටා ගත හැකිය. එනම් අප අතර දෙවියන් යන නිරුක්තියෙන් මැනි යන සංඥාව හඳුනා ගත හැකිය (The name Manny is a Hebrew baby name. In Hebrew the meaning of the name Manny is: God is with us; God is among us).

එවිට හෑන්ක් ට හමුවන මෙම අප අතර දෙවියන් හෙවත් මළ-නොමළ වස්තුව දිගින් දිගටම ගුද වාත පිටකරමින් සහ සමහර අවස්ථාවක එම සිරුරේ සීමාවන්ට යටත්ව ජෙට් ඇන්ජිමක ධාරිතාවයෙන් වාතය පිට කරමින් යානයක් බවට ද පත් වෙයි. මැනි නම් වූ මෙම මිනිස්-දේව සිරුර තවතවත් ප්‍රාතිහාර්යය පෑමේ සමත් වෙයි. මුවෙන් වෙඩි උණ්ඩ වැනි ප්‍රක්ෂිපතයන් ගුවන්ගත කරවන්නට සමත් වෙයි. තවත් විටෙක පානීය ජලය සපයන ජල පිරිපහදුවක් බවට පත්වෙයි. එම විවිධ හැකියාවන් විශාල ප්‍රමාණයක් යාන්ත්‍ර විද්‍යාවේ සීමාවන් ද ඉක්මවන බැවින් කිසියම් බහුකාර්ය යන්ත්‍රයක් (Swiss army knife) ලෙසද සංඥා ගැන්වීමකින් සිනමා පටයේ දී එය ස්විස් ආමි නයිෆ් යන්නෙන් වරනැගී ස්විස් ආමි මෑන් යන්නට ඌණනය වේ. සිනමා පටයේ කතා විශ්වය තුළ මිනිස් ආත්මය හෑන්ක් වුව ද මෙම මැනි නම් වූ බහුකාර්ය දේව වස්තුව සිනමා පටයේ ආත්මය බවට පත්වේ. මිනිස් ආත්මය දැඩි ලෙස පීඩාවට පත් වී මරණධ්‍යාශය වෙත ඇදෙද්දී දෙවියන් හමුවට පත්වීමක් ලෙස හෝ ප්‍රබුද්ධතාවාදී ව්‍යාපෘතියකට (enlightenment project) අභිමුඛ වීමක් ලෙසද එම සංඥාර්ථ අනුසාරයෙන් මෙම සිනමා කෘතිය නැවතත් විවරණය කළ හැකිය.

මිනිසා බොහෝ අපද්‍රව්‍ය නිපදවයි. නිර්මානය කරයි. අපට පොදු අදහසක් වන්නේ කායික අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳවයි. මළ මුත්‍ර දාඩිය එනම් බහිස්‍රාවී ද්‍රව්‍යයයි. ඊට අමතරව මිනිසා මොළයෙන් ද දැවැන්ත ප්‍රමාණයක අපද්‍රව්‍ය දෛනිකව නිපදවයි. ඒවා ආගම් දර්ශන කලා සාහිත්‍ය නිර්මාන සිද්ධාන්ත සහ මෙකී නොකී දෑ ද වේ. වරෙක විද්වතෙකු ලියා තබා ඇත්තේ ආගම යනු ගුද වාතයක් ය කියා ය. තමන්ගේ ආගම හොඳයි කීමට එය සමපාත වේ.  එනයින් ගුද වාතයත් නිර්මානයකි. එහි ගතිගුණ ස්වල්පයෙන් ශබ්ද රසය පමණක් සිනමා පටයේ ඇතිරෙයි. පිට වීමත් සැහැල්ලුවත් එය සංඥා කරයි. කයෙන් බැහැර වී යයි. නිදහසක් ලබයි. ගුද වාත සම්බන්ධයෙන් සිනමා කෘතිය තුළ අන්තර්ගත සාකච්ඡාව පවා මිනිස් නිදහස පිළිබඳ නොයෙකුත් සංඥා නිපදවයි. ගුද වාතයක් රහසේ පිට කළ යුත්තේ මන්දැයි කතාවට ලක්වෙයි. සිනමා පටය කියන්නේ කුමක්දැයි කාට තේරුනත් නොතේරුනත් අවසානයේ ගුද වාත පිළිබඳව හෝ කතිකාවක් ජනනය කරවයි.


දවසක් මම දැක්කා ෆේස්බුක් එකේ එක්තරා තරුණියක් තමන් කෑම කා අහවර වූ හිස් පිඟානේ ඡායාරූපයක් දාලා එයා කෑවේ මොනවද කියල අහල. මේක ඇනලයිස් කරන තියරිය මොකද්ද? 

ප.ලි.

මෙම කොමිඩි චිත්‍රපටය වඩාත් නිර්මානශීලි රසවිඳීමකට කැමැත්තෙකුට පහත සඳහන් රෙසිපිය ඉදිරිපත් කරමි. හෑන්ක් වෙනුවට (ටොම් හෑන්ක් නොවේ) තමන් කැමති රටක අග්‍රාමාත්‍යවරයෙකුයි මැනි වෙනුවට ඒ රටේම ජනාධිපතිතුමයි දාගත්තම මාර ලල් එකක් තියෙන චිත්‍රපටියක් රස විඳින්න ලැබෙනව සිකුරුයි! විශේෂයෙන් මළ කඳකට තමන්ගේ ආශාවේ වස්තුව විස්තර කිරීමේ දී හෑන්ක් කොහෙන්දෝ අහුලගත් කොණ්ඩයක් ආකාර වූ වල් හත්තිලව්වක් පැළඳ සාරා ජොන්සන් මෙන් පෙනී සිටීමට ගන්නා උත්ත්සහයත් අක්‍රිය සිරුරේ ප්‍රාණවත් වන ෆැල්ලසයෙන් තමන්ගේ ගමනේ දිශාව සොයාගන්නා ආකාරයත් ඔබට ඉල ඇදෙන සිනා සාගරයක් උපදවා දෙනු නොඅනුමානයි.


1 කුළිය:

ජානක ගුණතිලක said...

මිනිස් මොළයේ අපද්‍රව්‍ය අසුචි ගොඩක් තරමට ගොඩ ගැහුණු මේ වෙලාවේ මෙහෙම ලියවිල්ලක් කියවන්න ලැබීම සතුටක්. ආගම ගුද වාතයක් බව පැහැදිලි කරගන්න මේ දවස් වල අපට හොඳ උදහරණ තියෙනවා කියලයි මට හිතෙන්නේ.