Monday, February 21, 2011

බාමෙන්ඩා ගමන

බාමෙන්ඩා ගමන

කැමරූන් හි දේශපාලනික අගනගරය වන යවුන්ඩේ සිට බාමෙන්ඩාවට මහා මාර්ගයෙන් දුර කිලෝමීටර හාරසීයකි. මා ගූගල් සිතියමින් මැන ගත් දෛශික දුර කිලෝමීටර දෙසියහැත්තෑ එකකි. දැන් පාරේ ස්වභාවය ගැන යම් අදහසක් ඇති කර ගත හැකිය. මා රියැදුරාගෙන් බාමෙන්ඩාව පිහිටා ඇත්තේ කඳුකර පෙදෙසක දැයි විමසූ විට ඔහු කීවේ බාමෙන්ඩාව හරිම සීතලයි යනුවෙනි. පැහැදිලිය. අපට යාමට සිදුව ඇත්තේ කඳුකර මාර්ග ඔස්සේ අක්වක් ලෙසින් බැවින් පොළව මත දුර කිලෝමීටර හාරසීයක් වී ඇත. මේ නියමය හැම තැනටම නොයෙදේ. සමහර කාන්තාර හරහා පාරවල් වැටී ඇත්තේ නම් දෛශික රේඛා ඔස්සේ යැයි සිතෙන තරමට ඒවා සෘජුය. සෞදි අරාබියේ රියාද් දමාම් මහාමාර්ගය මගේ සිහියට නැගෙයි. එය අධික ලෙස අනතුරු සිදුවන පාරක් ලෙස සෞදි අරාබියේ ප්‍රසිද්ධය. කෙලින්ම ඉද්ද ගැසුවා සේ කතර මැදින් ඇති මහා මාර්ගයක අනතුරු සිදුවන්නේ රියැදුරන්ට නින්ද යාමෙනි. මන්ද යත් රිය සක මත අත් තබාගෙන එක එල්ලේ සිටින විට නොදැනීම නින්ද යාම වළක්වා ගැනීම එම පාරේ රිය පැදවීමේ දී ඇති අභියෝගයක් බැවිනි. මහා මාර්ගවල හැඩය තීරණය වන්නේ ඒවා යා කරන නගර අතර ඇති දෛශික දුරෙන් නොව එම මාර්ගවලට පසුකරන්නට සිදුවන සමෝච්ච රේඛා සිතියම් තුළ පැහැදිලිව පෙනෙන භූ ජ්‍යාමිතික බාධාවන් විසිනි.

පොළව ගෝලාකාර මතුපිටක් බැවින් මා දැක්වූ මෙම දෛශික රේඛා අදහස එතරම් නිවැරදි දෙයක් නොවන්නේ ය. ගෝලාකාර මතුපිටක ස්ථාන දෙකක් අතර අවම දුර වන්නේ එම ස්ථාන යාකර ඇඳිය හැකි මහා වෘතයේ පරිධිය දිගේ මනින දුරයි. ගූගල් සිතියම් තුළින් මැනිය හැකි දුරවල් ප්‍රතිඵල ලෙස දෙන්නේ රේඛීය දුර ද නැතිනම් එම මහා වෘතවල පරිධිය දිගේ ගණනය කළ දුරද යන්න ගැන මම නොදනිමි. සිතියම් සමබන්ධව ඒවායේ ප්‍රක්ෂේපණ මූලධර්මද රඳා පවතින බැවින් මේ ගැන මට අදහසක් නැත. තල ජ්‍යාමිතිය අභිබවා ඝණ ජ්‍යාමිතිය මහා මාර්ගවල දුර තීරණය කරන්නට කඩා පනින්නේ විශාල භූමි ප්‍ර දේශ වල මහා මාර්ග නිර්මාණය කරන්නට සිදු වූ විටය. එවිට තවදුරටත් පොලව පැතලි යැයි සන්නිකර්ෂණය කිරීම දෝශ සහගතය.

යවුන්ඩේ අපේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයෙන් පිටත් වූ අප හවස පහයි තිහ මතකයේ සටහන් කර ගත්තේ ගමනාන්තයේ වේලාව කුමක් දැයි සිහි තබා ගැනුමටය. අප රාත්‍රී දහයටවත් බාමෙන්ඩාවට ලඟාවනු ඇත. රියැදුරා සිනහ මුසු මුහුණින් පැවසුවේ නැවත මා එහි නතර කර ආපසු මේ දුරම මධ්‍යම රාත්‍රිය ඉක්මවමින් අඛණ්ඩව ගමන් කර නැවත යවුන්ඩේ පැමි‍ණිය යුත්තේ තම සිඟිති දරුවන් තනිකර රාත්‍රියක් ගත කිරීම ඔවුන්ට මෙන්ම තමන්ටද දුෂ්කර බැව් සඳහන් කරමිනි. මෙහොම්මද් තරුණ කැමරූනියානුවෙකි. ඔහුගේ මව් බස ප්‍රංෂය. කැඩිච්ච ඉංගිරිසියෙන් මා සමග කතා කරන්නට සමත්ය. ඔවුන්ගේ ගෝත්‍රික භාෂාවෙන් ද ඔහු තම මිතුරන්ට ජංගම දුරකතනයෙන් කතා කරයි. මා ඔහුගෙන් ඇසූ විට කීවේ ගෝත්‍රික භාෂාව මවු භාෂාව නොවන බවයි. මම පුදුමයට පත් වීමි. එතරම් ඔවුහු ප්‍රංෂ ආක්‍රමණයෙන් වැසී ගොස් ඇත. කැමරූන්හි ඉතිහාසය හාරා අවුස්සා දේවල් සොයා මෙහි ලියා තබන්නට තරම් මට විවේක බුද්ධියක් නැති බැවින් දළ සටහනක් ලෙස පමණක් මෙය ලියා තබමි. එරික් ඉලයප්ආරච්චිගේ "ඉන්දියාව: ශූන්‍ය සොයා" කෘතියේ පෙළ ගැසෙන ආකාරයට ගමන් සටහන් ලියන්නට තරම් මා ඉතිහාස පොතපත වර්තමානයට ගළපා ලියන්නට සමතකු නොවේ. කැමරූන් හි සෑම තැනකම ඇත්තේ ප්‍රංෂ භාෂාවෙන් ලියැවුනු දේය. මාර්ගවල නම් ද කඩ සාප්පු සියල්ලද මහමාර්ගවල අනතුරු සංඥා යනාදී සියල්ල ලියැවී ඇත්තේ ප්‍රංෂ භාෂාවෙනි.
ගමන් කළ කිලෝමීටර හාරසීයෙන් කිලෝමීටර එකසිය පණහක් පමණ දුර එනතුරු හිරු අවරේ ගිලෙමින් තිබුණ බැවින් වටපිට පරිසරය දකින්නට ඉඩ අවසර ලැබුණි.

නගරයකින් නගරයකට ඇතුළුවන සෑම තැනක දීම මුදල් ගෙවීමට සිදුවිය. එම ටිකට් පතක් සිෆා පන්සීයක් වේ. සීෆා පන්සීයක් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් එකකි.


කොකා කෝලා මිලිලීටර පන්සීයේ බෝතලයක් ද සීෆා පන්සීයකි.
ගමනේ දී දකින්නට ලැබුණේ ඔවුන්ගේ ජීවත් වීමේ රටාවේ ඇති සරල බව සෑම තැනකම නිරූපණය වී ඇති බවකි. කඩපිල්වල ඇත්තේ අතිශය සරල දේවල්ය. එතරම් පැකට් කළ වෙළඳ භාණ්ඩ විකුණන්නට නැත. ඇත්තේ ගෝනිවල දැමූ තල කුරක්කන් වැනි ධාන්‍ය වර්ග පමණි. ලණු කැරලි බැටරි කෑලි වැනි දේ පෙනෙන්නට තබා ඇත්තේ ඒවා වැඩිපුර විකිණෙන නිසාවෙන් යැයි මම සිතමි. පිරිසිදුකම ගැන නම් ඔවුන්ගේ එතරම් අවධානයක් නොමැති බැව් ආහාර පානාදීය එලිමහනේ තියා ඇති අයුරින් වටහා ගත හැකිය. මෙහේ බේකරි කෑම අතින් පිලියෙල කළ ඒවා බැවින් කිසිම රටාවක් හෝ නිශ්චිත හැඩයක් නැති බැව් දැකිය හැකිය. එමෙන්ම ඒවායේ පිටි සංයුතියද ඉහළය. අතින් සාදන කෑම බැවින් ඒවායේ අන්තර්ගත වායු කුහර අවමය. එනිසා බනිස් ගෙඩියක් වැනි දෙයක් වුවද ගොඩක් බරට දැනෙයි. තවමත් නම් සොයා දැන නොගත් එවැනි කෑම කීපයක් මේ ගමන අතරතුර කෑමට සිදු වූයේ කිලෝමීටර හාරසීයක ගමන එක එල්ලේ යාම දුෂ්කර බැවිනි.


කැමරූන් හි යවුන්ඩේ නගරයේ සිට බාමෙන්ඩා දක්වා ගමන් මගේ අතර තුර ඡායා සටහන් කීපයක් ...

තවත් පින්තූර කීපයක් මුහුණු පොතේ...


6 කුළිය:

Sihina Ekathukarannek said...

එළ එළ ඩෝසන් අයියා !. සෙස්ස පස්සට නොතියා ඉතුරු විස්තරත් ඉක්මනට ලියමු .

udaya.jayawardhana said...

දැනටම කියල තියෙන විස්තර වලින් අපූරු රූප රාමු පෙලක් මැවෙනවා. ගමනේ සෙසු අත්දැකීම් ඔබට හැකි අයුරින් ලියා තබන්න. අපි බොහොම උනන්දුවෙන් ඉන්නෙ කියවන්න.....

සොඳුරු සිත said...

ඒ රටේ ගැහැණු, මිනිස්සු, පුංචි ළමයි ගැනත් ඉදිරියට ඉඩ ලැබෙන පරිදි ලියාවි කියල සිතනවා...

අද නම් කතාව පටන් ගත්තටත් නඩා ඉක්මනින් ඉවර කරලා

Indranatha Thenuwara said...

මොනවා නැතත් "වචන ටැක්සිය" තියෙනවා කියල දැනුනම නැතිවෙච්ච සහෝදරයෙක් හමු වුනා වගේ දෙයක් හිතට දැනුන..ලියන්න ඩෝසා.. ඔබට වචනවලින් කළ හැකි දේ බොහෝමයි..!!

Ravi said...

ලියන්න, ලියන්න, ඩෝසන්, ටැක්සියට ගොඩ වෙන්ඩ අපි බලාගෙන ඉන්නෙ,

හෂිත said...

Excellent, looking forward for details..