Thursday, November 4, 2010

පැපරාසියා: කලා සාහිත්‍ය කුණු බක්කි හරහා විනෝද කළු කුහරයට ඇද වැටීම

පැපරාසියා: කලා සාහිත්‍ය කුණු බක්කි හරහා විනෝද කළු කුහරයට ඇද වැටීම

සේපාල් අමරසිංහගේ සංස්කරණයෙන් සහ ලේඛනයෙන් සමන්විත පැපරාසියා නම් වූ මාසික සඟරාවේ මංගල කලාපය මේ ඔ‍ක්තෝබරයේ පිට වී ඇත. මෙම සඟරාවේ බහුතර ලිපි ප්‍රමාණයක් වෙන් වී ඇත්‍තේ සංස්කාරක සටහනේ පරිදිම එම කතු මඩුල්ලේ ඒකායන පරමාර්ථය වූ සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ සිදුවන ගසා කෑම් -නොමග යැවීම් -ලිංගික වංචනික ක්‍රියා සහ පාවාදීම් එලිදරව් කිරීමයි. වෙනත් විකල්ප හෝ දේශපාලනික පුවත්පත් සඟරා විසින් දේශපාලකයන්ගේ දූෂණ අක්‍රමිකතා හෙලිදරව් කරන්නා සේම සාහිත්‍ය කලා ක්ෂේත්‍රවල සිදුවන නොපනත්කම් එලිදරව් කිරීමේ රික්තක මාධ්‍ය අවකාශය පිරවීමයි. ඒ සඳහා ඔවුහු පැපරාසියා යන නමේ මූලාශ්‍රමය වශයෙන් වෙනසක් සිදු කොට භාවිතාවට ගන්නා බවත් මෙමගින් පුවත්පත් ලෝකයේ හිදැසක් පුරවා ලනු ලබන බවත් සපථ කර ඇත.


"ලංකාවේ මිනිස්සු හිතන්නේ මේ කරන තරමක් වැරදි වැඩ ජඩ වැඩ කුණු වැඩ කරන්නේ රටේ දේශපාලනය කරන එවුං කියල යි. ඒත් අපේ තියෙන අත්දැකීමේ හැටියට කලාව කරන එවුනුයි ජනමාධ්‍ය කරන එවුනුයි විශ්වවිද්‍යාලවල ඉන්න එවුනුයි ඊට වැඩිය දහස් ගුණයකින් වැඩි ජ‍ඩයො. කුහකයෝ පෙරේතයෝ අපරාධකාරයෝ හොරු මංකොල්ලකාරයො. ඒ හින්දා අපි මේ සඟරාව ඇතුළේ දේශපාලනය කරන එවුං විවේචනයට වැඩි ඉඩක් වෙන් කරන්නේ නෑ. වැඩිම ඉඩ වෙන් කරන්නේ කලාව පත්තර කලාව කියලා පල් බොරු කරමින් ජනතාව ගොනාට අන්දවන්න හදන එවුං විවේචනය කරන්නයි. ඒ විදිහ විවේචනයක් පත්තරවලින් කරන්න අමාරුයි. මොකද විමල් වීරවංශගෙ ගෙයි ප්ලෑන් එක පවා අරගෙන පත්තරේ දාන පත්තරකාරයන්ට සුනිල් ආරියරත්න තමන්ගේ පඩියෙන් බොල්ගොඩ ගං ඉවුරේ අසපුවක් හදන්නේ කො‍හොමද කියන එක අදාළ නෑ. නමුත් ඒක අපට අදාළයි. විමල් වීරවංශ පවුල එක්ක පිටරට සවාරි යන එක ගැන ලියන පත්තරකාරයන්ට තිස්ස කාරියවසම් කිසිම සූදානමක් සාහිත්‍ය අංශයෙන් නැතුව සාහිත්‍ය කමිටුවල සභාපතිකං කරන්නේ. විනිශ්චය මණ්ඩලවල දිගින් දිගට ම ඉන්නෙ කොහොමද කියන එක අදාළ නෑ. ඒත් ඒක තමයි අපට අදාළ. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒවා වගේ දේවල් යන තව තවත් දේවල් ගැනයි."

සේපාල් අමරසිංහ-සංස්කාරක

මෙම සඟරාව විසින් දියත් කොට ඇති මෙහෙයුම පොදුවේ සමාජය ඉල්ලා නොසිටි ‍හෝ උනන්දුවක් නොදැක්වූ වපසරියක් සමාජයේ ඉල්ලුමක් දක්වා වර්ධනය කිරීමේ උත්සාහයක ඇරඹුමක් ලෙසද දක්වා සිටිය හැකිය. බොහෝ වර්තමාන කලා -සාහිත්‍ය සහෘදයන් නිර්මාණ දෙස නිර්මාපකයාගෙන් ස්වායත්තව එම නිර්මාණ විඳ ගැනීමේ හෝ පරිශීලනය කිරීමේ නූතන එළඹුමක පැවතියත්, ඔවුන්ගෙන් ගිලිහී යන මෙම මාෆියාමය මානය සමාජගත කිරීමේ අවදානම් කාර්යය සිය වගකීම කරගැනීම, මෙම සංස්කාරකත්වය තුළ පෙනීයන වැදගත් ලක්ෂණයයි. උදාහරණයක් ලෙස සුනිල්-නන්දා සුසංයෝගයක් ලෙස ස්ථාපිත නිර්මාණාත්මක සිමියුලේක්‍රමය අවස්ථාව සුණුවිසුණු කිරීමට සිරස මාධ්‍ය වැනි සමාජයේ උඩු ව්‍යුහය මාධ්‍යමය බලහත්කාරයෙන් හයිජැක් කරගත් දැවැන්තයන් ද එකපෙළට තබා අවුලුවන්නට ගෙන ඇති පඨිතමය සංග්‍රාමය මෙහිදී සැළකිල්ලට ගත හැකිය. මෙබඳු මාතෘකා කෙරෙහි ස්වභාවයෙන් නිහඩ වෘතයේ සිටින සහෘදයන් පත්තු කර එම නව රික්තකය නිර්මාණය කර ගැනීමට දරා ඇති වෙහෙස එතුවක් එබඳු ආත්මීය සබඳතා ඔස්සේ වාණිජකරණය කරගත් කලා සාහිත්‍ය භූමිකාවන් ට සිය අභ්‍යන්තර ගැටුම් විනිවිද ලෙස දර්පණගත කරවා, ආත්ම පාපෝච්චාරණ ට එළඹෙන තත්වයකට ඇද හෙලන්නට දරන උත්සාහය, මේ කාර්තුවේ කලාව සහ සාහිත්‍යය තුළ මානවීය ක්‍රියාකාරකම වඩාත් පාරදෘශ්‍ය කිරීමේ පටිසෝතගාමී ගමනක තවත් පියවරක් ලෙස දැකිය හැකිය. මෙබඳු අතිශය සංවේදී කාරණා අරභයා වඩාත් මනෝවිශ්ලේෂණාත්මක විග්‍රහයන් විසින් ඇති කරන ලද සෙලවීම, වඩාත් සරල ආඛ්‍යානයක පිහිටුවා ජනතාකරණය කරන්නට දරන තැතක් ලෙස ද මේ උත්සාහය දැකිය හැකි මුත්, මෙබඳු හාරා ඇවිස්සවීම් හරහා පොදුවේ සාහිත්‍ය කලා ක්ෂේත්‍රය තුළ ඇති විය හැකි සංගායනාත්මක ප්‍රතිඵලය කුමන දිශානතියකින් යලි උපදින්නේ දැයි පෙර දැකීමට කිසිවෙකුට හෝ හැකියාවක් නොමැතිය‍. කෙසේ වුවද පැපරාසියා එක්තරා අයුරකින් සමාජයේ දුර්වල ස්ථරයක් තෝරා‍ගෙන ඔවුනට උඩ දමා පහර දීමට අරඅඳින්නේ යැයි ද කියා කිසිවෙකුට හෝ හිතෙන්නේ නම් එහිද වරදක් දැකිය නොහැකිය. මෙම මංගල කලාපයේ බොහෝ දුරට පඨිතමය ප්‍රහාර එල්ල වී ඇති අය සලකා බැලූ විට, ඔවුන් සත්‍ය වශයෙන්ම කරමින් සිටිනා සාහිත්‍ය -කලාමය දූෂණ ක්‍රියා බලපවත්වන්නේ රටේ අතිශය සුළුතරයක් වන පොත්පත් කියවන දැනුම පිළිබඳ නිත්‍ය ගවේෂණයේ යෙදෙන ක්ෂුද්‍ර ජන කොටසකට පමණි. නමුත් ඔවුහු සමස්ත සමාජයේ හැඩය- වර්ණය තීරණය කරන්නා වූ දෘශ්ටිමය දිශානතීන් ගොඩනගන්නෝ වෙති. එනයින් ඔවුනගේ අතිශය ස්වල්ප වූ පාවාදීම් -දූෂණ සමස්ත ක්‍රියාවලියේ දැති රෝද වේගය සහ දැඩිබව දරා සිටින්නවුන් යැයි ද සැළකිය හැකි බැවින්, ඔවුනගේ සාපේක්ෂ චලිතයන් සමස්ත සමාජය වෙත් වඩාත් පළල් ලෙස බලපාන්නේය. මේ නයින් කලාකරුවන්ගේ පාරදෘශ්‍යභාවය සමාජ උන්නතිය කෙරෙහි සෘජුව දායක වන්නේ යැයි උපකල්පනය කළ හොත් පවතින සමාජ ආර්ථික ව්‍යුහයන් තුළ මොවුන්ගේ මාධ්‍යමය භූමිකා අත්‍යන්ත වශයෙන් දෘශ්ටිවාදාත්මක ලෙස ස්ථානගත නොවුන හොත් ඔවුනගේ අනුගාමිකත්වයෙන් පෝෂණය වීමට නියමිත සමාජ නිර්මිතයන් ද විශාල ව්‍යසනයකට නිරාවරණය වීම වැලැක්විය නොහැකිය. දැනට අප අත් විඳින්නේද එබඳු විශම මාධ්‍ය සත්කාරකයකට බැව් අවිවාදිතය. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල තුළ ඇතැයි කුප්‍රකට අයුතු ක්‍රියාකාරකම් මෙන්ම සිනමා -ටෙලි ක්ෂේත්‍රවල කාලයක් තිස්සේ පවතින විවිධ ලිංගික සහ අනෙකුත් වංචාකාරී ක්‍රියාත්මක වීම් ද එකම සටන් පාඨයක් ඔස්සේ පෙළ ගැස්වීම, එක්තරා ආකාරයක සමාජ සංශෝධන මහා ව්‍යාපෘතියේම තවත් එක චූල මානයක් බැව් වටහා ගත යුතුය. පුවත් පත් කලාව තුළ සිදුවී ඇති කල්ලි ගැසීම් සහ දේශපාලනික ධ්‍රැවීකරණය හරහා සිදුවන සමාජ බලපෑම, එක් එක් පුද්ගල කෝන්තර හරහා හෝ එලදරවු කරන්නට දරන තැත හුදෙක් ලක්ෂීය ලෙස ඕපදූපමය හෝ කුණු ඇවිස්සීම් මතින් පමණක් සමාජයේ "විනෝදය" සංග්‍රහශීලි ලෙස ඒකාබද්ධ කිරීමට පමණක් සීමා නොවී, එම තතු පඨිතයේ සීමා අතික්‍රමණය කර පුළුල් සමාජගත වැඩපිළිවෙලක් දක්වාම වර්ධනය වී, සමාජ දේහයේ විපරිත සහ අනර්ථකාරී ඇබ්බැහියන් මූලෝත්පාඨනය උදෙසා පෙරගමන් ගත යුතු යැයි ද, එය සමාජය විසින් ඉල්ලා සිටින ප්‍රායෝගික දේ බවත් මේ සඟරාව වහා වටහා ගත යුතුය.

පැපරාසියා යනු තවත් මඩ කුණුකන්දල් විකුණන මඩ සඟරාවක් නොවී සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ දියාරුව ගොස්- පීලි පැන -නශ්ටකාමයෙන් මුදල් සොයා යන මිනිස් පුත්‍රයන්ගේ විනය නිසිමගට ගන්නා තීරකයෙක් වනු ඇතැයි පාඨකයන්ගේ ප්‍රාර්ථනයයි.

පැපරාසියා සඟරාවේ අන්තර්ගත විචාර ලිපි ප්‍රමාණය සාහිත්‍ය සහ කලා යන දෙඅංශයටම යොමු විය යුතුය යන්න පාඨකයන්ගේ යෝජනාවයි. අප දන්නා පරිදි සේපාල් අමරසිංහ යන නාමය පවා කේන්‍ද්‍ර ගත වන්නේ දැනුම සමාජගත කිරීමේ ක්‍රියාවලියේ සක්‍රිය විචාරාත්මක ප්‍රවේශයකින් සිවිල් බලයක් තනා ගත් පුද්ගලයෙකු හැටියට බැවින්, ඔහුගේ දායකත්වය වඩාත් දිය යුතු වන්නේ සිය විචාරාත්මක දෘශ්ටිය ඔස්සේ කලා සාහිත්‍යයට ප්‍රාණය පිඹීමට මිස මඩ ආකාර තුන්වැනි පංතියේ පුවත්පත් සංස්කරණයට නොවේ.

සඟරාවකට කිසියම් පෞරුෂයක් ඇවැසිය. ලේඛනයේ දී පඨිතයට දැඩි පෞරුෂයක් නොමැත්තේ නම් එය දියාරු -ඕප දූපමය- තුට්ටුදෙකේ රසකාරක විසින් තෙම්පරාදු කළ, පෝෂක පදාර්ථ විරහිත කඩල ගොට්ටක් බව‍ට පත්වේ.

අප පැහැදිලිව දන්නා පරිදි සඟරාවක් මිළදී ගන්‍නා සාමාන්‍ය පාඨකයෙකුට සාහිත්‍ය- කලා ලෝකයේ යම් යම් වැඩ කටයුතු කරමින් ඉන්නා අය ඒවා හරහා තම තමන් ගොඩ නගා ගන්නා ආර්ථික ස්ථාවරය සහ ඒ සඳහා කරනු ලබන නොයෙකුත් පාවාදීම් හෝ දූෂිත ක්‍රියා ගැන දැනගැනීමෙන් සිදුවන දැනුවත් වීමක් හෝ සිය අන්තර් ඥානයේ සිදුවන කැළඹුමක් නැත. එය හුදෙක් අනෙකුත් පත්තර විසින් විවිධ අතිරේක හරහා නළු නිලියන්ගේ ගෙවල්වල පින්තූර සහ අනෙකුත් තුට්ටුදෙකේ ඕපාදූප විකුණන්නා සේ ඉන් ඔබ්බට දිග්ගැසුණු, ඔවුනගේ ආගිය කෑ බී හැටි සහ ඒ ඒ තැන්වල දෙකට තුනට නැවී හුන් හැටි කියවීම ද ඒ තරම්ම නීරස අභ්‍යාසයකි. එනමුත් යම් යම් එලිදරව් කිරීම් ඇවැසි මුත් ඒවා මුලාශ්‍රමය වශයෙන් පිළිගත හැකි සන්දර්භ මත පිහිටුවා ඉදිරිපත් කිරීම පාඨකයා තුළ විශ්වසනීයත්වය ගොඩ නගන බැව් අවධාරණය කරමි. සමහර දේ ඇසින් දුටුවා වැනි පට්ට කෙබර ගොතා කවුරුන් විසින් හෝ ලිවීමෙන් හෝ කීමෙන් සිදුවිය හැක්කේ ඊට පිළිතුරු වශයෙන් එවැනිම කෙබර ශ්‍රේණියක් තවත් පුවත්පත් තුළින් එලියට එමින් පාඨක කාලය සහ පත්තර පිටු කා දැමීම පමණයි. එබඳු තත්වයකට පත් නොවී කිසියම් විනයක් -රසයක්- ඇතුළක් -බරක් ඇති වැඩක් විදියට පැපරාසියාට දිගු කලක් වැජඹෙන්නට ඇවැසි සවිමත් පාදම ගොඩනගා ගන්නට, ඉදිරි කලාප තුළ පළ වන්නට නියමිත පඨිත තුළින් හැකියාව ලබා ගැනීම සේපාල් වැනි ඇසූ ‍පිරූ තැන් ඇති විචාරකයෙකු අතපත් අභියෝගය යි.

විශේෂයෙන් තිස්ස අබේසේකර අනුස්මරණය අරභයා මතු කර ඇති එම කතිකාව මෙන්ම පොත් මුදලාලිලාගේ සහ සරත් විජේසූරිය ගැටුම වැනි ලිපි තවත් සාරගර්භ වූයේ නම් සමතුලිත අදහස් ගොනු වන්නටත් ඒ කතිකා කිසියම් ඵලදායි තැනකට ගොනු වන්නටත් හොඳ විභවයක් තිබුණේ යැයි මට සිතේ. දිවයින පුවත් පතේ රවීන්ද්‍ර විජේවර්ධන කේන්ද්‍ර කරගත් එම සංලාප ලිපිය වෙනස්ම ආකෘතියක් තුළින් සංස්කරණය වීම අලුත් අත්දැකීමකි. එබඳු සංවාදාත්මක සංලාප ලිපි ෂානරයක් අනෙකුත් පුවත්පත් වලට ද බලා‍පොරොත්තු ඇති කරවන සුළු ආදර්ශයක් ලෙස අගය කරමි. එය සම්ප්‍රදායික ප්‍රශ්න ඇසීමේ කලාව වෙනස් අපර මාර්ගයක යවා ඇති කදිම පර්යේෂණයකි.

සන්නස්ගලගේ දේශපාලනික පුරාවෘතයක් පැපරාසියා හි පඨිතගත වීම මේ ලිපි අතර කුමන සංඝතික බවක් නිමවන්නේ දැයි අප්‍රකටය. එම ලිපියේ තවත් ඉදිරියට ගලා යාමක් ඇත්තේ යැයි ඉඟි පළව ඇති නමුදු සඟරාවේ දෛශිකයන් සමග ඒ ලිපි පෙළේ ඇති සබඳතාව කුමක්දැයි මංගල කලාපය වටා රොද බැඳුනු පාඨකයන් ට පැහැදිලි නැත. එය ඕනවටත් වඩා ඔසොවා තබා ඇති පුද්ගල ප්‍රතිරූපයක් තව තවත් ඔසොවන්නට දරණ තැතක් දැයි පැහැදිලි නැත. කෙසේ වුවද ඔසවන්න ඔසවන්න ‍මහ පොළොවට නැවත ඇද බැඳ තබා ගත හැකි ගුරුත්ව බලය හීන වන බැවින් විටෙක වියෝග ප්‍රවේගයෙන් අභ්‍යාවකාශගත වන්නට ද ඉඩ තිබිය හැකි බැවින් මේ ඉස්සීම ප්‍රවේශමින් කළ යුත්තකි.

අනෙක් අතට අතිශය සිනමාත්මක ලෙස අසාර්ථක අතුල ලියනගේ ගේ බඹර වළල්ල ගැන අතුල ලියනගේගේ හිත නොරිද්දා බටර් ගෑමේ ශෛලියකින් ලියැවී ඇති සටහන් ද පාඨකයා කැඳවා යන්නේ කුමන කේන්ද්‍රීය දැක්මක් වෙතටදැයි වැටහෙන කිසිවෙකුත් මේ මංගල කලාපය කියවීමේ යෙදී ඇත්දැයි කුකුසකි. පෙනෙන පරිද්දෙන් නම් ගෙවා පළ කළ වෙළඳ දැන්වීමක් බඹර වළල්ලෙ ප්‍රචාරක මෙහෙයුම් අංශයෙන් සඟරාවට ලැබී ඇත. අනෙක් අතට සඟරාවේ පළව ඇති වෙළඳ දැන්වීම්වල නොපුරුදු ක්ෂුද්‍ර සටහනක් ද ඇත. එනම් මෙය මුදල් ගෙවා පළ කරන ලද දැන්වීමකි -Mohan ads යැයි ජංගම දුරකතන අංකයක් සටහන් කිරීමය. සාමාන්‍යයෙන් වෙළඳ දැන්වීමක් ලෙස දේශපාලනික පක්ෂ සම්බන්ධයක් ඇති දේකට හැරුණු විට මෙබඳු සටහනක් දැමීමේ දී අභිලාෂය විය හැක්කේ එම මුදල් ලද ආයතනයේ අදහස් මෙම මාධ්‍ය ආයත‍නයේ මතවාද හා සමපාත වීමක් නොමැති බැව් ප්‍රසිද්ධ කිරීමය. කොටින්ම අපක්ෂපාතීත්වය ප්‍රදර්ශනය කිරීමය. මෙය පාඨක සමාජය ඉදිරියේ එක්තරා විදියකට නව පාරදෘශ්‍ය බවක් සඟරාවට ඇති කරගැනීමට ඇති උනන්දුව ප්‍රකට කිරීමක් ද විය හැකිය. කෙසේ වෙතත් සන්නස්ගල මෙන්ම බඹර වළල්ල ගැන පඨිතයන් ද මෙම සඟරාවට ගෙන එන ආලෝකයක් නැති වග ඉඳුරාම පවසමි.ෂෝට් ඊට්ස් ගැන නම් කනගාටු වෙමි. ඒවා මෙලෝ රහක් නැති ශෛලියකින් ලියැවී ඇත්තේ හදිසිය නිසා දෝයි මට සිතේ. රාවය පත්තරේ විමලනාත් ගේ වැඩේ සම්බන්ධව මතුකර ඇති දේම කවදා හෝ ෂෝට් ඊට්ස් ගැන මතුකරන්නට ඉඩ නොතබන්නට උනන්දු විය යුතුය. ජනතාවට විනෝදය සැපයීමට දේශපාලනික හැළහැප්පීම් භාවිතා කොට අයිරනි ලියා නැවත දෙවෙනි වරටත් ඒවා ජනතාවට විකුණන්නට සලස්වන පුවත් පත් කොලම් ලිපි එකතු ග්‍රන්ථාරූඨ කිරීමේ කලාව කොතනින් නවතින්නේ දැයි සිතීමට වඩා, ඒවා තම හොලොග්‍රමික අනන්‍යතාවය සොයා යාමේ ගමනේ ‍සැතපුම් කණු  බවට පත් කිරීම ගැන නැවතත් සිතා බැලිය යුතුය. ජනතා මතය මෙහෙයවමින්, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යය යනු හුදෙක් ජනතාව පෙළ ගස්වන පෙරටුගාමීත්වයේ දෘශ්ටිවාදය දඩමීමා කරගත් භාණ්ඩ ‍හා සේවා ලෙස මුදලට හුවමාරු වන වෙළඳ පොළ නිර්මිතයේ ගිලී, නොපෙනී යාමට "පටන් ගැනුමේ" ආරම්භයෙන් විමලනාත් මෙන්ම සේපාල් ද වහා අත්මිදිය යුතුය.

8 කුළිය:

ඩෝසන් said...

මුහුණු පොතේ සංවාද සටහන්වලින් උපුටා ගත් අදහස්

Krishan Rajapakshe 04 November at 16:39 Reply• Report
පාලු ගෙයි වලං බිදිනා තෙවැනි පාන්තික සගරාවක් වෙනුවෙන් නොව ඔබගේ දැනුම වෙනයම් වැදගත් කාර්යයක් වෙනුවෙන් නේනම් හොදයියි යෝජනාවක් ලෙස කරමි. අපි මේ සම්බන්ධව සංවාද කීරීමම මිනිස් පැය අපතේ දැමීමක් ලෙස මට සිතේ. සමාජය තුළ තමන්ගේ අනන්‍යතාවය පිළිබ්‍ද දැවන්ත ප්‍රශ්ණයක් හමුවේ අර්බුදයක සිටින පිරිසකගේ උත්සාහයකට මේවා තවත් උල්පන්දම් විය හැකි. මෙම සගරාවේ බඹරවළල්ල චිත්‍රපටයේ සංවාදය සම්බනධව ඈති ලිපිය තනිකරම සේපාලගේ ඈති මානසික වි්‍යාධි තත්ත්වය අපට මොනවය කියාපායි. එම ලිපිය අවසානයේ ලියුම්කරු මේසේ කියයි . සේපාල පමණක් එම සංවාදය ගොඩ දැම්ම බවකි. නමුත් අපට පේන්නේ සේපාල ගොඩයන්නට දරනා උත්සාහයකි

සමහර විට සේපාල "මගෙන් උඹ මොනවාද කරලා තියෙන්නේ??? "ක්‍රියා ප්‍රශ්ණ කිරීමට පුළුවන. ඈත්ත මම කිසිත් කර නැත. ඒ වගෙම මම කිසිවෙකුටත් මඩ ගසාද නැත

මෙය හුදෙක් මාගේ අදහසක් පමණි ....

ඩෝසන් said...

මුහුණු පොතේ සංවාද සටහන්වලින් උපුටා ගත් අදහස්

Indika Gunawardena 04 November at 17:15 Reply• Report
පැපරාසියාහි සැබෑ නිර්වචනය කෙසේ වුවද, ඒ යන නම ඈසූ පමණින් නිතැන්නිම ඔලුවට එන්නේ කාගේ හෝ පස්සෙන් පන්නාගෙන ගොස් කෙසේ හෝ සැගවී තිබෙන යම් කිසිවක් එලියට ඈද දමා, නැතිනම් යම් කිසි ජනප්රිය පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිතයේ මෙතෙක් අප අසා හෝ දැක නැති ඕනෑම දෙයක් එලියට පෙන්නා එ මගින් මුදල් සොයා යන්නෙකු පිළිබදව වීම වෙනස්කළ නොහැකි සත්‍යයකි. නමුච් මා මේ සගරාව මිලදී ගත්තේ ද සේපාල අමරසිංහ ගේ සංස්කරණයෙන් සමන්විත වූ හෙයින්, පැපරාසියා යන අර්ථයෙන් ඔබ්බට ගිය යම් කිසි විශය මූලික කරුණු සමග විචාරශීලිවන ලිපි ලේඛන ආදිය මෙහි අන්තර්ගත වී ඇතැයි යන විශ්වාසයෙනි. නමුත් සගරාව පුරාම තිබෙන්නේ සේපාල අමරසිංහගේ ඇරියස් කවර් කිරීම සහ සේපාල අමරසිංහ උඩට උස්සා තැබීම මිස වෙන කිසිවක් නොවන බව දුටුවිට සැබැවින්ම ඇති උනේ දැඩි කලකිරීමකි.

මෙහි පලවි දීර්ඝ සංස්කාරක සටහනේ සිට එහි ලියා ඈති එක් ලිපියක් වන පැණි වළලු මැද බඹර වළල්ල යන ලිපිය කියවීමේදී මෙය මනාව පැහැදිලි වෙයි. මේ ලිපිය ලියූ ලිවුම් කරු, බඹර වළල්ල පිළිබද කොළඹ මහජන පුස්තකාලයේ පැවැති සිනමා සංවාදය පිළිබදව තම අදහස් දක්වන්නේ මෙලෙසයි.

" බඹර වළල්ල සම්බන්ධයෙන් පළමු සංවාදය ආරම්බ උනේ Y N W හවුලේ මූලිකත්වයෙන් "පෙට්ටියක් තොරා ගත්තාද ?" අහමිනුයි. එතන අපි බලන්න ඕන කාරණය තමයි සිනමා විචාරයට අදාළ පුද්ගලයෝ හිටිය ද කියන එක. මේ සංවාදයේ ප්රධාන දේශකයන් විදියට රාවය පත්තරේ විමලනාත් වීරරත්නත්, ලේඛක සහ සාහිත්‍ය විචාරක සේපාල අමරසිංහත් ලංකා පත්තරේ චූලානන්ද සමරනායකත් හිටියා. මේ තුන්දෙනාගෙන් හැබෑ සිනමා විචාරකයන් විදියට සමාජය ඉදිරියේ කටයුතු කරන්න පුළුවන් අය කවුද?"

මතු සම්බන්ධයි. .

ඩෝසන් said...

මුහුණු පොතේ සංවාද සටහන්වලින් උපුටා ගත් අදහස්

Indika Gunawardena 04 November at 17:15 Reply• Report
මෙහි දී මෙම ලියුම් කරු ඔවුන් තිදෙනා හදුන්වා දෙන ආකාරයෙන්ම මෙයට අදාළ උත්තරය ඔබට වැටහෙනු ඈති. රාවය පත්තරේ අරයයි, ලංකා පත්තරේ මෙයයි, ඊට පස්සෙ ලේඛක සහ සාහිත්‍ය විචාරක සේපාල අමරසිංහ යි. සේපාල අමරසිංහ පමණක් ලේඛක සහ සාහිත්‍ය විචාරක ලෙස බෞතීස්ම කිරීමට මේ ලිපිය ලියන ලියුම් කරු උත්සාහ ගන්නෙ ඈයි. ඉන් අනතුරුව ඔහු මෙසේ පවසයි.

"රාවය පත්තරේ විමලනාත් වීරරත්න දේශනය ආරම්භ කළේම සිනමාව ගැන මෙලෝ රහක් නැති විදියටයි. එම සංවාදය තුළ ඔහුට නියමිත මුළු කාලය පුරාවටම අදුරේ අත පත ගෑවා මිසක් මේ පුළුල් විෂය ගැන කිසිම විදග්ධ විදියකට කරුණු පැහැදිලි කළේ නැහැ. ඔහු අතුලට බඹර වළල්ල - 2 හදන්න උදව් කළා. චිත්රපට විචාරයයි චිත්රපට හැදිල්ලයි එකක් නොව දෙකක් බව විමලනාත් ඉතා හොදින්ම දැනගන්න වුවමනායි. ඒක දැනගන්න කල් දිගටම රාවයේ ලියනවා මිසක් මේ වගේ ප්රසිද්ධ දේශන වලට නො ආ යුතුයි.

දෙවන දේශකයා වුනේ සේපාල් අමරසිංහයි. මේ සංවාද මණ්ඩපයේ ජාම බේරා දුන්නේ සේපාල්. නැත්නම් Y N W ට පුකෙන් යන්නට තමයි වෙන්නේ. ඔහුට සිනමාව ගැන කතා කළ හැකියි. විචාරශීලි මට්ටමක් තුළ කරැණු කාරණා සොයා බැලිය හැකියි. කොටින්ම ඔහු සමග බඹර වළල්ල ගැන අපට රණ්ඩු කරන්නටද හැකියි.

තෙවැනි දේශකයා වූයේ චූලානන්ද සමරනායක යි. ඔහු දේශනය පටන්ගත්තේම අනේ මම විචාරකයෙක් නෙමෙයි, අහිංසක ලියන්නෙක් ම පමණයි කියාගෙනයි. එවෙලේ එම සංවාද මණ්ඩපය තුළ පුටු රත්කරමින් හිටි මට ඈතිවුණු කම්පනය කෙතරම්දැයි කියනවා නම්, ඉදගෙන හිටිය පුටුව උස්සලා කකුල් හතර හතර පොළේ යන්නට බිම ගහන්න හිතුණාය."

දැන් මෙම ලියුම් කරු කතා කරනා මෙම සංවාදයට අපද සහභාගීවූවෙමු. එහිදී ඈදගෙන නාගත්තේ කවුදැයි, ඔබට සහ සේපාල ට නෝතේරුනු නමුත්, එහි සිටි අන් සියල්ලන්නට සක් සුදක් සේ පැහැදිලි වූ බව මගේ හැගීමයි. සේපාල අමරසිංහ පමණක් මෙසේ උඩ දමා, අනෙත් අයට පහරදෙන්නේ, ලංකාවේ සිනමාව සම්බන්ධයෙන් වචාර කිරීමට දන්නා එකම මහා ප්‍රාඥයා සේපාල අමරසිංහ ලෙස හුවා දැක්වීමටදැයි මම නොදනිමි. කෙසේ වුවද එදා මහජන පුස්තකාලයේ පැවැති සංවාදයේ දේශකයන් දැක්වූ විවිධ අදහස් එකිනෙකාට විවිධාකාරයෙන් දැනීම අපට වැළැක්විය නොහැකිය. යමෙක් සේපාල ට ආදරය කරන විට, ඔහු කියන සියළුම වචන පුෂ්පක ගිරවා කියන වචන මෙන් ඈසෙන්නටත්, අනෙක් අයගේ කතා සත්තිගුම්භගේ කර්ණ කඨොක වදන් ලෙස ඈසීමත් එක් අතකින් නොවැළැක්විය හැකියි.

අනෙක් කාරණය නම්, මේ ලියුම් කරු කවුද? යන ප්රශණයයි. ඔහු ස්වාධීන රචකයෙක්ද ? එසේ නැත්නම්, පැපරාසියාට ලියා ජීවත්වන සේපාල අමරසිංහ යටතේ වැඩකරන්නෙක් ද? යන්නයි. ලිපිය ලියා තිබෙන්නේ ජේ.එච්.එම් පෙරේරා නැමැත්තෙකි. සගරාවේ මුල් පිටුවේ සදහන් වන ලේඛක වතගොතෙහි, විශේෂාංග ලේඛකයන්ගෙ ලැයිස්තුවේ ද ඔහුගේ නම සදහන් වෙයි. එසේනම් මේ තවත් පැපරාසියෙකි. ස්වාධීන මත දරන්නෙක් නොවේ.

තමන්ගේම පත්තරයක් ගසාගෙන තමන්ම උඩ දමාගන්නවාට වඩා, සේපාල සතු දැනුම උපයෝගී කරගෙන හරවත් බුද්ධිමත් ලේඛකයන් පිරිසක් යොදාගෙන මෙම කාර්ය ඉදිරියට කරගෙන යන්නේ නම්, එය සැබැවින්ම ආහ්ලාදයකි. විචාරයේ දී මඩ ගසනවා වෙනුවට "constructive criticism" වලට බැස සමාජයේ කුණු එළියට අදිමින්ම පාඨකයාට හරවත් මගක් ඉතිරි කර යන්නේ නම්, හෙට දවසේ අපට පැපරාසියා ගැන වෙනත් නෙතකින් බලා වෙනත් අතකින් ලියා තැබිය හැකියි. එසේ නොමැතිනම්, පැපරාසියා යන නම මාරුකර, ඒ වෙනුවට සේපාල අමරසිංහ කියා සගරාවට නම දමා ගත්තාට ද වරදක් නැත. .

Indika Gunawardena 04 November at 17:25 Reply• Report
සංවාදයට දොර ඇරියාට, ස්තුතියි ඩෝසන්.

ඩෝසන් said...

මුහුණු පොතේ සංවාද සටහන්වලින් උපුටා ගත් අදහස්

Dawson Preethi 04 November at 17:30 මා මෙම කෙටි සටහනින් ලියා දක්වන්නට උත්සහ කළේ ද සේපාල් අමරසිංහ විසින් කළ යුත්තේ මෙබඳු තුන්වෙනි පංතියේ වැඩක් නොවන බවයි. ක්‍රිෂාන් මෙන්ම දීර්ඝ ලෙස උපුටනයන් දක්වමින් ඉන්දික ගොනු කළ අදහස් ද අතිශය නිවැරදිය. ‍එමෙන්ම තර්කානුකූලය. ඉදිරි පැපරාසියා කලාප තුළින් වෙනසක් බලාපොරොත්තු විය යුතුය.

පුද්ගලත්වය හුවා පුම්බා ගැනීමට මාධ්‍ය භාවිතය අප සියල්ලන් විසින් තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය. .

Krishan Rajapakshe 04 November at 17:34 Reply• Report
ඉදිරි පැපරාසියා කලාප තුළින් වෙනසක් බලාපොරොත්තු විය යුතුය. නැතිනම් ඉන්දික කිව් ආකාරයෙන් සගරාවේ නම " සේපාල අමරසිංහ" කිරීම වටී

Anonymous said...

සගරාවේ නම " සේපාල් අමරසිංහ"
Ow,mama paththarawala liweema methan sita sampurnayenma prathikshepa karanawa.Lankawe paththarawala sahiththya kiyala kiyanne pal boruwak.mafiawak.mama ekata sampurnayenma viruddai.eka mama therum gaththe paththarawala liyalamai.okata api kiyanne 'unge shoke unta shoke' kiyalai.e hinda Paparaziya sangarawe mage virodaya obata visheshayen daney.palamu kalapaya e vidihe gonuwak thamai.eth 'Bambara Walalla'lipiya ma liyuwak nowey.eheth ema lekakayage adahas walata methanadi vivurthawa ida dee thiyenawa.karunakarala shasthreeya lipi kiyawanna Paparaziya wethin balaporoththu wenna epa.Paparaziya wena wadak.Aluth wadak.me wade theruma idiriyedi obata watahei.meke prayojanaya Sepal Amarasingheta newei.obatai.oba hamatai.

sepal said...

Than you Dosan
for a better work you've rendered.

Anonymous said...

"Ow,mama paththarawala liweema methan sita sampurnayenma prathikshepa karanawa."

"karunakarala shasthreeya lipi kiyawanna Paparaziya wethin balaporoththu wenna epa."
-Sepal


ඔබ පුවත්පත් වලට ලිපි සම්පාදනය ප්‍රතික්ෂේප කරන්නේ නම් සහ පැපරාසියා හි පමණක් ලේඛනයේ යෙදෙන්නේ නම් ඔබ මෙතුවක් සාහිත්‍ය-කලා ක්ෂේත්‍රයේ ගො‍ඩනගමින් ආ විදග්ධ විචාරක සම්පත් දායකත්වය මින් මතුවට අප වෙත ළඟා විය හැක්කේ පොත් වශයෙන් පමණකි.

මෙය එතරම් ප්‍රායෝගික කාරණයක් නොවන බැව් පැහැදිලිය.

ඔබගේ විචාර ලිපි හේතුවෙන් සාහිත්‍ය-කලා ක්ෂේත්‍ර තුළ නොයෙකුත් තරුණ පිරිස් නොමද ආවේශයක් ලද්දේ යැයි කීම අතිශයෝක්තියක් නොවන බැව් විශ්වාස කරන්නේ නම් එබඳු විචාර ලිපි සංග්‍රහ බලාපොරොත්තුවෙන් වසර ගණනක් බලා ඉන්නට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයකි.

කරුණාකර සාහිත්‍ය කලා සංස්කෘතික විචාර කාර්යය උදෙසා පමණක් හෝ සතිපතා පුවත්පත් වලට ලිපි සම්පාදන අත්හැර නොදමන්න. සාමාන්‍ය පුවත්පත් වලට ලිපි සම්පාදනය නොකිරීමේ එම තීරණයට පාඨකයන් විරුද්ධ බැව් නැවත කල්පනාවට ගන්න.

sepal said...

Ma wata evani vishala pirisak mage sahithya vichara arabaya pela gasee inna bawa mama itha hondin dannawa.namuth Paparaziya kariya me awasthawe nowalaha kala yuththak.eth mama nawathath purna kaleena shasthreeya katayuthuwala yedennek bawata pathwenawa.Paparaziya sangarawama evani thathwayakata idiri kalayedi pathwevi.danata thathwaya mekai.oba me gana dakwu unanduwa gana mama obata garu karanawa.balamu mokada wenne kiyala....