Friday, July 9, 2010

නොතිව් තිතෙන් අහස් කවි... සුසන්තගේ අලුත් වෑයම


නොතිව් තිතෙන් අහස් කවි...
සුසන්තගේ අලුත් වෑයම



'අහස් කවි' යැයි කවි විශේෂයක්, නැතහොත් කූඹියා හඳුන්වා දුන් අලුත් වචනයක් අනුසාරයෙන් නම් 'ෂානරයක්' නොහොත් හෂිත උච්චාරණය කරන්නා වූ නිවැරදි ප්‍රංශ ඌරුව අනුව 'ෂොනරයක්' බූන්දි සෙවණේ හැදෙන තවත් එක් කවි බ්ලොග් ගසක හටගෙන තිබෙන අයුරු දුටුවෙමි.

මේ සඳහන එම නිර්මාණ ඔබගේ අවධානයට යොමු කරවන්නටයි.

වාස්තුව විටෙක ඝණීභූත වූ සංගීතය ලෙසද හඳුන්වයි.


Architecture is "frozen music"… Really there is something in this; the tone of mind produced by architecture approaches the effect of music."
-Johann Wolfgang von Goethe


දැන් එය දෘශ්‍ය කවි විශේෂයක් බවට ද පත්වෙයි.
සැබැවින්ම වාස්තුව සුවිශේෂී වූ කාව්‍ය විශේෂයක් බවට සාධක ඕනෑ තරම් ඇත. කවියේ සියළු ලක්ෂණ වාස්තුව තුළ ඇති බව දන්නෝ ස්වල්පයකි. 'එලිසමය' තැබූ ගොඩනැගිලි අපගේ නෙතට රසඳුන්ය. රටාවක් රිද්මයක් නැති 'නූතන' ගොඩනැගිලි ‍පැරණි රෝම ඒකාකාරී වාස්තුව බිඳ දමා ඇත. සිවුපද ආකෘතිය නිසඳැසෙන් බිඳුනු තැනින් නූතන වාස්තුවේ පැතිරිම ද සළකුණු වේ යැයි කවරෙක් විවාදාසම්පන්න වෙයිද?‍ මේ කතා කරන වාස්තුවේ 'පශ්චාත් නූතනත්වය' ගැන චිත්‍රනය වූ මනරම් සිනමා පටයක් මට මේ වෙලේ සිහියට එයි. The Fountainhead සිනමා පටය සෑම වාස්තු විද්‍යාඥයෙකුම නැරඹිය යුතුම සිනමා පටයක් යැයි මට සිතේ. අපි කවි වලට හැරෙමු.


මූලික ව‍ශයෙන් කවියා [සුසන්ත මූණමල්පේ] වාස්තු විද්‍යාඥයෙකු බැවින් ඔහුගේ මෙම අවකාශීය හැඩතල පිළිබඳ අවධානය සාමාන්‍ය දෙයකි. එම අහස් කවි වලට බොහෝ දුරට අහස සහ වාස්තුව අතර ඇති සම්බන්ධයට මිනිස් හැඟීම් එකතු කිරීමක් කෙරෙමින් පවතින බැව් දැනට පෙනේ.
ගල් පර්වතයක මතුපිට නිමැවූ පඩිපෙලක සහ අත් ඇන්දක පසුබිමෙන් නිල් අහසද ඇති අහස රාමුකර ගත් ඡායාරූපයක ඔහු මෙලෙස අහස් කවි දෙකක් ලියා තබා ඇත. මේ කවි දෙ‍ක රාමු දෙකක එකම ඡායාරූපයට ලියා ඇත්තේය.

පළමුවන අහස් කවිය:


මා පය දරා සිටි
මහපොලොව මතුපිට සිටම
අහස ඇරඹෙන බැව් නොදැන
තැනුවෙමි ගොඩ නැගුවෙමි
අහසට නගින පඩිපෙල
දෙවන අහස් කවිය:

මහ පොලොව මතම හිඳ
දනවටක් එරීගෙන
සියලු බර දීගෙන
සියලු වෙර දාගෙන-මැරී ගෙන
තැනුවෙමිය ගොඩ නැගුවෙමිය
අහසට නගින පඩිපෙල

දෙවන අහස් කවියේ දී ඔහුගේ අකුරු රැඳී ඇත්තේ ඡායාරූපයේ අඳුරු පර්වත කොටසේ බැවින් අකුරුවල වර්ණය කහ පැහැ වී ඇත. පළමු කවියේ අකුරු වල වර්ණය අහස් පසුබිමේ ධවල වර්ණයෙන් යොදා ඇත.

මේ කවි දෙක එකම රාමුවක විශයන් දෙකක් ප්‍රකාශ කරන අයුරු සමීපව නිරීක්ෂණය කළ විට පෙනෙයි. අහසේ ඇරඹුම පොලොව බව නොදැන අහසට නගින පඩි සැදු බව පළමු කවියෙන් පෙන්වද්දී කවිය ස්ථානගත වන්නේ අහසේය. මහ පොලොව මතම හිඳ ගෙන සියලු දේ කැප කර අහසට නගින පඩිපෙල සැදු‍ බව කියැවෙන කවිය ස්ථානගත වන්නේ පොලොවේය.

දැන් මේ අවස්ථා දෙක එකවිට සළකා බැලූ විට මේ දක්වන ජීවන යථාව කුමක් දැයි භේද කොට දැක්විය හැකිය. අහස පොලොව මතුපිටින් ඇරඹෙන බව අපගේ නිරීක්ෂණයකි. ඇත්තටම අහස ඇරඹෙන තැන අපි නොදන්නෙමු. මන්ද යත් අහස යනු පොලොවේ මතු පිටින් ඔබ්බේ වූ සියලු දෙයට අදාල බැවිනි. කිසිවෙකුට එය වායුගෝලයේ හරස් කඩක් යැයි වුවද කිව හැක. එවිට එය අයන ගෝලය වැනි විවිධ ගෝලයන් පසුකර අභ්‍යවකාශය තෙක් ඇදී යයි. එනයින් අහසේ ඇරඹුම පෘථිවි පෘශ්ඨය යැයි කීම යම් දුරකට නිරවද්‍ය ය. තවත් ආකාරයකින් අහස සහ පොලොව මෙයාකාරයෙන් රාමුවකට ගත් විගස ද අහස ඇරඹෙන්නේ පොලවේ සිට යැයි ගම්‍ය වෙයි. සමහර විට ඡායාරූපයක දැක්වෙන්නේ අහස සහ ගසක අත්තක් නම් අහස ඇරඹෙන්නේ ගසක අත්තකින් යැයිද මේ ආකාරයෙන් තර්ක කළ විට ඡායා රූප රාමුවෙන් අන්තර්ගත කොටසින් පෙනෙයි. එසේ හෙයින් රාමුවකට කොටු වූ ඡායාරූපයක් අහස සමග බද්ධ වන තවත් කොටසක් සමග අහසේ ඇරඹුම දැක්වීම සාවද්‍ය වේ. කවියක් තුළ යථාව නිරූපනය පිළිබඳ එබඳු තර්කයන් ගොඩ නගන්නේ නැති හෙයින් අපට කවි බස තුළ අහසේ ඇරඹුම ඔය කොයි තැනකින් ගත්තද වැඩි වෙනසක් නොවේ. සඳ ගසක අත්තෙන් අත්ත මිදී යන ගමනක් ගැන ආරියවංශ රණවීර කවියා දුටු අයුරු මෙහි දක්වමි.

සරා සඳ
අත්තෙන්
අත්ත
අතහැර
යන්න
සඳ
යා යුතු
නිසා
නිත්තෙන්
දිලෙන
සඳ මතක
අතු පතර
දල්වා
තබා
ආරියවංශ රණවීර
තිත්-1997
මේ දෘශ්‍ය ප්‍රයෝගයක් බැවින් එය වාස්තවික ලෝකය හා නොබැඳීම අවුලක් නොතනයි. නැවතත් සුසන්තගේ අහස් කවියේ අන්තර්ගතය දෙස හැරී බැලූ විට රාමුව තුළ අහස සහ පොලව සම්බන්ධ වන ආකාරය තුළ කවියේ අවයව සහ ආත්මය ගොඩනැගී ඇත. අහසට නැගෙන පඩිපෙල ලෙස දැක්වුවද ඒවා නැගෙන්නේ පොලොව මතම තවත් එක්තරා නිශ්චිත ස්ථානයකටය.‍ එනමුත් එය රූපකයක් ලෙස ගත් විට මිනිස් දහමක් එලි කර පෙන්වන්නට සමත් වෙයි. මිනිසා අතිශය පෞද්ගලික බාහිර අරම්මණයන් කෙරෙහි අධිෂ්ඨානයෙන් වීර්යයෙන් ජීවිතය වෙහෙසද්දී තමන් ඇතුලතම පිහිටි සැනසුම වඩවන සාමුහික ජීවිතය මගහැරී යයි.

එය අහස නම් වූ උස් බලාපොරොත්තු හඹා යන මිනිසාගේ දෙපතුල් අභියසම එම උස්වූ දෙය පවතින බව නොදැන සිදුවන අලකලංචියයි. අන්ධයාට මිණි කැට පෑගීමක් වැනි අවස්ථාවකි. එහිම දිගුවක් ලෙස දෙවන කවියේ අන්තර්ගත මිනිස් දහම උකහා ගත හැකිය. එනම් පොලොවට සියල්ල උරා ගන්නා යථාවෙන් ගැලවීමට එමත කුමන පෙළහරක් පෑවද නිශ්ඵලය යන අදහසයි. කුමන අහසට යන විදියක වුවද අවසානයේ යැවෙන්නේ පොලොව තුලටම පමණි යන්න රාමුවේ සංඝටක අපට කියා දෙයි. එම කහ පැහැති අක්ෂර පවා එම අදහසේ ගැබ්වන ආගමික බව හෝ අධ්‍යාත්මික ස්පර්ශය හැඟවුම් කරයි.

තවත් කෙටි සටහනක් තබන්නේ සුසන්තගේ විශය ක්ෂේත්‍රය තුළින් ඔප් නැගෙන කවියක් ගැනය.

මේ කවියේ ඇත්තේ දැවැන්ත වාස්තුවක් තුළ ක්ෂුද්‍ර මිනිස් සළකුණකි. මිනිස් යුවලකි. ඔවුන් යුවලක්මදැයි පැහැදිලි නැත. කවියේ වචන ඔවුන් යුවලක් බව අපට හැඟවුම් කරයි.


ඔබ කැමති උනේ
ඉහලම තැන්වලට
අනෙක් හැමොම පහලින්
බොහෝ දුරින් පොඩියට
අපටත් ඔබව පෙනුනා
ඉතා ඉහලින් උනත්
බොහෝ කුඩාවට
බොහෝ ඈතට


මේ ඉංගිතය ස්ත්‍රී චිත්තයයි. වාස්තු කර්මයට යද්දී ඉතිරිය දකින වාස්තුව සැමවිටම උස සැප පැතිරුන දෙයකි. ගෘහ නිර්මාණ සැළසුම්කරුවන් නිරන්ත‍රයෙන් පීඩාවට පත්වන්නේ අත මිට මුදල් ඇති හස්බන්ඩ්වරුන‍්ගේ බිරින්දෑවරුන්ට නිවාස සැළසුම් කරන්නට යද්දීය. එම බිරින්දෝ ලෙහෙසියෙන් සතුටට පත් නොවෙති. එක සැළසුමක අවසානයක් දකින්නට ඇය හා එම සැළසුම සිය දහස් වරක් වෙනස් කළ යුතුය. ලෝකයේ ඇති සියලු වාස්තු කර්මයන්ගෙන් තම නිවෙස අලංකාර විය යුතු බැව් ඇගේ අදහසයි. ඇයට ආලින්දයේ සිවිලිම පැතැලි විය යුතුය. එහි අවලස්සන තලාඳ ගමන් නොකළ යුතුය. බිත්තිවල කොලම් සැඟවිය යුතුය. ඒවා නෙරා පිටතට පැමිණ නොතිබිය යුතුය. ආරුක්කු හිස් බිත්ති මහ විශාල වීදුරු ජනේල ඇයට අවශ්‍යය. ඇයට අති දැවැන්ත සිවිලිමේ සිට පොලොවට ඇද හැලෙන දොර තිර රෙදි දැමිය හැකි වා කවුලු ඇවැසිය. නාන කාමරයේ ජැකුසි ස්පා යනාදී සුඛෝපභෝගි උපකරණ තැබීමට සියළු යටිතල පහසුකම් තිබිය යුතුය. පයිප්පයක් නලයක් බටයක් නිරාවරණය වී නොතිබිය යුතුය. බැල්කනි සහ ඒවායේ අත්වැටවල් කැටයමින් ලී දණ්ඩෙන් දිලිසෙන වානේ පටිවලින් හැඩ විය යුතුය. උස් විය යුතුය. අවට ව‍ට පිට පරිසරය බැල්කනියට පෙනිය යුතුය. ජැකුසියෙන් නා මේ ලෝකයේ උසම කවුළුවෙන් හිස එලියට දමා තෙත් මුහුල වනා දමා තෙතමනය පිටින් වටපිට බලන්නට ඇයට ඉඩ තැබිය යුතුය. ඇය නොදන්නේ තමන්ට අනෙකා පෙනෙන තරමට කුඩාවට ඇයද අනෙකාට පෙනෙන බවය.




සිහිනමය උඩුවියනක් ලෙස
සදාකල් අප හිසට ඉහලින්
ඝන නීල අහස් කුස නුඹ
ලෙලදුන ද
රලු බොරලු ගල් මඩ කළල් ඇති
නොයෙක ගිරි දුර්ග පල්ලම හිමි
මහ පොලොව නුඹමය
අපට අන්තිම උරුම
හැමදාම




අහස් කවි යැයි කී විගස සිතට එන්නේ මේ නම් අහසට අරක් ගත් ඉර, හඳ, තරු, වළාකුළු, වැස්ස, අව්ව ,හිරු එලිය ,සුළඟ, හෙණ, හිම, ටෝර්නාඩො, සුළි සුලං, කැටරිනා, උල්කාපාත, ඇස්ටරොයිඩ, වල්ගා තරු, ඒලියන්ස්ලා ගැන ලියැවුනු කවි හෝ අහසම එකම දෙවොලක් වී ඇති දේව කතා ගැන හෝ රාත්‍රි අහසේ සුරම්‍ය සෞම්‍ය සඳ එළියේ විකසිත වන පෙම්වත් යාතිකා‍ මිමිනුම් ගැන හෝ දැයි විය හැකිය. අහස අප සිතන කොයි දේටත් වඩා විශාල අචින්ත්‍ය ස්ථානය බැවින් එබඳු දේ සිතීම අතිශය සාධාරණය. මේ අහසේම ඈත කෙළවරවල් වල කළු කුහරද අචින්ත්‍ය ප්‍රමාණයේ ග්‍රහ වස්තුද වෙති. අඳුරු ද්‍රව්‍ය වෙති. ප්‍රතිපදාර්ථ වෙති. එකිනෙක විකර්ෂණය වන පදාර්ථයෝ ද වෙති. මේ සියල්ල ලැගුම් ගත් අහස අපරිමිත යැයි සිතේ. එම අපරිමිත වූ අහසට අභ්‍යවකාශය යැයි කියා එහි මහ අරුත වසා දමන්නට අපි පෙළඹෙමු. සිහිනමය උඩුවියන එනමුත් කෙළවරක් ඉමක් කොනක් නැති දෙයට එ නම යොදමු. අහස් කවි හමු වන්නේ රාමුවක් තුළින් බැවින් එහි අහස පරිමිතය. පරිමිත අහසින් වට වූ කුඩා ඡේදයක එනම් වපසරියක අහසේ ප්‍රතිවාදියා එනම් පොළව ලැගුම් ගන්නා කුඩා ඡායාරූපයක ලියැවෙන වචන පේළි කීපයකින් අහස් කවිය සමන්විත වෙයි.

එය විශ්වයෙන් කඩා ගත් කොටසක් රාමුවක- පෝච්චියක රඳවා වචන පොහොර යොදා වවාගත් කුඩා පැලයක් බඳුය.

2 කුළිය:

හෂිත said...

ඩෝසන් ගේ මේ ලිපියට ප්‍රතිචාර දැක්වීමට ටිකක් වේලා ගත යුතුය.
කවි ලියන වෘත්තිකයන් පිළිබඳ හා වෘත්තිය වේදයන් කවි හා සම්මිශ්‍රණය වීම සුබදායී හා ද්‍රව්‍යවාදී එකක් යැයි කලක සිට සිතමි. ඓන්ද්‍රිය නිෂ්පාදන ක්‍රියාවන් අතරින් වඩාත් අපහසු හා කරදරකාරී ඉදිකිරීම් හෝ වාස්තු ක්ෂෙත්‍රයන් කවිය හා බැඳෙන්නේ එහි මූලධාර්මික සමාන කම නිසා යැයි ඩෝසන් කියන විට රූපාකාරය [Form] හා කාර්යය[Function] අතර ගොඩ නැගෙන සම්බන්ධය කවියට සපුරා අදාළ නියාව එළිදරව් වෙයි. ඉන්ගිරිසි සාහිත්‍ය පිළිබඳ උගතෙකු වූ බාවා හා ඉහළ ගණයේ භරත නර්තකයෙකු වූ අන්ජලේන්ද්‍රන් අතින් සැළසුම් වුනු ගොඩනැගිලි අප සිත් ගන්නේ මේ සාපේක්ෂ ගුණය නිසාද?
මම අවම [Minmalist], ලෝබ කවි වලට කැමති නිසා සුසන්ත ගේ කවි ප්‍රිය කරමි.
[අසම්පූර්ණ ප්‍රතිචාරයකි ]

susantha moonamalpe said...

"architecture is mother of all arts" කියලා අපි ඉගෙන ගත්තට මා හට නම් වාස්තුව විද්‍යාවක්, කලාවක් තරමටම භාශාවකි, ත්‍රිමාන භාශාවකි. ද්‍රව්යමය ස0ඝටක තරමටම හැගීම් මුසු වූ හැඩතල එම භාශාවේ අක්ශරයො වෙති.
එම භාශාව අභිමුව ලොව ඇති සියලු නන් විද දේ සේම මිනිස් රූපය සහ ජීවිතය කියවිය හැක .ඉතින් මට මේ ලොවතුල කියවිය හැකි කියවිය යුතු කතාන්දර රැසකි,මගෙ ජීවිත්ය දැන් පීරි ඇත්තෙ එම කතා වලිනි. මේ එම මා කියවූ කතා ලොවට ප්‍රකාශ කීරීමට ගත් කුඩා උත්සහයකි.
මහා වාස්තු නිර්මාන කිරීමට ඉඩක් නොලදත්, නිර්මානශීලී වාස්තු පරිසරයක දිවි ගෙවන්නට වරම් නොලදත්, මා සතු මේ විශ්ව බස මගේ මුලු ජීවිතයම පුරවමින් ඇතිවා පමනක් නොව වාස්තුවෙන් මා වියෝ වී නැති බවද හගවයි.
(ලබා දුන් සහයොගයට ස්තුතී ඩොසන් අය්යේ)