Saturday, June 12, 2010

ලවණෙන් උපන් ලවනෙහි මියෙම්

ලවණෙන් උපන් ලවනෙහි මියෙම්

අහස උසට දිය රැල්ලක්
වලාකුළක හැපී
නැවත පොලව දෙසට ඇදී
කිඳී සිඳී බිඳී රළ පෙණ කැටිති
උපදියි මා සිත නැවුම් අකුරු සිකුරුවන්
යොන් කුසින් ජල කඳින් ලවණ, ගැබ්බර වෙමින්

තෙමෙමි මම; මගේ දෑත් ලවණ සුවඳයි, එයම රස වෙයි
ගල්මල්- හිරිගල්- සිප්පි කවච මුසුව එන සොබාදම් සුවඳමය
නැහැය පිරීයන ගත පොපියා යන රළ කදම්බයේ තාවර සැපකි
සියොළඟම තවා යන
තුරුලක- පහසක හිස්තැන පුරවා ලන
ගැහැණියක සේ දිසෙයි පොල්හේන වෙරළ මහ ජල කඳ
රමණයකි එහි කෙළින ජල කෙලිය සැඳෑ කල
සඳ වතත් කඩා හැලෙයි; ගල්මල් පරය මත සුණු වෙයි
කැබලි සඳ වැතිරෙයි සඳ පහන් විලසින්
ශෘංගාරාත්මක එලි දැල් වෙයි හාත්පස

ගිලෙමි පතුලට මුහුදු රොන්මඩ ඇතිරුන; සුරතාන්තාවසාන
කැලතෙන, කැලතී සිප්පි ගල්මල් කැබලි ඇවිස්සුන
මුහුදු පතුලේ තිත්තකඩ මාළු පැටවුන් ඔබ මොබ නලියන
ඉකිරියෙකි දෙන්නෙකි බඩගාන දිරූ පොල් මුලක දැවටෙන
බියකරු සිහින ගෙන දෙනු පිණිස සැදී පැහැදී ඉන්න අහිංසක වධක මාරය!
‍මට නුඹත් වෙරළත් වෙන් කළ නොහැක;
නපුරු වුවද කෙතරම් නුඹ සිනිඳු කටු විසිරුණු ඇඟ මතුපිට
ගැහැණියක සේ පරිපූර්ණය, ඇති විට මේ සොඳුරු නපුරුකම සයුරට

මතුපිටට එමි; මතුව දිය තලයෙන් වාතලය වෙත
බලමි මාරියාවට හේබා ගිය නිරන්තර ජල තරඟ පෙළ චණ්ඩ
පිපිරී සැණින් සුදුම සුදු හිම පොදක් මවන සැණෙකින් සිතිජ ඉම
හරිත වර්ණ ජල මතුපිට දඟ බලා සිටින ගාන්ධර්ව කොරල් පරය
රැළි සුලි අතර නිහඩ බවට දෑතින් සියුම් සංධවනි විධානය කරන
කොරල්පර ගාන්ධර්වය අසා සිටිමි නුඹේ සාගර ඔපෙරාව
නැගෙන එක රළක් සහ තව රළක් අතර
හිස්තැන නුඹටත් මටත් අනන්ත නිහඩබවේ හඩ නගයි
ආදරිය මම නැගෙමි හිස් වුන සඳ පහන් අහසට උතුරු තරුව අභියසට
පිරී ඇති මගේ හද එලිය පතුරුවමි පෙර'පරදිග අහස් කුස වෙත
නිසරු නොවෙයි අත ගැනුම සාගරිය වැනි කොමළියක වුව ද ඉඳහිට

හිරු එලිය පොදක් නොලද අඳුරු සාගර පතුලකි මා හද ගැබ
පැලෝපීය නාල විමානයකි විවිධ ස්වයංවර වදන් සිකුරන් සැරිසරන
ගැබ් ගන්න ගැබ් පුපුරන ගැබ් විලිලන එකම තිඹිරි ගෙදරකි හදවත
නොදැනෙයි සයුරු ලිය සමග මා සිත දුවන දුර මේ සියලු අනතුරු මැද

විෂ ඉකිරිය තුඩු!
විකා ඇත මා සියුමැලි පා යුග නිරාවරණ
ආදරයක කෙලවර ඇති සියුම් විෂ තුඩ නුහුසු ආකාර
මිහිරි සැපයකි විඳුම තැලුම් පීඩා ප්‍රේම ලෛංගනාරංග අතරතුර

මගේ මෘත දේහය පාව ඇවිත් ඇත පොල්හේන සයුරු මහගෙදරට
අසල වෙරළේ සිට බලා සිටිමි අමතක කර ප්‍රතිසන්ධි තල තිස් එකම

අමරණීය වන්නට වැර දරා සියළු කාලය
විසිරුවා වදන් ශුක්‍රාණු සෑම සියලු යොන් කුහර පැලෝපීය නාල තුළ
මරණයට පත් වීම කොතරම් රමණීය ද සබඳ මේ සීතල වෙරළ තීරය අසබඩ
තුරුලක මා අතැර නොගිය පෙම්වත් සයුරිය සුසුම සිප සිප

කුදු ද ජීවය මා රැගෙනා ආ මෙතරම් දුර සසර
මේ සයුර වඩා තුඟු විට ජීවිතය කෙල පිඩක් වැනිය අංශුමාත්‍රික
පෙණ පොකුරු බිඳෙන රළ වැලක පැහැදුල් හරිත වර්ණතර ‍
එක ක්ෂණයක් ද මා මේ ගෙවා ඇති මොහොත
පැතිරි ලොව තුළ එකම එක ඉතිරියක සමග?

ඩෝසන් ප්‍රිති
06/2010

1 කුළිය:

හෂිත said...

මයිල් කෙලින් වෙනවා ඕයි..! මේ අවසානයක් නැති ආරම්භය දිහා බලාගෙන ඉන්නවා.