Saturday, September 5, 2009

ගාන්ධි සහ අපි - ප්‍රසාද් වීරසේකර [බූන්දි ලයිව් සංවාද සටහන් කීපයක්]






Dawson Preethi
Aug 24 (12 days ago)
ගාන්ධි සහ අපි

මේ වියමනේ මූලික ඇඟවුම මගේ ඔලුවට ආවේ එල්ලිල මැරෙන්න කියන එකයි.
ඒක ආවේ ‍කොහොම ද කියන්න මට හරියටම තේරෙන්නේ නැහැ. සමහර විට මේ දැං මට එහෙම හිතෙන හින්දා ඒක මේ හැන්ගර් එකත් එක්ක සමපාත වෙලා යනවා ඇති.
පපුව හොඳ මිනිස්සුන්ට එල්ලිලා මැරෙන්න වෙනවා කියල නම් කවියෙ කොහෙවත් ඇඟවුමක් තිබ්බ ද? නැහැ නේ...එහෙනම් පපුව හොඳ කියන එක මේ වෙලාවේ මට අදාල නැතුව ඇති.

කවි කියවන්න ඕන හොඳ මානසිකත්වයකින් කියන එක මේ කවිය මට උගන්වමින් ඉන්නවා.

Dawson Preethi

after 10minutes

ගාන්ධි සහ මම

ආයෙම කියවන්න ගත්තා වීරයගේ කවිය. විනාඩි දහයක් කියන්නෙ හොඳ කාලයක් ඕනම මිනිහෙකුට වෙනස් වෙන්න.

නිරීක්ෂණය
හැන්ගර් එකක් එක්ක වචන කමිසයක්. සංකේතනය එල්ලීමක් සහ මිනිස් කොටසක්.
ආවරණය නොකල හොඳ පපුවක්- සංකේතය ගාන්ධි
ආවරණය කළ හොඳ නැති පපු - සංකේතය අපි


අපි මිනිස් විශය තුල කමිසයක් බවට ඌණනය කරල ඒක යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදිත යුගයේ හැන්ගරයක් මත තබා ඇඳුම් රාක්කයක සිය දිවි නසා ගත් කමිසයක් ලෙස පැවතීම අර කූඹියා යෝජනා කළ නිශ්පාදන සහසම්බන්ධ ශ්‍රේණියෙම මූලික සංරචකයක්. එහෙමත් නැත්නම් නිශ්පාදන ක්‍රියාවලිය අප ඇඳිය යුතු ඇඳුම කල් තියා නිර්මාණය කරල අපට පෙනෙන සේ පවතිනවා. පවතිනවා නොවෙයි පවත්වනවා. එය අපගේ ආශාව සමග සමපාත වෙලා නොහොත් සමපාත කරගෙන මිලදී ගන්නවා. නමුත් සත්‍ය ව‍ශයෙන්ම හැන්ගරයේ එල්ලී තබා ඇත්තේ අපගේ මිය ගිය ආශාවයි. එය සංකේතියව මියගොස් ඇත. පණ නල දුරැ වුන හිස් ඇඳුම අප එනතුරැ බලා හිඳී. සංකේතියව අපි එය ඇඳගෙන එහි භූමදානය සම්පූර්ණ කරමු.

ඇඳුම් ඇඳ ගත් ප්ලාස්ටික් ඩමි පැතැලි වීදුරැ තල වලින් ආවරණය වී ෂෝකේසයන් තුල සිරගත කර ඇති ඇඳුම් කඩවලින් මට වහනය වන්නේ ඊජිප්තුවේ මමි වලින් පටන් එන්නාවූ මියගිය සිරැරැ තුල සිරවුනු ආදි කල්පික බලය පිලිබඳ පැවැති නුරාවේ ම ෆැෂන් ආකාරයේ ගන්ධය හා සමාන නිශ්පාදිත ක්‍රියාවලියේ විකෘති වු අංකනයක්. අපි එම බලය හා ගනුදෙනු කරමු.

හොඳ පපු වැසිය යුතු නැති වග කවිය ඇණවුම් කරන්නේ වික්ටෝරියානු සදාචාර සීමාව පිළිබඳ අද නොකියවීමක්. ප්‍රති‍විරෝධය යනු ඇඳුමින් වැසෙන්නේ හොඳ නැති පපු බවයි. හොඳ නැති පපුවල පැවැත්ම සහ රාක්ක ගත හැන්ගර් වල දැවටුන කමිස අතර ද්‍රව්‍යමය සහසම්බන්ධය දෙවන අවධියයි. මරණය පිලිබඳ ඇඟවුම් කරත් එල්ලී සිටිමේ විනෝදය විසින් කමිස පිළිබඳ මිලදී ගැනීමත් හෝ මිලදී ගැනීමේ විනෝදය විසින් කමිසයේ භූමදානය අතර සම්මිශ්‍රනය සහේතුකයි. ඒ කියන්නේ මේ කමිස එල්ලා තැබීම සංකේතියව ප්‍රාග්ධන කේන්ද්‍රීය ක්‍රමය තුල පාරිභෝගිකයා ගේ සියදිවි නසා ගැනීම අර්ථවත් කරයි.

සමාජවාදී හෝ ප්‍රාග්ධන විහීන ක්‍රමයක් තුල කමිස වෙළඳාම කොහොම ද? එය එල්ලා තබයි ද ඔතා තබයි ද? ඔතා තැබුවොත් විශාල ප්‍රමාණයක් ගබඩා කර තැබිය හැකිය. එල්ලා තැබීමේ වෛශයික වුවමනාව පෙරසේම සංඥා කරන්නේ වෙනස් දෙයක් ද?

මේ කියවීම සහ පූර්ව කියවීම අතර සම්බන්ධයක් නැති ලෙස පෙනුනත් එය සම්බන්ධ වන්නේ ජීවාත්මයක් නොපවතින සංකේතිය පුරැෂයන් සිය දිවි නසා ගන්නා වෙළඳ අවකාෂය තුලිනි.

Prasad Weerasekara:
Aug 24

මම මගේ කවි ගැන කිසිම වෙලාවක මේ වියමන ඇතුළෙදි නොකියමි.
මා ලියනා කවි සංයුක්ත කවි විදිහට නාමකරණය වෙනවාට අකමැති ඇයි යන්න පමණක් පවසමි.ඒ කූඹියා ඇයි ඒ කියා ප්‍රශ්න කර තිබූ නිසාය.
මම නිසඳැස් කවියට නිදහස් කවි යැයි නොකියමි.නිසඳැස් කවියට නිදහස් කවිය යැයි තවමත් කියන ප්‍රජාවක් ඉන්න වගත් දනිමි.නමුත් මට ඒ කවි තුළ ඇත්තේ සඳැසෙන් වියුක්ත වූ එක්තරා මොඩලයක් මිස නිදහසක් නොව.නිසඳැස් කවිය තුළ ඕනෑම මාතෘකාවකට අදාළව නිදහසේ ලිවිය හැකි වූ නිසාම එය කවීන්ගේ සිට කුකවීන් හරහා ආචාර්ය මහචාර්යවරු දක්වා නිදහස් කවිය විය. නිසඳැස් කවි අතර බිහි වූ දස දහස් ගනණ් ආශ්චර්යවත් කවි මම රස විඳ ඇත්තෙමි.එය ඉදිරියටත් එසේමය.


නමුත් මට කීමට අවශ්‍ය වන්නේ මෙයයි.නිසඳැස් කවියට නිදහස් කවි යැයි කියන්නේ කුමන පදනමකින්ද?ඒ උක්ත මා සඳහන් කරන ලද පරිදි නිදහසේ ලිවිය හැකි නිසා නම් එය වැරදිය.එය බරපතල වරදකි.මාගේ අරගලය වන්නේ එයයි.සැබෑ‍ ලෙසම අසිරිමත් නිදහසකින් යුක්ත වූ කවියක් බිහි කර ගැනීමයි.එය මා දකින්නා වූ නිදහස් කවියයි.වචන වලට ප්‍රකාශ කළ හැකි සීමාවටත් එහා වූ සීමාවක් ස්පර්ශ කිරීමයි.අවංකවම මට ඇතැම් අවස්ථා වලදී අදහස් ප්‍රකාශ කිරීමට වචන ප්‍රබල නොවෙයි.එතනදී වචන වලින් ඔබ්බට ගිය ප්‍රකාශන ශක්තියක් උවමනාය.අන්න එතනදී මා විසින් බිහි කරගත් කවිය නිදහස් කවියයි.එය අත්‍යන්තයෙන්ම නිදහස් ය.

මාගේ කවි සංයුක්ත කවි නොවන්නේ අන්න ඒ පදනම තුළය.සංයුක්ත කවි යනු දෘශ්‍ය කවියකි.ඒ අජිත් තිලකසේන ඔහුගේ කවි හැඳින්වූ නමය.දැන් ඔබට ප්‍රශ්නයක් මතු වනු ඇත.මන්ද මාගේ ලියවිලි තුළද ඇතැම් රූප භාවිතා වන බැවිනි.නමුත් මාගේ කවි තුළ ඒ හා සමානවම ඔබට කියවීමට දෙයක් ඇත.මා වචන වලින් පමණක් කවි ලියන්නේ නැත.මා රූප වලින් පමණක් කවි ලියන්නේද නැත.මට කවිය තුළ අවශ්‍ය වන්නේ මට කීමට ඇති දේ වඩාත්ම නිදහස් ලෙස ප්‍රකාශ කිරීමට අවශ්‍ය අවකාශය සාදා ගැනීමයි.එය මා විසින් දකින නිදහස් කවියයි.

නිදහස් කවියට ආකෘතියක් නැත.නිදහස් කවියට නිර්වචන සැපයීම දුෂ්කරය.නිදහස් කවිය විග්‍රහ කිරීමට යාමේදී ඔබ අපහසුතාවටකට පත් වනු ඇත.මන්ද එය ඒතරම්ම නිදහස් බැවිනි.නිදහස් කවිය ද්‍රවයක් මෙනි.එය දැමූ භාජනයේ හැඩය ගනී.

koombiya:
Aug 24


ගල්ගුහා තුළ නිදා සිටිනා විචාරක සිංහයෙක් සිහිනයෙන් අවදිව පැමිණ ”උඹ ලියන්නේ කවි නොවේ” යැයි කීවොත් ඔබ එම සිංහයාට දෙන පිළිතුර කුමක්ද?
ඔහු මෙසේ ද අසයි!
”උඹේ කවියට උඹම නාමකරණයක් දීමට තරම් වීරකමක් උඹට පහළ වූයේ කෙසේද?”

Thushari Priyangika:
Aug 24
කවිය විවිධාකාරයි. සමාජය විසින් ඇති කර ගත් නීතිරීති සමුදායයක් මේ වෙද්දි කවිය වටාත් එකතු වෙලා, ගොඩ ගැහිලා තියෙනවා. සඳැස් කවි ආර ගත්තම එළිවැට, එළිසමය රැකීම, මාත්‍රා ගණන, උපමා උපමේය ලඝු කිරීම වගේ යම් සම්ප්‍රදායක් සමාජය විසින් සකස් කර ගෙන තියෙනවා. මෙන්න මේවයෙන් නිදහස් වීම, නිසඳැස් කවිය..., නිදහස් කවිය ලෙස අර්ථ දැක්වෙනවා කියලයි මම හින්නේ. ඒත් ඒක කොච්චර දුරට එහෙම වෙන්න ඕන ද කියන එක තීරණය කරන්නේ නිර්මාණකරුවයි.

කවිය, භාජනයෙ හැඩතල මවන එක තමයි වඩාත්ම හොඳ ක්‍රමය. එතකොට වඩාත් සංවේදී වෙන්න පුළුවන් නිර්මාණ බිහි වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.

Dawson reethi
Aug 24
මගේ අදහස් කීපයක්

සඳැස් කවි නිසඳැස් කවි නිදහස් කවි සහ කවියා සමග කුකවියා
ඡන්දස් ශාස්ත්‍රයට අනුගතව රසවත් වැකි ලිවීම කාව්‍ය ශාස්ත්‍රය යි. ඡන්දසට එරෙහිව කාව්‍ය ලියන්නා කුකවියා ය. මෙහිදී ඡන්දස් ශාස්ත්‍රය යනු සංස්කෘත භාෂාව කේන්ද්‍ර කරගත් කාව්‍ය රචනා අනුගත ශාස්ත්‍රීය විධි ක්‍රමයයි. එම ශාස්ත්‍රීය විධි ක්‍රමයේ උත්පත්තිය ප්‍රභවය යනාදිය ආගමික විශ්වාසයන් මෙන්ම මිථ්‍යා විශ්වාසයන් හා සබැඳී පවතී. අපට ද එබඳු විධි ක්‍රමයක් ඇත. එය ග්‍රන්ථාරෑඨ කර ඇත්තේ එළු සඳැස නමිනි. එහි දැක්වෙන රීති ප්‍රකාරව රසවත් වැකි ලිවීම විදග්ධයන් පිළිගන්නා කාව්‍ය රචනයයි.

මීට පටහැනි මතවාද ද බො‍හෝ වේ.

උක්ත විධික්‍රමයට ප්‍රතිපක්ෂව ලිහිල් ලෙස එනමුදු කිසියම් ශබ්ධ රටාවක් ඇති පද ආකෘති ගත කර කියවීමේ රැචියක් ඇති වාක්‍ය රටාවකට නිසඳැසක් යයි කියයි. මෙම නිසඳැස් ද සම්පූර්ණයෙන් ම විරිතකින් හෝ ඡන්දසකින් තොර වූයේ යැයි කිව නොහැකිය. කෙසේ වුවද කියවීමේදී ශබ්ධ මාධූර්යයක් නොදැනෙන කල ඒවා කවි හෝ නිසඳැස් ලෙස ද පිළි නොගන්නා බව නොරහසකි.
මම බොහෝ විට බෙහෙත් වට්ටෝරැ වැනි කිසිම ඡන්දසක් හෝ ශබ්ධ රටාවක් හෝ විරිතක් හෝ නොමැති රචනා ලියා පළ කොට ඇති හෙයින් ඒවා දැවැන්ත ලෙස ප්‍රතික්ෂේප වී ඇති හෙයින් මේ සඳැස් හෝ නිසඳැස් සහමුලින්ම ඡන්දස මත සම්පූර්ණයෙන්ම හෝ ආංශිකව හෝ සබැඳී ඇති වග මට ස්ථිරය. එනයින් නිසඳැස් යයි රසිකයින් වැළඳ ගන්නා බොහෝ නිර්මාණ වල පරිපූර්ණ ලෙස නොවූවද විරිත් ගුණ ඇත්තේය. එනයින් ශබ්ධාදී ගුණ ද සලකා කාව්‍ය රසිකයන් ඒවා රස විඳූමට පිළිගන්නා බැව් පෙනේ.

වෙනත් කවි ආකෘති ලෙස නිදහස් කවිය මේ කොටස් දෙකටම වියුක්ත ප්‍රදේශයක වාසය කරයි.

Prasad Weerasekara to Koombiya:
Aug 24
එවිට කීමට ‍දෙයක් නොමැත.මන්ද එවිට ඔහුගේ සිහිනයටම අවදි වීම මුණ ගැසී ඇත.මා කතරගම යන්නේ දැනගෙනය.

Dawson Preethi:
Aug 24
අයින් රෑන්ඩ් [Ayn Rand]ගේ නිර්මාණාත්මක රචනය සම්බන්ධ දේශණ අඩංගු CD තැටි කීපයක් මට පහුගිය දිනෙක පොත් සාප්පුවකින් මිල දී ගන්නට හැකි විය.
ඇය නිර්මාණාත්මක රචනය ගැන දක්වා ඇති අදහස් වලින් මට හැඟී ගියේ ඇයගේ නිර්මාණ ලේඛණය අතිශය නූතන වුවද ඇගේ සාහිත්‍ය සහ කලා විචාර ආස්ථානය ගතානුගතික බවය. එබඳු කෘතහස්ත ලේඛිකාවක් ගැන මා වැනි පුත්තලං බූරැවෙක් එබඳු බරසාර කතා කීම නොහොබිනා දෙයක් වුව ද පහත දැක්වෙන අදහස් ඇගේ ය.

කැන්වසයක් මතුපිටට තීන්ත විසි කර එය සම්භාව්‍ය සිතුවමක් යැයි කියන්නෝ කලාකරැවන් විය හැකි ද? ඔවුන් තක්කඩියන් ය. එමෙන්ම වචන ගොඩක් කඳු ගසා එය නිර්මාණාත්මක නූතන රචනාවකැයි කියන්නා ද එමෙන්ම දුරින් දුරැ කළ යුතු අයවලුන් වෙති.

මට මේ ඇසීමෙන් ඉමහත් කුකුසක් උපන්නේය. එනම් විසිරැණු වර්ණ පැල්ලම් ගොඩක සෞන්දර්යයක් දකින්න ට හැකි වීම නොහික්මුණු මානව හැකියාවක් ද? නොඑසේ නම් අහසේ විසිරැණු වළා රොදක ඇති සෞන්දර්යයක් මසැසින් දැකීම මනසින් විඳීම අතිශය ප්‍රාථමික තත්වයක් වන්නේ කෙසේ ද?

ඇ‍යගේ අදහස මා වටහා ගත්තේ ඇගේ කතාව සම්පූර්ණයෙන්ම ඇසීමෙනි. ඈට අනුව ඔබට තීන්ත ඈතින් සිට කැන්වසයකට විසිකර එය සම්භාව්‍ය ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් එකක් යැයි කීමට පුළුවන. නමුත් ඊට පෙර මොනාලීසා වැනි අතිශය සංයමයකින් තෙලි තුඩ හසුරවා ඇඳිය යුතු සිත්තම් නිර්මාණය කර යථාවාදී සිත්තරකු ලෙස මෝරා පැමිණිය යුතුය.
මිනිසෙකුගේ සැබෑ රැව පින්සලෙන් ඇඳිය නොහැක්කෙක් තීන්ත මොන තාක්ෂණයක් උපයෝගි කරගෙන කැන්වසය මත තැවරැවද එම කලා නිර්මාණය අවරගනයේ ය යන්න ඇගේ විශ්වාසයයි.

කවි ගැන කිව යුත්තේ කුමක්දැයි මම කල්පනා කරමි.

Abhaya Nath:
Aug 24


නිර්මාණය අනර්ඝයි. ඒත් මේ ගැනත් සිතමු.

ගාන්ධි කමීසයක් ඇන්දෙ නැත්තෙ ඇයි?
ගාන්ධි කමීසයක් ඇන්දා නම්?


ඉංදියාව පුරා තැනින් තැන විවිධාකරයේ අරගල මතු වීත්, වෙමිනුත් තිබුන කාලයකයි ගාන්ධි කල එළි බහින්නේ. තෙලෙන්ගනා ගොවි අරගලය බ්‍රිතාන්‍යයන්ට ඔරොත්තු දීමට අපහසු තත්වයකයි පැවතුනේ. ඒකට සෝවියට් ආධරත් රහසිගතව ලැබුන බවටත් තොරතුරු තියෙනවා. අනෙක් පැත්තෙන් සුභාෂ් චන්ද්‍රබෝස්ගේ සන්නද්ධ හමුදාව බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කටයුතු කරමින් සිටි නිසා පීඩිත ජනතාවගේ ආකර්ශනය ඔහු දිනා ගනිමිනුයි හිටියේ.

මෙහෙම වෙලවක ඒ සියලු බ්‍රිතාන්‍ය විරෝධී ප්‍රවනතා නිදහසේ සංවර්ධනය වීමට ඉඩ හැරියොත් ඉන්දියාව සෝවියට් රටක් වීමට හොඳටම ඉඩ තිබුන. ඒ නිසා රදළ පන්තියෙ වැඩවසම් යාන්ත්‍රනයට පීඩිතයන් ගැට ගසා එම අරගල යටපත් කිරීමයි ගාන්ධිලාගෙන් සිදු වුනේ. එය කිරීමට ඔයු නිරුවත් උඩු කයත්, චරකයත් භාවිතා කළා.

මේ අදහස මට දුන්නෙ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදෙශයේ හරිජනයින් පිරිසක්. ගාන්ධිලාගේ ආර්ය බ්‍රාහ්මණ සමාජය විසින් ආර්ය නොවන, විශේෂයෙන් පීඩිත කුලවල අය සියල්ලම යට කර ගත්තා. එසේ නොවී ඒ කුලයේ පීඩිතයන් දියත් කරමින් සිටි අරගල ඉදිරියට ගියානම් කුලභාවයන් අහෝසි වීමට ඉඩ තිබුන. ඒ නිසා එම පීඩිත කුල සියල්ල හැඳින්වීමට "හරිජන" කියල අලුත් වචනයකුත් හදල ඔවුන් සියල්ල තම ආර්ය බ්‍රාහ්මණ සමාජයේ අණසකට යටත්ව සිටීම තහවුරු කලා මේ ගන්ධිලා. ඉන් පසු රදළ, ඉඩම් හිමි පන්තියට පාලන බලය ලබා ගත්තා. ගාන්ධි කමීසයක් ඇන්දා නම් එක කරන්න බැරි වෙන්න ඉඩ තිබුන.

මේක මාත් පිළිගන්න, ඉන්දියාවේ හරිජනයින් සියල්ලම පිළිගන්න දෙයක්.

Mahesh Munasinghe:
Aug 26

වීරයා, ලියන අඳින දේවල් වර්ග කරන්න ඕනෙ නැහැ බං. කියවන බලන වෙලාවට අනිත් එවුන්ට සංවේදනා දැනෙනවනම් එච්චරයි. උඹගෙ ඔය දේවල් නියමෙට දැනෙනවා.

1 කුළිය:

අක්කණ්ඩි said...

කවි වියමන අර්ථවත්. එහෙත් කවියේ අරුත් පසිඳන කල පපුව ආවරණය කිරීම,නොකිරීම ගැන එන සංවාදයේදී පපුව ආවරණය නොකරන අයට පමණක් හොඳ සිත් තිබෙනවා නම් ගැහැණු ඔක්කොම හිත නොහොඳ අම්මන්ඩිලාද?
මහත්මා ගාන්ධි උතුමන් ගේ සරල බව, අල්පේඡ්ච බව හුවා දැක්වෙන එතුමන්ගෙ ඇවතුම්,පැවතුම් වල මතුපිට නොව ගැඹුර සහ යථාර්තය තේරුම් ගන්නට හැකි නම් වඩාත් වැදගත්.