Thursday, November 27, 2008

ගම හැර ගිය අඳ ගොවි පුතුගෙන් ලියමනක්-ලක්ශාන්ත අතුකෝරල

ගම හැර ගිය අඳ ගොවි පුතුගෙන් ලියමනක්

තට්ටු තුනේ මැදුර ළගින්
වමට හැරී පෙරට වරෙන්
මා බලන්න එනවා නම් මගේ යාළුවෙ
මෙ මුඩුක්කු ලැයිං අතර
ලෑලි ගැසූ කුටිය අතැර
ගමෙ යන්න අඩ නොගසාපන් කිරි බණ්ඩෙ

ඉර නිදි කොට සඳ නැගිටින
තෙක් බඩ වැටිවල ඇවිදින
ඉර හඳ වාගේ මතකයි ඒ පොඩි කාලේ
කොච්චරවත් හිත තිබුණට
කඩා සෙයිලමෙ කටු වැට
යළි ඒ කාලයට යන්න බෑ නොවැ මිතුරෙ

පාළු පැලේ ? ලැගගෙන
පඹයි මෙන් කෙතේ හිටගෙන
ගමෙ ඉන්න හිත් නොදෙන්න මොකද කාරණේ
මුහන්දිරම් පට්ටම් වල
උජාරුව නැමී බල බල
බැල මෙහෙ කෙරුවා විතරයි අපේ සනුහරෙ

අපෙ වීරිය කිරි වැදිලා
අප මෙන් පහතට නැමිලා
උන්ගේ බිහි පිරෙව්වාට අපි බඩගින්නේ
දවසක උන් පරද්දන්ට
දහඩිය ටික විකුණගන්ට
මාත් එක්ක නතර වෙයන් මගේ මස්සිනේ

ලක්ශාන්ත අතුකෝරල
අමාවකේ සඳක් සිඔිමි 2006 කාව්‍ය සංග‍්‍රහයෙනි


මට මෙ කවිය කවදාවත් ලියන්න බැහැ මොකද මම උපන්නෙම ගාලු පාර අයිනෙ නිසා. ගමක් ගැන මතකයක් නැත්තෙත් නැහැ ඒ ආච්චිලයි ගෙදර තිබුනේ ගමක නිසා. අම්මා ඉඳ හිට අපව කැටුව ආච්චිලයි ගෙදර සති අන්තෙ යන කාලේ තමයි මෙ ගම මගේ ඔලුවට ඇතුල් වෙලා තියෙන්නේ.

ඒත් මෙ සංසිද්ධි තේරුම් ගන්න ගමක ඉපදීමට වඩා ජීවත් වීම වැදගත් වෙනවා.

මම නාගරික වී ඉපිද ගම් ගොඩක ජීවත් වෙච්ච අතීතයක් සමග විදෙස් ගතව ක‍්‍රමයේ තවත් සොඳුරු ගොදුරක් බවට පත් වී ඇත්තෙක්මි. මෙ කවිය මට කියවා ගන්නට මෙ සියල්ල විග‍්‍රහ කරගන්නට බල කෙරෙයි.

මෙ කව මගේ ජීවන අත්දැකීම් ප‍්‍රශ්න කිරීම අරඹන්නේ එහෙමයි.
මට මස්සිනා ලත් නැහැ මෙ වගේ එතිල ඉන්න ජීවිතයට. ආසාවට ඇසුරකට වැටුන කිරි බණ්ඩෙලත් නැහැ. පඹයන්මෙන් නිසොල්මනේ වෙල් එලිවල හිටන් ඉන්න සමහර විට ඒ වෙල්වල රංචු ගැහී කරක් ගහපු මෙ සිදුවීම් මට මැජික් වගෙයි.

ඒත් අඳේට වැඩ කරන ගොවියෝ මම දැකල තිබ්බා ඒ පුංචි කාලෙත්. මට මතකයි අපෙ අම්මා එහෙම කතන්දර කියනවා ලොකු අම්ම එක්ක අහවලා ගේ අඳේ අන්න මෙ පාර අහවලෙකුට දීලා යනාදී වශයෙන්.
ඒත් මට දැනුන එකම දේ ඒක මොන යම් ආකාරයක හෝ වරදක් යන්න පමණි.
ඒක ඒ ක‍්‍රමයේ වරදක් බව දැනගන්න ඊට වඩා ගොඩක් කාලයක් ගත වෙලා.
නගරවල වැදිල රස්සාවල් කරල එතනින් නොනැවති විදේශවල කරක් ගහල ගොඩ ආපු කෙනෙක් තාම මම දැකල නැහැ. ගමෙන් නගරෙට ඒමෙන් ගොඩ යන්න පුළුවනි කියල හිතන එකත් නගරෙන් වෙනත් රටකට පැනල ගොඩ යන්න පුළුවන් කියල හිතන එකත් මෙ ක‍්‍රමයේම මුළාවක් බව අද දවසේ මා වටහා ගන්නේ නිරුත්තර ප‍්‍රශ්නාවලිය තාමත් කෙළවරක් නැති ලෙස මා අභියස දිග හැරෙන නිසාවෙනි.

0 කුළිය: