Saturday, October 31, 2009

මතකයි මට


මතකයි මට

කඳු මුදුනතර
ලෙලදුන් රණ තිසර තුඩු
සිප සිප තුරුණු අහස් කුස
නදී ජල තරඟ පෙල මත
නෑඹුල් ඇගේ සිරුර දැඟලී
ගලකින් මතුපිටින් වෑහි

පෙණ කැටි
ඉහිරුණ වසන්තය

තෙත් විය මා
වියැලි හදවත!

වියැලි කර්කෂ ගිම්හානයේ
වියැකී නුරාවන් කාලයේ
නිරුදක කතර විය
හරිත නිම්නය

ඇගේ දෙතොල ද
පහස ද

නගරයේ දුමාරය පිරි අහස සිප ගත්
උසැති ගොඩනැගිලි
මුදුන් සේ මළානික
රතු උළු කැට සෙවිලි කළ

මට පෙනේ ඇගේ
වැහැරුණු පියයුරු

දවාලයි වියැලි හදවත මා
පරඩැල් ගොඩක් මෙන්!

ඩෝසන් ප්‍රීති

Thursday, October 29, 2009

එකම ප‍සෙක සිටිය යුතු උන්


එකම ප‍සෙක සිටිය යුතු උන්

මගේ හදවත රිදුම් දෙයි
කැකෑරෙයි ගත රුහිරු
ඉහිරී යයි සුසුම් පොදි
ඉරි තලයි ඇස් බොඳව යයි

දෙපසක තල්ලු වෙන දෑත්
එකම ප‍සෙක සිටිය යුතු උන්
දෙපසකට බෙදී ඇති සැටි
ඉරි තලයි ඇස් බොඳව යයි

Tuesday, October 27, 2009

සොහොන් මාළිගය

සොහොන් මාළිගය

මිය ගිය
සහ
මරන ලද
සුවහසක් මිනිසුන්ගේ ඇට කටු
එකට තබා
සදා ඇත මගේ මන්දිරය
සුවිසල් ය එය!

තබා ඇත හිස් කබල්
විවර වුණු බොල් ඇස් සිදුරු
කවුළු ලෙස
හමා එනු පිණිස
මිනී අළු මුසු මද පවන්!

දරුණු විලි රුදා දැරූ
උකුළු ඇට;
තබා ඇත ආලින්දයේ
සිහිවටන ලෙස නෙක
නොනැගෙන්නට නැවත
නැගිටීම්
අපගේ පෙළපතට එදිරිව!

රහසිගත
භූගත කුටියක
තබා ඇත එක පෙළට‍
නොනැමුණු කෂේරුකා
සිහි කැඳවනු පිණිස හෙට දිනට!

ලද අවසරයෙන් අමතක වන
මගේ කාලකණ්ණි අන්තේවාසිකයනට
මොවුන් නැගි බව අපට එරෙහිව
මතක් කර දෙන්නට දිවා රැය!

ඩෝසන් ප්‍රීති
271009

Saturday, October 24, 2009

සිත බිඳුනු කවියෙකුට


සිත බිඳුනු කවියෙකුට

කලක් කැරකුනි හිරු
ලෝකය වටා නිහඩව
මල් පිපුනා කලට වෙලාවට
අපි දු වැන්දෙමු නමස්කාර කර

දැන් අපි දනිමු එසේ නොවන වග
අපි කැරකී ඇත හිරු අචලව ඇති
ගගන අභ්‍යවකාෂ අඳුර තුල
එනමුදු නොවරදවා

මල් පිපී ඇත ගහ කොල නිල මත...

ඩෝසන් ප්‍රීති
241009

Thursday, October 22, 2009

පෝල් කෲග්මන් , නුඹෙන් අසන්නට ඇත පැණයක් ...


පෝල් කෲග්මන්

අසන්නට ඇත පැණයක්
නුඹෙන්

දෙනු මැනවි යස පිළිතුරක්!

ඇත ලෝ දම කැරකී නපුරට
අහේනිය ර‍ට තොට සියළු මිල පිලිවෙත
එනමුදු මුදල් හුත නහුත අසංඛත
තම තම පසුම්බියට වැටෙන රටක් ලොව ඇත

මිනිසුන්ගේ දහදිය මහන්සිය බදු ලෙස
එකතු කර ජනපද භාණ්ඩාගාර සරි කොට
එම අරමුදල් යට වී අත යට නෑ කමට පිරිසට
කෙම් බිමක් ඇත සිරව අක්ශාංශ සහ දේශාංශ අතරක

වානිජ කටයුතු ද අගණිත
හිමිවෙමින් ඇත එක පවුලකට යහමින
පොලවෙන් කඳුළු තෙල් ලෙස උනන
කඳුළු බිඳුවකි මේ දෙර‍ණ මිහි මත

ඉතින් සකි සඳ පෝල්

ට්‍රිලියන ගාණක් රුපියල්ම ඕන වෙන
ඉදිරි වසර දෙක තුනක කාලයක දූෂණයට පමණක්ම!
විකිණෙන්නට තව ඉතිරිව ඇත්තේ
මිනිසුන්ගේ ආත්ම පමණක් බව
උඹෙ ආර්ථික න්‍යායට අසු ‍වෙනව ද පෝල්?

පෝල් කෲග්මන්
මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගත් විගසම
ආයෙමත් නෝබෙල් තෑග්ග නු‍ඹට විගහට
ලැබෙනවා සිකුරුයි සත්තයි...

ආර්ථික විද්‍යාවට
දණ ගැහුණු මහ කොල්ලකාරී ධනේෂ්වරයෙන්ම
උන්ටත් නොතේරෙන මේ ආර්ථික මූලධර්ම ගැන
සොයා පළ කරන පත‍ පොතට
ආයෙමත් නෝබෙල් තෑග්ග නු‍ඹට
ලැබෙනවා සිකුරුයි සත්තයි...

පෝල්
නුඹ දැනගනියි

එදාට සභාවේ හිඳ නුඹට ඔල්වරසන් දෙන්නට
බඩට කන්ට නැති පිට පොතු එකට කොඳු ඇට පෙලට
ඇලී ඇල් වතුරෙන් සැනැහී අත් පුඩි තලන ජාතියක්
මේ මිහිමත ඉන්න බව...

ඊ ඒ ඩෝසන් ප්‍රීති
151009

පෝල් කෲග්මන් Paul Krugman යනු 2008 වසරේ ආර්ථික විද්‍යාවට නොබෙල් ත්‍යාගය හිමි කරගත් ආර්ථික විද්‍යඥයෙකි. හෙතෙම ලියා පළ කළ The Return of Depression Economics and the crisis of 2008 නමැති ආන්දෝලනාත්මක පොතේ විස්තර වන්නේ නූතන ධනේෂ්වරය අත්දකින ලොව වටා ආර්ථික වල කඩා වැටීමයි. මිල මුදලේ වටිනාකම් සංහාරයයි.

Sunday, October 11, 2009

මම සිහිනයෙන් ඇවිදිමි




මම සිහිනයෙන් ඇවිදිමි


රත් හඳුන් සලපතල මග දිග
තුඟු බඳින් අහස් කුඹ සිඹි මහ රුක් ද
හෙල්මැලි පිය තඹර සුපිපි වන විල් ද
අමතකව
නොබලා
හැරදමා
මම
සත්‍යකාමීව සැරිසරමි
ස්වයංවරකාමයෙන් මත් වෙමි

සුගන්ධවත් වනපස මලින් පුද ලද
සුධීශ්වර ශෛලමය සුගත් රූ පාමුල
කඳුලු වගුරවමින් සිටින
ඇයගේ රුව රැඳි ඇක්‍රිලික් චිත්‍රය
වනන්තර බිත්තියේ
මා පසෙක
එල්ලී සිටී නිහඩවම.

ඈ වගුරන කඳුලින්
බිත්ති තෙමී ගලා යයි
සුදුහුණු තට්ටු මත බැඳෙමින් ලවණ
ගලා යයි; ගලා කැටි වෙයි
තුරුලිය'තර පස් කැටිති මත දියව
උදෑසන පින්න සේ දිලිසෙමින්
මාගේ පාපයන් සේදී යයි!

අභිනිෂ්ක්‍රමණ අධ්‍යාශයෙන් මැඩුනු
ඇගේ අතගත් තරුණ සිදුහත්
සිටී දකුණත මගුල් ඡායාරූපය
ස්ටූඩියෝවෙන් අත්පිට මුදලට ‍මිලට ගත්
බිත්තියේ දෙදෙනාම එකට එල්ලී
කැටයමින් හැඩව ගිය රාමුවක
වටකර සිවු දෙසින්

අභිනිෂ්ක්‍රමණ කඩුලු උස්කර.

වනය දෙවනත් කරන
උලලේනෙක් විනිවිදන හඩ
කම්පනය කරවයි මා සිහිනය
ඈ ගැබ්බරව හිඳී තුන්දොසින

සංසේචනය වී ඇත දොම්නස
කිසි දෙයක් නූපදින වන්ධ්‍ය බීජය
පාම් බිත්තර ක්ලෝන ගිල ගත්
රුහිරු ජල බිඳු ලෙසට දිය වුන

විලිරුදා ආවේසයෙන්
සඳ ගිලෙන මහා රාත්‍රියක අග
ඈ වදයි අභිනිෂ්ක්‍රමණ සිතියම...

සත් පියුම් මතින් ඇවිද යන
ලෝකාග්‍ර‍ වෙමැයි කුංචනද කරන
අහස් සත් ගවු දිගත පැතිරුන
මහ සිරුරැති ‍ගෞතම සිරුර
සේ මා සිහිනයේ
ඇවිද යයි ඒ ළදරු සිතියම
මා අතිනත ගෙන...

ඊ ඒ ‍ඩෝසන් ප්‍රීති
111009