Thursday, September 20, 2012

දුක් පත් පොත් පත්...

පොත් ප්‍රදර්ශනයට හදිසියේ ගොඩ වදින්නට ලද අවස්ථාවෙන් මාහට බොහෝ කලක සිට සොයමින් සිටි පොත් කීපයක් සොයා ගැනීමට හැකි විය. පුදුමය නම් ඒවා සිංහල පොත් නොවීමත් මා ඒවා සොයමින් සිටි වග මා එම පොත් දකින තුරු නොදැන සිටීමත්ය!


සිංහලෙන් ලියැවුනු පොත් කියැවීමෙන් හෙම්බත්ව සිටින මා හට සිංහල සාහිත්‍යත් දැන් දැන් එපා වී ඇතැයි මට සිතේ. කවර කංචුක ලස්සන දිලිසෙන-පරිගනක ආශ්‍රිත ග්‍රැෆික ඔස්සේ මනරම් ලෙස දිස්වන හොඳ සුවඳ කොළවලින් යුත් බොහෝ පොත්වල කියවන්නට දෙයක් නැති කම නිසාවෙන් අතිශය විශ්වාසවන්තයෙකුගේ රෙකමදාරුවකින් තොරව සිංහල නවකතා පොත් කියවීම තාවකාලිකව නතර කර දමන්නට මා සිතා ඇත්තේ දැන් මාස කීපයක සිට බැවින් මෙවර පොත් ප්‍රදර්ශනය ගැන කිසිදු බලාපොරොත්තුවක් මා තුළ නොවීය.
කාව්‍යක්කාරයින්ගේ පොත් කුටිය අසළට විත් එතුළට හිස යොමද්දී  මස්ඉඹුල ඒ ඉදිරිපිට හිට ගෙන සිටි බැවින් මා ඔහු සමග අතිශය කෙටි පිළිසඳරක යෙදී එහි වූ මා හට මග හැරුණු කවි පොත් කීපයක් මිළ දී ගත්තෙමි.
ඒ කවි පොත් අතර කම්පනයට වෙන්න ඇති-නමුත් නිහඩයි-මේ නිහඩ වෙරළට එන්න-සියුම් අත්තටු නාද-තාණ්ඩව-මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි-සැපෙනි සැප වේවා සහ සිරිමලුගේ නඟා නලනීය-සඳ දුටු සඳ-භූගත සහෝදර සංදේශය යන කෘති කීපය බෑගයක අසුරා ගත්තෙමි.


ඉන්පසු හඹා යායුතු කිසිදු පොතක් ගැන මගේ සිහියේ වූ අදහසක් නොවුන බැවින් ප්‍රදර්ශන භූමියේ ඉබාගාතේ කැරකුනෙමි. හදිසියේම කිසිදු මිනිසෙකු විසින් පා නොතැබූ සිංහරාජයේ සැඟව ගිය නිල් දිය කඩිත්තක් මෙන් ඉපැරණි සෝවියට් පොත් පත් රැඳුනු කුඩා වෙළඳ කුටියක් මා හට දිස් වුණි. කුඩා කාලයේ දී දුටුවෙන් ඉන් පසු ඉතා කලාතුරකින් දුටු සමහර ළමා පොත් දැකුමින් දෑස් කඳුලකින් බොඳවන තරමට මා හැඟීම්බර වූයේ යැයි මට සිතේ. ඒ ළමා පොත් අතපත ගා පසෙකින් තබා රාක්කවල මුදුනේ තිබූ දිරා ඉරා ගිය කවර සහිත රුසියන් පොත් කීපයක් අතට ගෙන බැලීමි. ඒ අතර වූ "ක්වොන්ටම් යාන්ත්‍රික" පොත් කීපය වහා ඩැහැ ගන්නට මා පෙළඹුනේ වෙනත් කවරෙකු හෝ මට පෙර ඒවා ගත්තොත් යැයි දැනුන නිසැකය හේතුවෙනි. එනමුත් ඒ පොත් කිසිවෙකුත් පෙරලා හෝ බලන්නට උනන්දු නොවූ බැව් එහි සිටි ඉක්බාල් මහතා මා හට කීවේ ඉමහත් කනගාටුවක් මුහුනේ මවා ගනිමිනි.

"මෙයින් පොතක් දෙකක් මෙතන මම තියන් හිටියේ කවුරුවත් ඒවා පෙරළල අඩුගානේ බලයි ද කියලවත් දැනගන්න යැ" යි මට කී හෙතෙම තම ලාභය ද පසෙක ලා මා හට එම පොත් කීපය ඉතා අඩු මුදලකට දුන්නේ කුටියේ කුලියේ විශාලත්වය නිසාවෙන් තමා වැනි කුඩා පරිමාණයේ පොත් වෙළෙන්දන් නැත්තටම නැති වී යන කොල්ලකාරී මාෆියාවකින් හෙම්බත් වන බැව්ද හඟවමිනි. කඩ කුලිය රුපියල් අනූදාහක් බවත් මේ පොත් ස්වල්පය විකිණීමෙන් තමන් ඔලුව උස්සා ගන්නවා වෙනුවට තවත් බිම ඇනී ඇති බැව්ද නොසඟවා පැවසීය.

ඔබලා අතරින් කවරෙකුට හෝ තවමත් ඒ කුටියේ ඇති සමහර පොත්පත් පෙරලා බලන්නට ආසා විය හැකිය. ඒවා පැරණි රුසියානු පොත්පත් ය. ළමා කාලයේ රසවිඳි සමහර පොත්වල ඒ කාලයේ පින්තූර එලෙසම තිබුණ ද මුද්‍රිත ආකෘති මදක් වෙනස් වී යුගයට ගැලපෙන අයුරින් සකස් කොට ඇති බැව් පෙනේ. ඒවා තවමත් කිසියම් නොස්ටැල්ජික බවක් අප සිත් තුළ දනවන්නට සමත් බැව් නම් අවිවාදිතයැයි මට සිතේ.

G-278 කුටියේ ඉක්බාල් මහතා ඔබ පිළිගැනීමට සැදී පැහැදී සිටින අතර 0718690494 අංකය අමතා ඔබ සොයනා කිසියම් ඉපැරණි මීර් ප්‍රකාශනයක් වෙතොත් ඔහුගෙන් විමසා බැලිය හැකිය.

7 කුළිය:

Anonymous said...

yannam ethanata.russian pothak kiwwoth thamath mawa asawen math wenawa."owun yudha wadune maw bima wenuweni " kiyana potha aran kiyawanna.chulananda samaranayakage pariwarthanayak.eka kiyewwama honda nam methana reply karanna.passe thawath poth gana kiyannam.

සුභග හේරත් said...

පැරණි මිර ප්‍රකාශන නැවත මුද්‍රණය කර බෙදා හරින තැනක් - රාජගිරියේ නාවල පාරේ නගර සභාව ඉදිරිපිට තිබෙනවා
මේ කියන්නෙත් ඔවුන් ගැනදමැයි මා දන්නේ නෑ

ඩෝසන් said...

Anonymous වෙත
චූලානන්දගෙ පරිවර්තන මා කියවනවා. මේක සොයා ගන්නම්. ඔත්තුවට තුති.

සුභාග වෙත
මේ තියෙන්නෙ ඉක්බාල් මා වෙත දුන් බිල් පතේ ඇති ලිපිනය:

Friendship Book Centre
Dealers in Classical Literature, Progressive Books & Stationery
No. 39, Edmonton Road, Kirulapona, Colombo-6.
Tel: 2513997

Anonymous said...

කවුරු හරි දන්නවද පරණ ප්‍රගති සහ දුර්ගා ප්‍රකාසන ගන්න පුලුවන් තෑනක් ?

කතන්දර Kathandara said...

ප්‍රගති දුර්ගා ප්‍රකාශන සියල්ලම ඉක්බාල් ගේ කඩේ තියෙනවා. ගිහින් බලන්න.

ඉක්බාල් කියන්නේ පේරාදෙනියේ විද්‍යා පීඨයේ උගත් සගයෙක්.

CHINTHAKA TIKIRIBANDARA said...

කියෙව්වෙමි....

Anonymous said...

V.I.leninge poth set eka ganna thanak dannawanam kiyanna